Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දෙවැනි රාජසිංහ රජතුමන්ගේ අරුම පුදුම ගති සිරිත්

සෙනරත් රජුගේත්, කුසුමාසන දේවියගේත් පුත්‍රයා වූයේ මහ අස්තාන හෙවත් රාජසිංහ කුමරුයි. සෙනරත් රජු මිය ගිය පසු 1635 දී ඔහු උඩරට රජකමට පත්වෙනවා. අවුරුදු 52ක් වැනි දිර්ඝ කාලයක් කිරුළු දරන දෙවැනි රාජසිංහ රජු මිය යන්නේ 1687 දී යි. මේ රජුගේ පුදුමාකාර ගතිසිරිත් හා හැකියාවන් ගැන ජනශ්‍රැතිවල, ඓතිහාසික මූලාශ්‍රවල සහ රොබට් නොක්ස් ලංකාව ගැන ලියූ පොතෙත් සඳහන් වෙනවා.

සටන්කාමී රාජසිංහ

 දෙවැනි රාජසිංහ රජු සටන්කාමී රජකු ලෙසයි ඉතිහාසේ සඳහන් වන්නේ. ඔහු ගැන මහාවංශය හඳුන්වා දෙන්නේ දෙවියන් විසින් ලෝක සාසනයේ අභිවෘද්ධිය පිණිස නිර්මිත කරන ලද්දෙක් සේ යුද්ධයෙහි ධීරවූ වීර වික්‍රමාන්විත බල ඇත්තෙක් ලෙසයි. ඔහු පෘතුගීසින්ට එරෙහි ව කළ සටන් ගැනත් මහාවංශයේ වර්ණනා කරනවා.

දෙවැනි රාජසිංහ රජු නොක්ස්ගේ කෘතියේ දැක්වෙන අයුරු- Wikipedia.org

තමන්ට තනි ව සටන් කිරීම අපහසු බව අවබෝධ කරගත් රාජසිංහ රජු පෘතුගීසින් පලවා හැරීමට තීරණය කරන්නේ ඕලන්ද හමුදාවේ සහායෙන්. මෙය ඉඟුරු දී මිරිස් ගත්තක් ලෙස ජනප්‍රවාදයට එක් වුණා. එයට හේතුව පරංගින් පන්නා දැමූ ඕලන්දයන් රටින් යනු වෙනුවට තම පාලන බලය මුහුදුබඩ පළාත්වල පතුරුවා මෙහි පදිංචි වූ නිසයි.

රජු තමන් ගැන ප්‍රශස්ති ලියවා ගැනීමට මෙන් ම ගායනා කරවා ගැනීමට ද වැඩි කැමැත්තක් දැක්වූ බව පේනවා. ඔහුගේ පාලනය සහ පෘතුගීසින් සමඟ කළ සටන් වර්ණනා කරමින් ලියැවුණු කාව්‍ය කෘති කිහිපයක්ම හමුවී තිබෙනවා. රාජසිංහ හටන, පරංගි හටන, මහ හටන එම කාව්‍ය අතරින් තුනක්.

 රොබට් නොක්ස්- Wikipedia.org

රොබට් නොක්ස් දකින රාජසිංහ

ත්‍රිකුණාමලයේ දී අනතුරට පත් නැවට කුඹ ගසක් කපා ගැනීමට පැමිණි ඉංග්‍රීසි නාවිකයන් කණ්ඩායමක් උපායෙන් උඩරටට ගෙන්වා ගත් රජු ඔවුන් සිරගත කරන්නේ කිසිදු වරදකට නොවෙයි. නොක්ස් ඇතුළු පිරිස ලංකාවට ගොඩ බසින්නේ 1660 අප්‍රේල් 4 දායි. නොක්ස් විසි අවුරුද්දක් පමණ උඩරට අවට ගම්වල සිරකරුවකු ලෙස ජීවත් වී මෙරටින් පැන යන්නේ 1679 දියි. ඒ රට්ලන්ඩ් නම් තම සගයා ද සමඟයි. ඉතිරි පිරිස උඩරට ම වාසය කරනවා.

නොක්ස් රජු දකින්නේ මේ විදිහටයි:

‘මේ රජතෙමේ ආරෝහ පරිනාහයෙන් වඩා උස් නොවූ මඳක් මහත ඇති, මනාව වැඩුණු තරමක කළු පැහැයෙන් යුත් ශරීරයක් ඇති තැනැත්තෙකි. නිරන්තරයෙන් සැලෙන තේජස් වී නේත්‍ර ඇත්තේ ය. එම දෙනෙතින් ඔහුගේ භීම වික්‍රමය එක හෙළා පළ වන්නේ ය. කවාකාර උදරයෙන් යුතු ඔහුගේ මුහුණ පුරා වැඩුණු රැවුළකි. මේ රජුගේ වයස අවුරුදු හැත්තෑවකටත් අසූවකටත් අතර යයි කිව හැක්කේ ය ( එදා හෙළදිව- පරි. ඩේව්ඩ් කරුණාරත්න).

 සතුන් ඇතුළු තෑගි රැගෙන පැමිණි ඕලන්ද දූතයන් රජු බැහැදැකීම – පිලිප්පුස් බැල්දියස්ගේ කෘතියෙනි- thuppahis blog.com

විනෝදකාමී රජෙක්

දෙවැනි රාජසිංහ රජු විනෝදකාමියකු ලෙස පැවසෙනවා. විවිධ සතුන් ඇතිකිරීමටත් ඔහු තුළ විශාල ආසාවක් තිබුණා. රොබට් නොක්ස්ට අනුව රජුට අයත් සත්ව උද්‍යානයක් ද හඟුරන්කෙත මාලිගය අසල තිබුණා. රජුගේ සතුන් වත්තේ ඉතා දුර්ලභ කළු කොටියෙක්, කිරිපාට සුදු මුවෙක්, ගවරෙක්, (දැනට ලංකාවේ වඳ වී ගොස් ඇති) හා ඇත් රංචු වාසය කර තිබෙනවා. ගවරා ලංකාවේ කැලෑවල ඇති කුළු මීහරකා වැනි ඊට වඩා කුඩා, පිට දිගට නහරයක් මතු වූ සතකු වුණා. රජු හීලෑ අලි ඇතුන් යොදා දිය බීමට එන වනගත අලින් කොටු කරවා, සුදුසු උන් අල්ලා ගෙන හීලෑ කර තිබෙනවා.

කැලෑවේ වල් අලින් රවටා නගරයට ගෙන ඒමට තරම් හීලෑ ඇතින්නියන් කපටි වූ බව සඳහන් වෙනවා. වරදට හසුවූ මිනිසුන් මැරීමටත් රජු ඇතුන් යොදවා තිබෙනවා. එවිට උන්ගේ දළවලට උල් කොපු දමා තිබෙනවා. විවිධ අවස්ථාවල ඇතුන්ගේ ක්‍රීඩා නරඹීමත් රජුගේ විනෝදාංශයක්. ලංකාව ගැන ග්‍රන්ථයක් ලියූ ඕලන්ද ජාතික බල්දියෙස් පවසන්නේ ඕලන්දයන් දෙවැනි රාජසිංහ රජුට තෑගි ලෙස පර්සියානු අශ්වයන්, දඩ බල්ලන්, පර්සියානු බැටළුවන් එවා ඇති බවයි.

4 හඟුරන්කෙත රජ මැඳුරේ උළුවස්සක්- දැන් පොත්ගුල් විහාරයේ දැකගත හැකියි- Serendib.btoptions.com

විනෝදයට මඟුල් මඩුව අසල පොකුණ වටා ඇති මාවතේ රජු අශ්වයන් දුවවන අතර දිනූ අසරුවන්ට සිලිම් 5 – 10 තෑගි ලෙස ප්‍රදානය කර සතුටු වී තිබෙනවා. රජු ළඟ පර්සියානු අශ්වයන් 10 -15 ක ප්‍රමාණයක් සිට තිබෙනවා. රජුගේ පොකුණුවල සිටින මාළුන්ට කෑම දැමීම ඔහුගේ තවත් විනෝද ක්‍රීඩාවක් ලෙස පැවසෙනවා. රජුගේ අතින් ම කෑම කෑමට තරම් මාළුන් හීලෑ වී සිටි බව නොක්ස් සඳහන් කරනවා. රජු මහනුවර බෝගම්බර වැවේ ( පසුව ගොඩකර ඇති) දැවැන්ත කිඹුළන් දෙදෙනකු ඇති කළ බවත් සඳහන් වෙනවා.

ඉලක්කයට වෙඩි තැබීමට, දුන්නෙන් විදීමට, අසුන් මෙහෙයවීමට දෙවැනි රාජසිංහ රජු දස්කම් දැක්වූවා. මහවැලි ග‍ඟේ පටු ම, ගැඹුරු ම ප්‍රපාතය වූ රන්ටැඹේ කපොල්ල (දැනට මේ රන්ටැඹේ ජලාශයට යට වී ඇත.) හරහා රජු අසුපිටින් පනින බව ජනප්‍රවාදවල සඳහන් වෙනවා. “පවන” නමැති ප්‍රශස්ති කාව්‍යය අනුව රජු දෙල්තොට දී ඇතකු දණ ගස්වා තිබෙනවා. දෙවැනි රාජාවලිය නමැති වංශ කතාව පවසන පරිදි දෙමළ පත්තුවේ මිනීමරු ඇතකු හා මඩකළපුවේ සිටි මිනීමරු කිඹුලකු සමඟ සටන් කොට මරා දමා තිබෙනවා.

 දෙවන රාජසිංහ රජුගේ යයි සැලකෙන තුවක්කුවක්- කොළඹ ජාතික කෞතුකාගාරය- lankadeepa.lk

වල්ඌරකු හා කළ සටන

රජු හඟුරන්කෙත මාලිගාවේ වාසය කරන කාලයේ නගරයට නුදුරින් වනාන්තරයේ දරුණු වල්ඌරෙක් වාසය කළා. වනයේ ගමන් කරනා මිනිසුන්ට පහර දී මරා දැමීමට ඌ පුරුදුව සිටියා. ගම්වැසියන් රජතුමන්ට මේ වල්ඌරු කරදරය ගැන පවසා සිටියා. ‘තොපි යව්. මම දක්ෂ දඩයක්කාරයකු එවන්නම්’ යයි රජු පැවසුවා. පසුව රජු තීරණය කළේ තමන් ම රහසේ ගොස් වල් ඌරා මෙල්ල කිරීමටයි.
දිනක් රජු වෙස්වලාගෙන එම වනාන්තරය මැදින් යන විට ගැමියකු ඔහු දැක කෑගැසුවා.

‘ඔය පාරේ යන්න එපා. මිනීමරු වල්ඌරා ඉන්නවා. තමුන්ට පිස්සුද?’

එම උපදෙස් ගණන් නොගෙන දඩයක්කාරුවා ඉදිරියටම යනු දුටු මගියාට සැක සිතුණා. මේ රාජසිංහ රජුවත් දැයි ඔහුට සිතුණා.

‘මහාවාසලෙන් ලැබෙන දඩමස් මදි වී තවත් දඩමස් සොයාගෙන යනවෝ….ඕකා මිනීමරුවෙක්… ‘ කියා ගැමියා යළිත් කෑගැසුවා.

රජු දුනුදිය ඇද ඌරාට විද්දා. යළිත් ඉණේ තිබූ සිරිය ගෙන තමන් දෙසට දුවගෙන එන ඌරාට එල්ලය බලා ඇන්නා. ඌරා මැරී වැටුණා. අර මගියා බියට පත් ව රජු බව දැනගෙන ළඟට විත් ජීවිත දානය ඉල්ලා සටියා.

‘තා වරදක් කළේ නෑ. තා කෑගැසුවේ මගේ ජීවිතය බේරන්නයි. තා වීරයෙක්’ යයි රජු පැවසුවා.

 ඕලන්ද තානාපති ජෙනරාල් හල්ෆ්ට් පෙරහරකින් රජ මාලිගයට කැඳවාගෙන යමින්- පිලිප්පුස් බැල්දියස්ගේ කෘතියෙනි. Wikipedia.org

ඕලන්දයන්ගේ සිංහ තෑග්ග

පෘතුගීසින් පන්නා දමා ඒ බලප්‍රදේශ උඩරටට දෙනු වෙනුවට ඕලන්දයන් ලංකාවේ පැලපදියම් ව 1658 සිට මුහුදුබඩ පාලනය කරන්න පටන් ගත්තා. අලුත් ප්‍රදේශ තම පාලනයට ඈඳා ගන්නටත් ඔවුන් ක්‍රියා කළා. මේ නිසා දෙවැනි රාජසිංහ රජු සිටියේ ඔවුන් ගැන කෝපයෙන්. උඩරට සහ පහතරට ඕලන්ද පාලනය අතර නිතර නොහොඳ නෝක්කඩුකම් ඇතිවුණා. මේ නිසා හොඳහිත වර්ධනය කර ගැනීමට ඕලන්ද ආණ්ඩුකාරවරුන් උඩරටට නිතර තෑගි සහිතව දූතයන් යැව්වා. වරක් එසේ යවන ලද්දේ පිටරටින් ගෙන්වා ගත් ජීවමාන සිංහයෙක්. රාජසිංහ නමට ගැළපෙන පරිදි තමයි සිංහයෙක් යැවූ බව සඳහන් වන්නේ. එකල රජු නැවතී සිට ඇත්තේ හඟුරන්කෙත රජ වාසලේ. රජු සිංහයා සමඟ පැමිණි දූතයා දුටුවිට ම ඕලන්දයන්ගේ කපටි අදහස වටහා ගත්තා. ඒ නිසා ඕලන්ද දූතයා ගෙනා සංදේශය ගැන අවධානයක් පවා යොමු නොකළ බව පැවසෙනවා.

 දෙවන රාජසිංහ රජුගේ ඔටුන්නේ ආකෘතිය- මහනුවර ජාතික කෞතුකාගාරයෙනි-flickr.com

මේ සිද්ධිය උඩරට විත්ති පොතේ මෙසේ විස්තර කෙරනවා:

කලකිරීමට පත් රජතෙම සිංහයා මැරෙන තුරු තානාපති තැන උඩ පළාතේ නතර කරන ලෙස රාජ පුරුෂයන්ට නියම කළේය. ඒ නියෝගය එලෙසින් ම සිදුවිය. සිංහයාට කෑම සැපයුණේ නැත. ටික දිනකින් ඌ නිරාහාර ව මළේ ය. රජතෙම ඕලන්ද තානාපතියාට හඟුරන්කෙත නුවරට එන්නට අණ කළේ ය. මහ වාසල ඔහු පිළිගැනීමට මාස ගණනක් කල් ගත කළේ ය. මේ නිසා නොඉවසිල්ලෙන් සිටි තානාපති තැන පැන යන්ට තැත් කළේ ය. රාජපුරුෂයෝ ඔහු අල්ලා රජු ඉදිරියට පැමිණවූහ.රජු තානාපති තැනට දින තුනක් රජවාසල දොරටුවෙහි නිශ්චලව සිටින්නට නියම කළේ ය. ( උඩරට විත්ති- පී; ඇම්. පී. අභයසිංහ).

 තෑගි රැගෙන පැමිණි ඕලන්ද දූත පිරිසක් රජුට නමස්කාර කරමින්- thuppahis blog.com

රජුගෙන් අලි තෑග්ගක්

තමන්ට සිංහයෙක් තෑග්ගක් ලෙස එවූ නිසා රජතුමාත් තානාපති තැන හිස්අතින් යැවීමට සිතුවේ නැහැ. ඔහු ඕලන්ද ආණ්ඩුකාරයාට යැව්වේ අලියෙක්. ඌ එසේ මෙසේ අලියෙක් නෙවෙයි. අපරාධකරුවන් පාගවා මැරීමට යොදවා සිටි ප්‍රචණ්ඩ අලියෙක්. ඒ විශාල තෑග්ග ප්‍රතික්ෂේප කළොත් රජු උදහස් වේවි යයි සිතූ ඕලන්ද දූතයන් අලියාත් රැගෙන කොළඹ බලා ගමන් කළා. පසුව එම චණ්ඩ හස්තියාගේ රැකවරණයට හීලෑ ඇතුන් දෙදෙනකු එවන ලෙසත් ඔවුන්ගේ නඩත්තුව ඕලන්ද පෙරදිග ඉන්දියා සමාගම දරන බවත් සඳහන් ලිපියක් ආණ්ඩුකාරයා රජුට යැවූ බව පැවසෙනවා.

 හඟුරන්කෙත මාලිගාවේ අමුද්‍රව්‍ය යොදා ඉදිකළ පොත්ගුල් මාලිගා විහාරය- amazing lanka.com

රජුගේ බොරු වැඩ

රාජසිංහ රජු රටවැසියන්ගෙන් බොරුවට වැඩ ගත් ආකාරය ඔහුගේ සිරකරුවකු ලෙස සිටි රොබට් නොක්ස් විස්තර කරනවා. වරක් අලුත් රජ මාලිගාවක් තැනීමට යයි අණ කර එය අවුරුදු දෙකක් පමණ ඉදි කර ගෙන යන විට වැඩ නවත්වා අත්හැර දමා තිබෙනවා. එහි දැව දඬු දිරාගොස් අඩක් බැඳි මන්දිරය නටබුන් ගොඩක් සේ දිස්වන බව නොක්ස් පවසනවා.

කිසියම් මන්දිරයක් ගොඩනංවන්නට අණ කොට එය සිතූ කාලයට පෙර වැඩනිමවේ යයි සිතුවොත් නැවත කඩා දමන ලෙස රජු අණ කරයි. බිම් සම කරවයි. කඳු කප්පවයි. ජල සම්පාදනය සඳහා ගැඹුරු වාරිමාර්ග කප්පවයි. අලි ඇතුන් සඳහා විශාල ගෙවල් තනවයි. රජු මෙසේ වැඩ ගන්නේ එබන්දක් අවශ්‍ය නිසා නොව මිනිසුන් කිසියම් වැඩක යෙදවිය යුතු නිසාය. ( රොබට් නොක්ස්ගේ එදා හෙළදිව- පරි. ඩේව්ඩ් කරුණාරත්න).

කවරයේ ඡායාරූපය :  රජුට වැඳ නමස්කාර කරන උඩරට ප්‍රධානින්- නොක්ස්ගේ කෘතියෙනි- Wikipedia.org  

මූලාශ්‍ර:
උඩරට විත්ති- පී. ඇම්. පී. අභයසිංහ
රොබට් නොක්ස්ගේ එදා හෙළදිව- පරි. ඩේව්ඩ් කරුණාරත්න
මගදිගට ජනකතා- ඩී. පී. වික්‍රමසිංහ

Related Articles