ෆ්ලොරන්ස් නයිටිංගේල් විසින් සමාජයට ලබා දුන් පණිවිඩය ඉතාමත් ඉහළ යි. ඒ වගේම ඇය විසින් සමාජයට සපයන ලද සේවාව අති මහත් ය. මෙම ලිපිය මඟින් ඇයගේ පවුල් පසුබිමත්, ඇගේ ළමා කාලය පිළිබඳවත්, හෙදි වෘත්තියට ඇගේ යොමු වීමත්, ඇගේ හෙදි වෘත්තියේ වැදගත් සංදිස්ථාන ගැනත් ජිවිතයේ අවසන් සමය ගැනත් දැන ගැනීමේ හැකියාවක් තිබෙනවා.
ෆ්ලොරන්ස්ගේ පවුල් පසුබිම හා ඇගේ ළමා කාලය
ෆ්ලොරන්ස්ගේ උපත මුළු මහත් සමාජයටම මහඟු ආදර්ශයක් සැපයීමට මඟ පෙන්වනු ලබනවා. ඒ අනුව ඉතාලියේ ෆ්ලොරන්ස් නගරයේ විලියම් එඩ්වඩ් නයිටිංගේල් හා ෆ්රාන්සස් ස්මිත් යන යුවළට ඔවුන්ගේ දෙවෙනි දියණිය ලෙස ෆ්ලොරන්ස් නයිටිංගේල් 1820 මැයි මස 12 වැනි දින ජන්ම ලාබය ලබනවා. ඒ වගේම ඇගේ ළමා කාලය ඉතාමත් සැපවත් බවින් යුක්ත වුණා. ඩර්විෂයර් , හැම්ප්ෂයර්, ලන්ඩන් යන නගරවල පිහිටා තිබුණ සුඛෝපභෝගී නිවෙස් වල මෙසේ ඇගේ ළමා කාලය ගත කිරීමේ භාග්‍ය උදා වෙනවා. ෆ්ලොරන්ස්ට විෂයන් කිහිපයක්ම ඉගෙන ගැනීමට අවස්ථාව ඇගේ පියා විසින් උදා කර දුන්නා. ඒ අතර ප්‍රංශ, ජර්මන්, ඉතාලි යන භාෂාවන්ද, ඉතිහාසය , ගණිතය හා දර්ශනවාදය යන විෂයන් ද වනවා. මෙසේ විවිධ භාෂා දැනුමින් යුක්ත වූ නිසා ළමා කාලයේදී ම මෙම භාෂා වලින් රචනා කරන ලද කෘති පරිශීලනය කිරීමේ භාග්‍ය ෆ්ලොරන්ස්ට හිමි වුණා.
ෆ්ලොරන්ස් හෙදි වෘත්තියට ඇගේ යොමු වීම
නව යොවුන් වියේ දී ෆ්ලොරන්ස්ගේ පරමාර්ථය වුණේ අසරණ තත්වයට පත්ව සිටින ජනතාවට සේවයක් කිරීමයි. මෙම අවධියේදී යි ඇයට හෙදි වෘත්තිය කෙරෙහි ඇල්මක් ඇති වුණේ. නමුත් මේ සඳහා ඇගේ මව තදින්ම විරුද්ධ වුණා. එකළ ධනවත් පවුල් වල කාන්තාවන්ට රැකියාවක නිරත වීමක් අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඔවුන් ගෙදර දොරේ කටයුතු වලට සුළු අවධානයක් යොමු කිරීමත්, ආගමික නැඹුරු තාවයකින් යුත් විනීත ජිවිතයක් ගත කිරීමත් පමණයි සිදු කල යුතුව තිබුණේ. මෙවැනි සමාජ පසුබිමක් හේතුවෙනුයි ඇගේ මව මෙයට තදින්ම විරුද්ධතාවය ප්‍රකාශ කලේ.
නමුත් මෙමඟින් නොනැවතුණු ෆ්ලොරන්ස් ඇගේ අරමුණ ඉටු කර ගැනීම උදෙසා කටයුතු කළා. ඇගේ අරමුණ ඉටු කර ගැනීමට අවශ්‍ය සියලුම විස්තර එකතු කරන්නට වුණා. හොර රහසේම රෝහල් වාර්තා අධ්‍යයනය කිරීමක් සිදු කළා. ඒ වගේම මිතුරන් මාර්ගයෙන් ද එවැනි තොරතුරු එකතු කර ගනු ලැබුවා. 1846 වර්ෂයේ දී ඇයට ජර්මනියේ කෙයිස්වර්ත් හි රෙපරමාදු නිකායික උපස්ථායිකා ආයතනයේ වාර්ෂික වාර්තාව කියවීමට ලැබෙනවා. එම ආයතනයේ විශේෂත්වය වන්නේ රෝගීන්ට උපස්ථාන කිරීමට යුවතියන් පුහුණු කිරීමයි. ඇයට මෙම පුහුණුව ලබා ගැනීමට අවශ්‍ය වුණත් ගෙදරින් ඒ සඳහා අවසර ලැබෙන්නේ නැහැ. නමුත් 1851 වර්ෂයේ දී පමණ එම පුහුණුව ලබා ගැනීමට යාමට ඇගේ පියාගේ අවසරය ලැබෙනවා.
ඇගේ හෙදි වෘත්තියේ වැදගත් සංධිස්ථාන
ෆ්ලොරන්ස්ට පළමු රැකියාව හිමි වන්නේ 1854 වර්ෂයේ දී පමණය. මෙහි දී ලන්ඩනයේ පිහිටුවා තිබු ආයතනයක පරීක්ෂක තනතුරක් ඇයට හිමි වුණා. එම ආයතනය මුළුමනින්ම ප්‍රතිසංවිධානය කිරීම ඇයට හිමි වූ කටයුත්ත වූ අතරම එහි දී ඇයට හිස් නිවසක් රෝගීන් සඳහා උචිත ස්ථානයක් බවට පත් කිරීමට හැකි වූ බව දැක්වෙනවා. මෙම දක්ෂතාවය ගැන රෝහල් කමිටුව ද විශ්මයට පත් වී තිබෙනවා. ඒ වගේම ඉතාමත් ක්‍රියාශීලි තැනැත්තියක වූ ෆ්ලොරන්ස් ඇතැම් අවස්ථා වල දී ඇගේ වියදමින් රෝගීන් සත්කාරගාර වලට යැවූ බව ද දැක්වෙනවා.
ක්රිමියානු යුද්ධය ඇගේ හෙදි ජිවිතයේ විශේෂ අවස්ථාවක් ලෙස දක්වන්නට පුළුවන්. මෙම යුධ සමයේ දී ඇයට පැවරුණු කර්තව්‍යය වූයේ තුවාල කරුවන්ට ප්‍රතිකාර කිරීමයි. ඒ අනුව 1854 ඔක්තෝම්බර් මස 21 වන දින තවත් හෙදියන් 38ක් ද සමඟ ඇය ක්රිමියාව බලා පිටත් වුණා. අඛණ්ඩව පැය 8ක් පමණ සෙබළුන්ගේ තුවාල වලට යහන් අසල දණ බිම තබාගෙන බෙහෙත් දැමීම සිදු කර තිබෙනවා. පහන අතැති කත යනුවෙන් නම් කිරීමට හේතුව වන්නේ දහවල් කාලයේ මෙම රෝගීන්ගේ තත්වය ගැන සොයා බැලීමට නොහැකි වූ අවස්ථා වල රාත්‍රියට පහනක් ද අතැතිව ඔවුන් බලන්නට යන නිසාවෙනි. ඇය ඉතාමත් කරුණාවන්ත තැනැත්තියක් වූ අතරම ඇගේ කරුණාබර මුහුණ දැකීමෙන් රෝගීන්ගේ සිත් පහන් වූ බවද ඇතැම් රෝගීන්ගේ සටහන් වල සඳහන් බව දැක්වෙනවා.
ෆ්ලොරන්ස්ගේ ජිවිතයේ අවසාන අවුරුදු තිහම ගත කළේ ප්රතිසංවිධාන කටයුතු වලට යි. මෙයට මූලිකම හේතුව වුණේ ක්‍රිමියාවේ රෝගීන් මිය යාමට හේතුව ලෙස ඇය විශ්වාස කළේ අයහපත් රෝහල් පරිසරය නිසාවෙන් බවයි. හෙදියන්ට මනා පුහුණුවක් ලබා දීම, රෝහල් ගොඩනැගිලි ආදිය නගා සිටුවීමට ඇය ලෝක ව්‍යාප්තව කටයුතු කළේ ඇගේ නිවසේ සිටයි.
ජිවිතයේ අවසන් සමය
ෆ්ලොරන්ස්ගේ ඇස් වලට පෙනීමේ දුර්වලතාවයක් පැමිණි අතර 1901 වසරේදී ඇය අන්ධ භාවයට පත් වුණා. Order of Merit නමැති සම්මානය ඇයට හිමිවුණේ ඇගේ සේවයට ගරු කිරීමක් ලෙසිනුයි. ඒ 1907 වර්ෂයේදී vii එඩ්වඩ් රජු විසිනි. ඒ වගේම මේ ආකාරයේ සම්මානයක් දිනා ගත් ප්‍රථම කාන්තාව වීමේ අවස්ථාව ද ෆ්ලොරන්ස්ට උදා වුණා. පහන අතැති කත යනුවෙන් ප්‍රචලිත වූ ෆ්ලොරන්ස් නයිටිංගේල් වයස අවුරුදු 90 දී පමණ එනම් 1910 අගෝස්තු මස 13 දින මිය ගියා. නමුත් ඇය කළ සේවය තවමත් අමරණීයයි.
කවරයේ පින්තුරය: youtube.com