Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

1928 කටුකුරුන්ද මාරාන්තික දුම්රිය අනතුර

1928 මාර්තු 12 වන දින රාත්‍රියේ කළුතර කටුකුරුන්දේ දී මහා දුම්රිය අනතුරක් සිදුවිය. එය එතෙක් ලංකා දුම්රිය ඉතිහාසයේ සිදු වූ විශාලතම අනතුර විය. කොළඹ සිට ගාල්ලට යන, සහ ගාල්ල දෙසින් කොළඹ එන දුම්රිය දෙකක් එකිනෙක මුහුණ ලා ගැටුම අසල ප්‍රදේශ කිහිපයකටම දැඩි පිපුරුම් හඬක් සමග ඇසුණු සිද්ධියක් විය. ඒ අනතුරෙන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර 52 දෙනෙකු තුවාල ලැබී ය. මෙය එකල ලංකාවේ ජනතාවගේ හදවත් සසල කළ මහා අනතුරක් විය. ඒ ගැන සෙවීමට එවකට ලංකාවේ ආණ්ඩුකාරයා ද මැදිහත් වී කොමිසමක් පත් කළ මුත් එය හරිහැටි ක්‍රියාත්මක නොවූ බව වාර්තාවල සඳහන් වේ. එම සිදුවීම සම්බන්ධයෙන් එවකට අධ්‍යාපන ලේකම්ව සිටි, ව්‍යවස්ථාදායක සභාවේ මහජනතාවගේ ප්‍රශ්ණ ආදිය නිතර මතුකළ සී. ඩබ්. ඩබ්. කන්නන්ගර ද අදහස් දක්වා තිබේ.

“අපේ දුම්රිය සේවය හොදින් ක්‍රියාත්මක වන බව යටත්විජිත ලේකම් කියනවා. ඒ හින්දාම තමයි මීට කලින් නොවුන වගේ දරුණු අනතුරක් වුනාම එතරම් හොඳ දුම්රිය සේවයක මේ වගේ දරුණු අනතුරක් සිදුවුණේ ඇයි කියලා හොයා බලන්න අපි පරීක්ෂණ පවත්වන්න ඕනා”, යැයි කන්නන්ගර 1928 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවේ දී අදහස් දක්වා තිබේ. ඔහු ඇතුළු මහජන නියෝජිතයෝ යටත් විජිත පාලකයින්ගෙන් නිසි පරීක්ෂණයක් මේ සම්බන්ධයෙන් ඉල්ලා තිබේ. එහෙත් එවැනි නිසි පරීක්ෂණයක් සිදුකිරීම දිගින් දිගටම කල් යන්නට විය.

එදා වාශ්ප දුම්රියක් (farrail.com)

දුම්රිය අනතුරු සහ මෙම අනතුර

ලොව දුම්රිය අනතුරු සම්බන්ධයෙන් සැලකූ කල, ස්වාභාවික ව්‍යසනයක් නිසා වැඩිම පිරිසක් එක තැනක දී ජීවිතක්ෂයට පත්වූ අවස්ථාවක් වෙත් නම් ඒ 2004 සුනාමි අවස්ථාවේ පැරැලිය ආසන්නයේ දී වූ ඛේදවාචකය විය. ත්‍රස්ථවාදී ප්‍රහාර හරහා දුම්රිය කිහිපයක්ම අනතුරට ලක් වූ අතර 1996 දී දෙහිවල දුම්රිය බෝම්බයෙන් පුද්ගලයින් 64 දෙනෙක් ඝාතනයට ලක්විය. දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ මහා අනතුරකින් වැඩිම පිරිසක් ජීවිතක්ෂයට පත් වි ඇත්තේ 1928 දී කටුකුරුන්ද දුම්රිය අනතුර හේතුවෙනි. වර්තමානයේ මෙන් දුම්රිය සේවාව ප්‍රචලිත නොවූ ඒ කාලයේ රාත්‍රී දුම්රියවල එතරම් මඟීන් පිරිසක් ගමන් කළේ නැත. එම නිසා ගැටුමේ ප්‍රබලතාවයට සාපේක්ෂව සිදුවූ ජීවිත හානි යම් තරමකින් හෝ අඩු විය.

අද කටුකුරුන්ද (lankadeepa.lk)

ධාවනය වූ දුම්රිය නිසා සිදු වූ අනතුර

ඉතා මෑතක දී රඹුක්කන ආසන්නයේ දුම්රිය අනතුරක් සිදු වූ නමුත් එහි දී සිදුවූයේ නවතා තිබූ දුම්රියක විත් ධාවනය වූ දුම්රියක් ගැටීම ය. එහෙත් 1928 අනතුරේ දී දුම්රිය එකිනෙක ගැටෙන්නේ දෙකම ධාවනය වෙමින් පවතින අවස්ථාවේ දී ය. මුහුදබඩ මාර්ගයේ කටුකුරුන්ද වෙට්ටුමකඩ ප්‍රදේශයේ දී මෙම අනතුර සිදු වූ අතර එහි විශාල පිපිරුම් නාදය සැතපුම් ගණනාවක් යනතෙක් ඇසුනු බව ප්‍රදේශවාසීන් ප්‍රකාශ කර තිබුණි. එකල දුම්රිය වාෂ්ප බලයෙන් ධාවනය වූ අතර, දුම්රිය සංඥා දීම සිදුවුණේ පැරනි ටැබ්ලට් ක්‍රමයට ය.

ගැටුනු දුම්රිය වල විස්තර

ගැටුනු දුම්රිය දෙක අංක 547 සහ 250 දරණ දුම්රිය විය. එයින් අළුත්ගම දක්වා ධාවනය වීමට නියමිත වූ 547 මරදානෙන් ධාවනය ආරම්භ විය. එය බෙනට් නම් රියදුරෙකු විසින් පැදවූ අතර, අංක 250 දරණ දුම්රිය රියදුරු ක්‍රෝව් විසින් මාතර සිට කොළඹ දක්වා ධාවනය වෙමින් පැවතුනි. මාතර සිට කොළඹ දෙසට ආ දුම්රියේ මඟී මැදිරි 8කි. ඊට අමතරව මාළු ප්‍රවාහන ගැලක් සවිකර තිබුනි. ගැටුම ඇතිවීමට ප්‍රථම 250 දුම්රිය මාතර සිට පයියාගලට පැමිණ තිබූ බවත්, මරදානේ සිට පැමිණි දුම්රිය කළුතර දකුණ දක්වා පැමිණ තිබූ බවත් පසුව සාක්ෂ්‍ය මඟින් අනාවරණය කරගන්නා ලදී. එවකට තනි මඟක් වූ මේ කොටසේ දී ටැබ්ලට් ක්‍රමය සාර්ථක ක්‍රමයක් වුවත්, කොතැනක හෝ වැරදීමක් සිදුවී තිබුනි.

දුම්රිය අනතුරේ දසුන්. (travelkalutara.com)

ගැටුමට පෙර

ගැටුම සිදුවූයේ රාත්‍රී අටට පමණ වන අතර මරදානේ සිට පැමිණි දුම්රිය පැයට සැතපුම් 20-25ක මධ්‍ය වේගයකින් ධාවනය වුණි. එකල ද අද මෙන් මේ කලාපයේ පොල් වගාව පැතිරී තිබුණු බැවින් අඳුරු පරිසරය තුළ තවත් දුම්රියක එළිය රියදුරන්ට දිස් නොවන්නට ඇත. දුම්රිය මාරුවීමට නියමිතව තිබී ඇත්තේ පයියාගල දී ය. එහෙත් කොළඹ සිට පැමිණි දුම්රිය විනාඩි 18ක ප්‍රමාදයක් තිබූ නිසා දුම්රිය දෙක කළුතර දී එකිනෙක මාරු වීමට සැලසුම් කොට තිබී ඇත. එහෙත් අවාසනාවකට දුම්රිය ස්ථානයන් දෙක අතර සිදුවූ මෙම ගනුදෙනුව දුම්රිය දෙකට හරිහැටි සන්නිවේදනය වී නොතිබුණි.

මහා අනතුර

දුම්රිය දෙකෙන් මාතර සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියට වැඩි අලාබහානි සිදුවිය. දුම්රිය දෙකම වාෂ්ප එන්ජින් වූ අතර දුම්රිය දෙකේම එකිනෙකට ගැටුනේ එන්ජිම කොටස විය. මෙම අනතුරින් අවාසනාවන්ත ලෙස දුම්රිය දෙකේම රියදුරන්, ගිනි මොලවන්නන්, සහ ගාඩ්වරුන් සියලු දෙනා මියගියෝ ය. ක්‍රෝව් නම් රියැදුරා එවෙලේම මියගිය අතර, බෙනට් පසු දා උදෑසන වනතෙක්ම සිරව සිට මියගොස් තිබිණි. මියගිය 27 දෙනා අතර සිය මධුසමය සඳහා බෙන්තොට යමින් සිටි යුවලක් ද විය.

පසුව අනාවරණය වූයේ අලුත්ගම දුම්රියේ රියැදුරු බෙනට්, කළුතර උප ස්ථානාධිපති විසින් ලබාදුන් උපදෙස් වැරදියට වටහාගෙන දුම්රිය ධාවනය කර ඇති බවයි. නිවැරදි සයිඩිමට දුම්රිය ඉවත් කර නොගෙන ධාවනය වනු දුටු උප ස්ථානාධිපති දුම්රිය පසුපසින් සිය තොප්පිය වනමින් දුවගොස්, එහි ගාඩ්වරයාගේ අවධානය ගැනීමට තැත්කර ඇති නමුත් එය ව්‍යර්ථ වී ඇත.

lankadeepa.lk

කල දුටු කල වල ඉහගන්නෝ

2004 සුනාමි අවස්ථාවේ යාන්තම් පණ අදිමින් සිටි දුම්රිය මඟීන්ගේ කණ කර අතගාගැනීමට සැරසුනු මෘගයන් ගැන අපට අසන්නට ලැබුණි. එදා 1928 දී ද එවැනි අමනුෂ්‍යයෝ මිනිසුන්ගේ කණ කර ඉණ අතගාගන්නට පෙරට විත් තිබුණි. කටුකුරුන්ද ආසන්නයේ ඒ කාලයේ ජනප්‍රිය වූ ධනපතින් කිහිපපොලක්ම එසේ දුම්රිය අනතුරින් පෝසත්වූවන්යැ යි එකල ගම්මුන් අතර කටකතා ද පැතිරී තිබුණි.

දුම්රිය නිසා රටේ ඇතිවූ කළබගෑනිය

දුම්රිය අනතුරින් සිදුවූ හානිය ගැන රට පුරා මහත් කතාබහ ඇතිවිය. ඒ කාලයේ තිබූ සිමිත බලය යටතේ පත්ව සිටි රාජ්‍ය මන්ත්‍රණ සබාවේ ඇත්තන් ද මේ දුම්රිය අනතුර නිසා මහ ජනතාවගේ දෝශ දර්ශනයට ලක් විය. යටත් විජිත පාලකයින් මේ ගැන පරීක්ෂණ කිරීමට කර ඇරි අතර පසුව ලංකාවේ මඟීන් ගේ සංගම සහ අනෙක් බලවේගවල උවමනාවටම මදුරාසියෙන් ද මෙහි පැමිණ පරීක්ෂණ සිදුකරන ලදී. දුම්රිය මඟී සංගම ප්‍රබල ලෙසම මේ අනතුරේ දී මැදිහත් විය. ඔවුන් විසින් මියගිය මඟීන් වෙනුවෙනුත්, නැවත මෙවැනි වරද නොවීම වෙනුවෙනුත් සාධාරනයක් යටත් විජිත පාලකයින් ගෙන් ඉල්ලා සිටින ලදී.

දුම්රිය අනතුරු යනු බොහෝවිට තාක්ෂණික අතපසුවීම් නිසා සිදුවන ඒවා ය. එහෙත් ඒ ගැන නිසි ආකාරයෙන් අධ්‍යයනය නොකළහොත් දුම්රිය අනතුරු වළකාගැනීම සැබැවින්ම අපහසු ය. දුම්රිය ගැන කතාබහ දැඩිව ඇසුනු පසුගිය කාලයේ ද ජීවිත හානි නැතත් දුම්රිය අනතුරු එක දෙක වාර්තා විය. දුම්රිය සේවාව වැනි විශාල පද්ධතියක දී වැරදි අධ්‍යයනය කොට, ඒවායෙන් පාඩම් ඉගෙන නොගතහොත් අනාරක්ෂිත දුම්රිය වටපිටාවක් ඇතිවනු ඇත.

කවර පොටෝව – picclick.co.uk

Related Articles