අප විවිධ රටවල වාමාංශික බලවේගයන් එවකට පැවති හමුදා හෝ එකාධිපති හෝ ෆැෂිස්ට් හෝ දක්ශිණාංශික පාලනයන් මහජන බලයෙන් පෙරලා දමා රජයන් පිහිට වූ අවස්ථාවන් දැක ඇත. අවසාන වරට එවැනි විප්ලවයක් ගැන අසන්නට ලැබෙන්නේ මධ්‍යම ඇමරිකාවේ නිකරගුවාවේ දී 1979 ජූලි 19 වන දා යි. එම විප්ලවය විසින් අවසන් කෙරෙන ලද්දේ 1936 – 1979 දක්වා පැවති දරුණු මෙන්ම අධිකාරිවාදී සොමෝසා පවුල් පාලනය යි. ඒ අනුව නිකරගුවාවේ බලය ලබා ගත්තේ සැන්ඩිනිස්ටා ජාතික විමුක්ති පෙරමුණ (Sandinista National Liberation Front (FSLN)) නම් කණ්ඩායම යි. එහෙත් තමන්ගේ එළිපත්තෙහි රතු ධජ ඉසැවූ රාජ්‍යයක් පැවතීම ඇමරිකාවේ රේගන් ජනාධිපතිවරයාගේ දැඩි දෝෂ දර්ශනයට ලක් වූ අතර “වාමාංශික විෂ” ව්‍යාප්ත වීම කෙසේ හෝ නවත්වන බවට හේ සපථ කර සිටියේ ය.
ඇමරිකානු අත පෙවීම්
එක්සත් ජනපදය නිරන්තරයෙන් නිකරගුවාව කෙරෙහි සිය ඇස යොමුකර ගෙන සිටි අතර, 1800 අවධියේ සිට අට වරකට ආසන්න සංඛ්‍යාවක් එක්සත් ජනපදය නිකරගුවාව ආක්‍රමණය කර ඇත. ඒ සෑම අවස්ථාවක දීම තමන්ට හිතෛශී අතකොළු පාලනයක් ස්ථාපිත කිරීමට ඔවුන් සමත් වූ අතර, ඔවුන්ට ඇත්ත වශයෙන් අවශ්‍යය වූයේ නිකරගුවාවේ ඉඩම් ය. විශේෂයෙන්ම මධ්‍යම ඇමරිකානු කාලපයේ පලතුරු වගාව කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමු වී තිබුණේ ය. United Fruit Company නම් බහු ජාතික සමාගම එල් සැල්වදෝර්, සහ හොන්ඩුරස් රාජ්‍යයන්වල සිය ආර්ථික ආධිපත්‍යය පතුරා සිටි අතර, මේ නිරන්තර ආක්‍රමණයන් හරහා ද ඇමරිකානු අරමුණ වූයේ නිකරගුවාවේ ආර්ථික ආධිපත්‍යය පතුරුවා හැරීම යි. ඒ අනුව නිකරගුවානු ජනයා තමන්ගේම ඉඩම්වල දිළින්දන් බවට පත් වී තිබුනා. මේ ඇමරිකානු ආධිපත්‍යයට එරෙහිව ඔගොස්ටෝ සීසර් සැන්ඩීනෝ 1922-1934 කාල පරිච්ඡේදයේ දී සටන් වැද සිටියේ ඉතා දුෂ්කරතා මධ්‍යයේ ය. සැන්ඩීනෝව 1934 දී ඇමරිකානු හිතවාදී නිකරගුවානු හමුදාවන් අතින් ඝාතනය විය. ඔහුට ගරු කරනු පිණිසත්, නිකරගුවානුවන්ගේ අභිලාශයන් ප්‍රකාශ කරනු වස් ඔහුගේ නාමය යොදා ගනිමින් සටන්කාමී සංවිධානයක් බිහි කරනු ලැබී ය. ජනතා පරමාධිපත්‍යය, නිදහස, ප්රජාතන්ත්රවාදය, සමාජ ප්රගමනය, හා සමාජ සාධරණත්වය යන අරමුණු ඔස්සේ FSLN, එනම් සැන්ඩිනිස්ටා ජාතික විමුක්ති පෙරමුණ බිහි කරනු ලැබූ බව කියනු ලැබේ. සැන්ඩීනෝගේ නාමය තවමත් නිකරගුවාවේ බොහෝ ප්‍රසිද්ධව ඇත්තේ ඔහු එම රටේ ජනතා අරගලයේ සංකේතයක් බැවිනි.
සොමෝසා පාලනයට එරෙහි නැගිටීම
ඇනස්ටේෂියෝ සොමෝසා ගාර්ෂියා සොමෝසා පාලනයේ ආරම්භකයා වූ අතර, ඔහු 1937-1947 හා 1950 – 1956 කාල පර්ච්ඡේද දෙකෙහි දී නිකරගුවාවේ පාලකයා විය. එවකට ඇමරිකානු ජනාධිපතිවරයාව සිටි ෆ්රැන්ක්ලින් රූසවෙල්ට් වරක් කියා සිටියේ ඔහු “බැල්ලිගේ පුතෙක් විය හැකි නමුන් ඔහු අපේ බැල්ලිගේ පුතෙකු” බව යි. ඉන් හැඟෙන්නේ තමන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් එක්සත් ජනපදය මෙම පාලනය පිළිගත් බව යි. සොමෝසාගේ පාලනය තුළ නිකරගුවාව තුළ පැවති බහුතර ව්‍යාපාරවල සෘජු හෝ වක්‍ර අයිතිය සොමෝසාගේ පවුල සතුවිය. ඔහුගේ පුතුන් දෙදෙනා අතුරින් දෙවැනි පුතු වූ ජෙනරල් ඇනස්ටේෂියෝ සොමොසා ඩිබේල් අතිශය කෲර පාලකයෙකු විය. එමෙන්ම සැන්ඩීනීස්ටා කැරලි කණ්ඩායම ද එම පාලනයට ප්‍රතිචාර දැක්වූයේ ප්රචණ්ඩ ලෙස ය. සොමෝසා පාලනයේ කෲරත්වයේ ප්‍රමාණය කෙතරම් ද කියතොත් එම පාලනයේ පූර්ණ ආශිර්වාදය සහිතව ක්‍රියාත්මක වූ හමුදා කණ්ඩායම්, සිය පාලනය එරෙහිව සටන් වැදි අරගලකරුවන්ව ගුවනින් ගොස් ගිණි කඳුවල විවරයන්ට දමන ලද බව කියැවේ. නිකරගුවාවේ අගනුවර වූ මනාගුවා නගරයේ සිට කිලෝමීටර 20ක් පමණ දුරින් පිහිටි මසායා ගිනි කන්ද ද එසේ මිනිසුන් මරා දැමුණු එක් ස්ථානයකි.
මේ දැඩි මර්දනයට එරෙහිව ක්‍රියාත්මක වූ FSLN සංවිධානය, සිසුන්, ගොවියන්, හා බුද්ධිමතුන්ගෙන් සමන්විත වූ ඉතා පුළුල් සංවිධානයක් විය. මේ සුවිශාල පිරිසට නායකත්වය දෙනු ලැබුවේ අට දෙනෙකුගෙන් යුත් නායකත්ව මණ්ඩලයක් ඔස්සේ ය. නිකරගුවාවේ වර්තමාන ජනාධිපතිවරයා වන ඩැනියෙල් ඔටේගා එම නායකයින් අට දෙනාගෙන් කෙනෙකි.
FSLN ජනගත වීම
FSLN සංවිධානය 1978 අගොස්තු 22 වන දින පැස්ටොරාගේ නායකත්වයෙන් යුක්තව නිකරගුවානු පාර්ලිමේන්තුවට ප්‍රහාරයක් එල්ල කොට 1000කට අධික පිරිසක් ප්‍රාණ ඇපකරුවන් සේ රඳවා ගත්තේ ය. ඔවුන් නිදහස් කිරීමට සිරභාරයේ සිටින සාමාජිකයින් නිදහස් කිරීමටත් හා මුදල් ඔවුන් ඉල්ලා සිටි අතර, සොමෝසා රජය ඊට යහපත් ලෙස ප්‍රතිචාර දක්වමින් තෝරාගත් සිරකරුවන් පිරිසක් නිදහස් කළ අතර මුදලින් ඇමරිකානු ඩොලර් 500,000 ලබාදුනි. කැරලිකරුවන්ගේ අවසාන ඉල්ලීම වූයේ සටනට සම්බන්ධ වූ අයට නිදහසේ පැනමාවට යාමට ගුවන් යානයක් ලබා දිය යුතු බව යි. එම ඉල්ලීම ද රජය ඉටුකළ අතර, සියළු සටන්කාමීන් මුහුණු ආවරණය කරමින් ගුවන්යානයට ගොඩ වූව ද පැස්ටොරා ගුවන් යානයට ඇතුළුවන තරප්පු පේලියේ අවසානයට ගොස් තම මුහුණ ආවරණය ඉවත් කර පැමිණි සිටි අයට ආචාර කළේ මේ සටනේ අනන්‍යතාවය තරවුරු කිරීමට යි.
ඉතිරි කොටස මීළඟ ලිපියෙන්…