1983 පෙබරවාරි 14 වැනිදා උදෑසනම ලාංකිකයන්ට අසන්නට ලැබුණේ කණගාටුදායක ආරංචියක්. ඒ, ඊට පෙරදා සවස් යාමයේ මැලේසියාවේ සිට ශ්‍රී ලංකාව බලා පියාසර කළ උපාලි විජේවර්ධනගේ L35A ලියර් ජෙට් යානය මලක්කා සමුද්‍ර සන්ධියට ආසන්න මුහුදු ප්‍රදේශයේ දී අතුරුදන් වුණු පුවත යි. එකල ලංකාවේ ධනවත්ම පුද්ගලයා ලෙසින් වැජඹුණු උපාලි විජේවර්ධනගේ අභිරහස් අතුරුදහන්වීම නිසා මෙරට තුළ විශාල කැළඹීමක් ඇතිවුණා. උපාලිගේ අතුරුදහන් වීමේ සිද්ධියට සම්බන්ධව විවිධ පුද්ගලයන්ට චෝදනා එල්ල වුණු අතර අතුරුදහන්වීම ගැන විවිධ කටකතා රට පුරාම පැතිර ගියා. නමුත් උපාලි විජේවර්ධන ගමන් කළ යානයට සිදුවුණු දේ අදටත් කිසිවෙකු දන්නේ නැහැ.
උපාලි විජේවර්ධනගේ ව්‍යාපාර
1960 දශකය අග භාගයේ දී, තම පාරම්පරික නිවසේ එක් කොටසක ආරම්භ කළ ඩෙල්ටා ටොෆී ව්‍යාපාරය හරහා ව්‍යාපාරික ලෝකයට පිවිසි උපාලි විජේවර්ධන පසු කලෙක ආසියාවේ ප්‍රමුඛතම ව්‍යාපාරිකයෙකු බවට පත්වුණා.
උපාලි සතුව තිබුණු ව්‍යාපාර අතරට මෝටර් රථ එකලස් කිරීම, ගුවන් යානා සහ හෙලිකොප්ටර් නිෂ්පාදනය කිරීම, ඔරලෝසු, ගුවන්විදුලි යන්ත්‍ර සහ රූපවාහිනි යන්ත්‍ර එකලස් කිරීම, කැන්ඩොස් චොකලට් සමාගම, සබන් නිෂ්පාදනය, උපාලි පුවත්පත් සමාගම වැනි ඒවා අයත් වුණා. එසේම ඔහු ඇමරිකාව, සිංගප්පූරුව සහ මැලේසියාව යන රටවල ද විවිධ ව්‍යාපාර කටයුතු සිදුකළා. එනිසා 70 දශකය තුළත් 80 දශකයේ මුල භාගයේත් උපාලි විජේවර්ධන නාමය ආසියානු කලාපය තුළ ප්‍රසිද්ධියට පත්ව තිබුණා. එකල ෆෝචූන් සහ බිස්නස් වීක් වැනි ජනප්‍රිය සඟරාවල පවා උපාලි පිළිබඳව ලිපි පළවුණා.
ව්‍යාපාර කටයුතු යම් පසුබෑමකට ලක්වෙයි
70 දශකය පුරාම උපාලි විජේවර්ධන සිය ව්‍යාපාරවලින් විශාල ලාභයක් ලබාගත්තා. නමුත් 80 දශකයේ මුල් භාගය වන විට උපාලිගේ ව්‍යාපාරවලින් පෙර තරම් ලාභයක් ලැබුණේ නැහැ. ඔහුගේ ව්‍යාපාරවල පසුබෑමක් ඇතිවීමට හේතුවුණේ ඔහු අධික මුදලක් වැයකර ලියර් ජෙට් යානය මිල දී ගත් නිසා බවට එකල මතයක් සමාජගතව තිබුණා.
නමුත් උපාලි සතුව තිබුණු ව්‍යාපාරික ඥානය නිසා සිය ව්‍යාපාර කඩා නොවැටී සාර්ථකව කරගෙන යාමට හැකියාව ලැබුණා. එකල ඔහුගේ සියලු ව්‍යාපාරවල 33000ක පමණ පිරිසක් සේවය කළා. සිංගප්පූරුවේ සහ මැලේසියාවේ ද ඔහු සතු ව්‍යාපාර පැවති නිසා නිතරම එම රටවල්වලට යාමට උපාලි විජේවර්ධනට සිදුවුණා.
1983 ජනවාරියේ දී ගිය මැලේසියා ගමන
1983 ජනවාරි 31 වැනිදා උදේ වරුවේ උපාලි ව්‍යාපාරික කටයුත්තක් සඳහා මැලේසියාව බලා පිටත් වුණා. එදා ඔහුගේ ලියර් ජෙට් යානයෙන් මැලේසියාව බලා ගිය අනිකුත් පිරිස අතරට උපාලි සමූහ ව්‍යාපාරයේ මූල්‍ය අධ්‍යක්ෂක ආනන්ද පේලිමුහන්දිරම්, ගුවන් යානයේ මඟී සහකරු අතුල සේනානායක, ජෙට් යානය පැදවූ ගුවන් නියමු නොයෙල් ආනන්දප්පා, සහායක ගුවන් නියමු සිඩ්නි සොයිසා යන අය ඇතුළත් වුණා. පැය කිහිපයක ගුවන් ගමනකින් පසුව පස්වරු 1.30ට පමණ ක්වාලාලම්පූර් නුවර සුබංග් ගුවන් තොටුපොළට ගොඩබැස, ජෙට් යානය ආරක්ෂිතව ගාල් කිරීම සඳහා විරා ක්‍රිස් නම් පුද්ගලික සමාගමට භාරදුන් උපාලි සහ සගයන් ඔහුට අයත් වුණු කොකෝවා විලා මන්දිරය බලා පිටත්ව ගියා.
සති 2ක් පුරාවට ව්‍යාපාරික කටයුතු
සුන්දර පරිසරයක පිහිටා කොකෝවා විලා මන්දිරයේ නවාතැන්ගත් උපාලි ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු හමුවීම සඳහා දින වෙන්කරගෙන තිබුණා. එම හමුවීම්වල අරමුණ වුණේ මැලේසියාව තුළ ඔහුගේ ව්‍යාපාර කටයුතු තවදුරටත් පුළුල් කිරීම යි.
සැලසුම් කර තිබූ ආකාරයටම උපාලිගේ ව්‍යාපාර කටයුතු සිදුවුණු නිසා පෙබරවාරි 13 වැනිදා සවස 3ට පමණ ආපසු ලංකාවට පැමිණීමට පිරිස සූදානමින් සිටියා. මැලේසියාවේ රැඳී සිටි සති 2ක කාලය තුළ උපාලි දිනපතාම ලංකාවට කතා කරමින් එහි ව්‍යාපාරික කටයුතු පිළිබඳව සොයාබැලීමට අමතක කර නැහැ.
පෙබරවාරි 13 වැනිදා සිදුවුණු සැක සහිත සිදුවීම් ද්විත්වය
විරා ක්‍රිස් සමාගම භාරයේ තිබුණු උපාලිගේ ලියර් ජෙට් යානයේ වායුසමීකරණ පද්ධතිය සහ රේඩාර් සංඥා පද්ධතිය අලුත්වැඩියා කරගැනීම සඳහා පෙබරවාරි 10 වැනිදා සිංගප්පූරුවට ගෙන ගොස් ස්පෙල්විල් නම් සමාගමට භාර දුන්නා. එම අලුත්වැඩියා කටයුතු අවසන්වීමෙන් පසු පෙබරවාරි 12 වැනිදා සවස් යාමයේ යානය යළි ක්වාලාලම්පූර් නුවර වෙත රැගෙන ආවා. එලෙස රැගෙන ආ ජෙට් යානය ගුවන් යානා ගාල්කර තබන විශාල ගොඩනැගිල්ලේ ගාල් නොකර, එළිමහන් ස්ථානයක ගාල්කර තැබීම සැක උපදවන සිදුවීමක් වුණා.
උපාලි ඇතුළු පිරිස ලංකාවට පැමිණීමට නියමිතව තිබුණු වෙලාවට පැය 3කට පමණ පෙර කොකෝවා විලා මන්දිරයට දුරකතන ඇමතුමක් ලැබුණා. එම ඇමතුම ලබාගත් පුද්ගලයා පවසා තිබුණේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු ඉතාමත් වැදගත් ව්‍යාපාරික කටයුත්තක් සඳහා එදින සවස 3න් පසුව කොකෝවා විලා මන්දිරයට දුරකතන ඇමතුමක් ලබාදීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි. එනිසා සවස 3න් පසුව කොකෝවා විලා මන්දිරයේ රැඳී සිටින මෙන් ඇමතුම්කරු උපාලිගෙන් ඉල්ලා තිබුණා. එම ව්‍යාපාරික ඇමතුම නිසා සවස 3ට ලංකාවට යාම සඳහා යොදාගෙන තිබුණු ගමන පැය කිහිපයකට කල්දැමීමට උපාලි විජේවර්ධනට සිදුවුණා.
ලංකාවේ පිහිටි සිය කාර්යාලයට දුරකතන ඇමතුමක් ලබාගත් උපාලි තමා ලංකාවට පැමිණීම සඳහා පැය කිහිපයක් ප්‍රමාදවන බව දැනුම් දී තිබුණා. උපාලි ලබාදුන් මේ ඇමතුම ලබාගෙන තිබුණේ ඇන්ස්ටන් වීරසිංහ නම් නිලධාරියා යි. ඇන්ස්ටන්ට පණිවිඩය ලබාදුන් උපාලි දිවයින ඉරිදා සංග්‍රහයට විජේසෝම චිත්‍ර ශිල්පියා අඳින කාටූනය ගැන ද විමසා තිබුණා. එවිට ඇන්ස්ටන් පවසා ඇත්තේ මෙවර පුවත්පතේ රොනී ද මෙල් එක් ආසනයක සිට තවත් ආසනයකට මාරුවන කාටූනයක් පළවුණු බවයි. එය ඇසූ උපාලි මහ හඬින් සිනා සී දුරකතනය ඇමතුම විසන්ධි කළ බව කියනවා.
ඒ ඇමතුමෙන් පසු උපාලි පෙර කී වැදගත් ව්‍යාපාරික දුරකතන ඇමතුම පැමිණෙන තෙක් බලා සිට තිබෙනවා. ඔහු සවස 3 සිට 5.30 පමණ වන තුරු බලා සිටියත් කොකෝවා විලා මන්දිරය වෙත බලාපොරොත්තු වුණු ව්‍යාපාරික ඇමතුම ලැබුණේ නැහැ. එය ඉතාමත් සැක උපදවන ආකාරයේ සිදුවීමක් වුණා.
ලංකාවට ආපසු පැමිණි ගමන
බලාපොරොත්තු වුණු ව්‍යාපාරික ඇමතුම නොලැබීම නිසා උපාලි ලංකාවට යාමට තීරණය කළා. එදා පස්වරු 6.11ට පමණ සුබංග් ගුවන් තොටුපළෙන් ලියර් ජෙට් යානයට නැගුණු උපාලි ඇතුළු පිරිස ආපසු ලංකාවට එන ගමන ආරම්භ කළා. යානය ගුවන්ගත වී විනාඩියකට පමණ පසුව එය බටර්වර්ත් ගුවන් හමුදා කඳවුරේ රේඩාර් තිරය මත දිස්වුණා. ඒ වන විට යානය මලයා අර්ධද්වීපයේ බටහිර කොටසට මායිම් වුණු සෙලන්ගෝර් නම් ප්‍රදේශය හරහා ගමන් කරමින් තිබුණා. ජෙට් යානය අසාමාන්‍ය වේගයකින් ගමන් කළ බවට එම කඳවුරේ නිලධාරීන්ට දකින්නට ලැබුණත් ඔවුන් ඒ ගැන වැඩි තැකීමක් කළේ නැහැ.
සෙලන්ගෝර් ප්‍රදේශය පසුකළ ජෙට් යානය ඊළඟට පසුකිරීමට නියමිතව තිබුණේ මලක්කා සමුද්‍ර සන්ධිය පිහිටි මුහුදු ප්‍රදේශය යි.
යානය අතුරුදහන් වෙයි
උපාලි ඇතුළු පිරිස ගමන්ගත් යානය නියමිත මාර්ගයේ ගමන් කළේ නම් මිඩාන් ප්‍රදේශයට ඉහළින් පියාසර කළ යුතුව තිබුණේ පස්වරු 6.40ට පමණ යි. නමුත් සවස 7 වන විටත් ලියර් ජෙට් යානය මිඩාන් ප්‍රදේශය පසුකළේ නැහැ. ජෙට් යානය පිළිබඳ සෝදිසි කළ ක්වාලාලම්පූර් ගුවන් ගමන් පාලක මැදිරිය එයට අනතුරක් සිදුව ඇති බව තහවුරු කරගත්තේ රාත්‍රී 7.55ට පමණ යි. ඒ බව තහවුරු කරගැනීමෙන් පසුව ඔවුන් දියාගෝ ගාර්සියා දූපතේ පිහිටුවා තිබුණු ඇමරිකානු හමුදා මූලස්ථානය අමතා ජෙට් යානය පිළිබඳව තොරතුරු සොයන මෙන් ඔවුන් ඉල්ලා තිබුණා.
රාත්‍රී 9.30 පසුවන විට ලංකාවේ ඉහළ තැන්වලට උපාලිගේ අතුරුදන්වීම ආරංචි වී තිබුණා. ඒ සමග ශ්‍රී ලංකා රජයේ ඉහළ නිලධාරින් ඔවුන්ගේ රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන් උපයෝගී කරගනිමින් උපාලිගේ ගුවන් යානය සෙවීම සඳහා මෙහෙයුමක් ක්‍රියාත්මක කළා. ඒ සඳහා රටවල් කිහිපයක සහාය ලැබුණා.
උපාලි ඇතුළු පිරිස ගමන්ගත් ගුවන් යානය අතුරුදහන් වුණු කාලය තුළ කුඩුම්බිගල ප්‍රදේශයේ සිටි ස්වාමීන් වහන්සේ නමකට අපූරු සිදුවීමක් නිරීක්ෂණය කරන්නට ලැබී තිබුණා. එදා රාත්‍රී 7 සිට 9 පමණ වන තුරු කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටි එම භික්ෂූන් වහන්සේ දැක තිබුණේ ඈත අහසේ ගමන් කරමින් තිබුණු ගිනි බෝලයක් වැනි දෙයක් මුහුදට කඩාවැටෙන ආකාරය යි. එම වේලාවේම කුඩුම්බිගල ප්‍රදේශයේ රාත්‍රී පැල් රකිමින් සිටි ගොවියන් පිරිසක් ද ඒ ආකාරයට ගිනි බෝලයක් මුහුදට කඩාගෙන වැටෙන දර්ශනය දැක තිබුණා. කුඩුම්බිගල ප්‍රදේශය කුමන වෙරළ තීරයේ සිට සැතපුම් 10ක් පමණ රට ඇතුළත වන්නට පිහිටා තිබෙන නිසා ස්වාමීන් වහන්සේ සහ ගොවීන් පිරිස දැක තිබුණේ ගිනිගත් යම් වස්තුවක් මුහුදට කඩා වැටෙන ආකාරය බවට අනුමාන කළ හැකියි.
උපාලිගේ අතුරුදහන්වීම ගැන පැතිර ගිය කටකතා
එකල ලංකාවේ සිටි ධනවත්ම පුද්ගලයා වුණු උපාලි විජේවර්ධන අතුරුදහන්වීමත් සමගම විවිධ කටකතා මෙරට ජන සමාජය තුළ පැතිර ගියා. ඒ වන විට උපාලි විජේවර්ධන දේශපාලනයට පිවිසීමට බලාපොරොත්තු වන බවට විවිධ ඉඟි ලබා දී තිබුණා. එනිසා උපාලිගේ අතුරුදන්වීම පිටුපස ඇතැම් දේශපාලඥයන් ද සිටින බවට රාවයක් පැතිරුණා. ත්‍රස්තවාදීන් පිරිසක් කප්පම් ගැනීම සඳහා උපාලි ඇතුළු පිරිස පැහැරගත් බව මෙසේ පැතිරුණු තවත් කටකතාවක්. තවත් පිරිසක් පවසා සිටියේ යානය තුළ රහසිගතව අටවා තිබුණු බෝම්බයක් මඟින් යානය විනාශ වුණු බව යි.
එම යුගයේ දී උපාලිට හිතවත්ව සිටි අයෙකු පුවත්පත් කලාවේදියෙකුට පවසා තිබුණේ උපාලි පිටරට සංචාරයේ යෙදෙන ඇතැම් අවස්ථාවල දී ජෙට් යානයේ ඉන්ධන ඉතිරිකර ගැනීම සඳහා නීති විරෝධී කෙටි ගුවන් මාර්ගවල ගමන්කළ බව යි. එනිසා උපාලිගේ යානය පියාසර කරමින් තිබුණු ප්‍රදේශයේ පිහිටි එක්තරා යුද කඳවුරක ඔත්තු සේවා නිලධාරීන් ලියර් ජෙට් යානයට වෙඩි තැබුවාදැ යි ද සැකයක් ඇති වුණා.
උපාලි ආපසු එන ගමන ප්‍රමාද කළ දුරකතන ඇමතුම, සහ ජෙට් යානය අලුත්වැඩියා කිරීමෙන් පසුව එළිමහන් ස්ථානයක ගාල්කර තැබීම යන සැකසහිත කාරණා දෙක නිසා මෙම අභිරහස් අතුරුදන්වීම පිටුපස කුමන්ත්‍රණයක් තිබුණාදැ යි සැකයක් අදටත් ඉතිරිව තිබෙනවා. පසුගිය කාලයේ දී උපාලි තවමත් ජීවත්වන බවට කතාවක් පැතිර ගියත් එය තහවුරු කරගැනීමට හැකිවුණේ නැහැ. එනිසා අදටත් උපාලි විජේවර්ධනගේ අතුරුදන්වීම අභිරහසක්.