Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තාරකාවක හැඩය ගත් ශ්‍රීලංකාවේ එක ම බළකොටුව

දකුණු පළාතේ මාතර නගරය මැද නිල්වලා ගඟට මීටර් 100 ක් පමණ උතුරු දෙසින් මහා මාර්ගය අද්දර ම මේ අපූරු තාරකා බළකොටුව පිහිටා තිබෙනවා. එය තාරකාවක හැඩය ගත් ශ්‍රී ලංකාවේ එක ම බළකොටුවයි. ලන්දේසි යුගයේ වටිනා සිහිටවටනයක් වන මෙහි අද පිහිටා තිබෙන්නේ මාතර පුරාවිද්‍යා කටුගෙය යි. මාතරට යන වැඩිදෙනකු මෙය නැරඹීමට උනන්දු වන බවක් නම් පේන්නෙ නැහැ.

ලන්දේසීන් ඇඳි මාතර කොටුවේ සැලසුම – amazing lanka.com

ලන්දේසීන්ගේ කුඩා කොටුව

මාතර තාරකා කොටුව ඉදිකිරීමට පෙර ලන්දේසීන් සිය පරිපාලන කටයුතු සිදු කළේ මාතර කොටුවේ සිට යි. එම කොටුව මුලින් ම ඉදි කර තිබුණේ පෘතුගීසීන්. පෘතුගීසින් පරදවා ලන්දේසීන් 1658 දී මෙරට මුහුදුබඩ ප්‍රදේශ යටත් කර ගැනීමත් සමඟ ඔවුන් මාතර කොටුව අලුත්වැඩියා කර තවත් විශාල කර භාවිත කළා. ඒත් ඔවුන්ට වඩා ආරක්ෂා සහිත වෙනත් ශක්තිමත් කොටුවක අවශ්‍යතාව දැනී තිබුණා.

ලන්දේසීන්, දුප්පත් ගොවි ජනතාවගේ ඉඩම් කැබලි ලියාපදිංචි කිරීම, ඒවායේ අයිතීන් අවලංගු කිරිම, අසාධාරණ ලෙස බදු අය කිරීම හේතු කොට ගෙන ක්‍රිස්තු වර්ෂ 1761 දී ලන්දේසී පාලනයට එරෙහි ව සිංහල කැරැල්ලක් හට ගත්තා. මේ හේතුවෙන් 1761 දී උඩරට බළ ඇණි සහ කැරලිකාර කණ්ඩායම් ලන්දේසින්ට පහර දී මාතර කොටුව යටත් කර ගත්තා. 1

කොටුවේ ඉදිරිපස පෙනුම – wikipedia.org

762 පෙබරවාරි මාසයේ දී වෑන් එක් (1762-1765) ආණ්ඩුකාරයාගේ මෙහෙයවීමෙන් සටන් කර ලන්දේසින් මාතර නැවතත් අල්ලා ගන්නට සමත් වුණා. මෙහිදී තමන්ගේ ආරක්ෂක කටයුතුවල දුර්වල තත්ත්වය තේරුම්ගත් මාතර ලන්දේසි පාලකයන් සේනා ශක්තිය වඩාත් ප්‍රබල කිරීම සඳහා මාතර බළකොටුව පිටතින් ප්‍රධාන කොටුව ආරක්ෂා කර ගැනීමේ උපක්‍රමයක් ලෙස  කුඩා ශක්තිමත් බළකොටුවක් ඉදි කිරීමට තීරණය කරනවා.

ඒ අනුව ක්‍රිස්තු වර්ෂ 1763 දී නිල්වලා ගඟේ ඉවුර අසල තාරකා කොටුව ඉදි කිරීම් ආරම්භ කළ බව ලන්දේසි වාර්තාවල සඳහන් වෙනවා. මෙම බළකොටුවෙහි ඉදිකිරීම් ක්‍රිස්තු වර්ෂ 1765 දී නිම කර තිබෙනවා. “කැප්ටන් අයි.එච් ලැප්පේ හා ලෙෆ්ටිනන්ට් පේ.අයි.එන්ටින්ක්” යන ඉංජිනේරුවරුන් යටතේ සැලසුම් වූ මෙහි ඉදිකිරීම් භාර ව කටයුතු කර ඇත්තේ ප්‍රාදේශීය පාලකයකු වූ ඔරුකෙම මුහන්දිරම්. එයට දායක වූ ඉංජිනේරුවන්ගේ නම් මෙහි සවිකර ඇති පලකවල කොටා තිබෙනවා.

3 කොටුව වෙත ප්‍රවේශ මාර්ගය- timeout.com

තාරකා කොටුව

ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ විදහාපාන තාරකා කොටුව   “රෙඩ්යුටේ වැන් ඒක් බළකොටුව“ ලෙස නම් කර තිබුණා. කොටුව වටා දිය අගලක් තනවා තිබෙන අතර ඉදිරිපසින් දොරටුවට පිවිසීමට හකුලන දැව පාලමක් තනා තිබුණා. පුරාවිද්‍යා සංරක්ෂණයේ දී පැරණි සැලසුමට අනුව තැනූ එම දැව පාලම අදත් දැකගත හැකි යි. තාරකාවක මනංකල්පිත හැඩයට සමාන ව නිර්මාණය කර ඇති බැවින් කවුරුත් මෙය හඳුන්වන්නේ තාරකා කොටුව කියලයි.

දොරටුව සහ හකුලන පාලමේ දම්වැල්- timeout.com

කොටුව තුළට පිවිසීමට ඇත්තේ මුහුද දෙසට මුහුණ ලා පිහිටි එක් විශාල දොරටුවක් පමණයි. පිටත කොටුබැම්ම අතරින් ඇති මාර්ගයෙන් ඊට පිවිසිය යුතු වෙනවා. ඇතුළුවීමේ දොරටුවට ඉහළින් ශක්තිමත් දැවයෙන් තනා ඇති සිංහයන් දෙදෙනකු ඔසවා ගෙන සිටින ඕලන්ද රාජකීය ලාංඡනයයි. එය පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගම සංකේතවත් කළ VOC හෙවත් (Vercenigde ost Indench Compagne) සමාගමේ ලාංඡනයයි.  VOC  යන අක්ෂරවලට පහළින් VAN ECK යනුවෙන් එකල ආණ්ඩුකාරවරයාගේ නම සඳහන් කර තිබෙනවා. එයට පහලින් 1763 වර්ෂය ද, ආණ්ඩුකාරවරයාගේ නමේ මුල් අකුරු වන  L.I.V.E. අක්ෂර ද දැකිය හැකියි.

හකුලන පාලම ඔසවා ඇති අයුරු – mihithuru.lk

හකුළන පාලමක්

තාරකා කොටුවෙහි වාස්තු විද්‍යාත්මක සැලසුමට අනුව ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුළු වූ පසු අඩි 200ක් දිග ප්‍රවේශ මාර්ගය හමුවෙනවා. ඒ දෙපස ඇත්තේ පිටත ප්‍රාකාරයයි. පිවිසුම් මඟ කෙළවර දිය අගල හරහා ඇති හකුළන දැව පාලම හමු වෙනවා. එය කොටස් දෙකකින් යුක්තයි. එක් කොටසක් හැකිළිය හැකි වන සේ නිර්මාණය කර තිබෙනවා. එය ක්‍රියාත්මක වන්නේ ලීවර ක්‍රමයටයි. පාලම දෙපස සරල ඇඳි දෙකක් ද සහිතයි. මෙය එසවීම සහ පහත් කිරීම කළ හැක්කේ ගේට්ටුවේ ඇතුළු පැත්තේ සිට පමණයි. හකුළුවා දැමූ විට පාලමත් ආරක්ෂිත දොරටුවක් සේ ක්‍රියාත්මක වෙනවා.

 කොටුව වටා ඇති  දිය අගල- wikipedia.org

 

කොටුව වටා විශාල දිය අගලේ ආරක්ෂාවට එහි යකඩ උල් සිටුවා තිබූ බවත්, එහි කිඹුලන් ඇති කළ බවත් ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. අදත් මෙහි කිඹුලන් ගැවසෙන අන්දම අපට දැකගැනීමට පුළුවන්. දිය අගල ගැඹුරින් අඩි 10ක් ද පළලින් අඩි 20ක් ද වෙනවා. පාලම කෙළවර ආරුක්කු හැඩැති පිවිසුම් දොරටුව හා දෙපස ආරක්ෂක පවුර දක්නට ලැබෙනවා. අඩි 14ක් පළලැති පවුර මත තුවක්කුවලින් වෙඩිතැබිය හැකි ආයුධ කවුළු 12ක් පිහිටා තිබෙනවා. සියලු දිසා ආවරණය වන සේ එම කවුළු නිර්මාණය කර තිබෙනවා. මෙම කවුළුවක ඇතුල් පැත්ත අඩි 4ක් ද පිට පැත්ත අඩි 10ක් ද සේ ක්‍රමයෙන් පළල් වන පරිදි තමයි තනා ඇත්තේ.  කොටු බැම්ම ඇතුළතින් අඩි 13ක් උසැතියි. ඉන් ඉහළට පිහිටි ආරක්ෂිත පවුර උසින් අඩි 3ක්.

වෙඩි බෙහෙත් ගබඩා- srilankatravels.com

 

ආරුක්කු සහිත ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වූ පසු තවත් ආරුක්කු දොරටු දෙකක් හමු වෙනවා. ඒ දෙපස ඇත්තේ වෙඩි බෙහෙත් ගබඩා කළ කුටි දෙකක්. ඇතුළත සොල්දාදුවන්ගේ කාමර, කාර්යාලය, වෙඩි බෙහෙත් ගබඩා පිහිටා තිබෙනවා.  ඒ වටා යන සේ උස් වේදිකාවක් තනා තිබෙනවා. කොටුව මැද අංගනයක තිබූ ළිඳ වර්තමානයේ ද ආරක්ෂා වී තිබෙනවා. ළිඳේ විෂ්කම්භය අඩි 9ක්.

ඇතුළත සිට පිටත   ප්‍රවේශය පෙනෙන අයුරු- srilankatravels.com

තාරකා කොටුව ඉංග්‍රීසින්ට

ක්‍රිස්තු වර්ෂ 1796 දී ශ්‍රී ලංකාවේ මුහුදුබඩ පළාත් බ්‍රිතාන්‍යයන් යටත් කර ගැනීමත් සමඟ  තාරකා කොටුව ද ඔවුන්ට අයත් වුණා.  ඔවුන් එය සිවිල් පරිපාලන කාර්යාලයක් ලෙස මුලින් ම යොදා ගත්තා. ඒ අතර ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කර ඇත්තේ මුල් සැලැස්මට හානිවන ආකාරයට යි.  පසුව රජයේ ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුව එහි පවත්වා ගෙන ගොස් තිබෙනවා. තාරකා කොටුව පුරාවිද්‍යා දෙපර්තමේන්තුවට භාරදෙන ලෙස යෝජනාවක් රාජ්‍ය මන්ත්‍රණ සභාව  1941 දී සම්මත කර ගත්තත් එය ක්‍රියාත්මක වුණේ නැහැ.  මාතර නගර සභාවට අයිති ව තිබූ මෙම ගොඩනැගිල්ල 1965 දී  නගර සභා මහජන පුස්තකාලය ලෙස භාවිත කිරීම ඇරඹුණා. ඒ කාලයේ මෙයට පොල්අතු සෙවිලි කර තිබු බව සඳහන් වෙනවා.

කොටු පවුර පිටුපස – wikipedia.org

පුරාවිද්‍යා ස්මාරකයක්

1974 දී මෙය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පවරා දුන් අතර ඉන්පසු එය පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස නම් කරනවා. 1986 වනවිට හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය රෝලන්ඩ් සිල්වාගේ මූලිකත්වයෙන් තාරකා කොටුව පැරණි ස්වරූපයට අනුව සංරක්ෂණය කර නිම කළා. ඒ සඳහා කොටුවේ මුල් සැලසුම් නෙදර්ලන්තයෙන් ( ඕලන්දය) ගෙන්වා ගෙන තිබෙනවා. නෙදර්ලන්ත ආධාර ඇතිව මෙහි අංගසම්පූර්ණ සංරක්ණයක් 2007 වර්ෂයේ දීත් සිදු කළා. ඉන් පසු ශ්‍රී ලංකාවේ පැරණි චිත්‍ර කලාවේ ඉතිහාසය දක්වන කෞතුකාගාරයක අයුරින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තාරකා කොටුවේ පවත්වාගෙන ගියා. වර්ෂ 2011  සිට මෙම ගොඩනැගිල්ල මාතර පුරාවිද්‍යා කෞතුකාගාරය ලෙස පවත්වාගෙන යනවා.

කොටුව ඇතුළෙන් කොටු පවුරට නැගීමට පඩිපෙළක් ද ඉදිකොට තිබෙනවා. කොටු බැම්ම ශෛලමය ප්‍රාකාරයක් ලෙස පවතිනවා. එහි ඝනකම අඩි 14ක්. ඒ මත කාලතුවක්කු සවි කර තිබුණු බවට සලකුණු දකින්න පුළුවන්. ලන්දේසි යුගයේ මෙහි පාලන කටයුතු සිදු කළේ ලන්දේසි සාජන්වරයකු යටතේයි.

10 කොටුව මැද පිහිටි ළිඳ – dinamina.lk

පුරාවිද්‍යා කෞතුකාගාරය

මෙහි දිසා පුරාවිද්‍යා කෞතුකාගාරයක් පිහිටුවීමට අවශ්‍ය ප්‍රතිපාදන සැපයුවේ එදා ලංකාව යටත්කරගෙන මෙම කොටුව ඉදිකළ ලන්දේසි (නෙදර්ලන්ත) ආණ්ඩුවයි. මාතර දිස්ත්‍රික්කයේ සහ රුහුණේ පුරාවිද්‍යා ඉතිහාසය මූර්තිමත් වන සේ කෞතුකාගාරය සකස් කර තිබෙනවා. මෙහි ප්‍රධාන මැදිරි දෙකක් යටතේ පුරාණ වාස්තු විද්‍යාව, ප්‍රාග් ඉතිහාසය, කලා ඉතිහාසය, සෙල්ලිපි, කාසි ආදී වශයෙන් කොටස්වලට බෙදා පුරාවස්තු ප්‍රදර්ශනය කෙරනවා.  

තාරකාවක හැඩය ගත් ශ්‍රීලංකාවේ එක ම බළකොටුව ඉහළට දිස් වන අයුරු – facebook.com/Tothebeautifulworld

 

යටත්විජිත යුගයේ සිහිටවන, සුළු කලා ශිල්ප ආදියට අයත් පුරාවස්තුත් මෙහි දී නැරඹීමට පුළුවන්. මාතර අවට විහාරවල බිතුසිතුවම් පිටපත් ද මෙම කටුගේ අලංකාර කරනවා. පනාකඩුව තඹ සන්නස, ගාල්ලේ ත්‍රිභාෂා පුවරු ලිපිය වැනි මාතරට වැදගත් පුරාවස්තුවල ආකෘතිත් මෙහි තැන්පත් කර තිබෙනවා.

ඔබ ඉදිරි දිනක මාතරට ගියොත් තාරකා කොටුව නැරඹීමටත් මතක තබා ගන්න.

කවරයේ ඡායාරූපය -  තාරකා කොටු දොරටුව - Getty Images - lonelyplanet.com 

මූලාශ්‍ර:

මාතර තාරකා කොටුව කෞතුකාගාරය-වසන්තා අලහකෝන්, පුරාවිද්‍යා දෙපා.

පැරණි රුහුණේ අසිරිය- සිරිසමන් විජේතුංග, පුරාවිද්‍යා දෙපා.

Dinamina.lk

Mihithuru.lk

Related Articles