Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මැසචුසෙට්ස් කැළඹූ බෝර්ඩන් ඝාතන

19 වන සියවසේ අග භාගයේ දී ඇමෙරිකා එක්සත් ජනපදය පුරා මහත් ආන්දෝල්නයක් ඇති කළ සිද්ධියක් ලෙස බෝර්ඩන් ද්විත්ව ඝාතන සිද්ධිය එරට නීති පොත්වල සනිටුහන් වී තිබෙනවා. ලිසී බෝර්ඩන් නම් දහම් පාසල් ගුරුවරිය මේවා සිදුකළ බවට සැක කෙරුණත්, පසුකාලීනව ඇය ඒවායින් නිදොස් කොට නිදහස් කෙරුණා. කෙසේ නමුත්, මේ පිළිබඳව අද වන විටත් සමහරක් අය තුළ ඇත්තේ කුකුසක්.

ඝාතනවලට පෙර

1892 වසරේ අගෝස්තු මස 4 වනදා ඇමෙරිකා එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් හි පිහිටි බෝර්ඩන් පවුලේ නිවස්නයෙහි පුද්ගලයින් උදෑසනම පිබිදී තිබුණා. මෙම නිවස්නයෙහි සේවයේ නියුතු අයිරිෂ් ජාතික සංක්‍රමණික කාන්තාවක් වූ බ්‍රිජට් සුලිවාන් වෙනදා පරිදිම එහි ගෘහ මූලිකයා වන ඇන්ඩෲ බෝර්ඩන් හා ඔහුගේ බිරිඳ ඇබී හට උදෑසන ආහාරය පිළිගන්වනු ලැබුවා. බෝර්ඩන් පවුලෙහි වැඩිමල් දියණිය වන එමා, සිය මිතුරු මිතුරියන් හමුවීම සඳහා ඒ වන විට නිවසෙන් පිටතට ගොස් සිටියා.

ලිසී බෝර්ඩන්- REX/ USA

බෝර්ඩන් පවුලෙහි කණිටු දියණිය වූයේ 32 හැවිරිදි ලිසී බෝර්ඩන් නම් අය යි. ඇය දහම් පාසල් ගුරුවරියක වශයෙන් සේවය කරමින් සිටි අතර, 32 හැවිරිදි අවිවාහක තැනැත්තියක වුණා. ඇය පමණක් ඉහළ මාලයේ නින්දෙහි පසු වූ අතර, ඇය පිබිදී පහළ මාලයට පැමිණියේ ඇගේ මාමා කෙනෙකු වන ජෝන් මෝස් නිවසෙන් පිටව ගියාට පසුව යි. මෝස් ඊට පෙර දින හදිසියේම බෝර්ඩන් නිවසට පැමිණ තිබුණා. පහළ මාලයට පැමිණි ලිසී, තමන්ට උදේ ආහාරය ගැනීමේ පිරියක් නැති බැව් බ්‍රිජට් හට දැනුම් දුන්නා.

බෝර්ඩන් පවුල මැස්චුසෙට්ස් හි ෆෝල් රිවර් නම් ප්‍රදේශයේ විසූ ධනවත් පවුලක් වුණා. ඇන්ඩෲ, ප්‍රාදේශීය බැංකු කිහිපයකම නිලධාරී මඩුල්ලෙහි සිටි අතර හොඳින් දේපල තිබූ අයෙක්. සිය ව්‍යාපාරික කටයුත්තක් සඳහා ඔහු මදක් බැහැර ගිය අතර, ඇබී ඉහළ මාලයෙහි මෝස් සිටි කාමරයේ ඇඳ නැවත සකසන්නට වුණා. ඇය එක් වරක් ඉන් ඉවතට ගියේ නැවුම් කොට්ට උර කිහිපයක් රැගෙන ඒම සඳහා යි.

ලිසී හා එමා ඇන්ඩෲගේ පෙර විවාහයේ දරුවන් දෙදෙනා යි. ඔවුන් දෙදෙනා හා සුළු මව වන ඇබී අතර එතරම් සුහදතාවක් තිබුණේ නැහැ. මේ නිසා ඔවුන් දෙදෙනා ඇබී හඳුන්වනු ලැබුවේ ‘බෝර්ඩන් මහත්මිය’ ලෙස යි. ඇන්ඩෲ නැවත පැමිණි විට ඔහු වෙනුවෙන් සේවිකාව දොර හරින අවස්ථාවේ දී ම පහළ මාලයට පැමිණි ලිසී, සිය පියා හට පැවසුවේ ‘බෝර්ඩන් මහත්මිය සිය අසනීප වූ මිතුරියක බැලීම සඳහා නිවාසයෙන් පිට වූ බවට සටහනක් තබා, ඉවතට ගොස් ඇති බව යි. මෙය විශ්වාස කළ ඇන්ඩෲ, සිය කාමරයට ගොස් මිනිත්තු කිහිපයක් ගිමන් හැර, ඉවතට පැමිණ, විසිත්ත කාමරයේ පුටු සෙටිය මත හිඳගත්තා.

බ්‍රිජට් සුලිවාන් එදින සිටියේ යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් නොවේ. උණ රෝගයක් වැළඳී තිබීම නිසා ඇය සේවය කළේ අපහසුවෙනුයි. මේ නිසා ඇය මද වේලාවක් සිය කාමරයට ගොස් විවේක ගත්තා. අසනීප තත්ත්වය නිසා මද වේලවකට පසු ඇගේ දෙනෙත පියැවුණා. එක් වරම ඇය ගැස්සී පිබිදුණේ ලිසීගේ කෑගැසීමත් සමග යි.

බිහිසුණු මරණ ද්විත්වයක්

ලිසීගේ කෑගැසීමත් සමග අවදි වූ බ්‍රිජට් වහාම විසිත්ත කාමරය වෙත දිව ආවා. ඇය දකින්නේ හිසෙහි හා මුහුණෙහි බිහිසුණු තුවාල සහිතව සෙටිය මත වැතිරී සිටින ඇන්ඩෲ බෝර්ඩනුයි. ඔහුගේ මුහුණ හඳුනාගත නොහැකි තරම් විරූපව තිබුණා. සෙටිය ඔහුගේ රුධිරයෙන් නැහැවී තිබුණා.

බ්‍රිජට් වහාම අසල්වැසියන්ගේ සහාය පතන්නට ඉවත දිව ගියා. එමෙන්ම ඇය පවුලේ වෛද්‍යවරයාට ද පණිවුඩයක් යැව්වා. බෝර්ඩන් නිවසට හනික පැමිණි අයවලුන් කම්පනයට පත් වූ අතර, ඇබී පෙනෙන්නට නොසිටි නිසා ඒ පිළිබඳව ද ලිසීගෙන් විමසා සිටියා. ඇය මිතුරියකගෙන් කැඳවීමක් ලැබුණු නිසා ඉවත ගිය කතාව ලිසී ඔවුනට ද පැවසුවා. පසුව ඇගේ මෘත ශරීරය ද උඩු මහලෙන් හමුවූයේ මරණීය තුවාල සහිතව ලේ විලක වැටී තිබිය දී යි.

ඇන්ඩෲ හා ඇබී මියගොස් සිටි අයුරු- massmoments.org

ඇබී අත් පොරොවක් මඟින් 19 වතාවක් පහර කා තිබුණා. ඇන්ඩෲගේ මරණය සිදුව තිබුණේ ද එම ආයුධයෙන්ම 11 වතාවක් පහර දීමට ලක් වීම නිසා යි. ප්‍රහාරවලින් ඇන්ඩෲගේ හිස දෙපළුව තිබුණා. කෙසේ නමුත්, ශරීර දෙකෙහිම රුධිරය පරීක්ෂා කළ වෛද්‍යවරයා නිගමනයකට පැමිණියේ මුලින් ඝාතනය වී ඇත්තේ ඇබී බවට යි.

මේ අතර කම්පනයට පත් වූ සෙයක් පෙන්නුම් කළ ලිසී පවසන්නට වූයේ මියගිය දෙදෙනාම සතියක පමණ කාලයක සිට යහපත් ශරීර සෞඛ්‍යයෙන් පසු නොවූ බව යි. කිසිවෙකු හෝ ඔවුන්ගේ කිරි කෝප්පයට වස මිශ්‍ර කරමින් සිටින් බවට ඇය චෝදනා කළා. එනමුත් පර්යේෂණ මඟින් ඔප්පු වූයේ එලෙස ඔවුන්ගේ ශරීරවලට විෂ ශරීරගත වී නැති බව යි.

පොලිස් පරීක්ෂණ

මුල දී පොලිසිය මිනිමැරුම් සම්බන්ධයෙන් ලිසී බෝර්ඩන් සැක කළේ නැහැ. ඇය දිවුරා පවසා සිටියේ මිනිමැරුම් සිදුවන මොහොත වන විට ඇය සිටියේ පවුලේ ධාන්‍ය ගබඩාවේ බව යි. මේ අතර බෝර්ඩන් නිවස තදාසන්න ගොවිපොළක තිබී කුකුලන් මැරීමට යොදාගන්නා, ලේ වැකුණු අත් පොරොවක් හමුවනවා. එමෙන්ම දින කිහිපයක පටන් බෝර්ඩන් නිවස වටා සැක කටයුතු ලෙස හැසිරුණු පුද්ගලයෙකු සම්බන්ධයෙන් ද පොලිසියට කරුණු හමුවුණා. මේ නිසා පර්යේෂණ කටයුතු වඩාත් සංකීර්ණ වුණා. පොලිසිය කෙටිකාලීනව බ්‍රිජට් සුලිවාන් ද සැක කළ මුත් ඉක්මණින්ම ඇය මිනිමැරුමට සම්බන්ධ නොමැති බැව් ඔවුන් තීරණය කළා.

මේ අතර පොලිසියේ අවධානය යොමු වූයේ ඇබීට ලැබුණායැ යි පැවසුණු පණිවුඩය සහිත කොළ කැබැල්ල පිළිබඳව යි. එය නිවසෙහි කොහේ හෝ තිබිය යුතු වූ බැවින් එය සොයා පරීක්ෂණ ඇරඹුණා. මෙහි දී ඇබී මඳක් පසුබා සිටි අතර, එය සමහර විට ඇබී විසින් ‘පුළුස්සන්නට’ ඇතැ යි ඇය ඇලිස් රසල් නම් මිතුරියකට පවසා තිබුණා. පොලිසියට මුලින්ම ලිසී කෙරෙහි සැකයක් ඇති වූයේ මේ අවස්ථාවේ දී යි. 

බලධරයින් ලිසී ඔස්සේ සිය පරීක්ෂණ කටයුතු මෙහෙයවන්නට වුණා. මෙහි දී අනාවරණය වූයේ මිනීමැරුම් සිදු වූ දිනට පෙර දින ඇය ඖෂධ අලෙවිසලකින් සයනයිඩ් ඉල්ලා ඇති බව යි. මෙහි දී වෛද්‍ය සහතිකයක් නොමැතිව ඒවා නිකුත් කිරීම කඩ හිමියා ප්‍රතික්ෂේප කොට තිබෙනවා. එදින සවස ඇය ඇලිස් බැහැදැක ඇති අතර, ඇයට පවසා ඇත්තේ කිසිවෙකු සිය පවුලේ සාමාජිකයින්ගේ ජීවිතවලට හානි කරන්නට අර අදින බැව් තමන්ට වැටහෙන බව යි. ඉන් දින කිහිපයකට පසුව ලිසී තමන්ගේ ගවුමක් පුළුස්සමින් සිටිනු මිතුරු ඇලිස් දකිනවා. ඇය ඒ පිළිබඳව ලිසීගෙන් විමසූ විට ඇය පවසා සිටියේ එම ඇඳුම තවදුරටත් භාවිතා කළ නොහැකි තරම් දුර්වර්ණ වී ඇති බව යි. මේ පිළිබඳව සැක සිතූ ඇලිස්, වහාම පොලිසිය දැනුවත් කළ අතර අවසානයේ සැක පිට ලිසී අත්අඩංගුවට ගැනෙනවා.

බෝර්ඩන් නිවස්නය- Wikimedia Commons

ලිසී බෝර්ඩන්ට එරෙහි නඩු වීභාගය

ලිසී බෝර්ඩන් අත්අඩංගුවට පත් වීමත් සමග ඇයට එරෙහිව නඩු විභාගය ඇරඹෙනවා. මෙය දින 14ක් පුරා පැවතියා. කෙසේ නමුත් මෙහි දී ඇයට සම්බන්ධ කිසිදු චෝදනාවක් තහවුරු වූයේ නැහැ. කොටින්ම මිනිමැරුම් සිදු වූ ස්ථාන දෙකෙන් හෝ ලිසීගේ ශරීරය හා කාමරයෙන් ඇය පිළිබඳව වූ සැකය තහවුරු කළ හැකි කිසිදු සාක්ෂියක් හමුවූයේ නැහැ. මේ අතර ලිසීගේ නීතීඥයා පෙන්වා දුන්නේ මරණකරුවන්ගේ හිස්කබල දෙකෙහි ඇති සලකුණු අනුව ලිසී මේ මිනීමැරුම් සිදු කළා නම්, අනිවාර්යයන්ම ඇගේ ශරීරය රුධිරයෙන් නැහැවී යා යුතුව තිබුණ බව යි. ඇගේ ඇඳුම්වල ලේ පැල්ලමක් හෝ තිබූ බවට කිසිදු සාක්ෂියක් තිබුණේ නැහැ. මේ නිසා තවත් අයෙක් පැවසුවේ ඇය නිරුවත්ව පැමිණ මේ ඝාතන සිදුකරන්නට ඇති බව යි.

මේ අතර මිනිමැරුම් සිදු වූ අවස්ථාවේ දී ඇය ධාන්‍යාගාරයේ සිටි බවට ඇසින් දුටු සාක්ෂි හමුවුණා. එමෙන්ම ඖෂධ අලෙවිසැලෙන් සයනයිඩ් ඉල්ලීම පිළිබඳ වූ චෝදනාව මේ මිනිමැරුම්වලට සම්බන්ධ නැතැ යි ද තීරණය කෙරුණා. ඒ අනුව ලිසී මිනිමැරුම් චෝදනාවලින් නිදොස් කොට නිදහස් කෙරුණා.

පසුවදන

කිසිකලෙක බෝර්ඩන් ඝාතනවලට වගකිව යුත්තෙකු සොයාගන්නට කිසිවෙකු සමත් වූයේ නැහැ. අයෙක් පැවසුවේ දෙසොයුරියන් එක්කාසු වී මේ ඝාතන සිදුකරන්නට ඇති බව යි. ලිසී පසුකාලීනව සමරිසි සම්බන්ධතාවක් පැවැත්වූ බවට දූසමාන ආරංචි පැතිරුණු අතර, එය අනාවරණය වීමෙන් පසුව තවත් අයෙක් පවසන්නව වූයේ ලිසී හා බ්‍රිජට් සුලිවාන් අතර සමබන්ධයක් පවතින්නට ඇති බව යි. ඔවුන් දෙදෙනා එක්කාසු වී මෙය සිදු කරන්නට ඇති බැව් ඔවුන් පවසනවා. චෝදනාවලින් නිදහස් වීමෙන් පසු නිහඬ ජීවිතයක් ගත කළ ලිසී, 1927 වසරේ දී මියගියේ 67 වියැතිව සිටිය දී යි. අද වන විට බෝර්ඩන් නිවස කෞතුකාගාරයක් බවට පත්ව තිබෙනවා.

Related Articles