Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෝක ඉතිහාසයට නොමැකෙන මතකයන් එකතු කළ සිසු අරගල

ශිෂ්‍ය අරගල පිළිබඳ විවිධ මතවාද පවතින අවධියක මෙම උත්සාහය පෘථිවි ගෝලයේ සතර කොනින් පැන නැගි ශිෂ්‍ය අරගල සහ ශිෂ්‍යයන් මූලික වූ දැවැන්ත අරගල කිහිපයක් පිළිබඳව සොයා බැලීමට ය. ශිෂ්‍යයන් දැවැන්ත ශක්තියකින් යුතුව සංවිධානය වීම පමණක් නොව එම අරගලයන්ට එරෙහිව රජයන් විසින් දියත් කළ දැවැන්ත මර්දනයන් ද අඩුවක් නැත. ශිෂ්‍යයන් යනු ලොව පුරාම අසාධාරණයට එරෙහිව තමන් වෙනුවෙන් පමණක් නොව සමාජය වෙනුවෙන්, අනාගත පරපුර වෙනුවෙන් දැවැන්ත කැපකිරීම් කළ පිරිසකි. තුරුණු වියේ පසුවන නිසාම සටන් කිරීමේ සහජ ලක්ෂණය ඔවුන් සතුවේ. ‘විප්ලවයේ ගිනිසිළුව ශිෂ්‍යයන් ය’ යන කියමන සනාථ කරන්නේ අරගලයේ පණිවිඩය සමාජය පුරා ගෙන යාමට පෙරමුණ ගැනීමට සිසුන්ට ඇති හැකියාව නිසා ය.

ලෝක ඉතිහාසය තුළ හමුවන සිය ගණනක් සිසු අරගල අතුරින් ප්‍රංශය, ග්‍රීසිය, චිලී ය, මෙක්සිකෝව සහ එක්සත් ජනපදය තුළ සිසු සටන් 5ක් පිළිබඳ තොරතුරු පමණක් අන්තර්ගතවන අතර මෙහි නොමැති අපමණ අරගලයන් ප්‍රමාණයක් ලොව පුරාම පැවති බවත්, තවමත් පැන නගින බවත් සඳහන් කරමු.

1968 මැයි ප්‍රංශ අරගලය

60 දශකය තුළ මේ එළැඹෙන්නේ ප්‍රංශය තුළ ආර්ථික, සමාජ, දේශපාලන අර්බුද උතුරා යන යුගයකි. අධ්‍යාපනයේ ගැටලු පමණක් නොව විරැකියාව, ජීවන වියදම ඉහළ යාම රැකියා ස්ථානවල පීඩාවන් ඇතුළු සමස්ථ සමාජයට බලපාන ගැටලු රැසකින් ප්‍රංශ බිම ගිනියම්ව තිබුණි. විටින් විට ඇති වූ කුඩා කුඩා සටන් මර්දනය මඟින් පාලනය කර තිබුණි. පැරිසියේ නාන්ටෙරේ සරසවිය වසා දැමීමට බලධාරීන් කටයුතු කිරීම අරගලයට නව දොරටුවක් විවර කර දුනි. 1968 මැයි මස 3 වන දා සෝබෝන් සරසවියේ සිසුන් විසින් මෙම සරසවි වසා දැමීමට එරෙහිව නැගී සිටියහ. සෝබෝන් සහ නාන්ටෙරේ සිසුන්ගෙන් පැරිස් මහා මාර්ග උතුරා ගියේ ය. ප්‍රංශ රජයට දැවැන්ත ජනතා විරෝධයක් ඒ වනවිටත් එල්ලවෙමින් පැවති නිසා මෙම අරගලයේ දී සිසුන් සමග ආචාර්යවරුන් ද, පීඩාවට පත්ව සිටි කම්කරුවන් ද එක්විය. යල්පැන ගිය අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීමට ද, අවස්ථා පුළුල් කිරීමට ද, රැකියා අර්බුද විසඳීමට ද රජයට බල කෙරුණි. දින ගණනාවක් පුරා පැතිර ගිය සටන් මෙන්ම මර්දනය ද ප්‍රචණ්ඩ ස්වරූපයක් ගෙන තිබුණි.

Marieclaire

පොලීසියේ කඳුළු ගෑස් ජල ප්‍රහාර සමග අරගලකරුවන් ගල්මුල් රැගෙන මහමඟ සටන එළඹුණි. මසකට අධික කාලයක් පැවති අනවරත සටන්වලින් පසුව පුද්ගලයන් ගණනාවක් මියගොස් සිය ගණක් තුවාල ලැබී ය. නමුත් අවසානයේ වඩා යහපත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මෙන්ම කම්කරු ගැටලුවලට විසඳුම් ලබාගැනීමට මෙම සටනින් පසුව හැකි විය. ලෝක ඉතිහාසයේ සිසු අරගල අතරින් කැපී පෙනෙන අවස්ථාවකි 68 ප්‍රංශ අරගලය. මෙහි න්‍යාය පත්‍රය කෙතරම් දියුණු එකක් ද කියතොත් මෙය රටේ ප්‍රශ්නවලින් පීඩාවට පත්ව සිටි සියලු දෙනා එක්කළ ස්ථානයක් බවට පත්විය. සමලිංගික අයිතීන් ද මෙම අරගලය තුළ දක්නට ලැබුනේ ඒ නිසා ය.

marieclaire
ශිෂ්‍ය නායක ඩැනියෙල් කොහෙන් (news.cnrs.fr)

යුදවිරෝධී එක්සත් ජනපද සිසු අරගලය

ඇමෙරිකා එක්සත් ජනපදය වියට්නාමය තුළ ගෙන ගිය මිලේච්ඡ ජන සංහාරක යුද්ධය ලොව පුරාම ඇමෙරිකාවේ ක්‍රියාකලාපයට එරෙහිව ජනතා සටන් ඇති කළ අවස්ථාවකි. ඒ අතරින් වඩාත්ම උද්වේගකර පුළුල් සටන් ඇති වූයේ ඇමෙරිකාව තුළම ය. තම රාජ්‍යය වියට්නාමය තුළ මහා පරිමාණයෙන් යුද අපරාද ද සමග සිදු කළ යුද්ධයට එරෙහිව එක්සත් ජනපදය පුරාම 60 දශකයේ මැද සිටම ඇරඹී තිබුණි. 1970 අප්‍රේල් මස 30 වන දා ජනාධිපති රිචඩ් නික්සන් විසින් දකුණු වියට්නාමයේ කාම්බෝඩියා වෙත ප්‍රහාර එල්ල කිරීමට නියෝග නිකුත් කිරීමත් සමග යුද විරෝධී සටන් වඩාත් පුළුල් වීමට හේතු විය.

1970 මැයි මස පළමුවැනි දා සිට ඔහියෝ ප්‍රාන්තයේ කෙන්ට් විශ්වවිද්‍යාලයේ සිසුන් එක්ව මීට එරෙහිව සාමකාමී පාගමනක් පැවැත්වූ අතර පසු දා ඔවුන්ව පාලනය කිරීමට සන්නද්ධ ආරක්ෂක අංශ කැඳවන ලදි. එම සිදුවීමත් සමග සිසුන් ද නැවත සංවිධානය වෙමින් යටත් වීම ප්‍රතික්ෂේප කරමින් සරසවි භූමියේ රැඳෙමින් විරෝධය දැක්වීය. මැයි මස 4 වන දා කඳුළු ගෑස් ප්‍රහාර එල්ලකරමින් සිසුන් පළවා හැරි අතර අහසට වෙඩි තැබීම ද සිදුකරන ලදී. නමුත් සිසුන් ඉලක්ක කරමින් තැබූ වෙඩි පහර ගණනාවකින් පසුව වයස අවුරුදු 19 සහ 20 පසුවූ සිසුන් හතර දෙනෙකු ඝාතනයට ලක්ව තවත් කිහිපදෙනෙකු තුවාල ලැබීය.

Missedinhistory

යුද විරෝධී සටනේ තීරණාත්මක සලකුණක් වූ කෙන්ට් සරසවි අරගලය දේශප්‍රේමය යනු කුමක් ද යන සංවාදය පුළුල් කිරීමට ද දායක විය. වෙනත් ජාතියකට එරෙහිව මිලේච්ච යුද්ධයක් මෙහෙයවීමට එරෙහි වීම දේශද්‍රෝහී ක්‍රියාවක් නොවේ යන්න වෙනුවෙන් බොහෝ සමාජ ක්‍රියාකාරිකයන්, මානව හිමිකම් ක්‍රියාකරුවන්, මානවවාදී කලාකරුවන් පෙනී සිටියහ. මෙම ඝාතනය පිළිබඳ සංකේතයක් වශයෙන් මියගිය සිසුවෙකු අසල හඬන තවත් සිසුවියකගේ ඡායාරූපය ලොව පුරා අවධානයට ලක්විය.

Dailykos

මෙම අරගලය තුළ අපට දැක ගත හැකි විශේෂත්වය නම්, මෙය කිසිසේත්ම තමන් පීඩාවට පත්ව තිබූ ජීවන ප්‍රශ්නයක් හෝ අධ්‍යාපනය පිළිබඳ ප්‍රශ්නයක් වෙනුවට ඈත ආසියාවේ වියට්නාමය නම් රාජ්‍යයේ ජීවත්වූ තමන් කිසිදා දැක හෝ නොතිබූ මිනිසුන්ගේ, ගැහැනුන්ගේ සහ දරුවන්ගේ ජීවිත් වීමේ අයිතිය වෙනුවෙන් කරන ලද උත්කෘෂ්ට මානවවාදී කැප කිරීමක් වීම ය. ජෙෆ්‍රි ග්ලෙන් මිලර්, ඇලිසන් ක්‍රවුස්, විලියම් නොක්ස්, සන්ද්‍රා ලී සිසු සිසුවියන් මෙම මානවවාදී අරගලයේ දී දිවි පිදූහ.

කප්පාදුවට එරෙහි චිලී සිසු සටන්

චිලීය යනු අධ්‍යාපන කප්පාදුව නිසා දැවැන්ත සිසු අරගල ඇති කළ රාජ්‍යයකි. 2010, 2011 වසර යනු චිලී සිසු අරගල මහා පරිමාණයෙන් ඉස්මතු වූ අවස්ථාවකි. අධ්‍යාපන කප්පාදුවට එරෙහිව කලෙක සිට සිදු කළ අරගල නොසලකා හරිමින් 2011 දී ජනාධිපති සෙබස්තියන් පිනේරාගේ අධ්‍යාපන කප්පාදුව සඳහා පනත ඉදිරිපත් කරන ලදී. රාජ්‍යයවල ආර්ථික අර්බුද සඳහා ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදෙන සුපුරුදු විසඳුම වන වියදම් කප්පාදු කිරීමේ යෝජනා අනුව අධ්‍යාපනය සඳහා වන වියදම් කපා හැරීම සිදුවන නිසා, මෙය චිලීයේ පමණක් නොව ලොව පුරාම පරිධියේ රාජ්‍යයන්වල දක්නට ලැබෙන සිදුවීමකි.

theatlantic
theatlantic
theatlantic
theatlantic

අගෝස්තු මස දී පමණක් 800කට අධික සිසුන් අත්අඩංගුවට පත්වූ අතර, ආරක්ෂක අංශයන්ගෙන් එල්ලවන කඳුළු ගෑස් ජල ප්‍රහාර බැටන් ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස සිසුන්ගේ ප්‍රහාරවලින් ආරක්ෂක අංශ සාමාජිකයන් ද 80කට අධික ප්‍රමාණයක් තුවාල ලැබීය. ගැටුම් අවසානයේ එක් සිසුවෙකු ඝාතනයට ද ලක් විය. චිලීයේ සිසු සටන් විවිධ ක්ෂේත්‍රයන්ගෙන් අද දවසේත් ක්‍රියාත්මක වෙමින් පවතියි.

පාසල්වල සහ සරසවිවල සිදුවන ලිංගභේදවාදී කටයුතුවලට එරෙහි විරෝධතාවක් (bbc)

චිලී සිසු සටන්වල සුවිශේෂීත්වයක් වූයේ 2010, 2011 වසරවල දී මේ සඳහා නායකත්වය දුන්නේ ශිෂ්‍යාවක් වීම ය. ඇය කැමීලා වැලේජෝ වන අතර වර්තමානයේ චිලී කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරමින් චිලී පාර්ලිමේන්තුවට තේරීපත්ව සිටියි.

කැමීලා (publimetro)

ග්‍රීසියේ මිලිටර් ජුන්ටාවට එරෙහි සිසු විරෝධතාව

ග්‍රීසිය 1967 සිට 1974 දක්වා පාලනය කරන ලද්දේ ඒකාධිපති මිලිටර් ජුන්ටාවක් විසිනි. මිලිටරි පාලනය යටතේ සිවිල් අයිතිවාසිකම් සියල්ල යටපත් කර දමා තිබූ යුගයක ඊට එරෙහිව දැඩි පහරක් එල්ල කරමින් මාරාන්තික සටනකට පිවිසුනේ ඇතෑන්ස් නුවර ශිෂ්‍යයන් ය. මෙම මිලිටරි ජුන්ටා පාලනය එක්සත් ජනපද සහයෝගය මත කටයුතු කළ අතර මේ නිසා 1973 නොවැම්බර් මස පංති වර්ජනයක් ද, ඉන්පසුව දහස් ගණනක පාගමනකින් එක්සත් ජනපද තානාපති කාර්යාලය වෙත යාමට කටයුතු සංවිධානය කරන ලදී.

Ahistoryofgreece

රට තුළ ඒකාධිපති පාලනයට එරෙහිව පැන නැගී තිබූ විරෝධය නිසා මෙය සිසුන්ගේ අරගලයකට සීමා නොවී කම්කරු ජනයා ද මීට දායක වූ අතර, නොවැම්බර් 14 සිට 17 දක්වා විරෝධතා පැවැත්විය. ප්‍රධාන සටන් පාඨ ලෙස ‘පාන්, අධ්‍යාපනය, නිදහස’, ‘ජාතික නිදහස’. ‘නේටෝව සහ ඇමෙරිකාව රටින් පිටකරනු’ ආදිය භාවිත විය. නොවැම්බර් 17 වන දා රාත්‍රියේ විරෝධතාකරුවන් වෙතට යුද ටැංකි යවා දැඩි මර්දනයකට ලක් කළ අතර මිය ගිය ප්‍රමාණය 56ක් විය. පොලිස් වාර්තා අනුව පුද්ගලයන් 1103ක් තුවාල ලැබූ අතර 866ක් අත්අඩංගුවට ගැනුණි. දැඩි මර්දනයකට මුහුණ දුන් නමුත් මෙම නැගිටීම විසින් ජීවය සැපයූ අරගලය 1974 ජූලි 24 දා මිලිටරි ජුන්ටාව බලයෙන් පහ කරන ලදී.

Thehotelnafsika

මෙම සිසු නැගිටීම වර්තමානයේ ද වාර්ෂිකව සමරනු ලබයි. එම සැමරුම් ද අධිරාජ්‍යය විරෝධී ස්වරූපයෙන් ක්‍රියාත්මක වෙයි.

සිසු නැගිටීම සිහිකිරීමට ඉදි කළ ස්මාරකය (Wikipedia)
2017 වසර සැමරුම් අවස්ථාවක් (Aljazeera)

මෙක්සිකෝ ට්ලැටෙලොල්කෝ සංහාරය

1968 වසරේ ප්‍රංශ සිසු අරගලය මැයි මස දී ඇරඹුනු අතර මෙක්සිකෝවේ ද දීර්ඝ කාලීනව පැවති සිසු සටන් එක් තීරණාත්මක ඉමකට පැමිණෙමින් තිබුණි. 1968 වසරේ ජාත්‍යන්තර ඔලිම්පික් උළෙල පැවැත්වූයේ මෙක්සිකෝවේ ය. ඔලිම්පික් ආරම්භය යෙදී තිබුණේ  ඔක්තෝබර් 12වන දාට ය. ජාත්‍යන්තර අවධානයට ලක්වන සමයක මෙතෙක් කල් අත්අඩංගුවට ගත් තම සගයන් නිදහස් කර ගැනීම සහ නිදහස ඉල්ලා සටනක් දියත් කරමින් ප්‍රජාතන්ත්‍ර විරෝධීව කටයුතු කරන රජයට එරෙහිව විරෝධය දැක්වීමට මෙය අවස්ථාවක් කරගත් සිසුන්, දහස් ගණනින් ඔක්තෝබර් 2 වන දා ට්ලැටෙලොල්කෝ නගරයට රැස්වූ අතර මෙය විසුරුවා හැරීමට රජය ආරක්ෂක අංශ යොදවා කළ වෙඩි තැබීමකින් නගර බිම ලෙයින් තෙත් වූයේ සිය ගණනක් සිසුන්ගේ පමණක් නොව මහමඟ ගමන්කළ මිනිසුන්ගේ ද ඉරණම තීරණය කරමිනි.

හමුදාව භාරයේ රඳවා සිටින මෙක්සිකෝ සිසු පිරිසක් (theguardian)
වෙඩි තැබීමෙන් පසුව අත්අඩංගුවට ගත් සිසුවෙක්ට වදහිංසා පමුණුවන අයුරු (theguardian)

කවරයේ පින්තූරය: New York Times

මූලාශ්‍රයයන්:

nytimes.com

topmastersineducation.com

inter.kke.gr/en/firstpage/

history.com

theguardian.com

Related Articles