ඇමෙරිකානු අපරාධ ඉතිහාසය පිරික්සීමේ දී ‘තවමත් නොවිසඳුණු’ ගණයට වැටෙන අපරාධ රාශියක් හමුවෙනවා. මීට වසර 60කට පමණ ප්‍රථම ෆිලඩෙල්ෆියාව සලිත කළ ‘පෙට්ටියේ හුන් දරුවාගේ අභිරහස’ත් එවැන්නක්. විටින් විට මේ පිළිබඳව විවිධ මත පල වුව ද, විවිධ පරීක්ෂණ සිදුවුව ද අද වන විටත් මෙම අභිරහස සම්පූර්ණයෙන් නිරාකරණය වී නැහැ.
හැඳින්වීම
ඇමෙරිකා එක්සත් ජනපදයෙහි ෆිලඩෙල්ෆියාවේ සෙඩාර්බෲක් නුවර අයිවි හිල් නම් සුසාන භූමියෙහි එක්තරා සුවිශේෂී සොහොනක් තිබෙනවා. එහි සොහොන් ගලෙහි සටහන්ව තිබෙන්නේ ‘ඇමෙරිකාවේ ‘නොදන්නා’ දරුවා’ ලෙස යි.
මේ සුසානයෙහි තැන්පත් කර තිබෙන මළසිරුර අයත් කාටදැ යි යන්න මේ වන තුරුත් කිසිවෙකු සොයාගෙන නැහැ. කුඩා පිරිමි දරුවෙක් වන මේ සිරුර කාගේදැ යි යන්න නිෂ්චිතව සොයාගන්නට වසර 60ක පමණ කාලයක් තිස්සේ ප්‍රදේශයේ ආරක්ෂක අංශ නොගත් උත්සාහයක් නැති තරම්.
මළසිරුරක් හමුවෙයි
1957 වසරේ දිනක තරුණ දඩයක්කරුවෙක් සිය උගුල් පරීක්ෂා කිරීම සඳහා ෆිලඩෙල්ෆියාවට මඳක් උතුරෙන් වූ වන උද්‍යානයකට ඇතුල් වෙනවා. පඳුරු අතරින් ඉදිරියට ඇදුණු ඔහුට සාමාන්‍ය තරමේ කාඩ්බෝඩ් පෙට්ටියක් හමුවනවා. මෙලෙස වන ලැහැබෙහි අතැර තිබූ පෙට්ටිය තුළ ඇත්තේ මොනවාදැ යි බලන්නට ඔහුට කුකුසක් උපන් නිසා ඔහු එය විවර කර බලනවා. එහි තිබී ඔහුට හමුවන්නේ කිසිසේත්ම බලාපොරොත්තු නොවූ දෙයක්. බ්ලැන්කට්ටුවක ඔතන ලද, නිරුවත් කුඩා දරුවෙකුගේ මළසිරුරක් එහි වුණා. කෙසේ නමුත් එය පොලිසියට දන්වන්නට ඔහු උනන්දු නොවුණේ වන උද්‍යානය තුළ උගුල් ඇටවීම නීතියෙන් තහනම් නිසා යි. මෙය දන්වන්නට ගොස් අමාරුවේ වැටෙන්නට ඔහුට අවැසි වූයේ නැහැ.
මේ සිදුවීමෙන් දින කිහිපයකට පසු මේ ස්ථානය ආසන්නයේ වූ මහාමාර්ගයේ ගමන් කළ සිසුවෙකු වනය දෙසට දිවයන සාවෙකු දකිනවා. ප්‍රදේශයේ උගුල් අටවා ඇති බැව් දන්නා ඔහු, සාවා ඒවාට හසුවීමෙන් වලක්වා ගැනීමට ඌ පසුපස ගමන් කරනවා. ඔහු ද වනයේ අතැර දමා තිබූ කාඩ්බෝඩ් පෙට්ටිය දැක එය පරීක්ෂා කරනවා. එය දැක බිය වූ ඔහු වහාම ආසන්නයේම වූ පොලිස් ස්ථානය දැනුවත් කරනවා.
පර්යේෂණ ඇරඹෙයි
මළසිරුර සහිත පෙට්ටිය පිළිබඳ දැනගත් වහාම පොලිසිය ඒ වෙත ළඟා වුණා. එහි වූ දරුවා පිරිමි දරුවෙකු බවත්, වයස අවුරුදු තුනේ සිට හත දක්වා වූ වයසක පසුවන බවත් ඔවුන් සොයාගත්තා. සිරුර දැකීමට පෙර සිසුවාගෙන් අසා දැනගත් තොරතුරු අනුව එම සිරුර ඉක්මණින්ම හඳුනාගත හැකි වනු ඇතැ යි ඔවුන් අනුමාන කර තිබුණ ද, මඩ වැකී ගිය, කෙසඟ සිරුර දුටු වනම එය එතරම් පහසු නොවන බැව් ඔවුනට වැටහුණා.
මේ සිරුරේ හිසකෙස් මරණය සිදුවන්නට ඉතාම ආසන්නයේ දී කපා තිබුණා. සිරුරෙහි තැනින් තැන ද කපා දමා තිබූ කෙස්කොට තිබුණා. මේ සිරුර සාමාන්‍යයෙන් ඇමෙරිකානු දරුවෙකුගෙන් දැකිය නොහැකි තරමට මන්දපෝෂණයෙන් කේඬෑරි වී ගිය එකක් වූ අතර, එහි තැනින් තැන කැපුම් තුවාලවල කැළැල් ද තිබුණා. මේවා වළලුකර, පාද හා නිකටෙහි ප්‍රමුඛව තිබූ අතර ඔහු කාලයක් තිස්සේ අත්හැර දමා සිටි වීථි දරුවෙකුගේ ලක්ෂණ පෙන්නුම් කළා. හඳුනාගැනීමේ අටියෙන් සිරුරෙහි ඇඟිලි සළකුණු ද පොලිසිය විසින් ලබාගත්ත ද එයින් ද ඔහු හඳුනාගැනීමට එතරම් උපකාරයක් ලැබුණේ නැහැ.
දරුවා හඳුනාගත නොහැකි වෙයි
දරුවා පහසුවෙන් හඳුනාගත නොහැකි බැව් ඉක්මණින්ම වටහාගත් බලධාරීන් ඔහුගේ අනුරුවක් තනවා, ඒ අනුව පෝස්ටර් සකසා ඇමෙරිකා එක්සත් ජනපදය පුරාවට මුදාහැරියා. මීළඟ වසර කිහිපය තුළ මේ ආකාරයට පෝස්ටර 400,000ක් පමණ නිකුත් කළ අතර මේවා රට පුරා වූ තැපැල් කන්තෝරු, පොලිස් ස්ථාන රාශියක අලවා තැබුණා. එයින් ද නොනැවතී පත්තර, බිල්පත් වැනි දේ තුළට ද මේවා දමන්නට පොලිසිය කටයුතු කළා. කෙසේ නමුත් මේ සියල්ලගෙන් පසුවත් මේ දරුවා පිළිබඳව කිසිදු තොරතුරක් ලැබුණේ නැහැ.
දරුවා හඳුනාගැනීමේ ව්‍යායාමය එක් පසෙකින් සිදුවෙද්දී අපරාධය සිදුවූ අයුරු හඳුනාගන්නට අනෙක් පසින් පරීක්ෂණ කණ්ඩායම් ක්‍රියාත්මක වුණා. පෙට්ටිය හමු වූ ස්ථානය හා ඒ අවට සියුම් ලෙස පරීක්ෂාවට ලක් වූ අතර එහිදී ද කිසිදු වැදගත් යමක් හමුවූයේ නැහැ.
දිනෙන් දින මේ සිද්ධියේ ඇති අභිරහස් භාවය තීව්‍ර වූ නිසා මෙය ඇමෙරිකාව පුරා ප්‍රසිද්ධ වුණා. මේ හේතුවෙන් තරුණ රහස් පරීක්ෂකයින් කිහිප දෙනෙක්ම මේ පිළිබඳව තමන්ගේ මතය පවසන්නට මෙන්ම වැඩිදුර පර්යේෂණ කරන්නටත් ඉදිරිපත් වුණා.
1960 වසරේ දී දරුවා දමා තිබූ පෙට්ටිය අසල තිබූ ළමා නිවාසයකට අයත් විය හැකි බවට වඩා සාධනීය මතයක් ඉදිරිපත් වුණා. එහි තිබී දරුවා ඔතා තිබූ බ්ලැන්කට්ටුවලට සමාන බ්ලැන්කට්ටු හමුවීම ඊට හේතුව යි. දරුවා දමා තිබූ පෙට්ටිය තොටිල්ලක් ඇසුරුම් කිරීමට නිමැවුණු එකක් වූ අතර, ඒ වර්ගයේ තොටිල්ලක් මේ නිවසේ ද වුණා. මේ මතය ගෙන ආ අය වැඩි දුරටත් පවසා සිටියේ මේ දරුවා මෙම ළමා නිවාසය පවත්වාගෙන යන්නාගේ දියණියගේ දරුවා බව යි. එමෙන්ම හදිසියේ නිවසේ දී සිදුවූ අනතුරක් හේතුවෙන් මොහු මියයන්නට ඇති බවත්, අනතුරුව මොහු මෙලෙස වන ලැහැබෙහි දමා යන්නට ඇති බවත් ඔහු වැඩි දුරටත් කරුණු දැක්වූවා. කෙසේ නමුත් මේ ඔස්සේ ඉතා සූක්ෂම ලෙස පරීක්ෂණ පැවැත්වූවත්, දරුවා හා මෙම ළමා නිවාසය අතර කිසිදු සම්බන්ධයක් සොයාගන්නට පොලිසිය අපොහොසත් වුණා.
වසර ගණනාවකට පසුව ලැබුණු හෝඩුවාව
උක්ත මතය ඉදිරිපත් වීමෙන් අනතුරුව මේ සිද්ධිය පිළිබඳව තවත් සාධනීය මට්ටමේ මතයක් ඉදිරිපත් වන්නට තවත් වසර 40ක කාලයක් ගතවුණා. මෙහිදී තමන් ‘එම්’ යනුවෙන් හඳුන්වාගත් නිර්නාමික කාන්තාවක් මෙම දරුවා තම සැර පරුෂ මව විසින් හදාවඩා ගැනීම සඳහා ගත් බවත්, ඉන් අනතුරුව වසර ගණනාවක් සිය මව ඔහුට දස වධ දෙමින් නිවසෙහි තබාගත් බවත් පවසන්නට යෙදුණා. අනතුරුව එක් දිනක, බෝංචි ඇට ආහාරයට ගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා ඇය ඔහුගේ හිස බිත්තියක වැද්දීම හේතුවෙන් ඔහු සිහි විසඥ වූ බවත්, කිහිප විටක් සිය මව ඔහු ජලයෙහි ඔබා බැළුව ද සිහිය නොආ බවත් මෙම කාන්තාව වැඩිදුරටත් පවසා තිබුණා.
උක්ත කාන්තාවගේ සාක්ෂියට අනුව නැවත පර්යේෂණ අරඹන්නට බලධාරීන් තීරණය කළ අතර එහිදී මෙම දරුවාගේ උදරයෙහි බෝංචි ඇට තැන්පත්ව තිබූ බව හා ඇඟිළි තුඩු ජලයේ වැඩි වේලා තිබීම හේතුවෙන් හැකිළී ගොස් තිබූ බව සොයාගැණුනා.
දරුවාගේ ස්වරූපය පිළිබඳව උක්ත කාන්තාව පැවසූ තොරතුරු ද බොහෝ සෙයින් ඔහුට සැසඳුණා. එක් මොහොතක බලධාරීන් සිතුවේ වසර ගණනාවක් විසඳාගත නොහැකි වූ අභිරහසක් හෙළිකරගැනීමේ එළිපත්තට තම පැමිණ ඇති බව යි. කෙසේ නමුත් ඒ ඔස්සේ වැඩිදුර පරීක්ෂණ සිදුකෙරුණ ද ඉන් එහා සාර්ථක ප්‍රතිඵලයක් ලබාගැනීමට ඔවුන් අපොහොසත් වුණා. මේ අතර ‘එම්’ නම් කාන්තාව උමතු තැනැත්තියක් බවට වෛද්‍ය පරීක්ෂණ වාර්තාවලින් හෙළි වුණා. එමෙන්ම ඇගේ අසල්වැසියන් සියලුදෙනා තමන් කිසි දිනෙක ඇගේ නිවසෙහි මේ ආකාරයේ දරුවෙකු සිටිනු දැක නැති බැව් පවසා සිටියා.
අවසානය
‘පෙට්ටියේ හුන් දරුවා’ පිළිබඳව පසුගිය වසර 60ක කාලය තුළ විටින් විට විවිධාකාරයේ මතයන් හා හෝඩුවාවන් කරළියට පැමිණියා. කෙසේ නමුත් ඒවා කිසිසේත්ම සත්‍ය විය නොහැකි බැව් ඉක්මණින්ම බලධාරීන්ට වැටහුණා. අද වන විටත් මෙම හඳුනා නොගත් දරුවා, ඔහු තැන්පත් කරන ලද සුසාන භූමියෙහි ‘යුක්තිය බලාපොරොත්තුවෙන්’ සැතපී සිටිනවා.