Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොවක් මවිත කළ බොබ් බීමන්ගේ සියවසේ පිම්ම

1968 වසරේ මෙක්සිකෝවේ දී පැවැත්වුණු ඔලිම්පික් තරගාවලියේ ජයග්‍රහණය හිමිවුණේ රන් පදක්කම් 45ක් සමගින් පදක්කම් 107ක් දිනාගත් ඇමරිකා එක්සත් ජනපදයට යි. එහි දී මලල ක්‍රීඩා පිරිමි තරගවල ආධිපත්‍යය  පැවතුණේ ඇමරිකානුවන් සතුව යි. එම නිසාම ඇමරිකාව ලබාගත් මලල ක්‍රීඩා රන් පදක්කම් 15න් 12කම අයිතිය හිමිවුණේ ඇමරිකානු මලල ක්‍රීඩකයන්ට යි. එම පදක්කම් 12 ලබාගැනීමේ දී ඔවුන් නව ලෝක වාර්තා 6ක් බිහි කිරීම විශේෂ සිදුවීමක් වුණා. එලෙස බිහිවුණු ලෝක වාර්තා අතුරින් බොබ් බීමන් දුර පැනීමේ ඉසව්වෙන් තබන ලද ලෝක වාර්තාව ප්‍රේක්ෂකයන් මවිතයට පත්කළ එකක් බවට පත්වුණා. අදටත් දුර පැනීමේ ඉසව්වේ ඔලිම්පික් වාර්තාවට හිමිකම් කියන එම පිම්ම එදා සිටි විචාරකයින් හඳුන්වනු ලැබුවේ සියවසේ පිම්ම ලෙස යි.

බීමන් ඔලිම්පික් උළෙලට පැමිණියේ රන් පදක්කම දිනාගැනීමේ අරමුණෙන් 

බොබ් බීමන් 1968 වසර තුළ සහභාගි වුණු ප්‍රධාන පෙළේ දුර පැනීමේ තරග 23කින් 22ක් ම ජයග්‍රහණය කර තිබුණා. එසේම ඔලිම්පික් උළෙලට පෙර පැවති ඇමරිකා එක්සත් ජනපද යෝග්‍යතා තරගවල දී පවා බීමන් පළමු ස්ථානය දිනාගත්තේ ඔහුගේ ගුරුවරයා වුණු රැල්ෆ් බොස්ටන් පරාජයට පත්කරමින්. එම කාල සමය වන විට දුර පැනීමේ ලෝක වාර්තාව මෙන්ම ඔලිම්පික් වාර්තාව ලියවී තිබුණේ රැල්ෆ් බොස්ටන්ගේ නම ඉදිරියේ යි. බොස්ටන්ව පරාජය කළ බීමන් 1968 මෙක්සිකෝ ඔලිම්පික් තරගාවලියේ රන් පදක්කම දිනාගැනීම සඳහා ඉදිරියෙන්ම සිටි ක්‍රීඩකයා බවට පත්ව තිබුණා.

බොබ් බීමන් (gettyimages)

බොස්ටන් සිය ගෝලයා පිළිබඳව අනාවැකි පළ කරයි 

1968 මෙක්සිකෝ සිටි ඔලිම්පික් තරගාවලියේ දුර පැනීමේ ඉසව්ව ආරම්භ වීමට පෙර එම ඉසව්වේ ලෝක වාර්තාව අඩි 27යි අඟල් 4.7 ලෙසින් සටහන් වුණා. එම වාර්තාවේ සම හිමිකරුවන් වුණේ ඇමරිකාවේ රැල්ෆ් බොස්ටන් සහ රුසියාවේ අයිගෝ ඔවනෙස්යාන් යන ක්‍රීඩකයන් දෙදෙනා යි. නමුත් බීමන්ගේ පුහුණුකරු වුණු බොස්ටන් විශ්වාස කළේ මෙක්සිකෝ සිටි ඔලිම්පික් තරගාවලියේ දී බීමන්ට එම වාර්තාව බිඳ දැමීමට හැකිවනු ඇති බව යි. එලෙස සිය ගෝලයාගේ දස්කම් පිළිබඳව විශ්වාසය තැබූ බොස්ටන්ට ඔහු ගැන එක සැකයක් තිබුණා. ඒ බීමන් පිම්ම පැනීමට පෙර අධික වේගයෙන් දිව එන නිසා ඔහුගේ පැනීම නීති විරෝධී එකක් වීමට තිබුණු ඉඩකඩ ගැන යි. එම නිසාම බොස්ටන් සිය ගෝලයා වුණු බීමන්ට ඒ පිළිබඳව පවසමින් නිතර අවවාද කළා. බීමන් ඔලිම්පික් තරගාවලියට අවතීර්ණ වුණේ සිය ගුරුවරයා ලබාදුන් අවවාදයන් හොඳින්ම මනසේ  තබාගෙන යි.

රැල්ෆ් බොස්ටන් රෝම ඔලිම්පික් තරගාවලියේ දී (gettyimages)

දුර පැනීමේ රන් පදක්කම දිනාගැනීමට සිව්කොන් සටනක් 

1968 මෙක්සිකෝ සිටි ඔලිම්පික් තරගාවලියේ දුර පැනීමේ රන් පදක්කම දිනාගැනීම සඳහා ක්‍රීඩකයන් සිව්දෙනෙකු අතරේ සටනක් පැවතුණා. එලෙස සටන් කළ ක්‍රීඩකයන් අතර ලෝක වාර්තාවට සම උරුමකම් කියූ බොස්ටන් සහ ඔවනෙස්යාන් ඉදිරියෙන්ම සිටියා. ඔවුන් දෙදෙනාට අමතරව 1964 ටෝකියෝ ඔලිම්පික් තරගාවලියේ දුර පැනීමේ රන් පදක්කම දිනූ බ්‍රිතාන්‍යයේ ලින් ඩේවිස් ද රන් පදක්කම දිනාගැනීම සඳහා සටන් බිමට පිවිසියා. අත්දැකීම් සපිරි එම ක්‍රීඩකයන් තිදෙනා දුර පැනීමේ ඔලිම්පික් රන් පදක්කම දිනාගැනීමට මාන බලන විට කෝඩුකාරයෙකු වුණු බොබ් බීමන් ද ඔවුන්ට දැඩි අභියෝගයක් වන මට්ටමක සිටියා.

ලින් ඩේවිස් 1964 ටෝකියෝ ඔලිම්පික් තරගාවලියේ දී (gettyimages)

බීමන්ගෙන් සුපිරි පිම්මක් 

තරගකරුවන් 17 දෙනෙකු සහභාගි වුණු අවසන් තරගයේ මුලින්ම තරගයට ඉදිරිපත් වුණු තරගකරුවන් තිදෙනාගේම පැනීම් නීති විරෝධී වුණා. ඉන් පසුව තරගය සඳහා ඉදිරිපත් වීමට සිදුවුණේ බොබ් බීමන්ට යි. සිය ගුරුවරයා දුන් උපදෙස් හොඳින්ම හිතේ තබාගෙන තරගය සඳහා අවතීර්ණ වුණු බීමන් තත්පර 20ක් පමණ හුස්ම අල්ලාගෙන සිට සිය ධාවනය ආරම්භ කළා. එලෙස වේගයෙන් දුර පනින ලෑල්ල වෙත පැමිණි බීමන් සිය පාදය නිසියාකාරව ලෑල්ලේ පතිත කර මනාව ඉහළට එසවුණා. ඉන් අනතුරුව ආයාසයකින් තොරව මනාව ගුවනේ පාවී පැමිණි බීමන් වැලි මත පතිත වුණේ සාර්ථක පිම්මක් අවසන් කරමින්.

බීමන්ගේ සුපිරි පිම්ම (gettyimages)

බීමන්ගේ පිම්ම දැක සෙසු ක්‍රීඩකයන් මවිත වෙයි 

බීමන්ගේ එම පිම්ම සුවිශේෂී එකක් බව ඔහුගේ ගුරුවරයා වුණු බොස්ටන්ට හොඳින්ම දැනුනා. එම නිසාම බොස්ටන් ඔහුගේ ළඟින් සිටි ඩේවිස්ට කියා සිටියේ එම පිම්ම අඩි 28කට වඩා වැඩි එකක් බව යි. ඉන් පුදුමයට පත් ඩේවිස් පවසා සිටියේ එය බීමන්ගේ පළමු පිම්ම නිසා එලෙස දැනෙන්නට ඇති බව යි. එවිට ඒ අසලම සිටි විනිශ්චය කටයුතුවල නිරත වුණු නිළධාරියෙකුත් බීමන්ගේ පිම්ම ඉතාමත් ඉහළ එකක් බව පවසා සිටියා. සියලුදෙනාම විශ්මයට පත්ව සිටි එම අවස්ථාවේ බීමන්ගේ පිම්මේ දුර මීටර් 8.90 (අඩි 29 අඟල් 2.5) ලෙස ඉලෙක්ට්‍රෝනික් පුවරුවේ දිස්වුණා. 

බීමන් ලෝක වාර්තාවක් සමගින් දුර පැනීමේ රන් පදක්කම දිනාගනියි 

බීමන් වාර්තා කළ දුර ප්‍රමාණය ඉලෙක්ට්‍රොනික් පුවරුවේ සටහන් වුණු අවස්ථාවේ බීමන්ටත් වඩා සතුටු වුණේ ඔහුගේ පුහුණුකරුවා යි. එම අවස්ථාවේ සිය ගෝලයාව වැළඳගත් බොස්ටන් පවසා සිටියේ මේ අඩි 29කට වැඩි පිම්ම ලෝක වාර්තාවක් බව යි. බීමන්ගේ එම පිම්මෙන් පසුව එම ඉසව්ව සඳහා සහභාගි වුණු සෙසු ප්‍රබල ක්‍රීඩකයන් සිය බලාපොරොත්තු අත්හැර දැමුවා. එම නිසාම බීමන් ඉතාමත් පහසුවෙන් එම ඉසව්වේ රන් පදක්කම දිනාගනු ලැබුවේ ලෝක වාර්තාවක් ද සමගින්.

බීමන් රන් පදක්කම දිනාගත් අවස්ථාව (gettyimages)

බීමන්ගේ ලෝක වාර්තාව බිඳ දැමීමට සටන් කළ ඇමරිකානුවන් දෙදෙනා 

එදා බීමන් තැබූ ලෝක වාර්තාව බිඳ දැමීම සඳහා පසුකලෙක කරට කර සටනක නිරත වුණේ කාල් ලුවිස් සහ මයික් පවෙල් යන ඇමරිකානු ක්‍රීඩකයන් දෙදෙනා යි. එහි දී ලුවිස් එම ලෝක වාර්තාව අසලට කිහිපවරක් ළඟා වුණත් වාර්තාව බිඳ දැමීමට සමත්වුණේ මයික් පවෙල් නම් ක්‍රීඩකයා යි. 1991 වසරේ ටෝකියෝ නුවර පැවැත්වුණු ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ දී පවෙල් මීටර් 8.95ක දුරක් පනිමින් බීමන්ගේ ලෝක වාර්තාව උදුරාගනු ලැබුවත් එම ඉසව්වේ ඔලිම්පික් වාර්තාව තවමත් පවතින්නේ බීමන්ගේ නමින්.

පවෙල් ලෝක වාර්තා බිඳ දැමූ අවස්ථාව (gettyimages)

කවරයේ ඡායාරූපය - බොබ් බීමන් මෙක්සිකෝ සිටි ඔලිම්පික් තරගාවලියේ දී (gettyimages)

Related Articles