පුරාණ චීනය පාලනය කළ අධිරාජ්‍යයන් සහ රාජවංශ විටෙක අතිශය බල සම්පන්න වූ අතර තවත් විටෙක අතිශයින් දුර්වල විය. මෙම අධිරාජ්‍යයන් සහ රාජවංශ යටතේ චීනය පාලනය වූ ආකාරය කුතුහලය සහ පුදුමය දනවන කරුණුවලින් බහුල එකක් විය. රාජවංශවල ආරම්භයේ පටන් ක්විං රාජවංශයේ අවසානය දක්වා එරට ක්‍රියාත්මක වූ ක්‍රෑර සහ අමානුෂික දඬුවම් ක්‍රම ඒ අතර ප්‍රධාන තැනක් ගනී.
දීර්ඝ ඉතිහාසයක් ඇති රටක් වන චීනය සියවස් ගණනාවක් පුරාවට අපරාධකරුවන්ට දඬුවම් කිරීම සඳහා විවිධ ක්‍රම භාවිත කර ඇත. ඒවායෙන් බහුතරයක් ඉතා බිහිසුණු වදහිංසා පැමිණවීම් වූ බව මූලාශ්‍රයන්හි සඳහන් වේ. එවැනි දඬුවම් ක්‍රම භාවිතා කිරීමෙන් ජනතාව බිය ගැන්වීම හරහා අපරාධ වලක්වා ගත හැකි බව චීන පාලකයන්ගේ විශ්වාසය වූ අතර, සැබැවින් ම ඒ දඬුවම් අපරාධ අවම කිරීමට හේතු වූ බව කියැවේ.
අපරාධවල අඩුවක්
ක්‍රිස්තියානි මිෂනාරිවරුන් කණ්ඩායමක් 17 වැනි සියවසේ මුල්භාගයේ දී චීනයේ බෙයිජිං නගරයේ සංචාරයක නිරත විය. සංචාරය අතරතුර බෙයිජිං නගරයේ සහ අනිකුත් ප්‍රධාන නගරවල සිදු වන අපරාධ පිළිබඳ ව අධ්‍යයනය කළ ඔවුන් පැවැසුවේ ඒවායේ වාර්තා වූ අපරාධ සංඛ්‍යාව යුරෝපා රටවල වාර්තා වන අපරාධ සංඛ්‍යාවට වඩා බොහෝ සෙයින් අඩු බව යි. ඊට හේතුව වූයේ චීනය එවකට භාවිත කළ අමානුෂික දඬුවම් ක්‍රම යි.
එවකට එරට නීතිය ක්‍රියාත්මක වූ ආකාරය කොතරම් බලවත් ද යත් අත්අඩංගුවට ගෙන, වරදකරුවෙක් බවට පත් වූ අයෙක් කිසිදු හේතුවක් මත නිදහස් නොවී ය. සිරභාරයට ගන්නා පුද්ගලයන්ට වදහිංසා පමුණුවා ඔවුන්ගෙන් පාපොච්චාරණ ලබා ගෙන ඇත. ඉතා බලවත් පුද්ගලයකුගේ මැදිහත් වීම මත වැරදිකරුවෙක් නිදහස් කරගැනීමට යම්කිසි හැකියාවක් තිබූ නමුත් එවැනි අවස්ථා අතිශයින් ම දුලබ විය.
නඩු විභාග කළ ආකාරය
විත්තිකරුගේ අයිතිවාසිකම් පිළිබඳ සංකල්පය පුරාණ චීනයේ දක්නට නොලැබිණි. එබැවින් පැමිණිල්ලේ සහ විත්තියේ නීතිඥයන් හෝ ජූරි සභාවක් නොමැති ව නඩු විභාග කර දඬුවම් නියම කිරීම සිදු විය. සෑම ප්‍රධාන නගරයක ම ඒ සඳහා ම වෙන් වූ ගොඩනැඟිල්ලක් තිබිණි. වැරැදිකරුවන්ට අදාළ දඬුවම් මහේස්ත්‍රාත්වරයෙක් නියම කළේ ය. එම ගොඩනැඟිල්ලේ මහේස්ත්‍රාත්වරයාගේ නිල නිවාස, සිරමැදිරි සහ අධිකරණ ශාලාව වැනි කොටස් දක්නට ලැබිණි.
ඉතා කෙටි අධිකරණ ක්‍රියාවලියකින් අනතුරු ව දඬුවම් නියම කිරීම සිදු විය. එහිදී මහේස්ත්‍රාත්වරයාගේ අවධානය යොමු වූයේ සාක්ෂිකරුවන් සිදු කළ ප්‍රකාශ පිළිබඳ ව පමණි. පැමිණිලිකරුගේ හෝ විත්තිකරුගේ ප්‍රකාශ පිළිබඳ ව අවධානයක් යොමු වූයේ නැත. අභියාචනා ගොනු කිරීමේ ක්‍රියාවලියක් නොතිබූ අතර මහේස්ත්‍රාත්වරයෙක් ලබා දුන් තීන්දුවක් කිසිදු හේතුවක් මත වෙනස් කිරීමට හැකියාවක් නොවී ය.
දඬුවම් වර්ග
එවකට ක්‍රියාත්මක වූ ප්‍රධාන දඬුවම් ක්‍රම කිහිපයක් විය. බරපතල නොවන ලෙස පහර දීම, බරපතල ලෙස පහර දීම, මෙහෙකාර සේවය, පිටුවහල් කිරීම සහ මරණය ඒ අතර විය. මහේස්ත්‍රාත්වරයෙක් නියම කළ දඬුවම් අනිවාර්යයෙන් ම එම ඛාණ්ඩවලින් එකකට අයත් ඒවා විය. දඬුවම් නියම කිරීම පිළිබඳ ව මහේස්ත්‍රාත්වරයා ගේ තීරණය අවසන් තීරණය වූ අතර, එම දඬුවම ක්‍රියාත්මක කිරීම අනිවාර්ය විය. එම තීරණය ක්‍රියාත්මක කිරීමේ දී අපරාධකරුගේ වයස අදාළ නොවී ය.
කෙසේ වෙතත් මෙම දඬුවම් නියම කළේ විශේෂයෙන් නම් කළ අපරාධ සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයන්ට පමණි. දැඩි දඬුවම් හිමි විය යුත්තේ කුමන අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලයන්ට ද යන්න පිළිබඳ ව අදාළ මාර්ගෝපදේශ සකස් කර තිබිණි. උදාහරණයක් ලෙස ටෑං රාජවංශය චීනය පාලනය කළ සමයේ එරට අපරාධ ප්‍රධාන කොටස් හතරකට බෙදා තිබිණි.
බරපතල අපරාධ
අධිරාජ්‍යයාට එරෙහි අපරාධ (කැරලි ගැසීම සහ වෘත්තිකයන් නිසි පරිදි සිය රාජකාරිය ඉටු නොකිරීම), රාජද්‍රෝහී අපරාධ (උසස් රාජ්‍ය නිලධාරියෙක් ඝාතනය කිරීම, යම්කිසි නගරයක් පාවා දීම), පවුලට එරෙහි අපරාධ (පවුලේ සාමාජිකයෙක් ඝාතනය කිරීම, පවුලේ සාමාජිකයෙක් වහල් සේවය සඳහා අලෙවි කිරීම, වැඩිහිටියන් රැකබලා ගැනීමට අසමත් වීම), සහ වස දී යම් පුද්ගලයකුටහානි කිරීම (විෂ සහිත ගෝනුස්සන්, මකුළුවන්, සර්පයන් සහ මැඩියන්ගෙන් සෑදූ මිශ්‍රණයක් යම් අයකුට ලබා දී මිය යාමට සැලැස්වීම) එම අපරාධ අතර විය.
එවැනි බරපතල අපරාධකරුවන්ට ලබා දුන් දඬුවම් කායික මෙන්ම මානසික වශයෙන් ද ඉතා වේදනාකාරී ඒවා විය. ඒ අතරින් මානසික වශයෙන් වේදනාකාරී දඬුවම් ක්‍රමයක් වූයේ ජලය සහ ඇසිඩ් මිශ්‍රණයක් අපරාධකරුගේ ශරීරයට ටිකෙන් ටික වැටෙන්නට සැලැස්වීම යි. එම මිශ්‍රණය සෙමින් අපරාධකරුගේ සම හරහා ශරීරයට ඇතුළු වූ අතර, එය මොළයට කා වැදීමත් සමඟ ඔවුහු උමතුභාවයට පත් වූහ.
අවයව කපා දැමීම
රත් කළ යකඩයක් භාවිතයෙන් හංවඩු ගැසීම සහ අත් පා හෝ ලිංගේන්ද්‍රිය කපා දැමීම තවත් දඬුවම් ක්‍රමයක් විය. සමහර පුද්ගලයන් නිර්වින්දනය කිරීමකින් හෝ තොර ව ඔවුන්ගේ නාසය සම්පූර්ණයෙන් ම කපා දමා ඇත. මෙම දඬුවම් ක්‍රමය භාවිත කර ඇත්තේ සොරකම් සහ ස්ත්‍රී දූෂණ සහ ළමා අපචාර වැනි අපරාධ සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ පුද්ගලයන්ට දඬුවම් දීම සඳහා ය.
දැවයෙන් සකස් කළ විශාල රාමුවක් වැනි යමක් අපරාධකරුගේ ගෙල වටා සවි කිරීම තවත් දඬුවම් ක්‍රමයක් විය. එම රාමුවේ බර ඔවුන් සිදු කර ඇති අපරාධයේ බරපතල බව අනුව වෙනස් විය. ඔවුන් ඊට පෙර සිදු කළ වැරදි ලැයිස්තුවක් ද සියලු දෙනාට පෙනෙන සේ එම රාමුවට අලවා තිබිණි. එම රාමුව ද දරාගෙන අපරාධකරුවන්ට නගරය මැදින් ඇවිද යාමට සිදු වූ බව කියැවේ.
පහරදීම
අපරාධකරුවන්ට පහරදීම තවත් දඬුවම් ක්‍රමයකි. බොහෝ විට උණ කඳන් හෝ වේවැල් භාවිතයෙන් එම පහරදීම් සිදු කර ඇත. පහරකෑම් ප්‍රමාණය කොපමණ ද යන්න ඒ ඒ අපරාධය අනුව තීරණය විය. එය බරපතල ලෙස පහරදීම සහ බරපතල නොවන ලෙස පහරදීම යනුවෙන් කොටස් දෙකකට වෙන් කර තිබිණි. බරපතල ලෙස පහරකෑමට ලක් වූ බොහෝ දෙනෙක් ජිවිතක්ෂයට පත් වූහ.
අධිරාජ්‍යයාට විරුද්ධව කුමන්ත්‍රණය කිරීම සහ රාජද්‍රෝහී කටයුතු සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයන් උසින් සහ පළලින් අඩු කුඩා කූඩුවක් තුළ රඳවා තැබීම ද සිදු විය. එහි සිර කළ තැනැත්තාගේ අත් සහ පාදවලට විලංගු දමා තිබිණි. එම කුටිය තුළට සෑම දිනක ම එක් ගලක් බැගින් දමා ඇත. ගල් දමා එහි ඇති ඉඩකඩ ඇසිරීම නිසා ස්සවනය කිරීමට නොහැකි වන අපරාධකරුවන් එම කුටිය තුළ මිය ගොස් ඇත.
කැපුම් තුවාල
එකල ක්‍රියාත්මක වූ අතිශය වේදනාකාරී දඬුවම් ක්‍රමයක් ලෙස ශරීරයේ කැපුම් තුවාල සිදු කර මරණයට පත් කිරීම හැඳින්විය හැකි ය. අපරාධකරු ප්‍රසිද්ධ ස්ථානයක පිහිටි කණුවකට තබා ගැට ගසා ඔවුන්ගේ ශරීරයේ තැන තැන කපා දැමීමට දඬුවම් පමුණුවන්නෝ ක්‍රියා කළහ. සමේ කැබලි ගලවා ඉවත් කිරීම, මාංශපේශී ඉවත් කිරීම සහ ශරීරයේ යම් යම් කොටස් කපා ඉවත් කිරීම මඟින් අපරාධකරුවන්ට දැනෙන වේදනාව වැඩි කිරීම සිදු විය.
මෙම දඬුවම් ක්‍රම පිළිබඳව හදාරා ඇති විශේෂඥයන් පවසන්නේ සියලු අපරාධකරුවන්ට තරාතිරම නොබලා මෙම දඬුවම් පමුණුවා ඇති බව යි. අපරාධකරුවන්ට දැනෙන වේදනාව හැකි උපරිමයෙන් වැඩි වන ආකාරයෙන් නිර්මාණාත්මක ලෙස එම දඬුවම් ක්‍රම සකස් කර තිබිණි. මෙම දඬුවම් ක්‍රමවලින් බොහොමයක් 1920 දශකයේ මුල් භාගයේ දී, එනම් චීනය ජනරජයක් බවට පත් කිරීම සඳහා කටයුතු සම්පාදනය වූ කාලයේ අහෝසි කර ඇත.