Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජනාධිපතිවරණ ඉතිහාසය තුළ ගාල්ල දිස්ත්‍රික්කයේ ජනමතය හැසිරුණු ආකාරය

දකුණු පළාතට අයත් දිස්ත්‍රික්කයක් වන ගාල්ල, අතීතයේ සිටම පැවති මැතිවරණවල දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට වාසිදායක දිස්ත්‍රික්කයක් වුණා. නමුත් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල 1982 වසරේ පැවති මුල්ම ජනාධිපතිවරණයේ දී ගාල්ල දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළා. එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ජේ.ආර් ජයවර්ධන එලෙස ගාල්ල ජයග්‍රහණය කිරීමෙන් පසුව පැවැත්වුණු ජනාධිපතිවරණ 6 දීම ගාලු දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය හිමිවුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට යි. 

ගාල්ල දිස්ත්‍රික්කයට අයත්වන ආසන

1976 දී නොයෙල් තිත්තවැල්ල කොමිසම විසින් සිදුකළ සීමා නිර්ණයෙන් පසුව ගාල්ල දිස්ත්‍රික්කය ආසන 10කට වෙන්වුණේ පහත සඳහන් ආකාරයට යි.

1) බලපිටිය ආසනය

2) අම්බලන්ගොඩ ආසනය

3) කරන්දෙණිය ආසනය

4) බෙන්තර-ඇල්පිටිය ආසනය

5) හිනිදුම ආසනය 

6) බැද්දේගම ආසනය 

7) රත්ගම ආසනය 

8) ගාල්ල ආසනය 

9) අක්මීමන ආසනය 

10) හබරාදූව ආසනය 

බලපිටිය ආසනය 

1931 වසරේ සිට පැවති බලපිටිය ආසනය 1947 දී අම්බලන්ගොඩ-බලපිටිය බහු මන්ත්‍රී ආසනය බවට පත්වුණා. නමුත් 1959 දී වෝල්ටර් තල්ගොඩපිටිය කොමිසම මඟින් සිදුකළ සීමා නිර්ණයෙන් පසුව නැවතත් බලපිටිය තනි ආසනයක් බවට පත්වුණා. 1982 සහ1988 ජනාධිපතිවරණවල දී එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළ මෙම ආසනය ඉන් පසුව පැවැත්වුණු ජනාධිපතිවරණ 5 දීම ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල යි.

අම්බලන්ගොඩ ආසනය 

1959 දී අම්බලන්ගොඩ-බලපිටිය බහු ආසනයෙන් කොටසක් කැඩී අම්බලන්ගොඩ ආසනය නිර්මාණය වුණා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට වඩාත් වාසිදායක මෙම ආසනය ඔවුන් පරාජයට පත්වුණේ 1982 ජනාධිපතිවරණයේ දී පමණ යි.

කරන්දෙණිය ආසනය 

1976 වසරේ නොයෙල් තිත්තවැල්ල කමිටුව විසින් සිදුකළ සීමා නිර්ණයේ දී  අම්බලන්ගොඩ, බලපිටිය, සහ බෙන්තර-ඇල්පිටිය ආසනවලින් කොටස් එකතු වී කරන්දෙණිය නම් නව ආසනය නිර්මාණය වුණා. ගාල්ල දිස්ත්‍රික්කය තුළ පිහිටා ඇති ආසන අතුරින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වඩාත් හිතකර ආසනයක් වන කරන්දෙණිය ඔවුන් පරාජයට පත්වුණේ 1982 ජනාධිපතිවරණයේ දී පමණ යි. 2010 ජනාධිපතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කළ මහින්ද රාජපක්ෂ 70% ඉක්මවා ඡන්ද ලබාගනිමින් කරන්දෙණිය ආසනය ජයග්‍රහණය කිරීම සුවිශේෂී සිදුවීමක් වුණා.

බෙන්තර-ඇල්පිටිය ආසනය 

1959 වසරේ සිදුවුණු සීමා නිර්ණයේ දී අම්බලන්ගොඩ-බලපිටිය ආසනයෙන් බෙන්තර ප්‍රදේශයත් බද්දේගම ආසනයෙන් ඇල්පිටිය ප්‍රදේශයත් එකට ඈඳා බෙන්තර-ඇල්පිටිය නම් නව ආසනය නිර්මාණය කරනු ලැබුවා. කරන්දෙණිය ආසනය මෙන්ම මෙම ආසනයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට වඩාත් වාසිදායක ආසනයක්. එම නිසාම ඔවුන් මෙම ආසනය පරාජයට පත්වුණේ 1982 ජනාධිපතිවරණයේ දී පමණ යි.

හිනිදුම ආසනය 

1931 වසරේ සිට පැවති උඩුගම ආසනය 1947 දී උඩුගම සහ බද්දේගම නමින් ආසන 2කට වෙන්වුණා. ඉන් අනතුරුව 1959 දී උඩුගම ආසනයේ නම හිනිදුම ලෙසින් වෙනස් කරනු ලැබුවා. අතීතයේ සිටම එක්සත් ජාතික පක්ෂයට අවාසිදායක එකක් වුණු හිනිදුම ආසනය ඔවුන් ජයග්‍රහණය කළේ 1982 ජනාධිපතිවරණයේ දී පමණ යි.

බද්දේගම ආසනය 

1947 දී උඩුගම ආසනයෙන් කොටසක් කැඩී බද්දේගම ආසනය නිර්මාණය වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලකොටුවක් වන බද්දේගම ආසනය 1982-2015 දක්වා පැවැත්වුණු ජනාධිපතිවරණ 7දී ම ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල යි.

බද්දේගම ආසනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වාසිදායක එකක් කළ හෙන්රි අබේවික්‍රම (geni.com)

රත්ගම ආසනය 

1959 දී අම්බලන්ගොඩ-බලපිටිය බහු ආසනයෙන් කොටසක් කැඩී රත්ගම ආසනය නිර්මාණය වුණා. ගාල්ල දිස්ත්‍රික්කයේ ඇති අනිකුත් ආසන මෙන්ම මෙම ආසනයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට හිතකර ආසනයක් වන්නේ අතීතයේ සිටම යි. 1982 ජනාධිපතිවරණ්යේ පමණක් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල ජයග්‍රහණය කළ මෙම ආසනය අනිකුත් සෑම ජනාධිපතිවරණයක දී ම ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල යි. එම ජනාධිපතිවරණවල දී සිදුවුණු අමතක නොවන සිදුවීම වන්නේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ජේ.ආර් ජයවර්ධන 1982 දී  මෙම ආසනය ඡන්ද 3කින් ජයග්‍රහණය කිරීම යි. 

ගාල්ල ආසනය 

1931 වසරේ සිට පවතින ගාල්ල ආසනය එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට ඉතාමත් හිතකර ආසනයක් වනවා. එම නිසාම 1994 සහ 1999 ජනාධිපතිවරණ දෙක හැර සෙසු ජනාධිපතිවරණවල දී ගාල්ල ආසනය ජයග්‍රහණය කළේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල යි.

ගාල්ල ආසනය නියෝජනය කළ විජයානන්ද දහනායක (dailynews)

අක්මීමන ආසනය 

1959 දී ගාල්ල ආසනයෙන් කොටසක් කැඩී අක්මීමන ආසනය නිර්මාණය වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට අතීතයේ සිටම වඩාත් වාසිදායක ආසනයක් වන අක්මීමන ආසනය ඔවුන් පරාජයට පත්වුණේ 1982 ජනාධිපතිවරණයේ දී පමණ යි.

හබරාදූව ආසනය 

1959 දී වැලිගම ආසනයෙන් කොටසක් වෙන් වී හබරාදූව ආසනය නිර්මාණය වුණා. අතීතයේ සිටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලේ බලකොටුවක් වුණු හබරාදූව ආසනය මෙතෙක් පැවති සියලුම ජනාධිපතිවරණවල දී ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල යි.

හබරාදූව නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රින්ස් ගුණසේකර (lankaviews.com)

ජනාධිපතිවරණවල දී ගාල්ල  දිස්ත්‍රික්කයේ ඉරණම විසඳුණු අයුරු 

ගාල්ල දිස්ත්‍රික්කයට අයත් ආසන අතුරින් ගාල්ල ආසනය හැර සෙසු ආසන 9ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට වඩාත් වාසිදායක වනවා. එම නිසාම එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලෙන් ජනාධිපතිවරුන් තේරී පත්වුණු 1988 සහ 2015 ජනාධිපතිවරණවල දී පවා ගාල්ල දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල යි.

1982 ජනාධිපතිවරණය 

මෙම ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ජේ.ආර් ජයවර්ධන තරග කරන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හෙක්ටර් කොබ්බෑකඩුව තරග වැදුණා. එහි දී ජේ.ආර් ජයවර්ධන බද්දේගම සහ අක්මීමන හැර අනිකුත් සියලුම ආසන ජයග්‍රහණය කළ නිසා ඔහු දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 30619ක් ලබාගනිමින්.

ජේ.ආර් ජයවර්ධන- ඡන්ද 211,544 (50.23%)

හෙක්ටර් කොබ්බෑකඩුව- ඡන්ද 180,925 (42.96%)

1988 ජනාධිපතිවරණය 

1988 වසරේ පැවති ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයෙන් රණසිංහ ප්‍රේමදාස තරග වදින විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ සිරිමාවෝ බණ්ඩාරනායක තරග වැදුණා. දැඩි භීෂණකාරී තත්වයක් රට පුරාම නිර්මාණය වී තිබුණු අවස්ථාවක පැවති එම ජනාධිපතිවරණයේ දී ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 49.78%ක් ලෙස සටහන් වුණා. එහිදී බලපිටිය, අම්බලන්ගොඩ සහ කරන්දෙණිය ආසනවල ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 23%ට වඩා අඩු වීම සුවිශේෂී සිදුවීමක් වුණා. නමුත් අවසානයේ දී බලපිටිය සහ ගාල්ල හැර අනිකුත් සියලුම ආසන ජයග්‍රහණය කළ සිරිමාවෝ බණ්ඩාරනායක දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 23703ක් ලබාගනිමින්.

සිරිමාවෝ බණ්ඩාරනායක- ඡන්ද 148,615 (53.09%)

රණසිංහ ප්‍රේමදාස- ඡන්ද 124,912 (44.62%)

1994 ජනාධිපතිවරණය 

1994 ජනාධිපතිවරණය සඳහා පොදුජන එක්සත් පෙරමුණෙන් (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල) චන්ද්‍රිකා බණ්ඩාරනායක ඉදිරිපත් වන විට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වුණේ ශ්‍රීමතී දිසානායක යි. එවර චන්ද්‍රිකා බණ්ඩාරනායක ගාල්ල දිස්ත්‍රික්කයේ ආසන 10ම පහසුවෙන් ජයගත් නිසා දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 112,116ක් ලබාගනිමින්.

චන්ද්‍රිකා බණ්ඩාරනායක- ඡන්ද 285,398 (61.40%)

ශ්‍රීමතී දිසානායක- ඡන්ද 173,282 (37.30%)

1999 ජනාධිපතිවරණය 

1999 ජනාධිපතිවරණයේ දී පොදුජන එක්සත් පෙරමුණෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක තරග වදින විට එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදුණේ රනිල් වික්‍රමසිංහ යි. එවරත් චන්ද්‍රිකා බණ්ඩාරනායක ගාල්ල දිස්ත්‍රික්කයේ ආසන 10ම ජයග්‍රහණය කළේ එතරම් අපහසුවකින් තොරව යි.

චන්ද්‍රිකා බණ්ඩාරනායක- ඡන්ද 281,154 (54.91%)

රනිල් වික්‍රමසිංහ- ඡන්ද 195,906 (38.26%)

2005 ජනාධිපතිවරණය 

2005 ජනාධිපතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් (ශ්‍රී ලංකා නිදහස් පක්ෂයය ප්‍රමුඛ පිල) මහින්ද රාජපක්ෂ තරග වදින විට එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදුණේ රනිල් වික්‍රමසිංහ යි. එවර මහින්ද රාජපක්ෂ ගාල්ල ආසනය හැර සෙසු ආසන 9ම ජයග්‍රහණය කළ නිසා ගාල්ල දිස්ත්‍රික්කය පහසුවෙන්ම ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 107,913ක් ලබාගනිමින්.

මහින්ද රාජපක්ෂ- ඡන්ද 347,233 (58.41%)

රනිල් වික්‍රමසිංහ- ඡන්ද 239,320 (40.26%)

2010 ජනාධිපතිවරණය 

2010 ජනාධිපතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහින්ද රාජපක්ෂ තරග වදින විට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් (එක්සත්  ජාතික පක්ෂය ප්‍රමුඛ පිල) තරග වැදුණේ සරත් ෆොන්සේකා යි. එවරත් ගාල්ල ආසනය හැර දිස්ත්‍රික්කයේ අනිකුත් ආසන 9ම ජයග්‍රහණය කළ මහින්ද රාජපක්ෂ ගාල්ල දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 175,338ක් ලබාගනිමින්. එසේම ජනාධිපතිවරණ ඉතිහාසය තුළ ගාල්ල  දිස්ත්‍රික්කය වැඩිම ප්‍රතිශතයකින් ජයග්‍රහණය කළ අපේක්ෂකයා බවට පත්වීමටත් ඔහුට හැකියාව ලැබුණා.. 

මහින්ද රාජපක්ෂ – ඡන්ද 386,971 (63.69%)

සරත් ෆොන්සේකා  – ඡන්ද 211,633 (34.83%)

2015 ජනාධිපතිවරණය 

2015 ජනාධිපතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහින්ද රාජපක්ෂ තරග වදින විට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් තරග වැදුණේ මෛත්‍රීපාල සිරිසේන යි. එවරත් මහින්ද රාජපක්ෂ ගාල්ල දිස්ත්‍රික්කයේ ආසන 9ක් ජයග්‍රහණය කරන විට මෛත්‍රීපාල සිරිසේන ජයග්‍රහණය කළේ ගාල්ල ආසනය  පමණ යි. එම නිසාම මහින්ද රාජපක්ෂ ගාල්ල දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 83,132ක් වාර්තා කරමින්.

මහින්ද රාජපක්ෂ- ඡන්ද 377,126 (55.64%)

මෛත්‍රීපාල සිරිසේන- ඡන්ද 293,994 (43.37%)

කවරයේ ඡායාරූපය- Roar සිංහල 

Related Articles