ගංගා පිටාර ගැලීමෙන් යටවන පහත්බිම් වල මඩෙහි පහසුවෙන් වැවෙන වී වගා කිරීම, වර්ග කිලෝමීටර දහස් ගණනාවක් යටකරමින් ගංගා ද්‍රෝණි පිටාර ගලන ඉන්දියාවේ හා චීනයෙන් ඉපදුනි. ජනගහනය වැඩිවීමත් සමඟම වාරිකර්මාන්ත ඉදිකර වැසි ජලය රඳවාගෙන, ඒ ඔස්සේ ගොවිතැන් කටයුතු කිරීමට මිනිසා යොමුවිය. ලංකාවේ වාරි කර්මාන්තය එයටම ආවේනික වූ විශේෂිත ඉතිහාසයකට උරුමකම් කියනු ලැබේ.
අතීතයේ අහස් දියෙන් පිරෙන කුඩා වැවක් තනා පවුල් කිහිපයකට ජීවන වෘත්තිය සලසාගෙන සිටි ජනයාට රජවරුන් ආදී ප්‍රාදේශීය පාලකයින් මැදිහත් වී තරමක් විශාල වැව් අමුණු තනා දුන්නේය. එයින් ඉදිරියට ගොස් එකිනෙකට සම්බන්ධ ජාලයක් වන සේ ගංගා හරස් කොට, අමුණු බැඳ ඇලවල් ඔස්සේ සැතපුම් තිහ-හතළිහ වතුර ගෙනැවිත්, මහා වැව් පිරවූ ජාලගත වාරි ශිෂ්ඨාචාරයේ ප්‍රමුඛයා වසභ රජු විය. පසුකාලීනව මහසෙන් රජු සහ පරාක්‍රමබාහු රජු විසින් තව තවත් දියුණු ලද්දේ වුව ද, වසභ රජු ගේ වාරි ශිෂ්ඨාචාරයේ ආරම්භය හෙළ ඉතිහාසයේ දීප්තිමත් සලකුණකි.
වසභ රජුගේ වාරි වික්‍රම
ක්‍රි.ව. 62-106 සීමාවේ රජකම් කළ වසභ රජ අඹන් ගඟ හරස්කොට වේල්ලක් බැඳ කිලෝමීටර 48ක් දිග ඇළහැර ඇල කරවන ලදී. පසුකලෙක මහසෙන් රජතුමා විසින් පුළුල් කොට දීර්ඝ කරන ලද ඇළහැර ඇලෙන් පෝශනය වන වැව් සංඛ්‍යාව සිය ගණනකි. ඒ අතරට මින්නේරි, ගිරිතලේ, කන්තලේ වැනි මහා වැව් ද ඇතුලත්ය.
මහා වැව් බැඳීමේ පූර්වගාමියා වූ වසභ රජ දවස විශාල වැව් 11ක් කළා යැයි සදහන් වී ඇති අතර එයින් මහවිලච්චිය, මානාකැටිය, නොච්චිපතාන, සහ හිරිවඩුන්න වැව් ද ඇති බවට හඳුනාගෙන තිබේ. විසල් ඇල මාර්ගයන් ද 12ක් පමණ ඉදිකර ඇතැයි වංශකතා ගෙනහැර දක්වනමුත් නිසියාකාරව හඳුනාගෙන ඇත්තේ ඇළහැර ඇල පමණි.
වසභ රජ දවස අනුරාධපුර රාජධානියේ වූ කමනීය රන්මසු උයනට තිසා වැවේ සිට උමගකින් දිය ගෙන ආවේ යැයි වංශකතාකරුවන් කියා සිටියත් මෙතෙක් ඒ සම්බන්ධ පුරාවිද්‍යා සාධක හමු වී නැත. යම් විදියකින් එවැනි සාධක හමු වී නම් එය ලෝකයේ පැරණිතම වාරි උමං අතර ඉදිරියෙන්ම සිටින එකක් වනු ඇත.
අපේ පැරණි වාරි විස්කම්
මේ වාරි ඉංජිනේරු කර්මයන් සිදුකරන්නේ අපගේ ගෙවල් දොරවල් තනනවාක් වැනි පර්චස් 10-15ක සුළු වපසරියක නොවේ. ඇලහැර ඇලෙන් සවි ලැබෙන මින්නේරිය වැවෙන් පමණක් අස්වැද්දෙන කුඹුරු ප්‍රමාණය අක්කර හාර දහසකි. අක්කර දස දහස් ගනනින් විශාල වපසරියක් අස්වද්දන්නට අවශ්‍ය ජලය ගබඩාකරගැනීමට හා බෙදාහැරීමට සාර්ථක මහාපරිමාණ වාරි පද්ධතියක් නිර්මාණය කිරීමට එවකට ලක්දිව වාරි ඉංජිනේරුවරු සමත් වූහ. මිසරයේ මල මිනී වලට නිදන්නට මහා පිරමීඩ තැනූයේ වහලුන් තලා පෙලා වැඩ ගැනීමෙනි. අපේ රජවරු කෙසේ හෝ ගොවි ජනතාව එකතුකරගෙන, ඉංජිනේරු කුශලතාවයන්ද මැනවින් භාවිතා කරමින් පස් ටොන් ගණන් දෑත් වීරියෙන්ම පෙරළමින් වැව් තනා ගොවිතැන් සරු කළේ අපේ රටේම ගොවි ජනයාගේ ජල අවශ්‍යතාවය වෙනුවෙනි.
වසභ රජුගේ රාජ්‍ය පාලනය
යාපනයේ වඩමාරච්චි විෂ්ණු දේවාලයට ආසන්න වල්ලිපුරම් ප්‍රදේශයෙන් සොයාගත් සන්නස් පත්‍රය දක්වන පරිදි නාගදීප පළාත බාර රිසිගිරි නම් වූ, වසභ රජුගේ ඇමති විසින් විහාරාරාම තනා භික්ෂූන්ට පූජා කොට තිබේ. පහළ රුහුණු රට සිතුල්පව්වෙන් ද වසභ රජු ගැන සදහන් වාර්තා හමු වේ. වසභ රජ සමස්ත ලංකාවම නමක් රැඳෙන සේ පාලනය කළ නරපතියෙකු බවට මෙය සාධකයක් ලෙස සැලකේ. වසභ රජුට පසු පාලනය හිමි වූ වංකනාථතිස්ස ගැන පමණක් මහාවංශයේ සදහන් වුව ද හැබැස්ස සහ තම්මැන්නා සෙල්ලිපි අනුව රජුට තවත් පුතුන් දෙදෙනකු සිට තිබේ. තම්මැන්නා සෙල්ලිපිය අනුව කුරුණෑගල පළාත එක් පුත්‍රයෙකුත්, හබැස්ස සෙල්ලිපිය අනුව ඌව ආදී දක්ෂිණ පළාත තවත් වසභ රාජ පුත්‍රයකුත් පාලනය කොට ඇත. ඒ අනුව සිය බලය ඇමතිවරුන්ට සහ පුතුන්ට බෙදූ වසභ රජ මධ්‍ය පාලකයා වශයෙන් සිට ඇති බව සිතිය හැකිය.
වසභ රජුගේ රාජ වංශය
විජය රජතුමාගෙන් ඇරඹි රාජ වංශයෙන් රාජ්‍ය පාලනය ලම්බකර්ණ වංශය වෙතට වෙනස් වන්නේ වසභ රජතුමාගේ කාලයේදී ය. වසභ රජතුමා සැබැවින්ම පෙර රාජපරම්පරාවේ උරුමක්කාරයෙකු නොවේ. ඔහු එවකට නැගී එමින් පැවති ලම්බකර්ණ වංශිකයන්ගෙන් පැවතෙන්නෙකි.
සුභ සහ යසලාලකතිස්ස කතාවේ, යසලාලකතිස්ස රජුගේ දොරටුපාල රඟපෑමේ විහිළුවෙන් මිතුරු යස මරා සුභ රජ විය. වසභ ගේ මාමා සුභ රාජ සභාවේ සෙන්පතියෙකු විය. වසභ කෙනෙක් වෙතින් සිය රාජ්‍යත්වය අහිමි වන බව දෛවඥයින්ගෙන් දැනගත් සුභ රජ සියලු වසභලා මරන්නට විය. නැන්දනියේ පිහිටෙන් මරණයෙන් බේරී දක්ෂිණ දේශයට යෑමට ඔරිජිනල් වසභ සමත් විය.
දාමරික පිරිසක් සමග නැවත සේනා සංවිධානය කරගෙන පැමිණි වසභ සුභ සමග යුධ කොට රාජ්‍යත්වයට පත් වූයේ ය. එහිදී සුභ රජ ගේ සේනාපතියෙකු වූ ඔහුගේම මාමා ද සටන් වලදී ජීවිතක්ෂයට පත් විය. කෙසේ හෝ අවසානයේ එතෙක් පාලන බලය හොබවමින් ශතවර්ශ ගණනාවක් පුරා බලය විහිද වූ රාජවංශය වෙනස් විය.
ශාසනික සේවාව සහ ස්ථාවර බව
වසර 44ක් රජ කළ වසභ රජ විහාරාරාම තනමින්, දන් දෙමින් භික්ෂූන්ට සහ සසුනට අපමණ සේවයක් කළ බැව් වංශකතා වල දැක්වේ. වසභ රජ සමයේ අභ්‍යන්තර කලකෝලාහාල මෙන්ම විදෙස් බලපෑම් ද අවම විය. බොහෝවිට යුද්ධයකින්ම බලය ලබාගත් වසභ රජු යුධ සේනාව අතින්ද ශක්තිමත් ප්‍රබලයෙකු වන්නට ඇත.
විශිෂ්ඨ වාරි ඉංජිනේරු තාක්ෂණය ඔස්සේ වැව් අමුණු තනවා රට සරු කිරීමේදී ද, රාජ්‍ය පාලනයේදී ද, සංඝයාට අනුග්‍රහ දක්වා බොදු සසුන පෝෂණය කිරීමේදී ද වසභ රජු එකසේ සමත්කම් දැක්වූයේ ය. නව වංශයකින් රජ වී, නව මුහුණුවරකින් රාජ්‍යය විචාල වසභ රජ අනුරාධපුරය ඇතුළු රජරට වැව් බැඳි ශිෂ්ඨාචාරයක් කිරීමේ පූර්වගාමී මහා රජෙක්ම විය.
Cover Image: අංගම්මැඩිල්ල රජ බැම්ම destinationx-lk.blogspot.com