අභ්‍යවකාශයට ගිය පළමු මිනිසා කවරෙකුදැ යි ඇසුවොත් පාසැල් සිසුවෙකු වුණත් යූරි ගගාරින් යන නම මතකයට නගනු නිසැක යි. නමුත්, අභ්‍යවකාශයේ “ඇවිද ගිය” පළමු මිනිසා කවරෙකුදැ යි ඇසුවහොත් එම ප්‍රශ්නයට පිළිතුර බොහෝ දෙනකු දන්නේ නැහැ. පළමු වරට අභ්‍යවකාශයේ දී, තම අභ්‍යවකාශ යානයෙන් පිටතට පැමිණි (එනම් අභ්‍යවකාශයේ ඇවිද ගිය) පුද්ගලයා වූයේ ද සෝවියට් වැසියෙක්. අලෙක්සේයි අර්හීපොවිච් ලියෝනෆ් ඔහුගේ නම යි. ලියෝනෆ් මෙම වසරේ ඔක්තෝබර් 11 වනදා මියගිය අතර, ඒ වෙද්දී ඔහු 85 වන වියෙහි පසු වුණා.
1965 මාර්තු මාසයේ දී වොස්ක්හොද්-2 (Voskhod-2) අභ්‍යවකාශ මෙහෙයුමෙන් අභ්‍යවකාශගත වූ ලියෝනෆ්, විනාඩි 12කුත් තත්පර 9ක් අභ්‍යවකාශ යානයෙන් පිටත රැඳී සිටියා.
1975 දී පළමු සෝවියට් සහ ඇමරිකන් ඒකාබද්ධ මෙහෙයුම වූ ඇපලෝ-සයූස් මෙහෙයුම සඳහා ලියෝනෆ්, සෝවියට් අජටාකාශගාමීන්ගේ නායකයා ලෙස ක්‍රියා කළා. මෙහි දී එම යානා දෙක එකිනෙක සම්බන්ධ වීම සිදුවුණා.
ලියෝනෆ් 1970-1991 සමයේ සෝවියට් අභ්‍යවකාශගාමී පුහුණු මධ්‍යස්ථානයේ උප ප්‍රධානියා ලෙස කටයුතු කළා. විශ්‍රාම ගිය පසු විවේක සුවය විඳින අතර ඔහු චිත්‍ර ශිල්පය වෙත ද යොමු වුණා. ලියෝනෆ් එහි දී ද ප්‍රධාන වශයෙන්ම අභ්‍යවකාශය පාදක කරගත් චිත්‍ර ඇඳීමට යොමු වුණා.
මෙම ලිපියෙන් ඔබට එම චිත්‍රවලින් සමහරක් දැකගන්න පුළුවනි.
ඈත පිටිසර සයිබීරියානුවා
මොස්කව් නගරයෙන් කිලෝමීටර් 3,600ක් නැගෙනහිරට වෙන්නට, බටහිර සයිබීරියාවේ කෙමෙරෝවෝ ප්‍රදේශයේ අලෙක්සේයි ලියෝනෆ් උපන්නේ, 1934 මැයි 30 වනදා යි. ඔහු කුඩා කාලයේ, ස්ටාලින් පාලනය විසින් ඔහුගේ පියාව රාජ්‍ය විරෝධියකු ලෙස අත්අඩංගුවට ගනු ලැබුවා. පසුව ඔහුව නිදහස් කෙරුණ අතර, දෙවන ලෝක යුද්ධයෙන් පසු ඔවුන් පදිංචිය වෙනස් කළා. මේ අනුව, ජර්මනියෙන් අල්ලාගත් කලිනින්ග්‍රාද් ප්‍රදේශයෙහි ඔවුන් පදිංචියට පැමිණියා.
ලියෝනෆ් චිත්‍ර කලාවට ඇලුම් කළ අතර, රීගා නගරයේ චිත්‍ර කලා ඇකඩමියට ඇතුල් වීමට බලාපොරොත්තුවෙන් සිටියා. එහෙත් ඔහුට එහි වියදම දැරිය හැකි වූයේ නැහැ. මේ අතර ඔහු සෝවියට් ගුවන් හමුදාවට බැඳුණා.
අභ්‍යවකාශය වෙත
අභ්‍යවකාශ වැඩපිළිවෙල සඳහා 1960 දී තෝරාගන්නා ලද, යූරි ගගාරින් ඇතුළු සෝවියට් ගුවන් නියමුවන් 20 දෙනෙකුගේ පළමු කණ්ඩායමට ලියෝනෆ් ද අයත් වුණා. ඔහු එම පිරිසගෙන් කැපී පෙනෙන අයෙකු වූ බව සෝවියට් අභ්‍යවකාශ වැඩපිළිවෙලෙහි ප්‍රධානී සර්ගේයි කොරොලොෆ් සහ රොකට් විද්‍යාඥයකු වූ බොරිස් චර්තොක් ඇතුළු සෝවියට් අභ්‍යවකාශ ව්‍යාපෘතියට සම්බන්ධ ව සිටි අය සඳහන් කර තිබෙනවා. එහෙයින්ම ඔහුව පළමු අභ්‍යවකාශ ඇවිදීම සඳහා තෝරාගනු ලැබුණා.
මෙම ගමන මුලින් සැලසුම් කළේ වොස්ක්හොද්-1 මෙහෙයුමේ දී සිදුකිරීමට යි. එහෙත්, පසුව එය වොස්ක්හොද්-2 මෙහෙයුමට කල් දමනු ලැබුණා.
වොස්ක්හොද්-2 මෙහෙයුම සඳහා අජටාකාශගාමීන් දෙදෙනෙකු සූදනම් වුණා. ලියෝනෆ්ගේ සගයා වූයේ පාවෙල් බෙල්යායෙෆ් නම් අභ්‍යවකාශගාමියා යි. ඔහු යානය මෙහෙයවීමට අමතරව යම් අපහසුතාවක් වූයේ නම් ලියෝනෆ්ට යළි යානයට පැමිණීමට උපකාර කිරීමට ද සූදානමින් සිටියා. ලියෝනෆ් විසින් කරන්නට නියමිත වූයේ කිසිවකුත් මින් පෙර නොකළ දෙයක් බැවින්, එය කෙසේ සිදු වේදැ යි සියයට සියයක් නිවැරදි අනාවැකි පළ කිරීමට ක්‍රමයක් වූයේ නැහැ.
වොස්ක්හොද්-2 යානාය රැගත් රොකට්ටුව 1965 මාර්තු 18 වනදා බයිකනූර් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් පිටත් වුණා. ලියෝනෆ් අභ්‍යවකාශයේ දී යානයෙන් පිට වූයේ මීටර 5.3ක් දිග පටියකින් එය සමග සබඳතාව තබා ගනිමින්. මෙම අවස්ථාවේ දී ඔහුගේ අභ්‍යවකාශ ඇඳුම පිම්බෙන්නට වූයෙන් ඔහුට සිය චලනයන් සිදුකිරීම අපහසු වුණා. බෙල්යායෙෆ්ගේ සහායෙන් විනාඩි 12කට පසු ඔහු යළි යානය වෙත පැමිණියා.
ආපසු පෘථිවියට පැමිණෙද්දී යානයේ ස්වයංක්‍රීය ගොඩබැස්වීමේ පද්ධතිය ක්‍රියාවිරහිත වූයෙන් බෙල්යායෙෆ්ට එය ගොඩබස්වන්නට සිදුවුණා. ගොඩබිමෙහි යමෙකුට හානියක් නොවන ලෙස ඌරල් කඳුකරයෙහි උතුරු දෙසට යානය වැටෙන්නට දුන් බෙල්යායෙෆ්, ලියෝනෆ් ද සමග පැරෂුට් මඟින් පෘථිවියට ළඟා වුණා.
ඔවුන්ගේ වීරක්‍රියා (එහෙමත් නැත්නම් ඔවුන් මුහුණ දුන් අකරතැබ්බයන්) එතැනින් කෙළවර වූයේ නැහැ. ඔවුන් ගොඩබැස්සේ ජනශුන්‍ය පෙදෙසකට යි. ඔවුන් සතු සන්නිවේදන උපකරණ ද ක්‍රියා විරහිත වූයෙන් දින දෙකක් ඔවුනට කඳුකර පෙදෙසෙහි ගත කිරීමට සිදුවුණා. ඔවුන් සතුව වූයේ අභ්‍යාවකාශ ඇඳුම් පමණයි. කඳුකරයේ සීතලේ මෙසේ දෙදිනක් ගෙවූ පසු ඔවුන්ව බේරාගනු ලැබුණා.
ඇපලෝ- සයූස් පරීක්ෂණ ව්‍යාපෘතිය
1975 වසරේ දී පළමු වරට ඇමරිකානු සහ සෝවියට් ඒකාබද්ධ අභ්‍යවකාශ මෙහෙයුමක් ලෙස ඇපලෝ-සයූස් පරීක්ෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරුණා. මෙහි දී ඇමරිකානු යානයක් සහ සෝවියට් යානයක් අභ්‍යවකාශයේ දී එකිනෙක හා සම්බන්ධ වුණා. එය සිදුවුණේ 1975 ජූලි 17 වනදා යි. මෙම ව්‍යාපෘතියට ඇමරිකන් අභ්‍යවකාශගාමීන් තිදෙනකු සහ සෝවියට් අභ්‍යවකාශගාමීන් දෙදෙනකු සහභාගී වුණා. ලියෝනෆ් සෝවියට් කණ්ඩායමෙහි නායකයා ලෙස ක්‍රියා කළා. මෙය එකල බෙහෙවින් කතාබහට ලක් වූ සිදුවීමක් වුණා.
මේ අතර 1970 සිට ඔහු සෝවියට් අභ්‍යවකාශගාමී පුහුණු මධ්‍යස්ථානයේ උප ප්‍රධානියා ලෙස කටයුතු කළා. 1991 දී විශ්‍රාම යන තුරු ඔහු එම ධුරය දැරුවා.
දෙවතාවක් සෝවියට් දේශයේ වීරයා පදක්කමෙන් පිදුම් ලද ලියෝනෆ්, ජනාධිපති ව්ලදිමීර් පුටින්ගේ ද ගෞරවාදරය දිනාගත්තකු වුණා. ඔවුන් හොඳින් එකිනෙකා දැන හැඳින සිටි අතර, ලියෝනෆ්ගේ නිර්භීතභාවය පුටින්ගේ නොමද ගෞරවයට පත් වූ බව පුටින්ගේ මාධ්‍ය ලේකම් දිමිත්‍රි පෙස්කෝෆ් සඳහන් කරනවා.