Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නිශ්ශංකමල්ල වැඩ පෙන්නූ පැරකුම් රජුගේ දීප උයන

නිශ්ශංකමල්ල කියන්නේ අනුන්ගෙ දේවල්වලට තමන්ගෙ නම දාගත්තු රජ කෙනෙක්. හරියට දැන් අපට දැකගන්න ලැබෙන සමහර දේශපාලනඥයන් වගේ. ඔහු සෙල්ලිපි 35කට වැඩි ප්‍රමාණයක තමන්ගේ වැඩ ගැන රටට කියලා තියනවා. අපේ රටේ වැඩිම සෙල්ලිපි කොටල තියෙන්නෙත් මේ රජ්ජුරුවොම තමයි. හැබැයි පස්සෙ හෙළිවුණේ ඔහු උප්පැන්න ලියාගත් වැඩවලින් සමහරක් මහා පරාක්‍රමබාහුගේ නිර්මාණ බව යි. දීප උයනත් ඒ වගේ තැනක්. පොළොන්නරු ගිය විට යන්න වටින නටබුන් පිරුණු සුන්දර නිස්කලංක බිම්කඩක්. 

පැරකුම් රජුගේ දීප උයන

රාජ සභාව සහ වෙනත් ගොඩනැගිලි- mypostcardpage.blogspot.com

පරාක්‍රම සමුද්‍ර වැව් ඉවුරේ තානායම අසල පිහිටා තිබෙන නටබුන් භූමියට කියන්නේ දීප උයන. වැව් තෙර පිහිටි දූපතක් වගේ හින්දා ඒකට රජ කාලෙ ඒ නම දෙන්න ඇති. ගස්වැල්වල හෙවණ සහිත වැව පිස එන සිසිල් සුළං වැදෙන මේ ස්ථානය පොළොන්නරුවේ කර්කශ දේශගුණය පලවා හරින තැනක්. එය පොළොන්නරුවේ පුරාණ ඇතුළු නගර නටබුන් භූමියෙන් ඈත්ව වෙනම පිහිටා තිබෙනවා. නිශ්ශංකමල්ල රජ්ජුරුවො (1187-1196)  වාසය කරමින් රටේ පරිපාලන කටයුතු කළේ එතන සිට බවයි හෙළිවී තිබෙන්නේ.

දීප උයනට මග – Kusumsiri Wijayawardhana

මුලින්ම දීප උයනේ ගොඩනැගිලි, නාන පොකුණු ඉදිකර විවේක ස්ථානයක් බවට පත්කරගෙන තිබෙන්නේ මහා පරාකුමබාහු රජු යි (1153-1186). එය දීපුය්යානය යන පාලි වචනයෙන් මහාවංශයේ හඳුන්වා තිබෙනවා. කොටු පවුරෙන් වටවූ මාලිගයෙහි බටහිර දෙසින් එය දක්නට ලැබෙනවා. මෙය මහ පැරකුම්බා රජු සිය විනෝද උයන ලෙස භාවිත කළ බවයි පේන්නේ. ඔහු ස්නානය සහ ජල ක්‍රීඩා සදහා එය යොදාගත බව නටබුන්වලින් පේනවා.

 රාජසභාව- dreamstime.com

මෙහි ගොඩනැගිලි රාශියක් ගැන මහාවංශය සදහන් කරනවා. ඒවායින් වැඩිහරියක් අද හඳුනාගැනීම නම් අපහසු යි. එම ගොඩනැගිලි මෙසේ යි:

සම්පූර්ණ හුණුගලින් නිමවන ලද ධවල ඝරය

විද්‍යා මණ්ඩපය

ඕවිලි මන්දිර හෙවත් දෝලා මණ්ඩපය

ක්‍රීඩා මණ්ඩපය

අනන්ත පුෂ්කරණිය (පොකුණ)

චිත්‍ර පොකුණ

මයුර මණ්ඩපය

සනි මණ්ඩපය

ආදස මණ්ඩපය

ශෘංභාර විමන

නිශ්ශංකමල්ලගේ කාලිංග උයන

කාලිංග උයනේ රාජ සභාව- Kusumsiri Wijayawardhana

ඊට පසු නිශ්ශංකමල්ල රජු පැරණි රජවරු වාසය කරපු නගරයෙන් ඈත්වෙලා තමන්ට වෙනම මාලිගාවක් සහ පරිපාලන සංකීර්ණයක් දීප උයනේ ඉදිකර ගත්තා. එයට තමන්ගේ නමේ කොටසක් වන කාලිංග උද්‍යානය කියන නම දැම්මා. ඔහුගේ සෙල්ලිපි අනුව පෙනෙන්නේ නාන පොකුණ, රජ මාලිගය, සහ රාජසභා මණ්ඩපය එහි ඉදිකරවා තම ප්‍රයෝජනයට ගත් බව යි.

රජ මාලිගය

රජ මාලිගා නටබුන්- attractionsrilanka.com

නිශ්ශංකමල්ල රජුට මහ පැරකුම්බාට වගේ විශාල මාලිගාවක් ඉදිකර ගැනීමට අවස්ථාවක් ලැබිලා නැහැ. මෙහි තිබෙන මාලිගා ගොඩනැගිල්ල තරමක් පොඩියි. ආයත චතුරස්‍රාකාර එහි දිග අඩි 133ක් සහ පළල අඩි 63ක්. අද දකින්න ලැබෙන්නේ ගඩොල් පාදම පමණ යි. මෙහි පියස්ස දැව කුලුනු මත තනන්නට ඇතැයි සැලකෙනවා. ගොඩනැගිල්ලට පිවිසීමට දෙපසින්ම දොරටු තබා තිබෙනවා.

රාජකීය ගොඩනැගිලි- Sarisaraweb- N.H.Samarasinha

නිශ්ශංකමල්ලගේ හැටදාගේ බිත්ති සෙල්ලිපියේ සඳහන් කර තිබෙන්නේ පෙර රජවරු සත් අවුරුදු සත් මසකින් ගොඩනැංවූ මාලිගා බලා වදාරා පන්සාලිස් දවසක් ඇතුළත සත්වන මාල් මාලිගාව ගොඩනැංවූ බව යි. එහි වාසල් පවුරු ආදිය ද තැනවූ බව සෙල්ලිපියේ දැක්වෙනවා. සෙල්ලිපියේ මහල් මාලිගාවක් ගැන කිව්වත් නටබුන් අනුව නම් මහල් තිබූ බවට සලකුණු නැහැ. අනර්ඝ මණ්ඩයක් කරවා එහි සිට ඇත්පොර නැරඹූ බව ද ලියා තිබෙනවා. පුරාවිද්‍යාඥයන් පවසන්නේ මේ මාලිගය ඉදිකරන්නට ඇත්තේ ඒ වන විට අබලන්ව තිබූ වෙනත් ගොඩනැගිලිවල කොටස් එකතු කර බව යි. මෙය පඩුවස් නුවර රජ මාලිගයේ සැලැස්මට තරමක් සමාන ගොඩනැගිල්ලක්.

රාජ සභා මණ්ඩපය

රාජ සභාව ඈතින්- lakpura.com

දීප උයනේ ගොඩනැගිලි අතරින් වඩාත් විශේෂිත ස්මාරකය තමයි රාජ සභා මණ්ඩපය. මාලිගයට උතුරු දෙසින් පිහිටා තිබෙන මෙය පුරාණ රාජ සභාවක සංයුතිය හඳුනාගැනීමට අදත් උපකාරී වන සිහිටවනයක්. එක මත එක පිහිටි ශෛලමය වේදිකා යුගලයක් මත තමයි මණ්ඩපය තනා තිබෙන්නේ. එයට ඇතුළුවන ප්‍රධාන දොරටුව උතුරු දෙසින් දැකගත හැකියි. මෙය චාම් කුලුනුවලින් යුක්ත යි. 12 බැගින් වූ කුලුනු පේළි 4ක් මෙහි පිහිටා තිබෙනවා.

රාජ සභාව ඉදිරිසින් – Kusumsiri Wijayawardhana

මෙම ගල්කුලුනු මත පියස්ස රදවා තිබෙන්නට ඇති. රජු වැඩ සිටින සිංහාසනය ගොඩනැගිල්ලේ දකුණු අන්තයේ දැකගත හැකියි. සිංහාසනය සහිත කළුගල් සිංහ රූපය අගනා මූර්තියක්. එය ඉතා තේජස් විලාසයක් ගන්නවා. සිංහයාගේ පාමුල මෙසේ කොටා තිබෙනවා:

ශ්‍රී විරිදු රාජ වීර වේශ්‍යා භුජංග නිශ්ශංක ලංකේෂ්වර කාලිංග චක්‍රවර්ති ස්වාමින් වැඩහුන් වීර සිංහාසනය යි.

නිශ්ශංකමල්ලලේ රාජ්‍ය නිලධාරින් ගැන එහි කුලුනුවල කොටා තිබෙන්නේ මේ විදිහට යි:

යුවරජ හෝ මාපා

ඈපාවරු

සෙනෙවිරදුන්

ප්‍රධානයන් පොත්වරුන් ඇතුළු කායස්ථයන්

මාණ්ඩලිකවරුන්

චෞරාසිවරුන්

කඩගෝෂ්ටියෙ ඇත්තන්

කුලුනුවල නිලධාරි නම් කොටා ඇති අයුරු –  Kusumsiri Wijayawardhana

පුරාණ රාජ සභාවක් ගැන සෙල්ලිපි මඟින් හෙළිවෙන්නේ මෙම ස්ථානයෙන් පමණ යි. ඒක ගැන නම් අපි නිශ්ශංකමල්ලට ස්තුති කරන්න ඕනෑ. මෙම ගොඩනැගිල්ලේ පළමු මාලකයේ පාදම පරාක්‍රමබාහුගේ රාජ සභා මණ්ඩපය මෙන් ගමන් ගන්නා හස්ති රූප සහිතකැටයම් පුවරුවලින් අලංකාර කර තිබෙනවා. ඉන් කිහිපයක් අදත් නැරඹීමට ඉතිරිව තිබෙනවා. දෙවන මාලකය අලංකාර කර තිබෙන්නේ එක් අතක් ඔසවා ගත් සිංහ රූප පෙළකින්.

රාජ සභාවේ සිංහයා

සිංහ රුවේ මුහුණ- dreamstime.com

ටොන් 10ක් බර රාජ සභාවේ සිංහ රූපය 1896 දී කොළඹ කෞතුකාගාරයට රැගෙන යාමට ඉංග්‍රීසින් කටයුතු කළා. ඒ එහි වැදගත්කම දුටුව නිසයි. ඒ සදහා මාස දෙකක් ගතවූ බව පැරණි වාර්තාවල සදහන්. නමුත් එය වඩාත් වැදගත් වන්නේ නියමිත ස්ථානයේ පිහිටුවීම නිසා යළිත් මෙතැනට රැගෙන ආවේ 1965 දී යි.

තේජසින් යුත් සිංහ රුව- lakpura.com

ඒ කාලෙ පුරාවිද්‍යා කොමසාරිස් වුණේ ආචාර්ය චාල්ස් ගොඩකුඹුර යි. ඔහු සිය වාර්තාවේ මෙසේ සදහන් කරනවා:

මේ වතාවේ සිංහයා තම පැරණි නිවහනට ගිය ගමන එදා ගමනට වඩා පහසු වන්නට ඇතුවාට සැක නැත. දියුණු වුණු ගමනාගමන ක්‍රමවලින් ප්‍රයෝජන ලැබූ සිංහයා මේ වතාවේ මුළු ගමනටම ගත්තේ එක දිනක් පමණකි. සිංහයා ගෙනයාම පහසු කිරීම සදහා වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ටොන් 10 බුල්ඩෝසරයක් ද ට්‍රේලරයක් ද ලැබුණි. 

(1965-66 පුරාවිද්‍යා පාලන වාර්තාව)

හඳුනානොගත් ගොඩනැගිල්ලක්

12 හදුනානොගත් ගොඩනැගිලි – Sarisaraweb- N.H.Samarasinha

කවාකාර තටාකය අසල රතු සුදු සහ නිල් පැහැයෙන් යුත් බදාම තට්ටු සහිත බොරදමින් සැරසිලි කළ කුඩා ගොඩනැගිල්ලක අවශේෂ තිබෙනවා. 12 වන සියවසේ පුරාණ ගොඩනැගිල්ලක් ගැන අදහසක් ලබාදෙන මේ ඉදිකිරීම කුමකට යොදා ගත්තාදැ යි පැහැදිලි නැහැ. එහි මතුපිට බිත්තියේ චතුරස්‍ර ස්තම්භ සහිත හංස පේළි සැරසිලි රටා දකින්න ලැබෙනවා. ඉහළ මාලකයට ගොඩවීමට තැනූ පඩිපෙළක කොටසක් ද තිබෙනවා. මෙහි එක ද ජනෙල් කවුළුවක්වත් දකින්න නැහැ. ඒ නිසා සොහොන් ස්මාරකය කියන නම මෑතක දී ලබාදී තිබෙනවා.

දීප මන්දිරය

දීප මන්දිරය ජලය වැඩි අවස්ථාවක- lankadeepa.lk

රජසභා මණ්ඩපයට බටහිරින් වැවේ ඉවුරට ආසන්නව ජල තලයේ දීප මන්දිරය පිහිටා තිබෙනවා. වැවේ ජලය වැඩි කාලයට එයට යාමට ඔරුවක් අවශ්‍ය යි. පරාක්‍රමබාහුගේ මාලිගයට සමාන කුඩා ආකෘතියක් මෙහි ඉදිකර තිබෙනවා. එය පැරකුම් රජුගේම නිර්මාණයක්.

දීප මන්දිර නටබුන්- Sarisaraweb- N.H.Samarasinha

සෘජු කෝණාකාර වේදිකාවක් මත ගොඩනැගිල්ල ඉදිකර තිබෙනවා. වේදිකාවට පිවිසීමට සෝපාන පන්තියක් ද සහිතයි. එහි මණ්ඩපයෙහි ශාලාවක් ද ප්‍රධාන කාමර වටකොට ගත් ආලින්දයක් ද වෙයි. ගඩොල් පාදම්වලින් යුත් මෙහි කළුගල් කුලුනුවලින් ඉදිකර තිබෙනවා. මෙය පසුව නිශ්ශංකමල්ල රජුත් භාවිත කරන්නට ඇති බව අපට සිතෙනවා.

නාන පොකුණු

නාන පොකුණුවලට ජලය ලබාගන්නා සොරොව්ව – Kusumsiri Wijayawardhana

රාජ සභා මණ්ඩපයට එපිටින් පරාක්‍රම සමුද්‍ර බැම්මට ආසන්නව වර්තමාන තානායම අසල මාලක තුනකින් යුක්තව භූමිය යොදාගත් නාන පොකුණු ඉදිකර තිබෙනවා. එය ගඩොල් සහ කළුගල් යොදාගෙන කළ නිර්මාණයක්. ඒවාට නළ මාර්ගයෙන් ජලය ලබාගෙන ඇත්තේ පැරකුම් සමුදුරට යෙදූ සොරොව්වක් මඟින්. මේ සොරොව්වත් අපට දැකබලා ගන්න පුළුවන්.

ජල පිහිලි – Kusumsiri Wijayawardhana

මෙහි පොළෝ මට්ටමින් ඉහළින්ම දකින්න ලැබෙන වටකුරු මාලකය ඇදුම් මාරු කිරීමට යොදාගත් එකක් විය හැකියි. ඊට පසු ඇත්තේ ජල පිහිලි සහිත නාන කුටිවලින් යුත් කොටස යි. මෙතැනට පැමිණි විට පිටරට උපාංග සවිකරපු අද කාලෙ නාන කාමර තමයි මතක් වෙන්නේ. මෙයින් පිටවන අපවිත්‍ර ජලය ඇළ මාර්ගයක් යොදාගෙන ඉවතට ගලායාමට සලස්වා තිබෙනවා.

ආශ්‍රිත මූලාශ්‍රයයන්:

නිශ්ශංකමල්ල රජතුමා- ප්‍රචාරක සන්නිවේදනය, ස්මාරක සෙල්ලිපි- කුසුම්සිරි විජයවර්ධන

නිශ්ශංකමල්ල- මැන්දිස් රෝහණදීර

පොළොන්නරුව මධ්‍යකාලීන අග නගරය- අනුරාධ සෙනෙවිරත්න

පුරාවිද්‍යා පාලන වාර්තාව- 1965-66

පොළොන්නරුව- ජයන්ති අබේරත්න,රොහාන් ගුණසිරි

කවරය - රාජ සභාවේ සිංහයා සහ දඹුල්ලේ නිශ්ශංකමල්ල ප්‍රතිමාව-Kusumsiri Wijayawardhana

Related Articles