ලංකාවේ ඉතිහාසය පිළිබඳව සොයන බොහෝ දෙනෙකු ප්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳව හැදෑරීම සඳහා උනන්දුවක් දක්වනවා. ඒ මීට වසර දහස් ගාණකට පෙර මෙරට ජීවත් වුණු මානවයන්ගේ ජීවන රටාව පිළිබඳව දැනගැනීමට තිබෙන කැමැත්ත නිසා යි. සාමාන්‍යයෙන් ප්‍රාග් ඓතිහාසික යුගය ලෙසින් සලකනු ලබන්නේ ක්‍රි.පූ 125,000 හෝ ඊට පෙර යුගයේ සිට ක්‍රි.පූ 1000 දක්වා ගෙවුණු කාල පරාසය යි. එම කාල සමය තුළ පුරා ශිලා, මධ්‍ය ශිලා, සහ නව ශිලා යනුවෙන් යුග තුනක් පැවතුණු බව පැරණි ඉතිහාස මූලාශ්‍රවල සඳහන් වනවා.
ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයන් බොහෝ විට ජීවත් වුණේ ගල් ගුහා ආශ්‍රිතව යි. එදා ආදි මානවයන් වාසය කළ ගල් ගුහා අදටත් ඉතිරිව පවතිනවා. පසුගිය දශක කිහිපය තුළ ඒවා ආශ්‍රිතව සිදුකරන ලද කැණීම් මඟින් ඔවුන්ගේ ජීවන රටාව පිළිබඳව සාක්ෂ්‍ය රැසක් හමු වුණා. මෙම ලිපිය තුළින් තොරතුරු ඉදිරිපත් කරන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් වුණු ගල් ලෙන් තුනක් පිළිබඳව යි.
බුලත්සිංහල පාහියන් ලෙන (ආසන්න වශයෙන් ක්‍රි.පූ 34,000)
ඉපැරණි පාහියන් ලෙන පිහිටා තිබෙන්නේ කළුතර දිස්ත්‍රික්කයට අයත් යටගම්පිටිය ග්‍රාමයේ යි. ක්‍රි.ව 5 වන සියවසේ දී මෙරටට පැමිණි පාහියන් නම් චීන භික්ෂූන් වහන්සේ ටික කලක් මෙම ලෙන තුළ වැඩ වාසය කළ නිසා එයට පාහියන් ලෙන නම් නම ලැබුණු බවට විශ්වාසයක් පවතිනවා. ස්වභාවික සෑදී ඇති ඉතාමත් විශාල ගල් ලෙනක් වන පාහියන් ලෙන දිගින් අඩි 282ක් පමණ වන විට පළලින් අඩි 175ක් පමණ වනවා. මෙම ගල් ලෙන තුළ ක්‍රි.පූ 34,000දී පමණ ආදි මානවයන් වාසය කරන්නට ඇතැ යි විශ්වාස කරනවා.
දැනට ලංකාවේ පිහිටා තිබෙන විශාලතම ස්වභාවික ගල් ලෙනයැ යි සැලකෙන පාහියන් ලෙන තුළ මුල්ම වරට කැණීම් සිදුකරනු ලැබුවේ 1986 වසරේ දී යි. එදා ප්‍රධාන පස් තට්ටුව පස් තට්ටු 8ක් ලෙස හඳුනාගෙන පිහිටිගල දක්වාම කැණීම් සිදුකරනු ලැබුවා. එම කැණීම් සඳහා අමෙරිකාවේ කෝනල් විශ්වවිද්‍යාලයේ සුප්‍රකට පුරාවිද්‍යාඥයකු වුණු මහාචාර්ය කෙනත් කෙනඩි ද සහභාගි වුණා. එම කැණීම්වලින් ප්‍රාග් ඓතිහාසික යුගයේ ජීවත් වුණු මානවයන්ගේ අස්ථි කොටස්, එම මානවයන් විසින් ආහාරයට ගන්නා ලදැ යි සැලකෙන නොයෙකුත් සත්වයන්ගේ ඇටකටු, බාගෙට තම්බාගත් ගොළුබෙල්ලන්ගේ ගොළුබෙලි කටු, පිළිස්සූ කැකුණ ඇට වැනි දේ හමු වුණා. එසේම ගල් ලෙනේ ජීවත් වුණු ආදි මානවයන් භාවිත කළ බවට සැලකෙන ගල් අවි කිහිපයක් ද එහිදී සොයාගනු ලැබුවා. එදා පාහියන් ලෙන තුළින් සොයාගත් මිනිස් හිස් කබල වර්ෂ 30000කට වඩා පැරණි එකක් බව ඉතිහාසඥයන්ගේ මතය යි.
ඉන් පසුව යළිත් මෙහි කැණීම් කටයුතු සිදුකරන ලද්දේ 2012 වසරේ දී යි. එම කැණීමේ දී ප්‍රධාන පස් තට්ටුව ඉතා සියුම් ලෙස පස් තට්ටු 131කට වෙන් කරගෙන පරීක්ෂණ කටයුතු සිදු කළා. එහි දී සෑම පස් තට්ටුවකින්ම හමුවුණු අඟුරු කොටස් කාල නිර්ණය සඳහා යවනු ලැබුවා. එම කැණීම්වලින් මතුවුණු වර්ෂ 12000ක් පමණ පැරණි අවශේෂ පස් තට්ටුවකින් සම්පූර්ණ මිනිස් ඇටසැකිල්ලක් හමුවුණා. ඉන්පසුව එම අස්ථි කොටස් එංගලන්තයට යවා සිදුකරන ලද කාල නිර්ණයෙන් අනාවරණය වුණේ, එය වසර 10,000කට පමණ පෙර මියගිය අවුරුදු 18-22 අතර තරුණියකගේ බව යි. එය ලංකාවෙන් සොයාගත් මධ්‍ය ශිලා යුගයට අයත් එකම සම්පූර්ණ ඇට සැකිල්ල යි.
කුරුවිට බටදොඹ ලෙන (ආසන්න වශයෙන් ක්‍රි.පූ 32,500)
රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට ප්‍රදේශය ආශ්‍රිතව පිහිටා තිබෙන බටදොඹ ලෙන ප්‍රාග් ඓතිහාසික මධ්‍ය ශිලා යුගයේ මානවයන් වාසය කළ ස්ථානයක් ලෙසින් හඳුනාගෙන තිබෙනවා. එය මෙරට වාසය කළ බලංගොඩ මානවයාගේ පැරණිතම වාසස්ථානයක් බවට පත්ව තිබුණා. මෙම ලෙනෙහි විවරයේ උස මීටර් 11ක් පමණ වන විට ලෙන අභ්‍යන්තරයේ පළල මීටර් 10ක් පමණ වනවා.
බටදොඹ ලෙනෙහි මුල්ම පුරාවිද්‍යා කැණීම සිදුවුණේ 1937 වසරේ දී යි. ඒ සඳහා මූලිකත්වය ගත්තේ ජාතික කෞතුකාගාරයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු මෙන්ම, සුප‍්‍රකට සත්ත්ව විද්‍යාඥයෙකු වුණු ආචාර්ය පෝල් දැරණියගල යි. එහි දී ඔහු අනුමාන කළේ බටදොඹ ලෙන ආශ්‍රිතව තිබුණු මානව ජනාවාස හොලෝසීන යුගයේ මුල් අවධියට අයත් වුණු බව යි.
1968 වසරේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් අංශය ආරම්භ වුණා. එහි ප්‍රධාන අරමුණක් වුණේ ප්‍රාග් ඓතිහාසික මානවයන් පිළිබඳව ගවේෂණය කිරීම යි. එවකට පුරාවිද්‍යා කොමසාරිස්වරයා ලෙසින් කටයුතු කළ ආචාර්ය රාජා ද සිල්වා විසින් කැණීම් අංශය මෙහෙයවීමේ වගකීම භාරදුන්නේ දක්ෂ පුරාවිද්‍යාඥයෙකු වුණු ආචාර්ය ශිරාන් දැරණියගලට යි. ශිරාන් දැරණියගල විසින් බටදොඹ ලෙන ආශ්‍රිතව කැණීම් කටයුතු සිදුකෙරෙන ලද්දේ 1979-1986 කාල සමය තුළ යි. එම පරීක්ෂණවල දී අනාවරණය වුණේ බටදොඹ ලෙන ආශ්‍රිතව පැවති මානව ජනාවාසයන් ඊට වසර 17,000-36,000 අතර යුගයට අයත් ඒවා බව යි. එසේම එම පරීක්ෂණ අතරතුර මානවයන්ගේ අස්ථි කොටස් රැසක් ද සොයාගැනීමට හැකි වුණා.
2005 වසරේ දී නැවතත් මෙම ලෙන ආශ්‍රිතව කැණීම් සිදු කළා. එම කැණීම්වල දී මීට වසර 27,000කට පමණ පෙර වාසය කළ බලංගොඩ මානවයන්ගේ ඇටසැකිලි සහ අවශේෂ ද, ජ්‍යාමිතික ශිලා මෙවලම්, සත්ත්ව ඇටකටු සහ තවත් පොසිල ද සොයාගත්තා. ඒ අනුව වර්ෂ 1979 සිට 2005 කාල සමය තුළ බටදොඹ ලෙන ආශ්‍රිතව සිදුකළ කැණීම්වලින් බලංගොඩ මානවයන් 35 දෙනෙකුගේ පමණ ඇටසැකිලි සහ ශරීර අවශේෂ හමුව තිබෙනවා.
කිතුල්ගල බෙලිලෙන (ආසන්න වශයෙන් ක්‍රි.පූ 27,000)
ලංකාවේ ප්‍රාග් ඓතිහාසික ජනාවාස හමු වුණු ස්ථාන අතුරින් කිතුල්ගල බෙලිලෙනට සුවිශේෂී ස්ථානයක් හිමිවනවා. සබරගමුව පළාතේ කිතුල්ගල ප්‍රදේශයේ පිහිටා තිබෙන මෙම ස්ථානය පිළිබඳව මුලින්ම කරුණු අනාවරණය කරගනු ලැබුවේ කීර්තිමත් පුරාවිද්‍යාඥයෙකු වුණු පෝල් දැරණියගල යි. 1960 දශකයේ දී මුල්ම වරට මෙම ස්ථානයට පැමිණි පෝල් දැරණියගල එහි තිබුණු ශිලා මෙවලම් සහ අස්ථි කොටස් රැගෙන ගියේ වැඩිදුර පර්යේෂණ කටයුතු කිරීම සඳහා යි. 1978 වසරේ දී ඔහුගේ පුත් ශිරාන් දැරණියගල විසින් බෙලි ලෙන ආශ්‍රිතව කැණීම් කටයුතු ආරම්භ කළා. එම අවස්ථාවේ දී එහි ජනාවාස තිබුණු බව තහවුරු වීමත් සමගම කැණීම් කටයුතු අඛණ්ඩව කරගෙන ගියා. 1983 වසර වන තුරු සිදුකරන ලද පර්යේෂණවලින් මානව අස්ථි කොටස්, ශිලා මෙවලම්, ගස් ගොලුබෙලි කටු ආදිය හමු වුණා.
1986 වසරේ දී යළි මෙහි කැණීම් ආරම්භ කළේ ශිරාන් දැරණියගල සහ එච්. විජයපාල යන පුරාවිද්‍යාඥයන් දෙදෙනා යි. එම පරීක්ෂණවල දීත් සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට හැකි වුණා. නැවතත් 2005 වසරේ දී ආචාර්ය නිමල් පෙරේරා විසින් මෙම ස්ථානයෙන් ලබාගැනුණු පස් නියැඳි, විද්‍යාගාර මට්ටමින් පර්යේෂණය කර, නවීන මානවයන්ගේ තොරතුරු රැසක් හෙළිදරව් කරගැනීමට සමත් වුණා. එහිදී ක්ෂුද්‍ර පාංශු පැතිකඩ විශ්ලේෂණ ක්‍රමය අප රට තුළ දී මුල්ම වරට භාවිතා කරමින් විද්‍යාත්මක තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට අවස්ථාව ලැබුණා.
2013 වර්ෂයේ දී ශේෂ මූල ද්‍රව්‍ය විශ්ලේෂණ මඟින් අදින් වසර 20,000 කට පමණ පෙර නිවර්තන වැසි වනාන්තර පරිසර තත්ත්වවලට ඔරොත්තු දෙමින්, ප්‍රාග් මානවයන් සාර්ථක දිවිපෙවතක් ගත කළ බවට තොරතුරු හෙළිකර ගැනීමට හැකි වුණා. එම යුගයේ දී මෙම ප්‍රදේශය ආශ්‍රිතව ජිවත්ව සිටි මානවයන් ශාක සහ මාංශ වර්ග ආහාරයට ගෙන ඇති බව මෙම භූමියෙන් හමු වුණු සාධකවලට අනුව නිගමනය කළ හැකියි. එහිදී අනුභව කළ ශාක වර්ග අතරට බැදි දෙල්, ඇටි කෙහෙල්, කටු අල වැල් අල ඉන්නල, හිඟුරල ආදිය අයත් වන විට ආහාරයට ගත් මාංශ වර්ග අතරට උරගයින්, බෙල්ලන්, ඌරා, ගෝනා, තිත් මුවා, මීමින්නා, ඉත්තෑවා, හාවා වැනි සතුන් වර්ග ඇතුළත් වුණා. එසේම මෙම ප්‍රදේශයෙන් හමුව තිබුණු ශිලා මෙවලම් වසර 12,000-27,000 අතර යුගයට අයත් බවට විශ්වාස කරනවා. ආදි මානවයා එම ගල් ආයුධ භාවිතා කරමින් දඩයම් කිරීම, මස් සකස් කිරීම, සහ අල සුද්ධ කිරීම වැනි කාර්යයන් සිදුකරනු ලැබුවා. දශක ගණනාවක් තිස්සේ මෙම බිම ආශ්‍රිතව සිදුකරන ලද පරීක්ෂණවලින් මානවයන් 30කට ආසන්න ගණනකගේ අස්ථි කොටස් හමු වී තිබෙනවා.
ඔබ ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගයේ තොරතුරු සෙවීමට වඩාත් උනන්දුවක් දක්වන කෙනෙක් නම් මෙම ස්ථාන තුන නැරඹීම සඳහා අනිවාර්යෙන්ම යා යුතු යි. එසේම ලංකාවේ ප්‍රාග් ඓතිහාසික ස්ථාන ආශ්‍රිතව සිදු කරන ලද පර්යේෂණවල වාර්තා කියවිය යුතු යි. එවිට අපේ මුතුන්මිත්තන් ගත කළ ජීවිතය පිළිබඳව ඔබට පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට හැකිවනු ඇති බවට සැකයක් නැහැ.