Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බ්‍රිතාන්‍යයේ එල්ලුම්ගස අහෝසි කිරීමට හේතු වූ තිමති එවන්ස් සිද්ධිය

අපරාධයක් සිදුකළ විට යමෙකුට අනිවාර්යයෙන්ම දඬුවම් ලබාදිය යුතු වෙනවා. එහෙත් එවැන්නක් ක්‍රියාත්මක කරන විට ඉතා ප්‍රවේශම් විය යුතු යි. වැරදිකරුවෙක් නිදහස් වීමට වඩා නිවැරදිකරුවෙකුට දඬුවම් පැමිණවීම බරපතල කාරණාවක්. කෙසේ නමුත් නීතිය හොඳින්ම ක්‍රියාත්මක වන දියුණු යැයි සම්මත රටවල පවා නිවැරදිකරුවන්ට දඬුවම් පැමිණවූ අවස්ථා ඉතිහාසය පිරික්සීමේ දී හමුවෙනවා. මින් සමහරකට කලක් ගත වී හෝ සාධාරණය ඉෂ්ට වූවත් තවත් සමහරෙකුට එවැනි ‘දෙවන’ අවස්ථාවක් නොලැබෙන්නේ ඒ වන විට බන්ධනාගාර ගත වී සිටියදීම  ඔවුන් දිවියෙන් සමුගෙන සිටීම නිසා හෝ මරණීය දණ්ඩනයට ලක් වී තිබීම නිසා යි. පසුගිය සියවසේ මහා බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ ‘තිමති එවන්ස්’ සිද්ධියත් එවැන්නක්. මේ නිසා අවසානයේ එහි මරණීය දණ්ඩනය ලබා දීමත් අහෝසි කරනු ලැබුවා.

තිමති එවන්ස්ගේ දිවිය සැකෙවින්

වේල්ස් ජාතිකයෙකු වන තිමති එවන්ස් උප්පත්තිය ලැබුවේ 1924 වසරේ නොවැම්බර් මස 20 වන දා යි. ඔහුගේ ළමා විය ඒ තරම් සුන්දර එකක් නොවුණු අතර කුඩා කලම ඔහුගේ පියා ඔවුන්ව හැරයනවා. මේ හේතුව නිසා පවුලේ බර ඔහුගේ මව වෙත වැටුණු අතර 1929 වසරේ දී ඇය නැවත විවාහ වෙනවා.

කුඩා කල තිමතිගේ සෞඛ්‍යය ද යහපත් මට්ටමක තිබුණේ නැහැ. ඔහුගේ වැඩීම ද සම වයස්වල ළමුන්ට සාපේක්ෂව දුර්වල මට්ටමක තිබුණු අතර පාදයක තිබූ සුව නොවන තුවාලයකින් ද පීඩා වින්දා. අධ්‍යාපනයට ද එතරම් කැමැත්තක් නොදැක්වූ ඔහු නිතරම පාසලෙන් කට්ටි පැන්නා. මේ හේතුව නිසා අතර මඟ දී ඔහු අධ්‍යාපනය හමාර කරන විට නිසි ලෙස කියවීමට හා ලිවීමට වත් හැකියාවක් දැක්වූයේ නැහැ.

තිමති එවන්ස් තූරුණු වියේදී- whaleoil.co.nz

පසුකාලීනව තිමති හා පවුල ලන්ඩනය සංක්‍රමණය වූ අතර එහිදී ඔහු පින්තාරු කරුවෙකු ලෙස කෙටි කළක් සේවය කළා. 1937 වසරේ දී ඔහු නැවතත් වේල්සයේ සිය උපන් ගමට ගොස් අවට වූ ගල් අඟුරු පතලක සේවය කිරීමට උත්සාහ කළත් එය සාර්ථක නොවන්නේ පාදයේ තුවාලය නිසා යි.

සිද්ධිය

1946 වසර වන විට 22 හැවිරිදි තිමති නැවතත් ලංඩන් නුවරට සංක්‍රමණය වී තිබුණා. බෙරිල් තෝර්ලි නම් කාන්තාවක හා ඉන් පසු වසරේ විවාහ වූ ඔහු 1948 වසරේ දී දියණියකගේ සුරතල් බලන්නට තරම් වාසනාවන්ත වුණා. මේ තිදෙනා ඉක්මණින්ම අංක 10 රිලිංටන් පෙදෙස, යන ලිපිනය සහිත උඩු මහලක පදිංචියට ගියා.

තිමතිගේ හා බෙරිල්ගේ විවාහ ජීවිතය අඬදබර හා අඟහිඟකම් වලින් පිරුණු එකක් වුණා. නිතරම දෙදෙනා අතර බහින්බස්වීම් සිදුවුණා. 1949 වසරේ දී බෙරිල් නැවතත් ගර්භණී වූ ලකුණු පෙන්නුම් කරන්නට වුණා. කෙසේ නමුත් මේ වන විට සිව්වැන්නෙකු පවුලට එක්කරගන්නට තබා තිදෙනාට ජීවත් වීමටවත් සරිලන මුදල් ඔවුන් සන්තකයේ තිබුණේ නැහැ. මේ නිසා දෙදෙනා ගබ්සාවක් කිරීමට පෙළඹුණා.

බෙරිල් තෝර්ලි- birthfactdeathcalendar.net

1949 වසරේ නොවැම්බර් මස 30 වන දා හදිසියේම ටිඩ්ෆිල් පොලිස් ස්ථානයට පැමිණි තිමති ගබ්සාවක් සිදුකිරීම සඳහා තමන් සිය බිරිඳට දුන් යම් මිශ්‍රණයක් හේතුවෙන් ඇය මියගිය බැව් ප්‍රකාශ කරනවා. කෙසේ නමුත් ඔහුගේ නිවසට ගිය පොලිසියට බෙරිල් ගේ මෘතශරීරය හමුවන්නේ නැහැ. මේ අතර සිය කථාව වෙනස් කරන තිමති පහළ තට්ටුවේ වෙසෙන ජෝන් ක්‍රිස්ටි නැමැත්තා ගබ්සාව සිදු කිරීමට පොරොන්දු වූ බවත් එහිදී ඔහු දුන් පානයක් නිසා මේ මරණය සිදු වූ බවත් පවසනවා. ඊට අමතරව තම දෙටු දියණිය වෙනකෙකුට ඇතිදැඩි කිරීමට ලබා දුන් බව ප්‍රකාශ කරනවා. මේ වන විට ඔහු දැඩි මානසික ආතතියකට ලක් වී ඇති බවක් විද්‍යාමාන වෙනවා.

තිමතිගේ නිවසට  තදාසන්න ප්‍රදේශයක තිබී බෙරිල් හා වැඩිමහල් දියණිය ජෙර්ල්ඩීන්ගේ මළසිරුරු හමුවන්නේ මේ අතරයි. ඔවුන් දෙදෙනාම ගෙල සිරකොට මරා දමා තිබුණා. සැකය තිමති දෙසට යොමු වූ අතර අවසානයේ තමන් මේ ඝාතන දෙක කළ බවට ඔහු ‘පාපොච්ඡාරණය’ කරනවා. වහාම ඔහු අත්අඩංගුවට ගැනෙනවා.

රිලිංටන් පෙදෙස- Getty Images

නඩු විභාගය

තිමති එවන්ස්ට එරෙහි නඩු විභාගය ඉක්මණින්ම ඇරඹෙන අතර මුලදීම සිදු කළ පාපොච්ඡාරණය ඔහුගේ අවාසියට බලපානවා. මේ නිසා වැඩි කරුණු වග විභාගයකින් තොරවම ජූරිය විසින් ඒකමතිකව මෙම දිව්ත්ව මිනිමැරුම් චෝදනා වලට තිමති වැරදිකරු බව ප්‍රකාශ කරනවා. ඔහුට මරණීය දණ්ඩනය හිමි වන අතර 1950 වසරේ මාර්තු මස 9 වන දා එය ක්‍රියාත්මක වෙනවා.

ඝාතකයෙකු හඳුනාගැනේ

තිමතිට එරෙහි මරණ දඬුවම ක්‍රියාත්මක වී වසර දෙකක් පමණ ගත වූ පසු හදිසියේම අංක 10 රිලිංටන් පෙදෙසෙන් තවත් කාන්තා මළසිරුරු කිහිපයක්ම හමු වෙනවා. මේවා ඔස්සේ පර්යේෂණ පැවැත්වූ පොලිසිය ඒ සියල්ලටම වැරදිකරු තිමතිගේ නිවසට පහළ තට්ටුවේ ජීවත් වූ ජෝන් ක්‍රිස්ටි බැව් සැකයකින් තොරවම සොයාගැනෙනවා. මේ හේතුවෙන් කෙටි නඩු විභාගයකට පසුව 1953 වසරේ ජූලි මස 15 වන දා ඔහුව ද එල්ලා මරනවා.

ජෝන් ක්‍රිස්ටි- justcriminals.info

වැරදුණු තීරණය

ක්‍රිස්ටි ඝාතකයෙකු බැව් සොයාගැනීමත් සමග බොහෝ දෙනා ප්‍රශ්ණ කළේ තිමති එවන්ස් ගේ බිරිය හා දරුවා ඝාතනය කරන්නට ඇත්තේත් ක්‍රිස්ටි විය නොහැකි ද යන්නයි. පාපොච්ඡාරණය සිදුකිරීමේ දී තිමති දැඩි මානසික පීඩනයක සිටීම හා නිසියාකාරව එම ඝාතන පිළිබඳව පර්යේෂණ පැවැත්වීම සිදු නොකිරීම හේතුවෙන් ඒවා ඇත්ත යැයි සම්පූර්ණයෙන් පිළිගත නොහැකි  බැව් ඔවුන් පවසනවා.

එල්ල වූ දැඩි බලපෑම් නිසා හොඳ තාක්ෂණයක් යොදගෙන තිමති එවන්ස් සිද්ධිය පිළිබඳව නැවත පර්යේෂණ ඇරඹුණු අතර එහිදී අනාවරණය වූයේ දියණිය ඝාතනය කරන ලද්දේ තිමති විසින් නොවන බවයි. ඒ තරම් ඉහළ බුද්ධිමත්භාවයක් නොතිබූ තිමති එවන්ස් හට ක්‍රිස්ටි තමන් ගබ්සා කිරීමට දන්නා අයෙකු ලෙස ඒත්තු ගන්වා අනතුරුව සූක්ෂමව ඝාතනය කොට තිබුණා. එකල බ්‍රිතාන්‍යයේ ගබ්සාව නීතිවිරෝධී එකක් බැවින් ‘ගබ්සා කිරීමට ගොස්’ බෙරිල් මියගිය නිසා ක්‍රිස්ටි තිමතිට සිය උපන් ගමට ගොස් මඳක් සැඟවී සිටින ලෙස උපදෙස් දී තිබුණා.

තිමති එවන්ස් නඩු විභාගය කරා රැගෙන යමින්- walesonline.co.uk

මේ අතර වැඩිමල් දියණිය ද නැවැත්වීම සඳහා සුදුසු ආරක්ෂාකාරී ස්ථානයක් තමන්ට හමු වූ බැව් ඔහුට පවසා තිබූ බැව් පසුව හෙළි වුණා. අනතුරුව ක්‍රිස්ටි ජෙරල්ඩීන් ද ගොදුරු කරගෙන තිබුණා. සියල්ල සලකා බලා අවසන තිමති එවන්ස් සියළු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කෙරුණා.

පසුවදන

චෝදනාවලින් නිදහස් වුව ද ඒ වන විට තිමති එවන්ස්ට මරණීය දණ්ඩණය දී කලක් ගතව තිබුණා. මේ නිසා බලධාරීන්ට සිදු වූ එම ‘වරද’ නැවත සැකසිය නොහැකි ගණයේ එකක් වුණා. තිමති එවන්ස් සිද්ධිය පිළිබඳ කථාව මහා බ්‍රිතාන්‍ය තුළ පමණක් නොව ලොව පුරා ද පැතිරී ගියා. ලොව බොහෝ දෙනා මේ නිසා මහා බ්‍රිතාන්‍ය බලධාරීන්ට චෝදනා නැගුවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස වැරදිකරුවන්ට මරණ දණ්ඩණය ලබා දීම සඳහා වූ නීතිය බ්‍රිතාන්‍යය ව්සින් අහෝසි කරන්නට කටයුතු කළා.

කවරයේ පින්තූරය- alchetron.com

Related Articles