රුහුණේ පිහිටි වැඩි දෙනෙක් නොදන්නා මේ විහාරයට උමංගල විහාරය යැයි කියන්නේ පර්වතය ඇතුළත උමං මාර්ගයක් පිහිටා ඇති නිසා යි. එම උමඟේ සිට නාගයන් නුදුරින් පිහිටි මුල්කිරිගල විහාරයට ගමන් කරන බව ජනප්‍රවාදවල සඳහන් වෙනවා. කුඩා කඳුගැටයක් මත පිහිටි සුන්දර ඉසව්වක තමයි මේ විහාරය පිහිටා තිබෙන්නේ. ජනප්‍රවාද මෙන්ම ඓතිහාසික පුවත් ද පිරිවරාගත් පුදබිමක් ලෙස උමංගල හඳුන්වන්නට පුළුවන්.
ගමන් මඟ
මාතර සිට හක්මනට ගොස් බෙලිඅත්ත පාරේ කිලෝමීටර 4 කින් හමුවන ගංගොඩගම හන්දියෙන් කිලෝමීටර 1 1/2 ගිය තැන මෙම විහාරයට ළඟා විය හැකි ය. විහාර බිමට ඇතුළු වන ස්ථානයේ පියගැට පෙළ පාමුල වාහල්කඩක් දකින්නට ලැබෙනවා. මුල්කිරිගලට යන කාටත් උමංගල විහාරයටත් පහසුවෙන් ළඟාවීමට පුළුවන්.
ජනප්‍රවාද
මහනුවර යුගයේ ලියවුණු විහාර අස්න හෙවත් නම් පොතේ මෙම විහාරය සඳහන් වන්නේ ඕවාගිරි විහාරය ලෙස යි. ඒ අනුව පෙනෙන්නේ මහනුවර යුගයේදීත් මේ විහාරය ප්‍රකට වන්දනා ස්ථානයක්ව පැවති බව යි. කඳු මුදුනට දුෂ්කර මාර්ගයක් ඇති බැවින් ද, ගමන් කිරීමට අපහසු බැවින් ද අමංගල විහාරය නමින්ද මෙම විහාරය හඳුන්වනවා. උමංගල කන්දේ පර්වත අතරින් විහාරයේ සිට ගමන් ගන්නා උමඟ මුල්කිරිගල දක්වා විහිදී තිබෙන බව ජනප්‍රවාදවල සඳහන් වෙනවා. මුල්ගිරිගල රජමහා විහාරයේ සිට පොළොව යටින් ගමන් කළ නාගයකු ඊට සැතපුම් හතක් ( කිලෝමීටර 10ක් පමණ) පමණ දුරින් වූ මෙම උමග පිහිටි ස්ථානයෙන් මතු වූ බවත් ජනප්‍රවාදයෙහි එන කතාවක්.
මුල්ගිරිගල ද මෙවැනි ම උමඟක විවරයක් දකින්න ලැබෙනවා. පුරාණ කාලයේ රජකු මේ ප්‍රදේශයේ සැරිසරන විට මෙම මහා පර්වතය ඈතින් දැක තිබෙනවා. පිරිවර ජනයාගෙන් අර මොනවාදැයි ඇසූවිට ඕවාගිරි යැයි පවසා ඇති බවත් එතැන් සිට ඕවාගිරි විහාරය යැයි හඳුන්වන්නට වූ බවත් පැවසෙනවා. රජතුමා හා හේවායන් පැමිණ ලෙන් විහාර තුනක් තනා පර්වතය මුදුනේ දාගබක් ද තනා ඇති බව කියවෙනවා. තවත් ජනප්‍රවාදයක සඳහන් වන්නේ මාගම රජ කළ කාවන්තිස්ස රජු මෙම විහාරය කරවූ බව යි. මේ කතාවල ඇත්ත නැත්ත කුමක් වුණත් මෙහි පිහිටි කටාරම් කෙටූ ලෙන් අනුව විහාරයේ අතීතය වසර දෙදහසකට එහා කාලයකට ඇදී යනවා.
ලෙන් විහාර තුනක්
විහාර බිමේ පහත කොටසේ පිහිටා ඇත්තේ සංඝාවාස ගොඩනැඟිල්ල යි. විහාරය පිහිටි කන්ද දෙපසින් ම කුඹුරු යායක් පැතිර තිබෙනවා. විහාර බිමේ කිතුල්, අඹ, කොස් බහුල යි. මෙහි ලෙන් විහාර තුනක් දැක ගත හැකි යි. මේ ලෙන් සියල්ල ම කටාරම් කොටා තිබෙනවා. ලෙන් විහාර පිහිටි පර්වත බෑවුම් වෙත ළඟා වීමට පහත සිට අඩි 600ක උසක් දක්වා කළුගල් පියගැට පෙළක් තරණය කළ යුතු යි. මේ ලෙන් විහාර මහනුවර යුගයේ දී පිළිම ගෙවල් බවට පත්ව තිබෙනවා. පසුකාලීන ව ඒවා අලුත්වැඩියා කර ඇති නිසා පුරාණ සිතුවම් නම් නවීකරණය වී ඇති බවයි පෙනෙන්නේ.
මෙහි ප්‍රධාන පිළිම ගෙයි සැතපෙන, හිඳි සහ හිටි බුද්ධ ප්‍රතිමා තුනක් දැක ගත හැකි යි. මහනුවර යුගයේ දී තැනූ බව පෙනෙන මෙම ප්‍රතිමා ද පසුකාලීන ව අලුත්වැඩියා කර තිබෙනවා. රහතන් වහන්සේලා, නවග්‍රහ මණ්ඩලය, සිරිපා සටහන් හතරක්, දේව රූපාදිය ද ප්‍රධාන ලෙනේ ඇඳි චිත්‍ර අතර තිබෙනවා. දෙවන ලෙන් විහාරයේ මෑතක දී තැනූ පිළිම ගෙයක් දැකගත හැකි යි. එහි හිඳි බුදු පිළිමයක් සහ එය දෙපස වැඳ සිටින රහත් හිමිවරුන්ගේ රූප හයක් දක්නට ලැබෙනවා.
උමඟ සහිත ලෙන
මෙහි තුන්වන ලෙන් විහාරය වශයෙන් ඇත්තේ කුඩා ලෙනක්. කා තුළත් කුතුහලය දනවන උමංගල උමඟේ ද්වාරය පිහිටා ඇත්තේ මේ ලෙන තුළ යි. උමං දොරටුව දොර පියනක් යොදා වසා තිබෙනවා. උමං දොරටුවට ඉහළින් පසු කාලයේ නාගයකුගේ රුවක් ඇඳ තිබෙනවා. මෙම විහාරයේ තිබෙන චිත්‍ර නවීකරණය කර තිබෙනවා. උමං දොරටුව දෙපස ම යක්ෂ, නාග රූප ඇඳ තිබෙනවා.
පර්වතය මත දාගබ
ප්‍රධාන ලෙන් විහාරයට අඩි 250ක් පමණ ඉහළින් ගල් පර්වතය මත අලුත්වැඩියා කළ පැරැණි දාගබ පිහිටා තිබෙනවා. ඒ අසල ම ඝණ්ඨා කුලුන ද දැකගත හැකි යි. දාගබ වෙතට ගමන් කළ යුත්තේ පියගැට පෙළ තරණය කිරීමෙනු යි. පහළ සංඝාවාසයේ සිට දාගබ දක්වා ඇති මුළු ගල් පඩි සංඛ්‍යාව 450ක්. මෙය මුලින් ම තනා ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 267 – 276 යන කාලයේ අනුරාධපුරයේ රජ කළ ජෙට්ඨතිස්ස රජු යයි පැවසෙනවා.
මෙහි හමුවන පැරණි ගඩොල්වලට සමාන ගඩොල් අභයගිරියෙන්, ලෝවාමහාපායෙන් හමු වී ඇති අතර ඒවා පරීක්ෂා කළ මහාචාර්ය කඹුරුපිටියේ වනරතන හිමිගේ නිගමනය වන්නේ මෙම සෑය මුලින් ම තනා ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 2 – 5 ශතවර්ෂවල දී බව යි.
මෙහි මෑත අතීතයේ දී සංඝාවාසය ඉදිකිරීමේ දී පැරණි අත්තිවාරම් හමු වී තිබුණ ද ඒවා ඉවත් කර නව ගොඩනැඟිල්ල තැනීම නිසා පැරණි සාධක රාශියක් අහිමි වී ගොස් තිබෙනවා. කළුගල් සෑය නමින් මෙම සෑය ප්‍රසිද්ධියට පත්ව තිබී ඇති අතර මෙහි තිබූ ගල් කණු කඩා පඩිපෙළට දමා ඇති බව පැවසෙනවා.
ඒ නිසා සිදුව ඇත්තේ දාගබේ ඓතිහාසික අගය වැනසීමක්. උමංගල පර්වතය ඉදිරියෙන් බිම සකස් කිරීමට පුරාණයේ ඉදිකරන ලද විශාල කළුගල් ප්‍රාකාරයක් ද දැක ගැනීමට පුළුවන්. අලංකාර පොකුණු ද මෙම විහාරයේ දී අපට දැකගැනීමට ලැබෙනවා.
සංඝ පරම්පරාව
කාලයාගේ ඇවෑමෙන් රුහුණු රාජධානිය අභාවයට ගිය පසු උමංගල ඕවාගිරි විහාරය ද වනගත ව නටබුන් බවට පත්ව තිබෙනවා. ලෙන් ජරාවාස වී වන සතුන්ගේ තිප්පොළවල් වී තිබෙනවා. පිරිහුණු බුදු සසුනට පුනර්ජීවනයක් ලබා දුන් වැලිවිට සරණංකර සංඝ රාජ තෙරුන්ගේ ශිෂ්‍ය වූ වේහැල්ලේ ධම්මදින්න හිමියන් සමඟ 1753 දී මහණෝපසම්පදාව සඳහා මාතර දිසාවෙන් මහනුවර මල්වතු මහා විහාරයට වැඩිය ගණින්නාන්සේලා ගණන විසිනවයක් ලෙස සඳහන් වෙනවා. ඒ විසිනව දෙනා අතුරෙන් උමංගල විහාරයෙන් ගිය කෝන්ගස්තැන්නේ ධම්මපාල හිමියන් ද සිට තිබෙනවා.
උන්වහන්සේ ඒ කාලයේ කුරුඹුරේ විහාරය, තිප්ල විහාරය, වැලිහිඳ විහාරය හා ලාල්පේ විහාරය යන ස්ථානයන්හි අධිපතිත්වය දරා සිටි බව සඳහන්. එතැන් සිට දෙණිපිටියේ ධම්මානන්ද, බඹරැන්දේ බුද්ධරක්‍ඛිත, දෙමටපිටියේ ශ්‍රී සංඝරක්‍ඛිත, පහතරට සංඝනායක, බඹරැන්දේ ධම්මපාල, කපුගම ඉන්‍දජෝති, ඌරාපොල ඉන්‍දජෝති, උයන්ගොඩ ධම්මරක්‍ඛිත හා පරවාහැර ධීරානන්ද යන මහ ස්ථවිරයන් වහන්සේලා මෙම විහාරයේ අධිපතිත්වය පිළිවෙළින් දරා තිබෙනවා. වර්තමානයේ විහාරාධිපති පදවිය දරන්නේ යටගල පඤ්ඤාලෝක නායක හිමියන් විසින්.
ඕලන්ද මතක සටහන්
ක්‍රිස්තු වර්ෂ 1663 සිට 1665 දක්වා කාලයෙහි හක්මන මුරපොළ භාරව සිටියා ය කියන ඕලන්ද හේවායෙක් වූ ඇල්බට් හර්පෝට් නම් අය මෙහි වූ විශාල පිළිමයක් දැක හක්මන උමංගල කන්දේ මැටියෙන් තැනූ විශාල ප්‍රතිමාවක් දක්නට තිබේ යයි සඳහන් කර තිබෙනවා. මෙහි පිහිටි උමඟ ගැනත් ඔහු සඳහන් කර තිබෙනවා. ඔහු මුල්කිරිගල කන්ද චිත්‍රයටත් නඟා තිබෙනවා.
කවරයේ ඡායාරූපය – උමංගල පර්වතයේ ලෙන් – Thangalle- flickr.com
මූලාශ්‍ර:
Budusarana.lk
Ganini de S.G. Punchihewa, Ruhuna’s Heritage
පෞරාණික ස්මාරක සහ ස්ථාන- මාතර දිස්. ඉනෝකා වික්‍රමරත්න, පුරාවිද්‍යා දෙපා.