Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

එමී සම්මානයක් හිමි කර ගත් පළමු අමෙරිකා ජනපතිවරයා

අමෙරිකා එක්සත් ජනපදයේ හතළිස් හතරවැනි ජනපතිවරයා වූයේ ඩිමොක්‍රටික් පාක්ෂික බරක් ඔබාමා ය. පිට පිට දෙවරක් ම අමෙරිකාවේ ජනපති ධූරය හෙබ වූ බරක් ඔබාමාට ජනපති ධූරයෙන් නික්ම යාමෙන් පසු වුව ද මාධ්‍ය ඇසින් වසන් ව සිටීමට හැකි වූයේ නැත. ඒ ඔහු දේශපාලන වේදිකාවේ මෙන් ම විනෝදාත්මක ක්ෂේත්‍රවල ද වරින් වර  පුවත් මවන සිද්ධිවලට සම්බන්ධ වීම නිසා ය.

කොරෝනා වසංගත සමයේ දී ඔබමා යළිත් වරක්  කතාබහට ලක්වුණේ ඔහු එකල ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වසංගත මර්දන ක්‍රියාකලාපය විවේචනය කිරීම හේතුවෙනි. ඊට පෙර ද බරක් ඔබාමා මෙන් ම ඔහුගේ බිරිය මිෂෙල් ඔබාමා ද ජාත්‍යන්තරයේ අවධානයට ලක්වුණේ 2017 වසරේ දී ඔවුන් නෙට්ෆ්ලික්ස් සමඟ අත්සන් තැබූ ඩොලර් මිලියන ගණනක් වටිනා ගිවිසුමක් මුල් කරගෙන ය. ඔබාමා සම්බන්ධයෙන් කෙරෙන කතාබහ යළිත් වරක් අලුත් වුණේ ඉකුත් සෙනසුරාදා ඔහුට එමී සම්මානයක් හිමිවීමත් සමඟ ය.

‘Our Great National Parks’   හි පෙනී සිටින ඔබාමා  –  www.thehindu.com 

 

ඔබාමාටම සුවිශේෂි වූ එමී සම්මානයක් 

ටෙලි තිරයේ නිර්මාණ සඳහා සම්මාන පිරිනැමෙන, ජාත්‍යන්තරයේ සුප්‍රකට සම්මාන උළෙලක් වන එමී සම්මාන උළෙල දෙස් විදෙස් ජනාදරයට පාත්‍ර වූවකි. ඔබාමා එමී සම්මානය හිමි කර ගන්නේ ඔහු නෙට්ෆ්ලික්ස් ඔස්සේ කථන දායකත්වය සැපයූ ‘Our Great National Parks’ නමැති වාර්තා වැඩසටහන සඳහා ය. මෙහි ඇති සුවිශේෂත්වය වන්නේ එය ඔබාමා යුවළ පිහිට වූ Higher Ground Productions නමැති නිෂ්පාදන සමාගමේ ම නිර්මාණයක් වීම ය.

මීට පෙර ද ඔබාමා එමී සම්මානයක් සඳහා  2016 වසරේ දී නිර්දේශ වී තිබිණි. ඒ ‘David Attenborough meets President Obama’ නමැති වාර්තා වැඩසටහන සඳහා ය. මෙවර පළමුවරට ඔබාමා හිමි කර ගත් එමී සම්මානය ආකාර කිහිපයකින් සුවිශේෂ ය. එක් හේතුවක් වන්නේ රූපවාහිනි වැඩසටහනක් වෙනුවෙන් එලෙස තරගකාරී සම්මානයක් හිමි කර ගත් පළමු අමෙරිකා ජනපතිවරයා වන්නේ බරක් ඔබාමා නිසා ය.

මීට පෙර හිටපු අමෙරිකා ජනපතිවරයකු වන ඩ්වයිට් අයිසන්හවර් 1956 දී එමී සම්මානයකින් පිදුම් ලැබූව ද, එය හුදෙක් ගෞරවය පිණිස ඔහුට ලබා දුන්නකි. ඔබාමා එම ගෞරවයට හිමිකම් කියන්නේ කොටස් පහකින් යුතු වැඩසටහනකට ක්‍රියාකාරී දායකත්වයක් ලබාදීමෙන් වීම විශේෂත්වයකි.

ඔබාමා එමී සම්මානය හිමි කර ගත්තේ වාර්තා වැඩසටහනකට කථන දායකත්වය ලබාදීම වෙනුවෙනි  –  www.cnn.com 

 

EGOT  වෙන්න තවත් පියවර  දෙකයි

එලෙස එමී සම්මානයක් හිමි කර ගැනීම නිසා ඔබාමාට EGOT ලෙස කෙටියෙන් හැඳින්වෙන සුවිශේෂි ගෞරව නාමය හිමිකර ගැනීම සඳහා තවත් ඉතිරි ව ඇත්තේ පියවර දෙකක් පමණි. ටෙලි, සංගීත, සිනමා හා වේදිකා යන අංශ හතර ම පිළිවෙළින් නියෝජනය කරන එමී, ග්‍රැමී, ඔස්කාර් හා ටෝනි යන සම්මාන උළෙල හතර ජාත්‍යන්තර විනෝදාස්වාද ක්ෂේත්‍රයේ කිරුළු පලන් සම්මාන උලෙළු ලෙස බුහුමනට පාත්‍ර වන්නේ අතීතයේ සිට ම ය.

එකී සම්මාන හතර ම හිමිකර ගැනීමට තරම් වාසනාවන්ත වන අයකු EGOT යන ගෞරව නාමයෙන් පිදුම් ලබයි. මේ තාක් කාලයකට එම විරළ වාසනාවට හිමිකම් කියා ඇත්තේ දාහත්දෙනකු පමණි. ඒ අතර සුප්‍රකට සංගීතවේදි ජෝන් ලෙජන්ඩ් හා සම්මානිත රංගණ ශිල්පිණි ජෙනිෆර් හඩ්සන් ද වෙති. 

ඔබාමා ග්‍රැමි සම්මානයෙන් පිදුම් ලද මොහොත  – www.ohfact.com 

 

ඔබාමාට ග්‍රැමී සම්මාන දෙකක්

ඔබාමා මීට පෙර ග්‍රැමී සම්මාන දෙකක් හිමි කර ගෙන තිබේ. ඒ ඔහුගේ ‘The Audacity of Hope’ හා ‘Dreams from my Father’ නැමැති චරිතාපදාන දෙක ශ්‍රව්‍ය කෘති ලෙස පළ කිරීමට ලබාදුන් දායකත්වය වෙනුවෙනි. මෙම සම්මාන ද්විත්වයම ඔහු 2009 වසරේදී අමෙරිකාවේ ජනපති ධුරයට පත්වීමට පෙර හිමිකර ගත් ඒවා ය.

ඔබාමා පමණක් නොව ඔහුගේ බිරිය මිෂෙල් ද ග්‍රැමී සම්මානයක වාසනාවන්ත හිමිකාරිණියකි. 2020 වසරේදී ඇය එම සම්මානයට හිමිකම් කීවේ ඇගේ  ‘Becoming’ නමැති චරිතාපදානය ශ්‍රව්‍ය මාධ්‍යයෙන් පළ කිරීම වෙනුවෙනි. ඒ අනුව බලන කල ඔබාමා දෙපළ දේශපාලනයට සේ ම විනෝදාස්වාදාත්මක ක්ෂේත්‍රයට ද ආගන්තුකයන් වන්නේ නැත.

ඔබාමාගේ කෘති දෙක   – www.csmonitor.com 

 

ඔබාමා යුවළගේ  සුබසාධන මෙහෙවර

2017 වසරේදී ධවල මන්දිරයට සමුදීමෙන් පසු බරක් හා මිෂෙල් ඔබාමා දෙපළ වරින් වර වෙන් වෙන් ව ප්‍රකාශයට පත් කළ ස්වයං චරිතාපදාන සියල්ල ම පාහේ ආදායම් වාර්තා තැබීමට සමත් වූ නිර්මාණ ය. චරිතාපදාන ප්‍රකාශයට පත්කිරීමට අමතර ව ඔවුහු ‘ඔබාමා පදනම‘ යනුවෙන් ලාබ නොලබන සංවිධානයක්ද පිහිටුවා ඇත්තේ සුබසාධන අරමුණු මුල් කර ගනිමිනි.

ස්ට්‍රීමිං තාක්ෂණයෙන් වැඩසටහන් ප්‍රචාරය කරන නෙට්ෆ්ලික්ස් සමඟ ඔබාමා යුවළ ගිවිසුමකට එළැඹෙන්නේ ද ඒ අතරවාරයේ ය. ඒ ඔවුන්ගේ නිෂ්පාදන සමාගම නියෝජනය කරමිනි. Higher Ground Productions නමැති මෙම නිෂ්පාදන සමාගමෙන් ස්ට්‍රීමිං තාක්ෂණය ඔස්සේ ප්‍රථම වරට එළිදැක්වූ වැඩසටහන වූ American Factory සඳහා එමී සම්මානයක් මෙන් ම ඔස්කාර් සම්මානයක් ද හිමිවීම විශේෂත්වයකි. කෙසේ වුව ද මෙම සම්මාන හිමි වූයේ ඔබාමා යුවළට නොව එකී වැඩසටහනේ නිර්මාතෘවරුන්ට ය.

මෑතදී ගත් ඔබාමා පවුලේ ඡායාරූපයක්   – www.people.com  

 

සුන්දර වනෝද්‍යාන ප්‍රේක්ෂකයා හමුවට ගෙනා ඔබාමා

මෙවර එමී සම්මානය ඔබාමා හිමි කර ගන්නේ ඔහු හා තරඟ වැදුණු තවත් ප්‍රකට පුද්ගලයන් සිව්දෙනකු අබවමිනි. ඒ අතර Black Patriots : Heroes of final war හි කරීම් අබ්දුල් ජබාර්, The Mating Game හි ඩේවිඩ් ඇටන්බරෝ,   We need to talk about Cosby වැඩසටහනේ ඩබ්ලිව්. කැමූ බෙල් හා    Serenseti II හි ලුපිතා යොන්ග් ද වෙති. කෙසේවුව ද සම්මානය ලබා ගැනීමට හිටපු ජනපතිවරයා සම්මාන උළෙලට පැමිණි සිටියේ නැති බැවින් ඔහු වෙනුවෙන් සම්මානය භාරගැනීමට එමී සංවිධායක මඬුල්ල ඉදිරිපත් වූහ.

කොටස් පහකින් යුතු ‘Our Great National Parks’ නමැති වාර්තා වැඩසටහන ඔස්සේ ලොව වන පාරිසරික සුන්දරත්වයෙන් වඩාත් ම අනූන ජාතික වනෝද්‍යාන ගණනාවක් ප්‍රේක්ෂක අවධානයට ලක් කෙරිණි. ඉකුත් අප්‍රේල් මාසයේ දී ප්‍රචාරය වීම ඇරඹුණු මෙම වැඩසටහන ද, ඔබාමා යුවළ 2018 වසරේදී නෙට්ෆ්ලික්ස් සමඟ එළැඹුණු බහු වාර්ෂික චිත්‍රපට හා රූපවාහිනි නිර්මාණ ගිවිසුමේ එක් අදියරක් ලෙස නිර්මාණය වූවකි.

කවරයේ ඡායාරූපය - ජාතික වනෝද්‍යාන ප්‍රේක්ෂකයා හමුවට ගෙනෙමින් එමී සම්මානයකට හිමිකම් කී බරක් ඔබාමා - www.edules.com

මුලාශ්‍ර :

From Potus to half an Egot as Barack Obama wins Emmy -www.theguardian.com 

Barack Obama wins an Emmy for narrating a Netflix docuseries - www.vanityfair.com

Former US president Barack Obama wins Emmy Award for narrating Netflix documentary - minutemirror.com.pk 

Related Articles