Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හිට්ලර්ට පෙර ජර්මනියේ නායකයා වූ ෆීල්ඩ් මාර්ෂල් හින්ඩන්බර්ග්

ෆීල්ඩ් මාර්ෂල් පෝල් ෆොන් හින්ඩන්බර්ග් මෑත කාලීන ජර්මන් ඉතිහාසයෙහි ජීවත් වූ සුප්‍රකටම යුධ සෙන්පතියක්. එමෙන්ම ඇඩොල්ෆ් හිට්ලර් චාන්සලර් ධුරයට පත් කළේ ද හින්ඩන්බර්ග් විසින්. එහෙත්, හින්ඩන්බර්ග් මියගිය විට ඔහුගේ අන්තිම කැමැත්ත හිට්ලර් යටගැසූ බව විශ්වාස කෙරෙනවා.

මුල් හමුදා සේවය

හින්ඩන්බර්ග් උපන්නේ එකල ප්‍රශියාවෙහි පිහිටි, අද පෝලන්තයට අයත් පෝසන් ප්‍රදේශයේ, 1947 ඔක්තෝබර් 2 වන දා යි. ඔහු රදළ පවුලකට අයත් වූ අතර තරුණ වියේ දීම හමුදාවට බැඳුණා. 1866 දී ඔස්ට්‍රියාව සමග යුද්ධයට සහභාගී වූ ඔහු එහි තීරණාත්මක කූනිග්‍රාට්ස් සටනට සහභාගී වුණා. එහිදී ඔහු වීරත්වය වෙනුවෙන් පදක්කමක් ද දිනාගත්තා. ඔහු 1870-71 ප්‍රංශ – ප්‍රශියානු යුද්ධයට ද සහභාගී වුණා.

ඉන්පසුව ඔහු යුද්ධවලට සම්බන්ධ නොවූව ද විවිධ තනතුරු දරමින් 1911 තෙක් යුධ හමුදාවේ රැඳී සිටියා. එයින් ඔහු විශ්‍රාම ගත්තේ වසර 45ක සේවා කාලයෙන් පසුව යි.

පළමු ලෝක යුද්ධය

පළමු ලෝක යුද්ධය අවස්ථාවේ මුල දීම ජර්මනියට බරපතල අභියෝගයකට මුහුණ දීමට සිද්ධ වුණා. ඒ, පෙරමුණු දෙකක යුද්ධ කිරීමට සිදු වීම යි. මෙහි අභියෝගය තීව්‍ර වුණේ රුසියාව බලාපොරොත්තු වුණාට වඩා ඉක්මණින් සිය හමුදා ජංගමගත කර යුධ පෙරමුණට එවීම හේතුවෙන්.

යුද්ධය පටන් ගත් දිනවලම, අවශ්‍ය නම් තම සේවය ලබා දීමට සූදානම් යයි හින්ඩන්බර්ග් රජයට දන්වා සිටියා. එහෙත් එම අවස්ථාවේ එහි අවශ්‍යතාවක් නොමැත්තේයැ යි රජය කියා සිටියා.

නමුත්, දැවැන්ත රුසියානු හමුදාවක්, බලාපොරොත්තු වූවාට වඩා ඉක්මණින් නැගෙනහිර ප්‍රශියාව දෙසට පැමිණෙන අවස්ථාවේ නැගෙනහිර යුධ පෙරමුණේ ජර්මානුවන්ට පසුබැසීමට සිදුවන අවදානමක් මතු වුණා.

කලින් ප්‍රතික්ෂේප කළ සේවය මේ අවස්ථාවේ ජර්මන් රජයට අවශ්‍ය වුණා. ඒ අනුව හින්ඩන්බර්ග් වෙත කැඳවීමක් කරන ලද අතර ඔහුව නැගෙනහිර පෙරමුණට යවනු ලැබුණා. ඔහුගේ ක්වාටර්මාස්ටර් ජෙනරාල් ලෙස එරික් ලූඩන්ඩෝර්ෆ් පත් කරනු ලැබුණා.

හින්ඩන්බර්ග් (වමේ) සහ ලූඩන්ඩෝර්ෆ් (Public Domain)

මේ දෙදෙනා විසින් මෙහෙයවන ලද ජර්මානු සේනාංක ටැනන්බර්ග් සටනේදී රුසියානුවන්ට දරුණු පරාජයක් අත්කර දුන්නා. මෙහිදී 92,000ක් පමණ වූ රුසියානුවන් අල්ලාගනු ලැබුණා.

වසර දෙකක කාලයක් නැගෙනහිර පෙරමුණේ අණදෙන නිලධාරියා ලෙස හින්ඩන්බර්ග් කටයුතු කළ අතර මේ සමයෙහි රුසියානුවන්ට එරෙහි විවිධ යුධ මෙහෙයුම් සිදු වුණා. මේවායේ බහුතරයක දී වැඩි වාසි අත්කරගත්තේ ජර්මනිය යි. එහිදී ජර්මන් යුධ උපක්‍රමවල සාර්ථකත්වය​, ජර්මන් කාලතුවක්කු සේනාංකයන් හි අවි බලය සහ හැකියාව මෙන්ම රුසියානුවන්ගේ දුර්වලතා ද හේතු වුණා.

මාණ්ඩලික ප්‍රධානී

1916 වසර ගෙවී යද්දී එවකට ජර්මන් යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානියා වූ එරික් ෆැල්කන්හයින් අසාර්ථක වෙමින් සිටියා. වර්ඩාන් ප්‍රහාරය අසාර්ථක වීම, සෝම් නදී සංග්‍රාමය​, රුමේනියාව යුද්ධයට අවතීර්ණ වීම ආදිය හේතුවෙන් ඔහුගේ කීර්ති නාමය පළුදු වී තිබුණා. මේ අනුව ඔහුව ඉවත් කර හින්ඩන්බර්ග් පත් කරනු ලැබුණා.

කියවන්න​: බටහිර පෙරමුණේ බිහිසුණු ම සටන​: වර්ඩාන්

හින්ඩන්බර් මුලදී ෆැල්කන්හයින්ගේ යුධ උපක්‍රම විවේචනය කරමින් වඩා ආරක්ෂාකාරී යුධ උපක්‍රම අනුගමනය කිරීමට පටන් ගත්තා. ඔවුන් බටහිර පෙරමුණේ සීග්ෆ්‍රීඩ් ආරක්ෂක වළල්ල නම් වූ ඉතා පළල් සහ සවිමත් ආරක්ෂක කලාපයක් ස්ථාපිත කළා.

1917 වසරේදී ජර්මනිය බටහිර පෙරමුණේ අනුගමනය කළේ ආරක්ෂාකාරී යුධ උපක්‍රම යි. මේ අතර රුසියාවේ දේශපාලන කැළඹීම් ද සමග එම පෙරමුණෙහි යුද්ධය එම වසර අවසන් වෙද්දී අවසානයක් කරා ළඟා වුණා.

1918 වසර එළඹෙද්දී නම් ජර්මනිය තරමක් දැඩි පීඩනයකට ලක් වෙමින් තිබුණා. ඇමරිකන් හමුදා එම වසර තුළ බටහිර පෙරමුණ වෙත විශාල වශයෙන් පැමිණේයැ යි අපේක්ෂා කළ අතර එයින් යුධ පෙරමුණේ තත්ත්වය මිත්‍ර පාර්ශවයට වාසිදායක ලෙස හැරෙනු ඇතැ යි අනාවැකි පළ වුණා. මේ අනුව ඇමරිකානුවන් පැමිණීමට පෙර යුද්ධයේ තීරණාත්මක ජයග්‍රහණක් ලබා ගැනීම අත්‍යවශ්‍ය වුණා.

1918 වසන්ත ක්‍රියාන්විතය දියත් කරන ලද්දේ එම අරමුණින්. එහිදී ජර්මානු සේනා මිත්‍ර හමුදා ස්ථාන වෙත දැවැන්ත ප්‍රහාර කිහිපයක්ම එල්ල කළා. ඔවුන් එක්තරා අවස්ථාවක පැරිස් නගරයට ද තර්ජනය කිරීමට සමත් වුණා. එහෙත් 1918 ජූලි මාසය වන විට ඔවුන්ගේ ප්‍රහාර යටපත් වුණා. තවදුරටත් ප්‍රහාරක මෙහෙයුම් කිරීමට තරම් පිරිස් ශක්තියක් ඔවුන් සතු වූයේ නැහැ.

අගෝස්තු 8 වනදා මිත්‍ර හමුදා විසින් දියත් කළ අමියොන් සටනින් සියල්ල කණපිට හැරුණා. එතැන් පටන් නොවැම්බරයේ යුද්ධය නිමා වනතෙක් ජර්මානුන් එකදිගටම පසුබස්වනු ලැබුණා.

ජනාධිපති ලෙස

යුද්ධයෙන් පසු, 1919 දී හින්ඩන්බර්ග් හමුදාවෙන් විශ්‍රාම ගත්තා. ඔහු රටේ ජනප්‍රිය චරිතයක් වූ අතර යුධ සැමරුම් වැනි අවස්ථා හැරුණ විට විවේකයෙන් ගත කළා. ඒ අතර ඔහු ලියූ චරිතාපදානය ඉතා ජනප්‍රිය වුණා.

1925 දී හින්ඩන්බර්ග් එකවරම දේශපාලන කරලියට පැමිණියා. ඒ, ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමෙන්. එම වසරේ මාර්තු මාසයේදී ජර්මන් ජනරජයේ පළමු ඍජු ජනාධිපතිවරණය පවත්වනු ලැබුණා. (1919 දී ජනාධිපති තෝරාගත්තේ පර්ලිමේන්තුව විසින්). 1925 ජනාධිපතිවරණයෙන් කිසිදු අපේක්ෂකයකු සියයට පනහක් ඉක්මවා ඡන්ද ලබගත්තේ නැහැ. ඒ අනුව අප්‍රේල් 26 වන දා නැවත ඡන්දයක් පවත්වනු ලැබුණා. මේ සඳහා දක්ෂිනාංශික පක්ෂ කිහිපයක් විසින් හින්ඩන්බර්ග්ව ඉදිරිපත් කළා. ඔහු එයින් ජයග්‍රහණය කර ජනාධිපති ධුරයට පත් වුණා.

හින්ඩන්බර්ග් (වමේ) සහ හිට්ලර් (atlanticsentinel.com)

ජර්මනියට ලෝක ආර්ථික අවපාතය බරපතල ලෙස බලපෑවේ ද ඔහුගේ කාලයේ යි. මේ අතර ජර්මනියේ බලයට පත් වූ රාජයයන් පාර්ලිමේන්තු බහුතරය නොමැතිව අස්ථාවර වන්නට පටන් ගත්තා. එක් අතකින් නට්සි පක්ෂයේ ද අනෙක් අතින් කොමියුනිස්ට් පක්ෂයේ ද බලය ඉහළ යාම ඊට හේතු වුණා.

ඇඩොල්ෆ් හිට්ලර්ගේ ජනප්‍රියත්වය ඉහළ යද්දි 1932 ජනාධිපතිවරණයෙන් ඔහුව පරාජය කිරීමට හැකි එකම තැනැත්තා හින්ඩන්බර්ග් බව පැහැදිලි වෙමින් තිබුණා. මේ හේතුව නිසා ඔහුට සිය වයස ද නොතකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සිද්ධ වුණා. එහිදී ඔහු යලිත් ජයග්‍රහණය කළා.

නමුත් රයික්ස්ටාගයේ (පාර්ලිමේන්තුවේ) බහුතර බලයක් ඇති රජයක් පිහිටුවීමට නට්සි පක්ෂය නොමැතිව නොහැකි බව මේ වෙද්දී පැහැදිලි වූ කරුණක්. හිට්ලර් සමග සභාග රජයක් පිහිටුවීමට දක්ෂිනාංශික දේශපාලකයන් වෙතින් යෝජනාවක් ආවේ ඒ අනුව යි. එහෙත් හිට්ලර්ට චාන්සලර් (අගමැති) පදවියම අවශ්‍ය වූ අතර ඔහුව චාන්සලර් ලෙස පත් කිරීම හින්ඩන්බර්ග් ප්‍රතික්ෂේප කළා. හින්ඩන්බර්ග් හිට්ලර්ව හැඳින්වූයේ ද ඉතා අවඥාසහගත ලෙස “ඔස්ට්‍රියානු කෝප්‍රල්වරයා” ලෙස යි.

කෙසේ වෙතත් හින්ඩන්බර්ග් සිය පුත්‍රයා වූ ඔස්කාර්ගේ ද බලපෑම මත හිට්ලර්ව චාන්සලර් ලෙස පත් කිරීමට කැමැත්ත පළ කළා පමණක් නොව සිය මරණය දක්වා නට්සින් විසින් සම්මත කරන ලද පනත්වලට අත්සන් ද තැබුවා.

අවසන් කැමැත්ත​

හින්ඩන්බර්ග් 1934 අගෝස්තු 2 වන දා මියගියා. ඇඩොල්ෆ් හිට්ලර් ජර්මනියේ නායකත්වයට පත් වූ අතර ඉන්පසු ජනාධිපති සහ අගමැති තනතුරු දෙකම දැරුවේ ඔහු යි. නමුත් සාමාන්‍ය විශ්වාසය වන්නේ ඔහු හින්ඩන්බර්ග්ගේ අවසන් කැමැත්ත යටගැසූ බව යි.

හින්ඩන්බර්ග් දැඩි රාජාණ්ඩුවාදියකු වූ අතර සිය මරණින් පසු හිටපු කයිසර් (අධිරාජයා) ව්‍යවස්ථාපිත රාජාණ්ඩුවක නායකයා ලෙස පත් කිරීමට කැමැත්තෙන් සිටි බව යි සඳහන් වන්නේ. එහෙත් මෙය හිට්ලර් විසින් සඟවන ලදැ යි විශ්වාස කෙරෙනවා.

Cover Image: පෝල් ෆොන් හින්ඩන්බර්ග් (militaer-wissen.de)

මූලාශ්‍රයයන්

  • The First World War by Martin Gilbert
  • The Rise and the Fall of the Third Reich by William L. Shirer

Related Articles