ඇමෙරිකා එක්සත් ජනපදයෙහි තැනින් තැන විටින් විට විවිධාකාරයේ ඝාතන සිද්ධීන් වාර්තා වෙනවා. මින් සමහරක් සිදුවී දශක ගණනාවක් ගත වුව ද ඒ පිළිබඳ වූ කතාබහ වියැකී නොයන්නේ ඒවා මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයට ඉමහත් බලපෑමක් එල්ල කළ නිසා යි. 1970 දශකයේ නිව්යෝක් නුවරින් වාර්තා වූ ‘සෑම් ගේ පුත්‍රයා’ ගේ භීෂණයත් ඒ ආකාරයේ කුරිරු ඝාතන පෙළක් වෙනවා. මේවා සිදුකරන ලද ඩේවිඩ් බර්කොවිට්ස් නම් තැනැත්තා නිව්යෝක් නුවර බලධාරීන් හා ජනතාව කෙතරම් සාර්තකව භීතියෙන් අළලා දැමීමට සමත්වූවා ද යත්, විටෙක එම නගරය ඔහු ඉදිරියේ ‘දණින් වැටුණු’ බව සමහර ඉතිහාස වාර්තාවල සටහන් වෙනවා.
හැඳින්වීම
1976 වසරේ ග්‍රීෂ්ම ඍතුවේ සිට 1977 වසරේ ග්‍රීෂ්ම ඍතුව අතර කාලය නිව්යෝක් වැසියන්ට සැනසිලිදායක කාලසීමාවක් වූයේ නැහැ. ඒ ඩේවිඩ් බර්කොවිට්ස් හෙවත් ‘සෑම් ගේ පුත්‍රයා’ මුළු නගරයම භීතියට පත් කළ නිසා යි. රාත්‍රියේ ඔබමොබ සැරිසරා වීථිවල නවත්වා ඇති මෝටර් රථවල සිටි තරුණ වයසේ පුද්ගලයින් නිකරුණේ ඔහු විසින් වෙඩි තබා ඝාතනය කිරීමට යෙදුණු අතර, අවසානයේ ඔහු පවසා තිබුණේ තමන් අසල්වැසියා වූ සෑම් ගේ සුනඛයා සාතන් විසින් ග්‍රහණය කොටගෙන මිනිසුන් මැරීම සඳහා තමන්ට පණිවුඩ එවූ බව යි. මේ හේතුව නිසා ඔහු ‘සෑම් ගේ පුත්‍රයා’ ලෙස ඉතිහාසයේ ලියැවුණා.
මුල දී බොහෝ දෙනා විශ්වාස කළේ ඩේවිඩ් බර්කොවිට්ස් යම්කිසි තදබල මනෝ ව්‍යාධියකින් පෙළෙන බව යි. කෙසේ නමුත් පරීක්ෂණවලින් අනාවරණය වූයේ ඔහු ඉතා හොඳ මානසික තත්ත්වයකින් පසු වන බව යි. පසුකාලීනව සිය අසල්වාසී සුනඛයාගේ කතාව ප්‍රබන්ධයක් බැව් ඔහු විසින්ම ප්‍රකාශ කළා. එමෙන්ම ඔහු විසින් සිදුකර තිබූ ඝාතන 6ම තමන් ඉතා හොඳ සිහිබුද්ධියෙන් ඕනෑකමින්ම සිදුකළ බැව් ඔහු පිළිගත්තා.
ඝාතනවලට පසුබිම සැකසීම
ඝාතනවල ඇරඹුමට දෙවසරකට පෙර, 1974 වසරේ ඩේවිඩ් බර්කොවිට්ස් දකුණු කොරියාවේ සිට නැවත නිව්යෝක් නුවරට පැමිණියේ වසර තුනක හමුදා සේවය අවසානයේ යි. ඒ වන විට 21 හැවිරිදිව සිටි ඔහු නිව්යෝක් නුවර යොන්කර්ස්හි කුඩා නිවාසයකට සේන්දු වෙනවා. මේ වන විට නිව්යෝක් නුවර සිටි ඔහුගේ නෑ හිතමිතුරන් සියළු දෙනා නගරයේ වූයේ නැහැ. මේ හේතුවෙන් සිය දිවියේ ගැටළුවලට තනිවම මුහුණ දීමට ඔහුට සිදුවූවා.
බර්කොවිට්ස් ගේ කුඩා කළ ඔහුට යහපත් මතක ශේෂ කර තිබුණේ නැහැ. උපතේ දීම සිය මව මිය ගිය බැව් ඔහු අසා තිබූ අතර ඔහු හදාවඩාගත් මව ද ඔහු 14 වියැතිව සිටිය දී මියගොස් තිබුණා. මේ හේතුව නිසා ඔහු සිය නව යොවුන් විය ගත කොට තිබුණේ තනිවම යි. මේ නිසා ඔහු නිතර කිපෙන, දොම්නස් සහගත අයෙකු බවට පත්ව තිබුණා.
බර්කොවිට්ස් නැවත නිව්යෝක් නුවරට සංක්‍රමණය වී වසරක් ගත වන විටම ඔහුට දැනගන්නට ලැබෙන්නේ සිය සැබෑ මව තවමත් ජීවතුන් අතර සිටින බව යි. බලාපොරොත්තු පෙරදැරිව ඇය හමුවීමට ගියත් බර්කොවිට්ස්ට ඇගෙන් හිමිවන්නේ මිත්‍රශීලී ප්‍රතිචාරයක් නොවේ. මේ හේතුවෙන් තවත් දොම්නසට පත් වූ ඔහු ගැහැණු වර්ගයා පිළිබඳවම වෛරයක් ඇති කරගන්නවා.
බර්කොවිට්ස් කුඩා කල ද ඉතා කරදරකාරී දරුවෙකුවව සිටියා. ඔහු විසින් සතුන් ඝාතනය කරන්නට යෙදුණු අතර, භාණ්ඩවලට ගිණිතැබීම හා දේපළ හානි කිරීමද සිදු කළා. වයසෙන් මුහුකුරා යත්ම ඔහු සහකාරියක් සෙවීමට පටන්ගත් අතර, පෞරුෂයේ ගැටළු නිසා කිසිදු තරුණියක් ඔහුට කැමති වූයේ නැහැ. මේ නිසා ඔහු දැඩි කනස්සල්ලට පත් වුණා.
ඝාතන
1975 වසරේ නත්තල් උදාවත් සමග මෙතෙක් දොම්නස් සහගතව සිටි බර්කොවිට්ස් ගේ සිතෙහි ‘යක්ෂයා’ අවදි වන්නට පටන්ගත්තා. මෙතෙක් ගැහැණු පාර්ශවය වෙත තිබූ චේතනාත්මක වෛරය ක්‍රියාවෙන් පෙන්වන්නට ඔහු තීරණය කළා. නගරයේ වීථියක ඇවිදිමින් සිටි යෞවනියන් දෙදෙනෙකු ලුහුබැඳ ගිය ඔහු දඩයම් පිහියකින් ඔවුනට අණිනවා. කෙසේ නමුත් ඔවුන් දෙදෙනාම එම ප්‍රහාරයෙන් දිවි ගලවාගන්නට සමත් වෙනවා. පසුපස සිට පිහි පහර එල්ල වීම නිසා ඔවුනට බර්කොවිට්ස් හඳුනාගැනීමට නොහැකි වෙනවා.
1976 වසරේ ජූලි මස 29 වන දා, කැලිබර් .44 වර්ගයේ ගිණි අවියක් අත දරාගත් බර්කොවිට්ස් නිව්යෝක් නුවර වීථියක නවතා තිබූ කාරයක් වෙත ළඟා වෙනවා. එය තුළ ජෝඩි වැලන්ටි හා ඩොනා ලෝරියා නම් කාන්තාවන් දෙදෙනෙකු වුණා. අල්ලාප සල්ලාපයෙහි නිරතව සිටි ඔවුන් තමන් වෙත ළඟා වෙන බර්කොවිට්ස් දකින්නේ නැහැ. ඉක්මණින්ම ඔවුන් වෙත වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ලකළ ඔහු එම ස්ථානයෙන් පළා යනවා. කෙසේ නමුත් මින් මියයන්නේ ලෝරියා පමණ යි.
පළමු ඝාතනය සිදුකළ පසු බර්කොවිට්ස් දිගින් දිගටම ඝාතන කරන්නට පෙළඹෙනවා. මීළඟ මාස දෙක තුළ ඔහු විසින් ඝාතන තැත් 8ක් සිදු කර තිබූ අතර, සය දෙනෙකු ඝාතනය කොට තවත් 8 දෙනෙක් තුවාල කරන්නට ඔහු සමත්ව සිටියා. මේ සියළු දෙනාම මෝටර් රථ තුළට වී සිටි තරුණ යුවල වුණා.
නිව්යෝක් නුවර භීතියට පත් කිරීම
1977 වසරේ අප්‍රේල් මාසය වන විට නිව්යෝක් නුවර නිතර සිදුවන ‘තරුණ යුවල’ ඝාතන පිළිබඳ සැලකිළිමත්ව සිටියා. මේ සියල්ල එක් අයෙකු විසින් සිදුකරන බැව් පොලිසිය විසින් හඳුනාගෙන තිබුණා. මේ අතර බර්කොවිට්ස් පොලිසියට හා ඩේලි නිව්ස් මාධ්‍යවේදී ජිමී බ්රෙස්ලින්ට ලිපි කිහිපයක් ලියනවා. තමන් ‘සෑම්ගේ පුත්‍රයා’ බවත්, මුළු නගරයම භීතියෙන් වෙළන බවත්, එය නැවැත්වීමට නම් තමන් මරා දැමිය යුතු බවත් ඔහු සඳහන් කර තිබුණා. තව ද ‘සෑම්’ ලේ පිපාසයෙන් පසුවන බවත්, එය සංසිඳෙන තුරු ඝාතන සිදුකරන බවත් ඔහු ඒවායේ තවදුරටත් ලියා තිබුණා.
මේ ලිපි ප්‍රසිද්ධ වීමත් සමග මුළු නිව්යෝක් නුවරම භීතියෙන් ඇළලී ගියා. එහි වැසියන් අත්‍යවශ්‍යම කාරණාවකට හැර රාත්‍රී කාලයේ දී ඉවත රැඳුණේ නැහැ. මේත් සමගම හැකි ඉක්මනින් මේ ඝාතන රැල්ල අවසන් කළ යුතුයැ යි ඉටාගත් පොලිසිය යුහුසුළුව ඒ සඳහා කටයුතු කරන්නට වුණා.
අවසන් ඝාතන තැත හා පොලිසියට කොටු වීම
1977 වසරේ ජූලි මස 31 වන දා බෲක්ලින්හි දී බර්කොවිට්ස් තරුණ යුවලක් වෙත ප්‍රහාරයක් දියත් කරනවා. මේ හේතුවෙන් ස්ටේසි මොස්කොවිට්ස් නම් කාන්තාව මියයන් අතර ඇගේ සහකරු වන රොබට් වයලන්ටේ තුවාල ලබනවා.
මේ සිද්ධිය පිළිබඳ පර්යේෂණ ඉක්මණින්ම ඇරඹුණු අතර මෙය සියැසින් හොඳින්ම දුටු අයෙක් සාක්ෂ්‍ය දෙමින් පවසා තිබුණේ සැක කටයුතු පුද්ගලයෙක් යම් ‘අඳුරු පැහැති කිසිවක්’ සමග ඒ ආසන්නයේ ගැවසුණු බව යි. තව ද, ඔහු සිය කාරයෙහි තිබී ‘වාහන ගාල් කිරීමේ වරදක්’ හේතුවෙන් නිකුත් කළ දඩ කොළයක් ඉවත් කරගන්නා තමන් දුටු බව ද සාක්ෂ්‍යකරු පැවසුවා. මේ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය එම දඩ කොළය නිකුත් කෙරුණු වාහන අංකය පහසුවෙන්ම සොයාගත්තා. මෙය අයත් වූයේ ඩේවිඩ් බර්කොවිට්ස් ටයි. යොන්කර්ස්හි දී බර්කොවිට්ස්ගේ කාරය සොයාගන්නා පොලිසියට එහි තිබී රයිෆලයක්, පතරොම්, ඝාතනයක් සිදු කිරීම සඳහා ඇඳ තිබූ සිතියමක් මෙන්ම බලධාරීන් වෙත යැවීම සඳහා සකස් කළ ලිපියක් ද හමුවනවා. වහාම බර්කොවිට්ස් පොලිස් භාරයට ගැනෙනවා.
අවසානය
අත්අඩංගුවට පසු වූ බර්කොවිට්ස් මුල දී තමන් ඝාතනවලට පෙළැඹීම පිළිබඳ විවිධාකාරයේ කතා පැවසුවා. සිය අසල්වැසියාගේ සුනඛයා පිළිබඳ කතාව ඉන් ප්‍රමුඛතම එකක්. මේ නිසා ඔහු මානසික රෝග සඳහා ද පරීක්ෂා කෙරුණා. කෙසේ නමුත් පසුව ඔහු ඒවා තමන් විසින් හිතා මතාම ගෙතූ ඒවා බැව් පිළිගත්තා. නඩු විභාගයකින් පසුව ඔහු විසින් සිදුකරන ලද ඝාතන සියල්ලටම ඔහු වැරදිකරු වූ අතර ජීවිතාන්තය දක්වා සිර දඬුවම් හිමිවුණා.