Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නාවික හෙන්රි: දේශ ගවේෂක මාලිමාව

1453 වසරේ දී තුර්කීන්, කොන්ස්තන්තිනෝපලය අල්ලා ගත්තා. ඒ සමඟ ම යුරෝපයේ සිටි ක්‍රිස්තියානි වෙළඳුන්ට සම්ප්‍රදායික වෙළඳ මාර්ග භාවිත කිරීමට තිබුණු ඉඩකඩ ඇහිරී ගියා. තුර්කිවරුන් වෙළඳ භාණ්ඩවල මිල වැඩි කිරීම, තීරුබදු ගාස්තු වැඩි කිරීම සහ නිසි වේලාවට භාණ්ඩ ලබා නොදීම වැනි හේතු නිසා යුරෝපයේ වෙළෙන්දන්ට නිසි අයුරින් සිය වෙළඳාම් කටයුතු කරගෙන යාමට නොහැකි වුණා. එම කාල වකවානුව වන විට පෙරදිග රටවලින් යුරෝපයට කුළුබඩු රැගෙන යමින් තිබුණා. තුර්කි ජාතිකයන් කොස්තන්තිනෝපලය අල්ලා ගැනීමෙන් පසුව පෙරදිගින් යුරෝපයට කුළුබඩු සැපයීම අඩාල වුණා.

පෙරදිගින් යුරෝපයට කුළුබඩු සැපයීම නැවතීමත් සමඟ ම යුරෝපීය රටවල්වල සිටි නාවිකයන්, කුළුබඩු සොයාගෙන පෙරදිගට සම්ප්‍රාප්ත වුණා. එම කාල වකවානුව වන විට අරාබි ජාතිකයන්ට පෙරදිග සහ අපරදිග අතර කුළුබඩු සහ අනෙකුත් භාණ්ඩ වෙළඳාමේ ආධිපත්‍යය හිමි ව තිබුණා. එදා යුරෝපීයයන්ට අවශ්‍ය වුණේ, අරාබි ජාතිකයන් සතු ව තිබුණු වෙළඳ බලය තමා සතු කරගැනීම යි. ඒ සඳහා දේශ ගවේෂණය කළ යුරෝපීය රටවල් අතුරින් පෘතුගාලයට සහ ස්පාඤ්ඤයට ප්‍රමුඛ ස්ථානයක් හිමි වුණා. ඒ අතරිනුත් පෘතුගාල ජාතිකයන්, ඉන්දියාව ඇතුළු පෙරදිග රටවල්වල සිය ආධිපත්‍ය රඳවා ගැනීමට සමත් වුණා.

එම කාල වකවානුව වන විටත් පෘතුගාලයේ නාවික හෙන්රි කුමරු එරට දේශ ගවේෂණ කටයුතු සඳහා විශාල අනුග්‍රහයක් ලබාදෙමින් සිටියා. ඔහුගේ මූලිකත්වය ඔස්සේ ඒ වන විට ක්‍රියාත්මක වෙමින් පැවතුණු නාවික අභ්‍යාස විද්‍යාලය නිසා සැලකිය යුතු පිරිසකට නාවික ශිල්පය, සිතියම් හැදෑරීම, නැව් තැනීම සහ තාරකා ශාස්ත්‍රය වැනි විවිධ ක්ෂේත්‍ර පිළිබඳ ව පුළුල් දැනුමක් ලැබුණා. එහෙයින් පසු කලෙක පෘතුගාල දේශ ගවේෂකයන්ට ජයග්‍රහණ රැසක් ලබාගැනීමට හැකියාව උදා වුණා. එසේ නම් මෙතැන් සිට අපි නාවික හෙන්රි කුමරු ගැන සාකච්ඡා කරමු.

 කොන්ස්තන්තිනෝපලය බිඳවැටීම-greek city times

ජීවිතයේ මුල් කාලය

1394 මාර්තු 4 වැනිදා පෘතුගාලයේ පළමුවන ජෝන් රජුට සහ ලැන්කැස්ටර් හි පිලිපා බිසවට දාව පුත් කුමරෙකු උපත ලැබුවා. එම පවුලේ තුන්වන පුත්‍රයා බවට පත් වුණු ඔහුට, හෙන්රි යන නම තැබීමට දෙමාපියන් තීරණය කළා. කුඩා කල සිට රාජකීය සැප සම්පත් විඳිමින් කාලය ගත කළ හෙන්රිට නිතරම මුහුදු ගමන් ගැන ත්‍රාසජනක කතා පුවත් අසන්නට ලැබුණා. ඒ ඔහුගේ පියා යටතේ සේවය කළ පෘතුගාල නාවිකයන්ගෙන්. ඔවුන් යාත්‍රාවල නැගී මුහුදු ගමනේ යෙදෙමින් විවිධ දූපත්වලට ගිය ආකාරය පිළිබඳ ව විස්තර කරද්දී හෙන්රි කුමරා පුදුමයෙන් මෙන් ඒවා අසාගෙන සිටියා. එනිසා බහ තෝරන වියට එළඹුණු පසුව හෙන්රි කුමරාගේ එකම අරමුණ වුණේ දේශ ගවේෂණයේ යෙදීම යි.

 දේශ ගවේෂණයේ මුල්ම අත්දැකීම

14 වන සියවසේ අග භාගයේ දී පළමුවන ජෝන් රජතුමා යුද්ධ සඳහා සිදුකළ වියදම් නිසා රාජ්‍ය භාණ්ඩාගාරය ක්‍රමයෙන් හිස් වන්නට පටන් ගත්තා. එනිසා පෘතුගාල රජතුමා වස්තුව සහ ධනය සොයාගැනීම සඳහා භාවිතා කළ මාර්ගය වුණේ, දේශ ගවේෂණය යි. එහි දී පෘතුගාල රජතුමා මුලින්ම යටත් කරගැනීමට උත්සාහ කළේ සිය රටට වඩාත් ආසන්නයෙන් පිහිටා තිබුණු උතුරු අප්‍රිකාවේ බිම් ප්‍රදේශ යි. ඉන් අනතුරුව බටහිර අප්‍රිකානු වෙරළ ආශ්‍රිත රටවල්වලට මෙන්ම, අත්ලාන්තික් සාගරයේ දූපත්වලට ද පෘතුගාල දේශ ගවේෂකයන් යාත්‍රා කළා. ඒ වන විට යොවුන් අවධියේ පසු වුණු හෙන්රි කුමරා ද සමහර දේශ ගවේෂණ කණ්ඩායම් සමග මාස ගණන් යාත්‍රා කළා. එමඟින් ඔහුට දේශ ගවේෂණය පිළිබඳ ව අත්දැකීම් රැසක් ලබාගැනීමට හැකි වුණා.

 නාවික හෙන්රි කුමරු-Wikimedia

 සියුටා සටන

1415 වසර වන විට මොරොක්කෝවේ සියුටා වරායේ ආධිපත්‍යය පැවතුණේ මුස්ලිම්වරුන් සතු ව යි. එදා පෘතුගාල රජු එම වරාය අල්ලාගැනීමට උත්සාහ කළේ මුස්ලිම්වරුන්ගේ වෙළෙඳ ආධිපත්‍යය බිඳදැමීම සඳහා යි. ඒ අනුව, 1415 අගෝස්තු 21 වැනිදා සිදුවුණු සියුටා සටන හෙන්රි කුමරු සහ ඔහුගේ වැඩිමහල් සොයුරන්ගේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක වුණා. එම සටනේ දී පෘතුගීසීන්ගේ යුද ශක්තිය හමුවේ මුස්ලිම්වරුන්ට දැවැන්ත පරාජයක් අත්වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් සියුටා නගරයේ පාලන බලය පෘතුගීසින්ට හිමි වුණා. එදා හෙන්රි කුමරු දැක්වූ දස්කම් පිළිබඳ ව පැහැදුණු ජෝන් රජතුමා, සිය පුත්‍රයා ව පෘතුගාලයේ ඇල්ගාර්ව් කලාපයේ ආණ්ඩුකාර තනතුරට පත් කළා. එය හෙන්රි කුමරුගේ ජීවිතයේ වැදගත් අවස්ථාවක් වුණා.

 නව දූපත් කිහිපයක් සොයාගනියි

සියුටා සටනෙන් පසුව උතුරු අප්‍රිකාවේ ප්‍රදේශ ගැන තොරතුරු දැනගත් හෙන්රි කුමරා, තවත් අලුත් රටවල් පිළිබඳ ව තොරතුරු දැනගැනීමේ පිපාසයෙනුයි පෙළුණේ. එනිසා දේශ ගවේෂණය පිළිබඳ ව උනන්දුවක් දැක්වූ පිරිසක් එකතු කරගෙන නව රටවල් සොයා යාමට ඔහු තීරණය කළා. එහි දී හෙන්රි කුමරුගේ අනුග්‍රහය ලැබුණු ගවේෂක කණ්ඩායම් කිහිපයක් අත්ලාන්තික් සාගරයේ යාත්‍රා කළා. ඒ අතුරින් ජෝන් ද ටෘස්ටෝ නම් නාවිකයාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම් විසින් කැනරි දූපත සොයාගත්තා. එමෙන්ම සර්කෝගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම, මැඩෙයිරා සහ පෝටෝ සැන්ටෝ යන දූපත්වල බලය අල්ලාගත්තා. ඒ අයුරින් දූපත් තුනක් සොයාගැනීම නිසා හෙන්රි කුමරා දැඩි ලෙස උද්දාමයට පත් වුණා. එනිසා ඔහුගේ දේශ ගවේෂණයට තිබූ උනන්දුව තව තවත් තීව්‍ර වුණා.

 පෘතුගාල යාත්‍රා (Time Magazine)

දේශ ගවේෂකයන්ට මනා පුහුණුවක් ලබාදෙයි

හෙන්රි කුමරාගේ අනුග්‍රහය යටතේ මුල්ම වරට යාත්‍රා කළ සෑම ගවේෂක කණ්ඩායමකට ම සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට හැකියාව ලැබුණේ නැහැ. ඉන් සමහර කණ්ඩායම්වල සිටි නාවිකයන්ට සිතියම් විද්‍යාව, තාරකා විද්‍යාව සහ භූගෝල විද්‍යාව වැනි ක්ෂේත්‍රයන් පිළිබඳ ව අල්ප දැනුමක් තිබීම විශාල අඩුපාඩුවක් වුණා. එසේම, මුහුදු ගමන් සඳහා යොදාගත් යාත්‍රා දුර ගමන්වලට ඔරොත්තු දුන්නේ නැහැ. එනිසා එම අඩුපාඩු සකස් කිරීම සඳහා හෙන්රි කුමරා උනන්දු වුණා.

එහි ප්‍රතිඵලයක් වශයෙන් දකුණු පෘතුගාලයේ වින්සන්ට්‌ තුඩුවේ සාග්‍රේස්‌හි තාරකා විද්‍යාගාරයක්‌ සහ නාවික කටයුතු පිළිබඳ පර්යේෂණායතනයක්‌ ආරම්භ කර පෘතුගීසි නාවිකයන්ට ගණිතය, තාරකා විද්‍යාව, භූගෝල විද්‍යාව, සිතියම් විද්‍යාව වැනි විෂයයන් පිළිබඳ ව පුළුල් දැනුමක් ලබාදුන්නා. එපමණක් නොවේ, නාවික ගමන්වලට අවශ්‍ය නව උපකරණ නිපදවීමට සහ ඒවා භාවිතයට නාවිකයන් පුහුණු කිරීම ද සිදුකළා. ඔහු වසර ගණනාවක් තිස්‌සේ නොකඩවා අවශ්‍ය අනුබලය මුදල් හා උපකාර ලබාදුන් නිසා එරටින් හොඳ දැනුමක් තිබුණු දක්ෂ නාවිකයන් රැසක් බිහි වුණා.

එකල භාවිත වුණු නෞකා දුර ගමන්වලට ඔරොත්තු නොදුන් නිසා සැහැල්ලු සහ ශක්‌තිමත් නෞකා නිපදවීම ආරම්භ කළේ ද හෙන්රි කුමරා යි. එදා ඔහු පෘතුගීසි නාවික චාරිකා සඳහා කාල තුවක්‌කු ගෙන යා හැකි ශක්‌තිමත් ගැලියන්ස්‌ නෞකා ද වැඩිදියුණු කිරීමට කටයුතු කළා. හෙන්රි කුමරා ලබාදුන් එම අනුග්‍රහය නිසා එරට දේශ ගවේෂණ ඉතිහාසයේ ස්වර්ණමය යුගයක ප්‍රවේශය සනිටුහන් කෙරුණා. එම කාලයේ දී පළමු ජෝන් රජු මියයාමත් සමග ම ඔහුගේ වැඩිමහල් පුත් එඩ්වඩ් රජකමට පත් වුණා. ඔහු ද සිය පියා මෙන්ම හෙන්රි කුමරුගේ දේශ ගවේෂණ කටයුතු සඳහා තම සහාය ලබාදුන්නා.

 

නාවිකයන්ට පුහුණුව ලබාදුන් ආකාරය-agefotostock.com

අප්‍රිකාවේ ප්‍රදේශ රැසක් අල්ලාගනියි

හෙන්රි කුමරා සතු ව සිටි දේශ ගවේෂකයන් අතුරින් ඩිනීස් ඩයස් නම් ගවේෂකයා බුද්ධිමත් මෙන්ම එඩිතර කෙනෙකු වුණා. එනිසා ඔහු ව නෞකා 30කින් සමන්විත කණ්ඩායමක නායකත්වයට පත් කිරීම හෙන්රි කුමරාගේ තීරණය වුණා. එදා ඩයස්ගේ නායකත්වය යටතේ යාත්‍රා කළ කණ්ඩායම 1445 දී බටහිර අප්‍රිකානු වෙරළේ පිහිටා තිබෙන සෙනගාලයට ගොඩබැස්සා. ඉන් නොනැවතුණු එම පිරිස වර්ඩේතුඩුව දක්වා යාත්‍රා කළා. එසේම, අල්වාරේස් ෆර්නැන්ඩස් නම් නාවිකයා සියරාලියොන් බලා යාත්‍රා කළා. ඒ අනුව පෘතුගාල නාවිකයන්ට බටහිර අප්‍රිකාවේ ප්‍රදේශ රැසක බලය අල්ලාගැනීමට හැකි වුණා. ඒ අයුරින් බලහත්කාරයෙන් අල්ලාගත් රටවල්වල ක්‍රිස්තියානි ආගම පැතිරවීමට කටයුතු කළ හෙන්රි කුමරු, එම යටත් විජිතවල පාලන කටයුතු සිදුකළා.

පෘතුගීසි නාවික කණ්ඩායම් (zonealarm.com)

 වහල් වෙළෙඳාම සහ සම්පත් සූරාකෑම

හෙන්රි කුමරු දේශ ගවේෂණ කටයුතුවලට අනුග්‍රහය දැක්වූයේ ක්‍රිස්තියානි ආගම පැතිරවීම, රටවල් යටත් කරගැනීම සහ යටත් කරගත් රටවල්වල සම්පත් සූරාකෑම අරමුණු කරගෙන යි. එසේම, අප්‍රිකානු රටවල්වල ජීවත් වුණු මිනිසුන් වහලුන් ලෙස අල්ලාගෙන ඒමත් ඔහුගේ තවත් එක් අභිප්‍රායක් වුණා. ඒ අනුව, 1441 දී බටහිර අප්‍රිකාවේ ගිනියාවට ගිය ඇන්ටන් ගොන්සාල්වේස් නම් නාවිකයා මුල්ම වරට වහලුන් සහ රත්තරන් පෘතුගාලයට ගෙන ගිය බව පැවසෙනවා. එසේම, 1445 දී ගිනියාවෙන් වහලුන් 235ක් පෘතුගාලයට ගෙන ගිය බව පැරණි වාර්තාවල ලියැවී තිබෙනවා.

1446 පමණ වන විට අප්‍රිකාවෙන් රැගෙන ආ වහලුන් 1000ක් පමණ පෘතුගාලය තුළ සිටි බව යි සඳහන් වන්නේ. එම වහලුන් රැගෙන ඒමේ දී ඔවුන්ට විවිධ වධහිංසාවලට මුහුණදීමට සිදුවුණු නිසා වහල් වෙළඳාම පිළිබඳ ව නීතිරීති මාලාවක් සකස් කිරීමට පවා සිදුවුණා. එදා අප්‍රිකාවේ යටත් විජිතවල තිබුණු සම්පත් සූරා කෑ පෘතුගීසින් විශාල ධනයක් උපයා ගත්තා. එනිසා පෘතුගාලය, ලොව බලවත් ම රාජ්‍යය අතුරින් එකක් බවට පත් වුණා.

බටහිර අප්‍රිකාවට ගිය පෘතුගීසි ගවේෂකයන්-Pinterest

හෙන්රි කුමරුගේ අවසානය

1460 නොවැම්බර් 13 වැනිදා ශාන්ත වින්සන්ට් හි දී හෙන්රි කුමරු මියගිය බව සඳහන් ව තිබුණත්, මියයාමට හේතුවක් දක්වා නැහැ. මියයාමෙන් පසුව හෙන්රිගේ ශරීරය ශාන්ත මේරි දේවස්ථානයේ තැන්පත් කළ බව කියැවෙනවා. ඒ අයුරින් හෙන්රි කුමරු මියගියත්, ඔහුගේ සෙවණේ හැදී වැඩුණු දේශ ගවේෂකයන් අඛණ්ඩව ම ගවේෂණ කටයුතුවල නිරත වුණා. පසුව ඔවුන්ගේ ආභාසය ලබාගත් බර්තොලමියු ඩයස්, වස්කෝ ද ගාමා සහ ෆර්ඩිනැන්ඩ් මැගලන් වැනි ගවේෂකයන් විශිෂ්ට ජයග්‍රහණ රැසක් සිය රටට ලබාදුන් බව සිහිපත් කළ යුතු යි.

කවරයේ ඡායාරූපය- නාවික හෙන්රි සහ ගවේෂකයන් පිරිසක්-History.com

මූලාශ්‍ර:
biography.com
travel-in-portugal.com

Related Articles