Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගාලුමුවදොර බණ්ඩාරනායක පිළිමය ගැන අප නොදත් කතා

අගමැති ඇස්. ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ප්‍රතිමාව ගාලු මුවදොර කැපීපෙනෙන ස්ථානයක්. ගෝටා ගෝ ගම අරගල බිම ගොඩනැගුණේ බණ්ඩාරනායක පිළිමය අසල වටපිටාවෙ යි. දැවැන්තයකු සේ අහසට නැඟුණු ෂැංග්‍රිලා හෝටලය නිසා දැන් මේ පිළිමය  අඟුටුමිට්ටකු බවට පත්වෙලා.  මේ පිළිමය කඩා දමන්නට පිරිසක් කටයුතු කරන බව පවසා ඒ සඳහා ආරක්ෂක පියවර ගැනීමට කොටුව පොලිසිය, අධිකරණ නියෝගයක් පසුගිය දා ලබාගෙන තිබුණා.

රටේ නායකයන් මාරුවූ පසු ආරක්ෂක බලධාරින්, තකහනියේ ආරක්ෂාවක් දීමට පෙලැඹුණු බණ්ඩාරනායක පිළිරුවේ සුලමුල සොයා ගිය ගමනක් මේ.

 පිළිමය අසල අරගල බිමේ වේදිකාව – dailymirror.lk

පිළිරුව ගැන උසාවි නියෝගයක්

ගාලුමුවදොර අරගල භූමියේ පිහිටා ඇති බණ්ඩාරනායක පිළිරුවට කිසියම් සංවිධානයක් හානි කර එය ඉවත් කිරීමේ සූදානමක් පවතින බවට ලැබුණු තොරතුරකට අනුව එම පිළිමය අසලට ජූලි 20 දිනයේ දී විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබාදී තිබුණා. ඒ කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කළ කරුණු දැක්වීමකට අනුවයි. 20 වැනි දින පොලිස් හා විශේෂ කාර්ය බළකාය යොදවා  ගාලු මුවදොර අරගල භූමියට ද විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබාදී තිබුණු අතර 22 වැනිදා අරගලය සිදු කළ ජනපති ලේකම් කාර්යාල බිමෙන් ඉවත්වීමටත් අරගලයේ නියුතු පිරිස තීරණය කර තිබුණා.  

ප්‍රතිමාව ඉවත්කිරීමේ නීති විරෝධී ක්‍රියාව නතර කරන ලෙසටත්, එම පිළිමය වටා  මීටර් 50 ක වපසරියකින් යුත් ප්‍රදේශයට ඇතුළු නොවන ලෙසටත් අදාළ සංවිධානයේ සාමාජිකයින් වෙත කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබුණා. එම නියෝගයට අවනත නොවන සියලු ම පාර්ශවකරුවන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව ද එම අධිකරණ නියෝගයේ වැඩිදුරටත් සඳහන් වුණා. කෙසේ වුවත් අගරල බිමේ තරුණ පිරිස පවසන්නේ පිළිමයට හානි කිරීමේ කිසිදු සූදානමක් නොමැති බවත් වෙනත් පිරිසක් එයට හානි කිරීමට පැමිණියහොත් තමන් පිළිමය ආරක්ෂා කිරීමට කැපවන බවත්.

 දෑස් බැඳි බණ්ඩාරනායක –  theleader.lk

පිළිරුවේ දෙඇස් වැසේ

 ගාලු මුවදොර විරෝධතාව ඇරඹුණු 2022 අප්‍රේල් 9 වනදා ඉරාකයේ  බැග්ඩෑඩ් නගරයේ සදාම් හුසේන් ප්‍රතිමාව බිම දමා හරියට ම වසර 19 ක් පිරෙන දවස යි.  අප්‍රෙල් 30 වැනි දා බණ්ඩාරනායක ගේ පිළිරුවෙහි දෙනෙත් කළු රෙදි පටියකින් ආවරණය කර තිබුණා. ඒ ඉදිරිපිට ඇහැරෙන්න යනුවෙන් සඳහන් පුවරුවක් ද ප්‍රදර්ශනය කිරීම සිදුවුණා. කෙසේ වුවත් එහි දෑස් රෙදි පටියකින් වැසීමේ අරුත කුමක්දැයි වැඩි දෙනකුට වැටහී තිබුණේ නැහැ. සමහරුන් පැවසුවේ එය බණ්ඩාරනායක පිළිමයට කළ නිගරුවක් ලෙස යි.

 අවුරුදු 100කට පෙර තිබූ පළමු ලෝක යුද ස්මාරකය- Prints. Online.com

බණ්ඩාරනායක ප්‍රතිමාව අවට පසුබිම

මෙම පිළිමය පිටුපස පිහිටා ඇත්තේ මෑතක දී තැනූ ෂැංග්‍රිලා හෝටලයේ දැවැන්ත ගොඩනැඟිල්ල යි. ඒ නිසා කලකට පෙර බණ්ඩාරනායක ප්‍රතිමාවේ දුටු ප්‍රතාපවත් බව අද යම් තරමකට අඩුවෙලා. පිළිමය පිහිටුවන කාලයේ එය පිටුපසින් තරමක් දුරින් පිහිටියේ  යුද හමුදා මූලස්ථානය සහ හමුදා රෝහල යි. ඒවායේ උස් ගොඩනැඟිලි නොවුණු නිසා පිළිමය හොඳින් කැපී පෙනුණා. එය පිහිටුවා තිබෙන්නේ තරමක් උස් බිම්කඩක යි. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම් ව සිටිය දී යුද හමුදා මූලස්ථානය බත්තරමුල්ලේ අකුරේගොඩට ගෙන ගොස් ඉඩම ෂැංග්‍රිලා හෝටල සමාගමට  විකුණා දැම්මා.

1900 මුල් භාගයේ පිළිමය  පිහිටි තැනට නුදුරින් අහස උසට නැගී සිටියේ පළමු ලෝක යුද ස්මාරක කළුගල් කුලුන යි. පසුව එම කුලුන කොළඹ 7 මහජන පුස්තකාල ගොඩනැඟිල්ල අසල සවිකර තිබෙනවා.

 මූර්ති ශිල්පී මහාචාර්ය කර්බෙල්-  vimio.com

පිළිමය හැදුවේ සෝවියට් රුසියාවෙන්

අගමැති ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ හදිසි අභාවය 1959 සැප්තැම්බර් 26 වැනි දා සිදුවුණා. අභාවයෙන් පසු 1960 දී සහ යළිත් වරක් 1970 මහ මැතිවරණයෙන් අගමැතිනිය බවට පත්වූයේ අගමැති  බණ්ඩාරනායකගේ බිරිය සිරිමා බණ්ඩාරනායක යි.  සමාජවාදී රටක් වූ සෝවියට් දේශය හා ලංකාව අතර තානාපති සබඳතා මුලින් ම  ගොඩනඟා ගන්නේ 1957 දී  අගමැති බණ්ඩාරනායක යි. 1963 දී සිරිමා බණ්ඩාරනායක අගමැතිනිය රුසියාවේ නිල සංචාරයක යෙදුණා.

දෙවන වරට අගමැතිනිය වූ සිරිමා බණ්ඩාරනායක  1970 මුල දී තම සැමියාගේ ප්‍රතිමාවක් තනා දෙන ලෙස රුසියාවෙන් ඉල්ලීමක් කළා. බණ්ඩාරනායක අගමැතිවරයාගේ සෝවියට් මිතුරුකමට කෘතවේදී බව පළ කිරීමට 1973 දී ඔහුගේ පිළිමයක් නිර්මාණය කර ලංකාවට තෑගි කිරීමට එරට තීරණය කරනවා.   එම පිළිමය තැනීම බාර වන්නේ එවකට සෝවියට් රුසියානු සමූහාණ්ඩුවේ සිටි විශිෂ්ටත ම  ප්‍රතිමා ශිල්පියෙක් වුණු මහාචාර්ය ලෙව් ඉෆ්මොවිච් කර්බෙල්ට යි.

 කර්බෙල්ගේ තවත් නිර්මාණයක් වන කියුබාවේ ලෙනින් ප්‍රතිමාව- vikipedia.org

 

ඔහු රුසියාවේ මොස්කව් නගරයේ ස්ටේට් ඇකඩමික් ආර්ට් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක්. ජර්මනියේ කාල් මාක්ස් ප්‍රතිමාව, කියුබාවේ හවානා නුවර වී.අයි. ලෙනින් ප්‍රතිමාව ඇතුළු ලෙව් කර්බෙල් නිර්මාණය කළ සුවිසල් අගනා ප්‍රතිමා රුසියාවේ සහ ලෝකයේ නගර ගණනාවක පිහිටා තිබෙනවා.

මෙය ශ්‍රී ලංකාවේ තිබෙන කර්බෙල් අතින් නිමැවූ එකම ප්‍රතිමාව යි. එමෙන් ම ශ්‍රී ලංකාවේ පිහිටි විශාලත ම දේශපාලනඥ ප්‍රතිමාව මෙන් ම විශිෂ්ටත ම පුද්ගල ප්‍රතිමාව ලෙසත් සැලකිය හැකි යි.

 බණ්ඩාරනායක සමරුවක් පැවති අවස්ථාවක් – dailymirror.lk

පිළිමය ගෙනාවේ ගුවනින්

පිළිමය තැනීමේ දී එය පළමුවෙන් රූපය මැටියෙන් ඇඹීම් කර පසුව එය ලෝහයෙන් වාත්තු කර තිබෙනවා. එසේ හදන මැටි මූර්තියේ බණ්ඩාරනායක මුහුණේ අංගලක්ෂණ තිබේදැයි පරීක්ෂා කිරීමට  ලංකාවෙන් එදා එහි ගොස් ඇත්තේ මූර්ති ශිල්පී මාපලගම විපුලසාර හාමුදුරුවන්, සුනේත්‍රා බණ්ඩාරනායක හා කුමාර් රූපසිංහ යි. ලෝකඩවලින් තමයි පිළිමය තනා ති‍බෙන්නේ. එය තනා නිම කළ පසුව 1976 දී රුසියානු එයරොෆලොට් ගුවන් යානයක් මඟින් කොටස් හතරක් වශයෙන්  පිළිමය ලංකාවට රැගෙන එනවා.

එය ගෝල්ෆේස් පිටියේ සවි කරන්නේත් 1976 දී ම යි.  පිළිරුව සවිකිරීම අධීක්ෂණය කිරීමට එහි නිර්මාණ ශිල්පියා වන මහාචාර්ය ලෙව් කර්බෙල් ලංකාවට පැමිණෙනවා. පිළිමයේ කොටස් ගාලු මුවදොර පිටියට වාහනවලින් ප්‍රවාහනය කර එහි යට ම කොටස වෙල්ඩින් කර  පාදමට කොන්ක්‍රීට් යොදා පොළොවට සවි කිරීම සිදුවුණා. පිළිමයේ අනෙක් කොටස් සවි කිරීමට යකඩ බටවලින්  වටේට පලංචි තනා ආධාරක සකස් කළා.  ඉන්පසුව  ඉතිරි කොටස් වෙල්ඩින් කරමින් ඉහළට ඉදිකිරීම සිදුවුණා.  ඒ සඳහා මහාචාර්යවරයාට සහාය දක්වා ඇත්තේ  ලංකාවේ දක්ෂ ගෘහනිර්මාණ ශිල්පියෙක් වූ සුරේන් වික්‍රමසිංහ යි.

 ශැංග්‍රිලා හෝටලය තැනීමට පෙර – alamy.com

 

විශාල හිස් අවකාශයක් සහිත ගාලු මුවදොර මුහුද දෙස බලාගෙන සිටින අයුරින් බණ්ඩාරනායක ප්‍රතිමාව ඉදිකෙරුණේ ඒ අන්දමින්. බණ්ඩාරනායක ශරීරයෙන් කුඩා වුවත් ඔහුගේ සේවය ඉස්මතු වන පරිදි මහා පෞරුෂයකින් යුක්ත ව පිළිමය ගොඩ නගා තිබෙනවා.

බණ්ඩාරනායක යුගය එසේත් නැතිනම් 1956- 59  කාලය ‘පොදුජනයා’ පිළිබඳ කතිකාව බහුල ව සමාජයේ පැතිරුණු කාලයක්. බණ්ඩාරනායක බලයට පැමිණීයේ ද සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේගයේ සහයෝගයෙන්. සේවක අර්ථ සාධක අරමුදල, දේශීය නිෂ්පාදන කර්මාන්ත, බස් ජනසතු කිරීම හා වරාය ජනසතු කිරීම, අඳ ගොවි අයිතිය තහවුරු කිරීම සඳහා කුඹුරු පනත සකස් කිරීම, බ්‍රිතාන්‍යයන් සතු ව පැවති ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුර ලංකාවට නැවත  පවරා ගැනීම ආදී පොදුජන කටයුතු රාශියක් කිරීමට බණ්ඩාරනායක ආණ්ඩුව කටයුතු කළා.   

 පිළිමයේ ඉහළ කොටස-  menafm.com

පිළිමය සංරක්ෂණයට

පිළිමය පිහිටුවා අවුරුදු 18කට පසුව මහාචාර්ය කර්බෙල්  ශ්‍රී ලංකාවට 1994 දී නැවතත් පැමිණියා. ඔහු බණ්ඩාරනායක ප්‍රතිමාව පරීක්ෂා කිරීමටත් ඒ අවස්ථාවේ ගියා. එකල මෙරට ජනාධිපති වුණේ ඩී. බී. විජේතුංග යි. මහාචාර්ය කර්බෙල් එය සංරක්ෂණය කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලීමක් කළා. මහාචාර්ය කර්බෙල්ගේ ඉල්ලීම අනුව 1994 දී ආණ්ඩුව ප්‍රතිමාව සංරක්ෂණය කිරීමට පියවර ගත්තා. එහි සංරක්ෂණ කටයුතු කළේ මූර්ති ශිල්පී මහාචාර්ය සරත් චන්ද්‍රජිව යි.  එහි වියදම දැරුවේ ඩී. බී. විජේතුංග හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලයෙන්. පසුගිය 2021 අවුරුද්දේ හිටපු ජනාධිපතිනි  චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ ඉල්ලීම පරිදි මෙය නැවත වතාවක් මහාචාර්ය සරත් චන්ද්‍රජීව ඇතුළු  කණ්ඩායම අතින් සංරක්ෂණය කෙරුණා.

  

කවරයේ ඡායාරූපය - අරගල බිමේ බණ්ඩාරනායක පිළිමය - dinamina.lk

මූලාශ්‍ර :

Mawbima.lk

Silumina.lk

Dinamina.lk 

Related Articles