නැගෙනහිර පළාතට අයත් වන දිගාමඩුල්ල දිස්ත්‍රික්කය ආසන 4කින් සමන්විත වනවා. සෑම වර්ගයකටම අයත් ජාතීන් සැලකිය යුතු ප්‍රමාණයක් ජීවත් වන මෙම දිස්ත්‍රික්කය තුළ මුස්ලිම් සහ දෙමළ පක්ෂවලට සැලකිය යුතු තරම් බලයක් තිබෙනවා. එම නිසාම දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය ලබාගත හැක්කේ මුස්ලිම් සහ දෙමළ පක්ෂවල සහයෝගය ලැබෙන ප්‍රධාන පක්ෂයක අපේක්ෂකයාට යි.
දිගාමඩුල්ල දිස්ත්‍රික්කයට අයත් වන ආසන
1976 දී නොයෙල් තිත්තවැල්ල කොමිසම විසින් සිදුකළ සීමා නිර්ණයෙන් පසුව දිගාමඩුල්ල දිස්ත්‍රික්කය ආසන 4කට වෙන්වුණේ පහත සඳහන් ආකාරයට යි.
1) අම්පාර ආසනය
2) සමන්තුරේ ආසනය
3) කල්මුණේ ආසනය
4) පොතුවිල් ආසනය
අම්පාර ආසනය
1946 වසරේ සෝල්බරි කොමිසම විසින් සිදුකළ සීමා නිර්ණයේ දී දකුණු මඩකළපුව ආසනය මඩකළපුව, කල්මුණේ, පොතුවිල්, සහ පදිරිප්පු ලෙස ආසන 4කට වෙන්වුණා. ඉන්පසුව, 1959 වසරේ දී වෝල්ටර් තල්ගොඩපිටිය කොමිසම විසින් සිදුකළ සීමා නිර්ණයේ දී ඉහත ආසන හතරෙන් කොටස් වෙන් වී අම්පාර ආසනය නිර්මාණය වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට වඩාත් වාසිදායක ආසනයක් වන අම්පාර ආසනය, අවසන් වරට පැවැත්වුණු ජනාධිපතිවරණ 5 දී ම ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල යි.
සමන්තුරේ ආසනය
1959 වසරේ දී කල්මුණේ, මඩකළපුව, පොතුවිල්, පදිරිප්පු ආසනවලින් කොටස් එකතු වී නින්දවූර් නම් ආසනය නිර්මාණය වුණා. ඉන්පසුව, 1976 වසරේ දී නින්දවූර් ආසනයේ නම සමන්තුරේ ලෙසින් වෙනස් කරනු ලැබුවා. මුස්ලිම් සහ දෙමළ පක්ෂවලට විශාල බලපෑමක් කළ හැකි ආසනයක් වන සමන්තුරේ ආසනය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල ජයග්‍රහණය කර තිබෙන්නේ 1994 සහ 1999 ජනාධිපතිවරණවල දී පමණ යි. එහි දී මුස්ලිම් කොංග්‍රසයේ සහාය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට ලැබුණු නිසා එලෙස සමන්තුරේ ආසනය ජයග්‍රහණය කිරීමට හැකි වුණා.
කල්මුණේ ආසනය
1946 වසරේ දී දකුණු මඩකළපුව ආසනයෙන් කොටසක් වෙන් වී කල්මුණේ ආසනය නිර්මාණය වුණා. විශේෂයෙන්ම මුස්ලිම් පක්ෂවලට වැඩි බලපෑමක් කළ හැකි කල්මුණේ ආසනය, 1994 සහ 1999 ජනාධිපතිවරණ හැර ඉතිරි ජනාධිපතිවරණ 5 දී ම ජයග්‍රහණය කළේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල යි. එසේ ම එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට මෙම දිස්ත්‍රික්කය තුළ වැඩිම වාසිය තිබෙන ආසනය වන්නේ ද කල්මුණේ ආසනය යි.
පොතුවිල් ආසනය
1946 වසරේ සෝල්බරි කොමිසම විසින් සිදුකළ සීමා නිර්ණයේ දී දකුණු මඩකළපුව ආසනයෙන් කොටසක් වෙන් වී පොතුවිල් ආසනය නිර්මාණය වුණා. දිස්ත්‍රික්කයේ ඇති බොහෝ ආසනවල මෙන්ම මෙම ආසනයේ දීත් දෙමළ සහ මුස්ලිම් පක්ෂ බලවත් වනවා. ඒ අනුව එම පක්ෂ බොහෝ අවස්ථාවල එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලේ අපේක්ෂකයාට සහාය ලබාදුන් නිසා 1982, 2005, 2010, සහ 2015 ජනාධිපතිවරණවල දී මෙම ආසනය ජයග්‍රහණය කළේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල යි.
ජනාධිපතිවරණවල දී දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ඉරණම විසඳුණු අයුරු
80 දශකයේ පැවති ජනාධිපතිවරණ 2 දී ම දිගාමඩුල්ල දිස්ත්‍රික් ජයග්‍රහණය හිමි වුණේ, එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට යි. ඉන්පසුව මුස්ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට සහාය දීම නිසා 1994 සහ 1999 ජනාධිපතිවරණවල දී මෙම දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල යි. නමුත්, පසුකලෙක මුස්ලිම් කොංග්‍රසය සහ දෙමළ පක්ෂ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල සමග එකතු වුණු නිසා අවසන් ජනාධිපතිවරණ 3 දී ම දිගාමඩුල්ල දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල යි.
1982 ජනාධිපතිවරණය
මෙම ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ජේ. ආර්. ජයවර්ධන තරග කරන විට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හෙක්ටර් කොබ්බෑකඩුව තරග වැදුණා. එවර ජනාධිපතිවරණයේ දී දිස්ත්‍රික්කය තුළ තිබෙන ආසන 4ම පහසුවෙන් ජයග්‍රහණය කළ ජේ. ආර්. ජයවර්ධන, දිගාමඩුල්ල දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 36,676කින්.
ජේ. ආර්. ජයවර්ධන- ඡන්ද 90,772 (56,39%)
හෙක්ටර් කොබ්බෑකඩුව- ඡන්ද 53,096 (32,99%)
1988 ජනාධිපතිවරණය
1988 වසරේ පැවති ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයෙන් රණසිංහ ප්‍රේමදාස තරග වදින විට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ සිරිමාවෝ බණ්ඩාරනායක තරග වැදුණා. දැඩි භීෂණකාරී වටපිටාවක පැවති එම ජනාධිපතිවරණයේ දී දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ජනතාව 72.89%කට වැඩි ප්‍රමාණයක් සිය ඡන්දය ප්‍රකාශ කර තිබීම සුවිශේෂී සිදුවීමක් වුණා. එහි දී පොතුවිල් ආසනය හැර ඉතිරි ආසන 3ම ජයග්‍රහණය කළ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ අපේක්ෂකයා දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 13,283කින්
රණසිංහ ප්‍රේමදාස- ඡන්ද 96,420 (50.77%)
සිරිමාවෝ බණ්ඩාරනායක- ඡන්ද 83,137 (43.78%)
1994 ජනාධිපතිවරණය
1994 ජනාධිපතිවරණය සඳහා පොදුජන එක්සත් පෙරමුණෙන් (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල) චන්ද්‍රිකා බණ්ඩාරනායක ඉදිරිපත් වන විට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වුණේ ශ්‍රීමතී දිසානායක යි. එවර ජනාධිපතිවරණයේ දී විශාල ජනරැල්ලක් චන්ද්‍රිකා බණ්ඩාරනායක වටා ගොඩනැගී තිබුණු නිසා දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ආසන 4ම පහසුවෙන් ජයගැනීමේ අවස්ථාව හිමි වුණේ පොදුජන එක්සත් පෙරමුණට යි. එහි දී චන්ද්‍රිකා බණ්ඩාරනායක වාර්තා කළ 72.4ක වාර්තාගත ඡන්ද ප්‍රතිශතය, ජනාධිපතිවරණ ඉතිහාසය තුළ මෙම දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණු ඉහළම ඡන්ද ප්‍රතිශතය බවටත් පත් වුණා.
චන්ද්‍රිකා බණ්ඩාරනායක- ඡන්ද 168,289 (72.40%)
ශ්‍රීමතී දිසානායක- ඡන්ද 59,074 (25.40%)
1999 ජනාධිපතිවරණය
1999 ජනාධිපතිවරණයේ දී පොදුජන එක්සත් පෙරමුණෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක තරග වදින විට, එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදුණේ රනිල් වික්‍රමසිංහ යි. එවරත් චන්ද්‍රිකා බණ්ඩාරනායක දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ආසන 4ම පහසුවෙන් ජයග්‍රහණය කළත්, ලබාගත් ඡන්ද ප්‍රතිශතය 55.59% දක්වා අඩු වී තිබුණා.
චන්ද්‍රිකා බණ්ඩාරනායක- ඡන්ද 149,593 (55.59%)
රනිල් වික්‍රමසිංහ- ඡන්ද 109,805 (40.80%)
2005 ජනාධිපතිවරණය
2005 ජනාධිපතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් (ශ්‍රී ලංකා නිදහස් පක්ෂයය ප්‍රමුඛ පිල) මහින්ද රාජපක්ෂ තරග වදින විට, එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදුණේ රනිල් වික්‍රමසිංහ යි. එවර රනිල් වික්‍රමසිංහ අම්පාර ආසනය හැර ඉතිරි ආසන 3ම ජයග්‍රහණය කළ නිසා, දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 36,869ක් ලබා ගනිමින්.
රනිල් වික්‍රමසිංහ- ඡන්ද 159,198 (55.81%)
මහින්ද රාජපක්ෂ- ඡන්ද 122,329 (42.88%)
2010 ජනාධිපතිවරණය
2010 ජනාධිපතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහින්ද රාජපක්ෂ තරග වදින විට, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් (එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල) තරග වැදුණේ සරත් ෆොන්සේකා යි. එවර දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ අම්පාර ආසනය හැර ඉතිරි ආසන 3ම ජයග්‍රහණය කළේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලේ අපේක්ෂකයා යි. එම නිසා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල දිස්ත්‍රික් ජයග්‍රහණය හිමිකර ගත්තේ වැඩි ඡන්ද 6,193කින්.
සරත් ෆොන්සේකා- ඡන්ද 153,105 (49.94%)
මහින්ද රාජපක්ෂ- ඡන්ද 146,912 (47.92%)
2015 ජනාධිපතිවරණය
2015 ජනාධිපතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහින්ද රාජපක්ෂ තරග වදින විට, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් තරග වැදුණේ මෛත්‍රීපාල සිරිසේන යි. එවරත් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලේ අපේක්ෂකයා අම්පාර ආසනය හැර ඉතිරි ආසන තුනම පහසුවෙන් ජයග්‍රහණය කළා. එම නිසාම ඔහුට වැඩි ඡන්ද 112,333කින් දිස්ත්‍රික්කය ජයග්‍රහණය කිරීමට හැකි වුණා.
මෛත්‍රීපාල සිරිසේන- ඡන්ද 233,360 (65.22%)
මහින්ද රාජපක්ෂ- ඡන්ද 121,027 (33.82%)