රූමත් හෙලන් ගලවා ගැනීම පිණිස ඇති වූ ‘ට්‍රෝජන් යුද්ධය’ ගැන කතාබස් කිරීමේ දී අමතක කළ නොහැකි නාමයක් ලෙස ‘අකිලීස්’ හැඳින්වීමේ වරදක් නැහැ. බිහිසුණු මර්මඩොන්වරුන්ගේ නායකයා වූ දෙවියෙකු බඳු අකිලීස්, යුද පිටියේ දී පරාජය කළ නොහැකි රණශුරයෙකු වූ බව යි පුරාවෘත්තයන්හි සඳහන් වන්නේ. නමුත් අවසානයේ දී ග්‍රීක ඉතිහාසයේ විශිෂ්ටතම වීරයාගේ අධිපත්‍යය කෙළවර වී ඇත්තේ ඔලිම්පියානු දේව මණ්ඩලයේ සාමාජිකයෙකු වන ඇපලෝ දෙවිඳුන්ගේ මැදිහත් වීමෙන්.
සාගර දෙවඟනකට උපන් රණශූරයා
ග්‍රීක මිථ්‍යා සාහිත්‍යයේ සඳහන් වන ආකාරයට මර්මඩොන්වරුන්ගේ රජු වූ පෙලියස්ට දාව අමරණීය සාගර දෙවඟනක් වූ තීටස්, අකිලීස්ට උපත ලබා දෙන්නේ තෙසලි නුවර දී යි. තම පුතුට අමරණීයත්වය ලබා දීමේ අරමුණින් තීටස්, බිලිඳු අකිලීස් ව දිව්‍යමය අග්නි ජාලාවකට (ඇතැම් මූලාශ්රයන්ට අනුව පෘථිවිය සහ පාතාලය වෙන් කරමින් ගලා බසින ස්ටික්ස් ගංගාවට) ඉහළින් ඔසවාගෙන සිටි බව ජනශ්රැතියේ සඳහන් වෙනවා. නමුත් මෙසේ ඔසවාගෙන සිටීම සිදු කරන ලද්දේ අකිලීස්ගේ වළලුකරෙන් වන අතර ඔහුගේ වළලුකර ආශ්රිත ප්‍රදේශය අමරණීයත්වය ලබා ගැනීමට සමත් වී නැහැ. පසු කාලීනව ඔහුගේ විනාශය සඳහා හේතු වී ඇත්තේ ද එය යි.
තම පුතුට අනාගතයේ දී හිමි වන්නේ කීර්තිමත් නමුත් කෙටි ජීවිතයක් බව දැන ගැනීමට ලැබෙන තීටස්, නිරතුරුව ඔහුව ලෝකයාගෙන් සඟවා තැබීමට උත්සාහ ගන්නා අතර ඔහුව උස් මහත් කිරීමේ වගකීම ස්කිරිස් නුවර ලයිකොමීඩ්ස් නම් රාජකීය පවුල වෙත භාර දී තිබෙනවා. ඇතැම් මූලාශ්‍රයන්හි සඳහන් වන අන්දමට අකිලීස් මූලික අධ්‍යාපනය හදාරා ඇත්තේ හර්කිලීස් වැනි වීරයන්ට පවා ඉගැන්වීම් කටයුතු සිදු කළ කයිරන් නම් නුවණැති නරාශ්වයා යටතේ.
ට්‍රෝජන් යුද්ධය අතරතුර දී
ග්‍රීක කිවිවර හෝමර්, ‘ඉලියඩ්’ කාව්‍ය ග්‍රන්ථය රචනා කර ඇත්තේ ට්‍රෝජන් යුද බිමේ දී අකිලීස් දැක් වූ දක්ෂතා වර්ණනා කරමින් බව පැවසීම අතිශයෝක්තියක් නොවෙයි. එහි දැක්වෙන ආකාරයට ට්‍රෝජන් යුද්ධයට සහභාගී වීමට අකිලීස්ව පොළඹවාගෙන ඇත්තේ ඉතකාහි ප්‍රයෝගකාර රජු වූ ඔඩිසියස් විසින්. කීර්තිමත් ජීවිතයක් ගත කිරීමේ ආශාවෙන් පසු වූ අකිලීස්, ඔහුගේ ගැබ්බර බිරිඳ ස්කිරිස් නුවර නතර කර ඔඩිසියස් රජුගේ ඉල්ලීම පරිදි එක් නෞකාවක මර්මඩොන් සොල්දාදුන් 50ක් බැගින් වූ නෞකා 50ක් ද රැගෙන ට්‍රෝයි නුවර කරා ළඟා වී තිබෙනවා.
ග්‍රීක ජාතිකයන් සහ ට්‍රෝයි නුවර වැසියන් අතර ඇති වූ ට්‍රෝජන් යුද්ධය, දශකයක කාලයක් මුළුල්ලේ පැවති අතර ඒ කාල සීමාව තුළ දී අකිලීස් විසින් ඔහුගේ ග්‍රහණයට නතු කරගෙන ඇති නගර සංඛ්‍යාව 23කට අධික බව යි සඳහන් වන්නේ. එසේ ම යුද්ධයේ මුල් කාලයේ දී උල්පතකින් දිය පානය කිරීමට පැමිණි ට්රොයිලෝස් නම් ට්‍රෝජන් කුමරුට සැඟ වී සිට පහර දුන් අකිලීස්, පසුව ඔහුව ඇපලෝ දෙවිඳුන් වෙනුවෙන් බිලි දී තිබෙනවා. නමුත් ඇතැම් මූලාශ්රයන්ට අනුව ට්රොයිලෝස් කුමරුව මරණයට පත් කරන ලද්දේ ඇපලෝ දෙවිඳුන්ගේ අභය භූමියක දී බැවින් ඇපලෝ දෙවිඳුන් අකිලීස් සමග අමනාපයෙන් පසු වූ බව සඳහන් වෙනවා.
අකිලීස් සහ ග්‍රීක සේනාධිපති වූ මයිසීනීහි ඇගමෙම්නොන් රජු අතර ගැටුමක් හට ගන්නේ මේ ආකාරයෙන් ට්‍රෝජන් යුද්ධය, ග්‍රීසියට වාසිදායක ලෙස පවතින අවස්ථාවක දී යි. ගැටුමට හේතු වන්නේ අකිලීස් විසින් ට්‍රෝයි නුවරින් පැහැර ගන්නා ලද බ්රසේයස් සහ ක්රිසේයස් රූමත් යුවතියන් දෙදෙනෙක්. බ්රසේයස් තමන් වෙනුවෙන් තබා ගන්නා අකිලීස්, ක්රිසේයස්ව ඇගමෙම්නොන් රජුට ලබා දෙන අතර ක්රිසේයස්ගේ පියා වූ ක්රිසිස් නම් පූජකයා, තම දියණිය ආපසු ලබා දීම වෙනුවෙන් එම රජුට කප්පමක් ගෙවීමට සූදානම් වෙනවා. නමුත් රජු එයට අකැමති වන අතර තමන්ගේ පූජකවරියක් එසේ රඳවාගෙන සිටීම ගැන කෝපයට පත් වන ඇපලෝ දෙවිඳුන්, ඇගමෙම්නොන් රජුගේ කඳවුර විනාශ කිරීම සඳහා වසංගතයක් එවීමට කටයුතු කරනවා. එයින් බියට පත් වන ඇගමෙම්නොන් රජු, ක්රිසේයස්ව ඇගේ පියාට ලබා දී බ්රසේයස්ව තමන් වෙත ලබා දෙන මෙන් අකිලීස්ට අණ ලබා දෙනවා. මෙහි ප්‍රතිඵලය වන්නේ අකිලීස් ප්රමුඛ මර්මඩොන් හමුදාව, ග්‍රීක සේනාවන්ගෙන් ඉවත් වීම යි.
මෙසේ අකිලීස් ට්‍රෝජන් යුද්ධයෙන් ඉවත් වීම හේතුවෙන් ක්‍රමයෙන් ග්‍රීක සේනාව දුර්වල වන අතර ට්‍රෝයි හමුදාවන් දිගින් දිගට ම ඇගමෙම්නොන් රජුගේ කඳවුරට පහර දීම සිදු කරනවා. අකිලීස් නොමැති වුවහොත් තමන් ට්‍රෝජන් යුද්ධයෙන් පරාජයට පත් වන බව වටහා ගන්නා රජු, නැවත වරක් බ්රසේයස්ව අකිලීස්ට ලබා දීමට කටයුතු කරන ලද බව සඳහන්. නමුත් රජු සමග සහයෝගයෙන් කටයුතු කිරීමට අකිලීස් අකැමති වන අතර ඔහුව පෙළඹවා ගැනීම සඳහා රජු යොදා ගන්නේ අකිලීස්ගේ මිතුරෙකු වූ පැට්රක්ලෝස්ව යි.
පැට්රක්ලෝස්ගේ ඉල්ලීමට එකඟ වන අකිලීස් නැවත වරක් ග්‍රීක සේනාවන් සමග එක් වන අතර අකිලීස් යළිත් යුද බිමට පැමිණි පුවතින් ට්‍රෝයි හමුදාව බයෙන් මුසපත්ව තිබෙනවා. කෙසේ හෝ ට්‍රෝජන් යුද්ධය අතරතුර දී පැට්රක්ලෝස් මිය යන්නේ පැරිස් කුමරුගේ සහෝදරයා වූ හෙක්ටර් කුමරුගේ ප්‍රහාරයක් හේතුවෙන්. මෙයින් දැඩි සේ කෝපයට පත් වන අකිලීස්ගේ අරමුණ වන්නේ කෙසේ හෝ හෙක්ටර් කුමරු මරණයට පත්කිරීම යි.
අකිලීස්ගේ වියරුව
පැට්රක්ලෝස්ගේ මරණය හේතුවෙන් කෝපයෙන් වියරු වැටෙන අකිලීස්, හෙක්ටර් කුමරු සමග සටන් වැදීම සඳහා නව යුද සේනාවක් නිර්මාණය කරන මෙන් තීටස්ගෙන් ඉල්ලා සිටිනවා. ලෝහ කර්මාන්තයට අධිපති හෙෆීස්ටස් දෙවිඳුන් විසින් රන්, රිදී, සහ වටිනා ලෝහ වර්ග යොදාගෙන නිම වන ලද එය, අතිශය අලංකාර නිර්මාණයක් වූ බව යි හෝමර්ගේ ‘ඉලියඩ්’ කාව්‍ය ග්‍රන්ථයේ සඳහන් වන්නේ. එම යුද සන්නාහය පැළඳගෙන යුද පිටියට පිවිසි අකිලීස්, ග්‍රීක සොල්දාදුන් රාශියක් මරණයට පත් කරමින් හෙක්ටර් කුමරු වෙත ළඟා වී තිබෙනවා.
අකිලීස්ගේ වියරුවෙන් හෙක්ටර් කුමරු මුදවා ගැනීමට ඇපලෝ දෙවිඳුන් උත්සාහ කළ ද එය අසාර්ථක වී ඇති අතර අවසානයේ දී හෙක්ටර් කුමරු සහ අකිලීස් අතර ඇති වූ ද්වන්ධ සටනක් අවසන් වී ඇත්තේ හෙක්ටර් කුමරුගේ මරණයෙන්. ජයග්‍රාහී අකිලීස් පසුව හෙක්ටර් කුමරුගේ මළ සිරුර, තම යුද රථයට ගැට ගසා ග්‍රීක කඳවුර කරා ඇදගෙන ගොස් තිබෙනවා.
හෙක්ටර්ගේ මරණයෙන් පසුව ද ට්‍රෝජන් යුද්ධය දිගින් දිගටම පැවති අතර අකිලීස් මිනිස් ලොවෙන් තුරන් විය යුතු බව විශ්වාස කළ ඇපලෝ දෙවිඳුන්, අකිලීස්ගේ වළලුකරට ඊතලයක් යැවීම සඳහා පැරිස් කුමරුව මෙහෙයවා තිබෙනවා. එහි අවසන් ප්‍රතිඵලය ලෙස මිය ගිය අකිලීස්ව පාතාලයට අධිපති හේඩීස් දෙවිඳුන් වෙත යවන ලද අතර පසුව ඒජැක්ස් නම් ග්‍රීක වීරයා, නිසි භූමදානයක් සිදු කිරීම සඳහා අකිලීස්ගේ මළ සිරුර යළිත් මනු ලොවට රැගෙන ආ බව සඳහන්.
කවරයේ පින්තූරය : © Franz Matsch
හෙක්ටර් කුමරුගේ මළ සිරුර ඇදගෙන යන අකිලීස්