Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හිට්ලර් විසින් ඝාතනය කෙරුණ​ නාසි එස්.ඒ. නායකයා – අර්නස්ට් රොඅම්

පෝලන්තය, ඔස්ට්‍රියාව හා චෙකොස්ලෝවැකියාව ආක්‍රමණය කරමින් රුසියාව ආක්‍රමණය කිරීම දක්වා හිට්ලර්ගේ නායකත්වය මත හිට්ලර් අසළින්ම සිට ඔහුට පක්ෂපාතිව කටයුතු කළ යුධ නායකයන් කිහිපදෙනෙක් නාසි පාලන කාලය තුළදී අපට හමුවෙනවා. නාසි ගුවන් හමුදාව භාරව කටයුතු කළ හර්මන් ගෝරිං, ජර්මනියේ ප්‍රචාරක ඇමති ගොබෙල්ස් මෙන්ම මුල් කාලයේ සිට අවසන් සමය දක්වා හිට්ලර් සමඟ රැදී සිටි හිම්ලර් එවැනි නාසි නායකයින් අතර ප්‍රධාන තැනක් ගන්නවා.

අද ලිපියෙන් ඔබ වෙත ගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ හිට්ලර් වෙත මුල් කාලයේ ආරක්ෂාව සැපයූ පසුව ප්‍රතික්ෂේප වූ විකල්ප ආරක්ෂක කණ්ඩායමක් ලෙස නාසි ජර්මනියේ ආරම්භක අවස්ථාවේ කටයුතු කල එස්.ඒ (sturmabteilung) නොහොත් “දුඹුරු කමිස අදින කඩා පනින භටයන්ගේ සංවිධානයේ” නිර්මාතෘ මෙන්ම මුල් කාලයේ හිට්ලර්ගේ සමීපතයෙකු ව සිට පසුව හිට්ලර් විසින්ම අත්අඩංගුවට ගෙන ඝාතනය කල අර්නස්ට් රොඅම් (Ernst Röhm) පිළිබඳවයි.

පළමු ලෝක යුද්ධයේ සටන් කළ හමුදා නිළධාරියා

අර්නස්ට් රොඅම් (Die Welt)

1887 වසරේ නොවැම්බර් මාසයේදී බැවේරියාවේ මියුනික් හි උපත ලබන රොඅම් 1906 වසරේදී ජර්මානු හමුදා පුහුණුවට එකතු වෙනවා. අධිකාරී ලැබූ නිලධාරියෙක් ලෙස 1908දි හමුදාවට එක් වෙන ඔහු රාජකීය බැවෙරියානු පාබල රෙජිමේන්තුවේ යටතේ පළමු ලෝක යුද්ධයට සහභාගී වෙනවා. 1915 වසරේදී Battle of Verdun සටනින් බරපතල තුවාල ලැබීම හේතුවෙන් පළමු ලෝක යුද්ධයෙන් සමුගැනීමට රොඅම්ට​ සිදුවෙනවා. පළමු ලෝක යුද්ධය අවසානයේදී ඔහු කපිතාන් වරයෙක් ලෙස උසස් වීම් ලබන අතර විශිෂ්ටයන්ට පිරිනැමෙන යකඩ කුරුසයෙන්ද පිදුම් ලබනවා.

වර්සායි ගිවිසුම ප්‍රතික්ෂේප කිරීම​

හිට්ලර් සමඟ (Bundesarchiv Bild 146-1982-159-21A)

හිට්ලර් මෙන්ම පළමු ලෝක යුද්ධය අවසානයේදී පරාජයට පත් වූ ජර්මනියට සිදු වූ අසාධාරණකම් දැඩිව විවේචනය කරන රොම් උග්‍ර ලෙස කිපෙන්නේ වර්සායි ගිවිසුමේ එක් කොන්දේසියක් වූ ජර්මානු හමුදාව සෙබළු ලක්ෂය (100,000) ඉක්මවා යා නොහැකි බවට සදහන් වගන්තියයි. සමාජවාදය දැඩි ලෙස පිළිකුල් කළ ඔහු දෙවන ලෝක යුද්ධයෙන් පසුව ජර්මනිය පාලනය කළ වයිමාර් ජනරජය​ (Weimar Republic) විසින් ගෙන ගිය වැඩපිළිවෙල හෙළා දකින රොඅම් විකල්ප හමුදාවක් ගොඩනගා ඒ ඔස්සේ ජර්මනියේ බලය නැවත අල්ලා ගැනීමේ දැඩි ආශාවකින් පෙළුණු අයෙක් ලෙස සදහන් කළ හැකියි. මේ සමයෙහි ජර්මනිය තුළ විශේෂයෙන් ම අන්ත දක්ෂිනාංශික පැරා මිලිටරි කණ්ඩායම් ගණනාවක් ක්‍රියාත්මක වන අතර ඒවාට පොදුවේ ෆ්‍රීකෝර්ප්ස් යයි කියනු ලැබුණා. පසු කාලීන හිට්ලර්වාදීන් ගණනාවක් මේවායේ සාමාජිකයන් ව සිටියා.

වයිමර් රජයේ හමුදා නිළධාරියෙක්ව සිටින අතරතුරම ඔහු 1919 වසරේ හිට්ලර්ගේ පක්ෂය වූ ජර්මානු කම්කරු පක්ෂය හා එකතු වෙන්නේ හිට්ලර්ගේ අදහස්ද ඔහුගේ අදහසට ගැලපෙන ආකාරයකින් යුතු වූ නිසයි.

බියර් හෝල් කැරැල්ලේදී  අසාර්ථක වූ හිට්ලර් හා රොම්

බියර් හෝල් කැරැල්ලේ නායකයන් හිට්ලර් සමඟ – දකුණු පස සිට දෙවැනියට සිටින්නේ රොම් (reino-de-clio.blogspot.com)

විප්ලවයක් තුළින් ජර්මනියේ බලය අල්ලා ගැනීමට හිට්ලර් මුල් කාලයේදී උත්සාහ කරනවා. ඒ සදහා ඔහුට සහය වන එකළ හමුදා කපිතාන්වරයෙක් වූ රොඅම්, පක්ෂයේ සාමාජිකයන් පුහුණු කරවා සටන්කාමී කල්ලියක් ගොඩ නැගීමට කැප වී වැඩ කරනවා. නාසි පක්ෂය ඔස්සේ විකල්ප හමුදාවක් ගොඩ නගා ඒ තුළින් ජර්මන් යුධ හමුදාවට තර්ජනයක් එල්ල කිරීම මොහුගේ මූලික අරමුණ වුණා.

1921 වසර වන විට භටයන් 800කින් පමණ සමන්විත දුඹුරු කමිස හැදී කල්ලියක් (එස්.ඒ) නිර්මාණය කිරීමට රොඅම්ට​ හැකි වෙනවා. 1923 වසරේදී හිට්ලර් එස්. ඒ භටයන් යොදා ගනිමින් ජර්මනියේ බලය ඇල්ලීමට ගිය බියර් හෝල් කැරැල්ල අසාර්ථක වෙන අතර කැරැල්ල යටතේ ජර්මානු යුධ අමාත්‍යංශය අල්ලා ගැනීමට එස්. ඒ භටයන් පිරිසක් සමඟ එයට කඩා වැදුණු රොඅම්ට​ යටත් වීමට සිදුවෙනවා.

මේ සිදුවීමෙන් පසුව හිට්ලර් සමඟම මාස 15කට වුණා සිරගෙට නියමවෙන නමුත් නාසි පක්ෂයේ බලපෑම් මත මාස කිහිපයකින් යලි නිදහස ලබා ගැනීමට ඔහුට හැකිවෙනවා. බියර් හෝල් කැරැල්ලෙන් පසුව එස් ඒ සංවිධානය තහනම් සංවිධානයක් ලෙස වයිමර් රජය විසින් නිවේදනය කරනවා.

රොම්, නාසි සංවිධානයෙන් ඉවත් වෙයි

1933 වසරේදී එස්.ඒ භට පිරිසකගේ පෙළපාලියක් (Age Fotostock)

හිරෙන් නිදහස් වූ හිට්ලර් විසින් රොඅම්ගේ නායකත්වයෙන් යුත් එස්.ඒ සංවිධානයට පනවා තිබූ තහනම ඉවත් කරගැනීමට කටයුතු කරන අතර හිරෙන් නිදහස්වන රොම් 1925 වසරේ මැයි මාසයේදී එස්.ඒ සංවිධානය පුළුල්ව සකස් කිරීමටත් නාසි පක්ෂය තුළ අවි දරන එකම කණ්ඩායම එස්.ඒ භටයන් පමණක් විය යුතු බවත් හිට්ලර්ට ප්‍රකාශ කරනවා.

එස්.ඒ භටයන් යනු ආරක්ෂක භටයන්ට සුදුසු නොමැති හමුදාමය විනයක් නොමැති පිරිසකගෙන් සැදුම්ලත් අසංවිධානාත්මක යුධ කල්ලියක් බව බියර් හෝල් කැරැල්ලෙන් පසුව අවබෝධ කරගත් හිට්ලර් රොඅම්ගේ යෝජනාවන්ට එකඟ වන්නේ නෑ. මේ වන විටත් හිට්ලර්ගේ ආරක්ෂාව භාරව කටයුතු කරන්නේ එස්.එස් නම් අළුතින් නිර්මාණය කරන ලද සංවිධානයක භට පිරිසක්. එස්.ඒ භටයන් දුඹුරු කමිස හැදී අතර එස්.එස් භටයන් විසින් අදින ලද්දේ කළු පැහැති කමිසයි. මේ හේතුවෙන් හිට්ලර් හා නාසි පක්ෂය අතහැර දමන රොඅම් බොලිවියානු හමුදාවට, ලුතිනන් කර්නල් වරයෙක් ලෙස එකතු වෙනවා. එහිදී ඔහු යුධ උපද්ශකයෙක් ලෙස කටයුතු කරනවා.

රොඅම්ගේ ඉල්ලා අස්වීමත් සමඟම එස්.ඒ සංවිධානයේ නායකත්වය ගැනීමට බොහෝ නාසි නායකයන් අකමැතිවන අතර කැරැල්ලක් මගින් ජර්මනියේ බලය අල්ලාගත යුතුයි යන මතයේ සිටි අනෙකුත් එස්.ඒ භටයන් නොයෙකුත් අවස්ථාවන් වලදී වැඩි වැටුප් හා නොයෙකුත් දෑ ඉල්ලමින් විදී බැසීම හිට්ලර්ට හිසරදයක් විය.

නැවතත් එස් ඒ සංවිධානයේ නායකත්වයට  

රොම්,වොන් පැපෙන් සමඟ (Getty Images)

එස්.ඒ සංවිධානය නැවත ප්‍රතිසංස්කරණය කිරීම සඳහා 1930 වසරේදී හිට්ලර් විසින් නැවතත් රොඅම්ට ආරාධනා කරන අතර එය පිළිගන්නා රොඅම් නැවතත් ජර්මනිය බලා පිටත් වෙනවා.

1928 වසරෙන් පසුව නාසි පක්ෂය ජර්මනියේ බලය ලබා ගැනීම සදහා මැතිවරණ වලට ඉදිරිපත් වීම ආරම්භ කරනවා. මෙහිදී ඉදිරිපත් වන සෑම මැතිවරණයකදීම එස්. ඒ භටයන් විසින් රොඅම්ගේ මෙහෙයවීම යටතේ දැවැන්ත රැළි ප්‍රමාණයක් සංවිධානය කරනවා. 1933 වසර වන තුරු හිට්ලර්ට එරෙහිවන සමාජවාදීන් කොමියුනිට්ස්වාදීන් හොර රහසේ ඝාතනය කරමින් විශාල උපකාරයක් වන්නේ රොඅම් ප්‍රමුඛ එස්.ඒ සංවිධානයයි.

1933 වසරේ ජර්මන් පාර්ලිමේන්තුවේ  ආසන 288ක් දිනා එහි විශාලම තනි පක්ෂය බවට පත් වන​ නාසි පක්ෂයේ නායකයා වූ හිට්ලර් ජර්මන් චාන්සලර්වරයා ලෙස පත්වෙනවා. 1933 වසර වන විට රොඅම්ගේ නායකත්වයෙන් මිලියන තුනක පමණ එස්.ඒ භට හමුදාවක්  ජර්මනිය තුළ සිටි අතර ඔවුන් නිත්‍ය හමුදාවට ඇතුල් කරන ලෙස රොඅම් විසින් දිගින් දිගටම ඉල්ලීම් කරනවා. එම යෝජනා ව යුධ හමුදා නිලධාරීන් කලබලයට පත් කරනවා. මෙම අවස්ථාවේ යුධ හමුදා නිලධාරීන් සමග ගැටුමක් ඇති කරගැනීමට හිට්ලර් සූදානම් වන්නේ නැහැ. එහෙයින් රොඅම්ගේ යෝජනා හිට්ලර් විසින් පිළි නොගැනීම හේතුවෙන් එස්. ඒ හමුදාව රට පුරා භීෂණය පතුරවමින් ප්‍රචණ්ඩකාරී වැඩපිළිවෙලක් දියත් කරන්නේ රොම්ගේ නායකත්වයෙන්. හිට්ලර් ප්‍රමුඛ අනෙකුත් නාසි නායකයින් මෙය තම පක්ෂයට තර්ජනයක් සේ දකිනවා.

නාසි පක්ෂයේ ද්‍රෝහියෙක් ලෙස මරා දැමීම

රොඅම් ප්‍රමුඛ එස්.ඒ සංවිධානය දෙවන විප්ලවයක් කල යුතු බවට නාසි පක්ෂයට තර්ජනය කරමින් වීදී වල උද්ඝෝෂණ ව්‍යාපරා රැගෙන යමින් සිටිනවා. එස්.ඒ. සංවිධානයේ නොහික්මුණු ප්‍රචන්ඩකාරී ක්‍රියා පිළිවෙත හේතුවෙන් සාම්ප්‍රදායික හමුදා නායකත්වය ඇතුළු කණ්ඩායම් තමන්ට එරෙහි වීමෙන් තම බලය අහිමි විය හැකි බව සැක කරන හිට්ලර් ඒ තුළින් නුදුරු දිනකදීම තම නායකත්වය විනාශ වී යා හැකි බව අවබෝධ කරගන්නවා. මේ අනුව ඔහු තීරණය කරන්නේ රොඅම්ගේ කලබලකාරී කණ්ඩායම පාලනය කිරීමටයි. රොම්ව වහා අත් අඩංගුවට ගැනීමට කටයුතු කරනවා.

1934 වසරේ ජුනි 30 වනදා හිට්ලර් තම පාලනයට එරෙහි වූවන් ක්‍රමානුකූලව අත් අඩංගුවට ගෙන ඝාතනය කිරීම සඳහා ක්‍රියා කරන තීරණාත්මක රාත්‍රියක්. ජර්මන් ඉතිහාසයෙහි මෙම රාත්‍රිය හඳුන්වන්නේ Night of the Long Knives (දිගු පිහි රැය​) නමින්. එදින ප්‍රධානම ඉලක්කය වූයේ රොඅම් ප්‍රමුඛ එස්.ඒ. සංවිධානයයි. රොඅම්ට එරෙහිව කටයුතු කිරීම සඳහා එක් “නිදහසට කරුණක්” වන්නේ ඔහු සමලිංගිකයකු වීමයි. නමුත් මෙතෙක් කල් ඔහුගේ සමලිංගිකභාවය හිට්ලර්ට ප්‍රශ්නයක් වූයේ නැති බව ද සැළකිය යුතු කරුණක්.

එදින රොඅම් ඇතුළු එස්.ඒ. නායකයින් පිරිසක් බැවේරියාවේ ටෙගර්න්සී විල අසබඩ බැඩ් වීසී නගරයේ හෝටලයක නැවතී සිටියා. එස්.එස්. භට පිරිසක් සමග හිට්ලර් ඇතුළු නාසි නායකයින් කිහිප දෙනකු එහි පැමිණියේ උදෑසන හයට පමණයි. ඔවුන් නිදාගෙන සිටි එස්.ඒ. ප්‍රධානීන් ව අවදි කරවාගෙන පිටතට රැගෙන ආවා. තම සමලිංගික සගයා සමඟ නිදා සිටි එක් එස්.ඒ. නායකයකු ඔහුගේ සගයා ද සමග එවෙලෙහි ම වෙඩි තබා ඝාතනය කළේ හිට්ලර්ගේ අණ මතයි. මේ අතර රොඅම්ගේ කාමරයට ගිය හිට්ලර් ඔහුට දැඩි සේ බැණ වැදී ඔහුව ස්ටැඩල්හයිම් බන්ධනාගාරය වෙත රැගෙන යාමට අණ දුන්නා.

රොඅම් ඇතුළු පිරිස අත්අඩංගුවට ගත් හෝටලය​. මෙය 2017 දී කඩා දැමීමට නියමිතව තිබුණා (Wikimedia Commons)

ඊට පසුදා ඔහුට දිවි නසාගන්නා ලෙස නාසි නායකත්වය විසින් උපදෙස් දුන්නා. “මා මරා දැමිය යුතු නම් එය ඇඩොල්ෆ් විසින්ම කළ යුතුයි” යනුවෙන් රොඅම් කියා තිබෙනවා. මේ අවස්ථාවේ එස්.එස්. භටයින් කිහිප දෙනකු විසින් ඔහු ඝාතනය කරනු ලැබුණා.

හිට්ලර් චෝදනා කළේ රොඅම් තමන්ට එරෙහිව කුමන්ත්‍රණය කරන බවටයි. රොඅම් යුධ හමුදාව සහ අනෙකුත් ඇතැම් නාසි නායකයින් නොරිස්සූ නමුත්, කිසි විටෙක හිට්ලර්ට ද්‍රෝහී වූ බවට සාධක නැහැ. ඔහු අවසානය දක්වා ම තම මිතුරකු සේ සැලකූ හිට්ලර්ට පක්ෂ වූ අයකු වුණා. හිට්ලර්ගේ අනියත භීතිය සහ යුධ හමුදා නායකත්වය සහ එස්.ඒ. සංවිධානයේ ශක්‍තිය පිළිබඳ ඊර්ශ්‍යා කළ ඇතැම් නාසි නායකයින් සතුටු කිරීමේ අවශ්‍යතාව මත රොඅම්ව මරා දැමුණා.

කවරයේ ජායාරූපය – vvox.it

Related Articles