Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රත්නපුර ටවුමේ පැරණි තැන් වටා ගෙතුණු රහස් කතා

රත්නපුරේ කිව්ව ගමං අපට මතක් වෙන්නේ මැණික්. මැණික් යන අදහස ඇති “රත්න”, සහ නගරය යන යන අදහස ඇති “පුර” යන වචන එකතුවිමෙන් “රත්නපුර” වචනය සැදී තිබෙන බව අපි දන්නවා. අදත් රත්නපුර මැණික් ලෝකය පුරාම ප්‍රසිද්ධ යි. කොළඹ සිට කි. මී. 100ක් දුරින් පිහිටි රත්නපුරය සබරගමුව පළාතේ අගනුවර යි. බෑවුම් සහිත කඳු පෙදෙස්, ගංගා නිම්න, පහත් බිම් හා තැනිතලා ලක්ෂණවලින් යුක්ත වන රත්නපුර, මුහුදු මට්ටමේ සිට මීටර 18 සිට මීටර 305 දක්වා පරාසයක උසකින් යුක්ත යි. උඩරට රාජධානි කාලෙ දී සබරගමුව දිසාව පාලනය කළේ රත්නපුරරේ සිට යි. පසුව ඉංග්‍රීසි පාලන කාලේ වතු වගාවේ කේන්ද්‍රස්ථානයක් බවට නගරය පත්වුණා. මේ නිසා ඒ කාලෙ බ්‍රිතාන්‍යයන් රත්නපුරේ නිතර ගැවසුණා. රත්නපුර නගරයේ පැරණි ස්මාරක සොයාගිය චාරිකාවක ප්‍රතිඵලයක් මේ.

ඇහැලේපොළ වලව්ව

ඇහැලේපොළ වලව්ව- රත්නපුරේ අපි fb page

උඩරට රාජධානි සමයේ සබරගමුව පාලනය කළ ඇහැලේපොළ දිසාව වාසය කළේ මෙම වලව්වේ. ඔහු මහනුවර සිට රාජකාරි සඳහා රත්නපුරයට පැමිණි විට මුලින්ම සිය ඥාතියකුට අයත් බටුගෙදර මුත්තෙට්ටුව වලව්වේ නැවතී සිටි බව සඳහන්. එහි සිට රත්නපුරයට යාම දුෂ්කර නිසා නගරයේ පිහිටි මෙම වලව්වේ වාසයට පැමිණ තිබෙනවා. මේ වලව්ව මුලින්ම ඉදිකර තිබෙන්නේ පිළිමතලව්වේ මහඅදිකාරම විසින්. එය 1810-14 කාලයේ දී ඉදිකර ඇතැ යි සැලකෙනවා. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සමග කෝපයෙන් සිටි ඇහැලේපොළ අදිකාරම 1815 දී ඉංග්‍රීසින්ට බලයට පැමිණීමට ද උදව් කළත්, ඉංග්‍රීසින් ඔහු දෙස බැලුවේ සැකයෙන්. ඔවුන් ඔහු 1818 උඩරට කැරැල්ලට සහයෝගය දුන් බවට සැකකර අත්අඩංගුවට ගෙන, 1825 දී මුරුසි දිවයිනට පිටුවහල් කරනවා. ඇහැලේපොළ අදිකාරම්ගෙන් පසුව මේ වලව්ව රත්නපුර දිසාපතිවරුන්ගේ නිල නිවස බවට පත් වෙනවා.

වලව්ව පිටුපසින්- destimap.com

මේ වලව්ව ලන්දේසි ගෘහ නිර්මාණ ලක්ෂණවලට අනුරූපීව නිර්මාණය කොට තිබෙන ගොඩනැගිල්ලක්. දැවයෙන් හා ගඩොලින් අලංකාර කරන ලද ආලින්දයක් ගොඩනැගිල්ලේ ඉදිපසින් දැකගත හැකියි. ප්‍රධාන ශාලාව දෙපස කාමර 3 බැගින් සමානව බෙදී යන පරිදි නිවස සැලසුම් කොට තිබෙන අතර, පසුකාලීනව එකතු කරන ලද කොටස් ද මෙහි දැකගත හැකියි. ගබඩා කාමර 4ක් වලව්ව තුළ තිබෙනවා. ඉදිරිපසින් පෝටිකෝවක් තනා තිබෙනවා. වලව්වේ ආරක්ෂාවට සහ අලංකාරය වෙනුවෙන් එය වටා දිය අගලක් තනා තිබූ බවටද සාධක පවතිනවා.

වලව්වේ ආලින්දය-  timeout.com

මෙම ගොඩනැගිල්ල පසුව රත්නපුර ජාතික කෞතුකාගාරය බවට පත් කළා. එයට අනුකූල ලෙස අවට ගෙවුයන ද  මෑතක දී අලංකාර ලෙස සකස් කර තිබෙනවා. පෞද්ගලික නිවාස දෙකක පවත්වාගෙන ගිය කෞතුකාගාරය මෙම ගොඩනැගිල්ලෙහි ස්ථාපිත කොට මහජනයා සඳහා විවෘත කරන ලද්දේ 1988 මැයි මස 13 වැනි දින යි. සබරගමු පළාතේ ප්‍රාග්  ඉතිහාසය,  පුරා සත්ත්ව සංහතිය, ඉතිහාසය, සංස්කෘතිය, සහ ස්වාභාවික උරුමය යන විෂය කේෂ්ත්‍රයන් නියෝජනය කෙරෙන කෞතුක භාණ්ඩ සහ ආදර්ශක එකතූන් 3500ක් පමණ මෙහි ප්‍රදර්ශනය කෙරෙනවා.

රත්නපුර ඕලන්ද කොටුව

බලකොටුවේ සිට රත්නපුර නගරය – srilankatravelguide.com

යටත්විජිත අවදිය හෙළිකරන නගරයේ ස්මාරක අතරින් මුල් තැන හිමිවන්නේ ඕලන්ද කොටුවට යි. රත්නපුර පැරණි නගරය මැද උස්බිමක එය දැකගත හැකියි. කළුගඟ ගලා බසින්නේ කොටුව ඉදිරියෙන්. සබරගමුවේ සිටි පෘතුගීසින් පලවා හරින විට ඔවුන්ගේ බලකොටුව සමන් දේවාල බිමේ ඉදිකරගෙන තිබුණා. ලන්දේසින් කළේ නගරය මැද උස්බිමේ ආරක්ෂිත ස්ථානයක තමන් සඳහා වෙනම බලකොටුවක් තනාගැනීම යි. එය මහනුවර දෙවැනි රාජසිංහ රජු පාලනය කළ 1664 දී ඉදිකරන්නට ඇති බව ලේඛන අනුව පේනවා. ඔවුන් තවත් බලකොටුවක් රත්නපුරයට නුදුරු බිබිලේගම තනා තිබෙනවා. එය තාවකාලික කොටුවක්. නගරය මැද බලකොටුව ස්ථිර ලෙස ඉදිකළ එකක්. එහි සැලසුම කළුතර බලකොටුවේ සැලැස්මට සමාන යි.

කොටු දොරටුව- wikipedia.org

”Constantine De Sa’s Map and Plain” ග්‍රන්ථයේ බලකොටුව ගැන  සඳහන්ව ඇත්තේ මේ විදිහට යි:   

“සැලැස්මේ පෙන්වා දී ඇති ආකාරයට සපරගමු බලකොටුව ගොඩනගා ඇත්තේ කළුතර ලන්දේසි බළකොටුවට සමානව ය. එය පිහිටා ඇත්තේ දෙනවක රාජ්‍යය තුළ ය. මෙම බළකොටුව ආරක්ෂක කවුළු (උකුසුගුල්) 4ක් හා අඩාන කවුළු දෙකකින් සමන්විත වේ. මෙහි හමුදා අනුකණ්ඩායමකට සිටිය හැකිය. දිස්ත්‍රික්කයේ දිශාවන්ගේ නිවස්න පිහිටියේ මෙම බළකොටුව තුළ ය.”   

බලකොටවු තුළ ලන්දේසි ආඥාපතිවරයාගේ නිවස, පාලන කාර්යයාලය, අනෙක් නිලධාරින් සඳහා නිවස්න, සොල්දාදු බැරැක්ක, රෝහල සහ පල්ලියක් ද තිබුණා. මෙහි උසම ස්ථානය බැලුම්ගල යනුවෙන් හඳුන්වන අතර සතුරු සේනා එනවාදැ යි එහි සිට ඔත්තු බැලූ බව සඳහන්.

බලකොටුවේ පිහිටි පොලිස් අධිකාරි කාර්යාලය- Wikipedia.org

මෙම බළකොටුවේ ආරක්ෂක හා වෙළෙඳ කටයුතු සම්බන්ධයෙන් ප්‍රධාන තොටුපළ වූයේ වරකාතොට තොටුපළ යි. එයට අමතරව වේගඟ කළුගඟට සම්බන්ධ වන ස්ථානයේ දෙමුවාවත තොටුපළ ද ඔවුන් භාවිත කර තිබෙනවා. එය රේන්ද තොටුපළයැ යි හඳුන්වා තිබෙනවා.

ඉංග්‍රීසින් 1796 දී ලන්දේසින්ගෙන් පාලනය ලබාගත් විගස බලකොටුව හා ගොඩනැගිලි නවීකරණය කර ඇත්තේ බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයාගේ නියෝගයන් මත යි. දැනට ඉතිරි වී ඇති ප්‍රධාන දොරටු දෙකෙහි මෙය අලුත්වැඩියා කළ වර්ෂය වන 1817 යන්න පමණක් සඳහන්ව තිබෙනවා.   

කොටුව ඉදිරිපස පිහිටි පැරණි තොටුපොළ- wikipedia.org

බලකොටුව ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරකයක්. පැරණි කොටු බැම්ම සහ කොටුව තුළ පැරණි ගොඩනැගිලි 10ක් ද පුරාවිද්‍යා ස්මාරකවලට අයත්. අද මේ බලකොටුව තුළ රත්නපුර පොලිසිය හා එයට අනුබද්ධ කාර්යාල කිහිපටක්ම පිහිටා තිබෙනවා. පොලීසිය නගරයේ පැරණිම රාජ්‍ය ආයතනය යි. පොලිසිය පටන්ගෙන තිබෙන්නේ 1864 දී යි. නමුත් පසුගිය කාලයේ සිදුකළ නගර සංවර්ධනයේ දී පුරාවස්තු ආඥාපනත නොසලකා හරිමින් කොටුබැම්මේ ඇතැම් ස්ථාන අලුත්වැඩියා කර ඇති අතර පැරණි සමහරක් ගොඩනැගිලි විනාශ කර නව ගොඩනැගිලි ඉදිකර තිබෙනවා. 

ශාන්ත පිතර හා පාවුළු ආසන දෙව් මැදුර

පල්ලිය ඉදිරිපසින්- Mapio.net

සබරගමු පළාතේ ප්‍රධානම කතෝලික දේව් මැදුර වශයෙන් මෙය හැඳින්විය හැකියි. පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් ද වන මෙම පල්ලිය සඳහා මුල්ගල තබා ඇත්තේ 1870 ජූලි 13 දා යි. එය රත්නපුර රදගුරු වසමේ මුල් පුරුක් දෙක ලෙස සැලකෙන ශු. පේදුරු හා පාවුලු අපෝස්තුළුවරුන් නමින් කැප කරන ලද ආසන දෙව්මැදුරක්. නව දේවස්ථානයට මුල් ගල තබා වසර 13ක් සපිරෙද්දී එවකට දකුණු අනු පදවියේ රදගුරු සිල්වෙස්ත්‍රෝ ක්ලෙමන්ට් පඤ්ඤානි හිමිපාණන් විසින් එය ආසිරි ගන්වා කැප කර තිබෙනවා. 1886 දී රත්නපුරයට වෙනම මීසමක් ලැබෙන අතර එහි ප්‍රධාන පියතුමා වූයේ පිටර් බුලික් පියතුමායි.  1995 නොවැම්බර් මස 02 වන දින ලංකා කතෝලික සභාවේ 11 රාජගුරු පදවිය ලෙස ගාල්ල රදගුරු වසමෙන් වෙන් කරන ලද සබරගමු ප්‍රදේශයට වෙනම රදගුරු පදවියක් ස්ථාපනය වීමෙන් පසු එහි ආසන දෙව්මැදුර ලෙස මෙම දේවස්ථානය නම් කළා. පුරාවිද්‍යා ස්මාරකයක් වන මෙම ගොඩනැගිල්ල බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පය සිහිපත් කරනවා. දෙව්මැදුරට ඇතුළුවීමට ඇති ප්‍රධාන දොරටුවට අමතරව දෙපසින් තවත් කුඩා දොරටු දෙකක් සහිත යි. මෙම දොරටු ත්‍රිත්වයේ මුදුන අර්ධ වෘත්තාකාර ආරුක්කු හැඩයක් ගන්නවා. ඉදිරිපස ඉහළින් අති ජනෙල් ත්‍රිත්වය වර්ණවීදුරු කැබලි සවිකිරීමෙන් අලංකාර කර තිබෙනවා.  

ඔරලෝසු කණුව

ඔරලෝසු කණුව – wikipedia.org

එදා නගරයට ආකර්ශනයක් ගෙනෙන අංගයක් වුණේ ඔරලෝසු කණුව යි. අද නම් කවුරුවත් වෙලාව බලන්න ඔරලෝසු කණු දිහා බලන පුරුද්දක් නැහැනේ. 

මේ ඔරලෝසු කණුව පිටුපස සැඟව කිබෙන්නේ ශෝචනීය කතාවක්. පළමු ලෝක යුද්ධයෙන් යුද පෙරමුණට රත්නපුරයේ සිට ගිය බ්‍රිතාන්‍ය ජාතිකයන්   විසිදෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔවුන් සිහිපත් කිරීමට ලෝකල් බෝඩ් සභාව විසින් නගරය මැද ඔරලෝසු කණුව ඉදිකිරීමට තීරණය කළා. ඒ සඳහා එකල බ්‍රිතාන්‍ය රජයේ යුද අනුස්මරණ කමිටුව විසින් තරගයක් ද පවත්වා ඇති අතර හොඳම සැලසුමට රු. 300ක මුදල් ත්‍යාගයක් ද පිරිනමා තිබෙන බව වාර්තා වෙනවා. මේ අනගි අවස්ථාව උදාකරගෙන ඇත්තේ බ්‍රිතාන්‍යයේ “ටයිම්ස් සප්ලයි ඒජන්සි” නම් ආයතනය යි. ඔරලෝසුව සපයා ඇත්තේ ද ටයිම්ස් ඒජන්සිය වන අතර එහි මිල පවුම් 300ක් බව සඳහන් වෙනවා. මෙහි ඉදිකිරීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කර ඇත්තේ එකල රත්නපුරයේ ආණ්ඩුවේ ඒජන්තවරයා ලෙස කටයුතු කළ ආර්. බී. බ්‍රවුනින්ග්. මෙසේ වැඩ ආරම්භ වූ ඔරලෝසු කණුවේ සියලු වැඩ 1922.03.17 වන දින නිමකර තිබෙනවා. රු. 11,000ක මුදලක් වැය කරමින් තැනූ ඔරලෝසු කණුව ශුභ මොහොතින් විවෘත කරන අවස්ථාවේ සිදුවී ඇත්තේ අපූර්වතම සිද්ධියක්. එනම් කාර්මික දෝෂයක් නිසා එහි කටු පිටුපසට ගමන් කිරීම යි. ඔරලෝසු කණුවේ දොරටුවට දෙපසින් වූ පැති දෙකෙහි නම් මියගිය සෙබළුන්ගේ නම් 11 බැගින් 22 දෙනාගේම නම් සටහන් කර තිබෙනවා. මෙහි පැති හතරේම 1914-1918 යන්න සඳහන් කර තිබෙනවා. මෙම ස්මාරකය පුරාවස්තු ආඥාපනත යටතේ රක්ෂිත ස්මාරකයක් ලෙස ප්‍රකාශ කිරීමට යෝජිත යි.  

ඔරලෝසු කණුව අවට ගංවතුර ගැලූ අවස්ථාවක්- twitter.com

යුද ස්මාරකයක් ලෙස සුද්දන් තැනූ නගරයට වේලාව කියන මෙම ඔරලෝසු කණුවෙන් රත්නපුර ගම්වැසියෝ තවත් කාර්යයක් ඉටුකර ගන්නවා.  නිතර ගංවතුරට යටවන රත්නපුරේ ගංවතුරේ උස මට්ටම සලකුණු කරන මානකයක් ලෙස  ඔරලෝසු කණුව භාවිත කිරීම යි. 

වැහිළිහිණි තානායම

තානායම් ගොඩනැගිල්ල- booking.com

රත්නපුර තානායම ප්‍රකටව පවතින්නේ වැහිළිහිණි තානායම ලෙස යි. එය 2002.11.22 දින පුරාවිද්‍යා ස්මාරකයක් ලෙසින් ප්‍රකාශ කර තිබෙනවා. මෙම දෙමහල් ගොඩනැගිල්ල යටත් විජිත පාලන සමයේ රත්නපුර අවට තේ හා රබර් ඉඩම් හිමි වැවිලිකරුවන් හා වතු නිලධාරින් පවුල්වල සාමාජිකයන් ද සමග එක්ව විනෝද වූ සමාජ ශාලාව යි. එකල ඔවුන්ගේ අශ්වයන් බැඳ තැබීමට ඉදිකළ අශ්ව ඉස්තාලයක් ද මෙහි තිබෙනවා. මෙය බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පය සිහිපත් කරවන පැරණි ගොඩනැගිල්ලක්.

දුම්රිය ස්ථානය

බස් නැවතුමක් වූ දුම්රිය පොළ-  flickr.com

1912 දී රත්නපුරයට ප්‍රථම වරට අඟුරු කකා දුවන දුම්රියක් පැමිණියා. ඒ දැනට බස් නැවතුමක් ලෙස භාවිත කරන දුම්රිය ස්ථානයට යි. කොළඹ ඕපනායක දක්වා දිවගිය කැලණිවැලි දුම්රිය මාර්ගයේ ප්‍රධාන නැවතුමක් වුණේ වතු අධිරාජ්‍යයට අයත් රත්නපුරය යි. පසුව බස්, ලොරි ගමනාගමනය දියුණුවීමත් සමග කැලණිවැලි දුම්රිය මාර්ගය පාඩු ලබන්නට වුණා. 1976 දී අවිස්සාවේල්ල තෙක් පමණක් දුම්රිය ධාවනය කිරීමට ආණ්ඩුව තීරණය කළා. ඒ සමග රත්නපුර මාර්ගය ඉතිහාසයට එක්වුණු අතර, කලින් කල දුම්රිය ගොඩනැගිලි වෙනත් වැඩවලට යොදාගත්තා.

දුම්රිය ස්ථානයට අයත් බ්‍රිතාන්‍ය පාලන යුගයේ ඉදිකළ ගොඩනැගිලි අද රත්නපුර බස්නැවතුම සඳහා යොදාගෙන තිබෙනවා. දුම්රිය ස්ථානය දෙමහල් ගොඩනැගිලිවලින් යුක්ත යි. උඩු මහල සොල්දරයක් ලෙස පවතිනවා. මේවා කළුගල් යොදාගෙන ඉදිකර තිබෙනවා. බිම්මහලේ දොරවල් 10ක් ඇති අතර ඒවායේ මුදුන ආරුක්කු හැඩයෙන් යුක්ත යි. ජනෙල් ද ආරුක්කු හැඩය ගන්නවා. ලැටිස් ගැසීමෙන් ආරුක්කු අලංකාර කර තිබෙනවා. පියස්ස සඳහා යකඩ බාල්ක යි භාවිත කර තිබෙන්නේ. දුම්රිය මාර්ගය අතහැරීමෙන් පසු විධිමත් සංරක්ෂණයකින් තොරව වෙනත් කාර්යයන් සඳහා යොදාගැනීමේ දී මේ ගොඩනැගිලිවල ස්වරූපය වෙනස්කර ඇති බව පෙනෙනවා.

ග්‍රෙගරි වතුර මල

රත්නපුර නගරය 1910 දි. ඈතින් වතුර මල දිස්වේ- lankapura.com

ආණ්ඩුකාර සර් විලියම් ග්‍රෙගරි (1872-1877) රත්නපුරයට පැමිණීම සිහිපත් කිරීම සඳහා ඔහු රත්නපුරයට වතුර මලක් ලබා දී තිබෙනවා. අඩි 9ක් උස එය වාත්තු යකඩෙන් එංගලන්තයේ නිර්මාණය කළ එකක්. එය මුලින්ම සවිකර තිබෙන්නේ දැන් ඔරලෝසු කණුව පිහිටි තැන යි. වර්ෂ 1889 දී හිටපු ආණ්ඩුවේ ඒජන්ත එච්. එස්. වේස් වාර්තා කර ඇත්තේ කලක පටන්ම  වතුර මල නිසි ලෙස ක්‍රියාත්මක නොවන බවත් ප්‍රාදේශීය ඉංජිනෙරුවරයාට ඒ ගැන දැනුම් දුන් බවත්. වතුර මල 1967 දී නගරය සංවර්ධනය කිරීමේ දී මොරගහයට හන්දියේ සවිකර තිබෙනවා. 

ආශ්‍රිත මූලාශ්‍රයයන්:

රත්නපුර උරුමය නරඹමු- නිමල් පෙරේරා ( මධ්‍යම සංස්කෘතික අරමුදල)

එච්.එම්. ජයන්ත විජේරත්න -රත්නපුරය ඈත සියවස සහ තවත් කතා

Ratnapura as seen by Government Agents –Malcolm Aberatna

http://www.ratnapura.mc.gov.lk

http://www.museum.gov.lk/

cover- රත්නපුර නගරය මැද- siladeepa fb page

Related Articles