නර්තනය අපේ ජීවිතවලට බොහෝ සෙයින් බැඳී ඇති බැවින් විවාහ මංගල්‍යයක්, උපන් දින සාදයක්, නත්තල් සාදයක් හෝ වෙනත් උත්සව අවස්ථාවක් අතරතුර නර්තනයක නොයෙදුණු අයෙක් සොයාගැනීම පහසු නොවේ. කුඩා දරුවන්, තරුණ තරුණියන්, මැදිවියේ සිටින පුද්ගලයන් පමණක් නොව වැඩිහිටියන් පවා විවිධ අවස්ථාවල නර්තනයන්හි යෙදෙන අයුරු අපට නිතර දක්නට ලැබේ.
පුද්ගලයෙක් විනාඩි කිහිපයක් නර්තනයක යෙදීම සාමාන්‍ය දෙයකි. ඇද වැටී මිය යන තෙක් දින, සති සහ මාස ගණනාවක් තිස්සේ යමෙක් නර්තනයක යෙදෙන්නේ නම් එය අසාමාන්‍ය දෙයක් නොවේ ද? 1518 වසරේ ප්‍රංශයේ එක්තරා ප්‍රදේශයකට රැස්ව, මාස තුනක් තිස්සේ අඛණ්ඩව නර්තනයේ යෙදුණු සිය ගණනක පිරිසකින් කොටසක් ඇද වැටී තුවාල ලැබීම සහ තවත් පිරිසක් මිය යාම එවැනි අසාමාන්‍ය සිදුවීමකි.
නැටුම් උන්මාදය
“නැටුම් උන්මාදය”, 14 සහ 17 වැනි සියවස අතර අවස්ථා ගණනාවක දී යුරෝපා රටවල් කිහිපයක ඇති වූ අසාමාන්‍ය සමාජ සංසිද්ධියකි. යම් ප්‍රදේශයක්, බොහෝ විට ප්‍රධාන මාර්ගයක්, අසලට එක්රැස් වන විශාල පිරිසක් දින සහ සති ගණනාවක් තිස්සේ අඛණ්ඩව නර්තනයේ යෙදීම නැටුම් උන්මාදය, එසේත් නැත්නම් ‘නැටුම් වසංගතය’ යනුවෙන් හැඳින්වේ. කුඩා දරුවන්, තරුණ තරුණියන් සහ වැඩිහිටි පුද්ගලයන් පවා ඒ ආකාරයෙන් නර්තනයේ යෙදී ඇත. අධික වෙහෙස සහ කුසගින්න වැනි හේතු නිසා ඔවුන්ගෙන් සමහරක් ඇද වැටී තුවාල ලැබූ බවත්, තවත් සමහරුන් මිය ගිය බවත් කියැවේ. ප්‍රංශය, ජර්මනිය සහ පෝලන්තය වැනි රටවල ද නැටුම් වසංගතය ආශ්‍රිත සිදුවීම් වාර්තා වී ඇත.
ප්‍රංශ නැටුම් වසංගතය
එවකට රෝම අධිරාජ්‍යයට අයත් ව තිබූ ස්ට්‍රාස්බර්ග් හි (වර්තමාන ප්‍රංශය), විශාල පිරිසක් සති ගණනාවක් තිස්සේ ඉහත කී ආකාරයෙන් නර්තනයේ යෙදීමේ සිදුවීම “1518 නැටුම් වසංගතය” ලෙස හැඳින්වේ. 1518 වසරේ එරට වීදියකට පැමිණි එක්තරා කාන්තාවක් (ෆ්‍රෝ ට්‍රොෆියා යනුවෙන් ඇය හඳුනාගෙන ඇත) නොනවත්වා නර්තනයේ යෙදීමත් සමඟ ආරම්භ වූ මේ නැටුමට ඉන් දින කිහිපයක් ගතවත් ම විශාල පිරිසක් එක් වූහ. ආරම්භක දිනවල පුද්ගලයන් 50ත් 400ත් අතර සංඛ්‍යාවක් එහි නර්තනයේ යෙදී ඇති අතර පසුකාලීන ව 1,000කට වැඩි පිරිසක් ඊට එක් වූහ.
වෛද්‍ය සටහන්, දේවස්ථාන වාර්තා, ජනප්‍රවාද සහ ස්ට්‍රාස්බර්ග් නගර සභාව නිකුත් කර ඇති විවිධ ලේඛනවලට අනුව විශාල පිරිසක් 1518 වසරේ මාස කිහිපයක් පුරාවට නොනවත්වා නර්තනයේ යෙදුණු බව තහවුරු වේ. සති ගණනාවක් ගත වුවත් එම පිරිස නොනවත්වා නර්තනයේ යෙදුණු බැවින් අවසානයේ ස්ට්‍රැස්බර්ග් මහේස්ත්‍රාත්වරයා, ප්‍රදේශය භාර බිෂොප්වරයා සහ වෛද්‍යවරුන් කිහිප දෙනෙක් මැදිහත් වී නර්තනයේ යෙදුණු කිහිප දෙනෙක් රෝහල්ගත කර ඇත.
ආහාර විස වීමක්?
මෙම සිදුවීමට හේතු වූ කරුණු පිළිබඳ ව බොහෝ දෙනකු එකිනෙකට වෙනස් අදහස් පළ කර ඇත. සමහරුන් විශ්වාස කරන්නේ පාන් නිෂ්පාදනය සඳහා භාවිත කළ ධාන්‍ය වර්ගයක අන්තර්ගත වූ යම්කිසි දිලීරයක් මීට හේතු වූ බව යි. එම දිලීරය ශරීරගත වූ පුද්ගලයන්ගේ ශරීරයේ ඇති වූ යම්කිසි ප්‍රතික්‍රියාවක් හේතුවෙන් ඔවුන් නර්තනයට පෙලැඹුණු බවත් කියැවේ. ඉතිහාසයේ සිදු වී ඇති මෙවැනි සිදුවීම් ගණනාවකට ම හේතු වී ඇත්තේ මෙම දිලීරය ශරීරගත වීම බව සමහරුන්ගේ මතය වේ.
කෙසේ වෙතත් ආහාර විස වීමක් හේතුවෙන් මෙය සිදු වූ බවට වන මතය පිළිගත නොහැකි බව තවත් පාර්ශව කිහිපයක් පෙන්වා දී ඇත. කිසිදු ආහාර විස වීමක් හේතුවෙන් පුද්ගලයෙක් දින ගණනාවක් තිස්සේ නර්තනයේ යෙදීමට පෙලැඹීමට හැකියාවක් නොමැති බවත්, ආහාර විස වීමකට ලක් වන සියලු පුද්ගලයන් තුළ එක හා සමාන රෝග තත්ත්වයක් හෝ ව්‍යාකූල බවක් ඇති වීමේ හැකියාවක් නොමැති බවත් ඔවුහු පවසති.
ප්‍රදේශ අතර ආහාර හුවමාරුව
ධාන්‍ය වර්ගයක් හෝ පාන් නොව වෙනත් යම්කිසි ආහාරයක් විෂ වීම නිසා මෙම තත්ත්වය ඇති වූ බව තවත් පිරිසක් සැක කරන නමුත් නැටුම් වසංගතය ප්‍රධාන වශයෙන් ව්‍යාප්ත වූ ප්‍රදේශ දෙකක පිහිටීම හේතුවෙන් බොහෝ දෙනෙක් එම මතය බැහැර කරති. අදාළ ප්‍රදේශ දෙක ජල මාර්ගයක් හරහා එකිනෙකට වෙන් ව පිහිටීම හේතුවෙන් එම ප්‍රදේශ අතර ආහාර හුවමාරු කර ගෙන තිබීමට ඇති සම්භාවිතාව ඉතා අඩු බවත්, ඒවායේ පරිභෝජනය කළ ආහාර බොහෝ සෙයින් වෙනස් බවත් ඔවුහු පෙන්වා දෙති.
මානසික ආතතිය
නැටුම් වසංගතය, ඊට සහභාගී වුවන් තුළ පැවති මානසික ආතතිය හේතුවෙන් ඇති වූ සිදුවීමක් බවට ද අනුමාන කෙරේ. නැටුම් වසංගතය ඇති වූ ප්‍රදේශවල ජීවත් වූ ජනතාව අදාළ කාල සීමාව තුළ ඉතා දුෂ්කර ජීවිත ගත කර ඇති බව මූලාශ්‍රයන්ට අනුව තහවුරු වේ. නැටුම් වසංගතය පිළිබඳ ව පර්යේෂණ සිදු කළ සමහර විශේෂඥයන් පවසන්නේ දුෂ්කර ජීවිත ගත කළ ජනතාව දැඩි මානසික ආතතියකින් පීඩා විඳින්නට ඇති බව යි.
එහි ප්‍රතිපලයක් ලෙස කිහිප දෙනෙක් නර්තනයේ යෙදෙන්නට ඇති බවත්, එය අන්‍යයන් ද නර්තනය සඳහා පොලඹවන්නට ඇති බවත් ඔවුන් සිය පර්යේෂණ වාර්තාවල සඳහන් කර ඇත. 1518 සිදුවීමට අමතර ව මේ ප්‍රදේශය ආශ්‍රිත ව මිනිසුන් අසාමාන්‍ය ලෙස නර්තනයේ යෙදීමේ සිදුවීම් හතක් වාර්තා වී ඇත.
මිය ගිය සහ තුවාල ලැබූවෝ
නැටුම් වසංගතය අතරතුර ඊට සහභාගී වූවන් මිය යාම සම්බන්ධයෙන් එකිනෙකට පරස්පර මත ඉදිරිපත් වී තිබේ. සමහර මූලාශ්‍ර සඳහන් කරන්නේ නැටුම් වසංගතය පැවති 1518 ජූලි සහ සැප්තැම්බර් අතරතුර ඊට සහභාගී වූ පිරිස අතරින් 10ත් 15ත් අතර පිරිසක් දෛනිකව මිය ගිය බව යි.
තවත් පිරිසක් අඛණ්ඩව නර්තනයේ යෙදීම සහ ආහාර නොගැනීම වැනි හේතු නිසා රෝගාතුර වූ බව කියැවේ. විශාල පිරිසක් එකම ස්ථානයක නර්තනයේ යෙදුණු බැවින් තවත් පිරිසක් අනිකුත් පුද්ගලයන්ගේ ශරීරයේ ගැටී තුවාල ලබා ඇත. අධික වෙහස සහ දැඩි හිරු රශ්මියට නිරාවරණය වීම වැනි හේතු නිසා තවත් සමහරු ඇද වැටී තුවාල ලැබූහ.
නැටුම් වසංගතය අතරතුර පුද්ගලයන් මිය යාම පිළිබඳව තහවුරු කළ හැකි ආකාරයේ සමකාලීන ලේඛනයක් හෝ වෙනත් සාක්ෂියක් හමු වී නැති බව සමහරු තර්ක කරති. මිය ගිය පුද්ගලයන් පිළිබඳ ව සඳහන් වන්නේ නැටුම් වසංගතය පිළිබඳව ලියැවුණු පසුකාලීන වාර්තාවල බවත්, එය ඇති වූ කාලසීමාවට අදාළ ලේඛනවල පුද්ගලයන් මිය යාමේ සිදුවීම් පිළිබඳ ව සඳහන් නොවන බවත් ඔවුන් ඉදිරිපත් කරන තර්කය වේ.
එසේ වුවද, සති ගණනාවක් තිස්සේ පිරිසක් අඛණ්ඩව නර්තනයේ යෙදුණු බව තහවුරු වන්නේ නම්, එවැනි සිදුවීමක් අතරතුර අධික වෙහෙස සහ විජලනය වැනි තත්ත්වයන් නිසා පුද්ගලයන් මිය යන්නට ඇති බව නිරායාසයෙන් ම තහවුරු වන බව ඉතිහාසඥයන් පවසයි.