අතීතයේ වහල් සේවය සඳහා මිනිසුන් ජාවාරම් කළ ජාවාරම්කරුවන්ට සංවේදී හදවත් තිබුණේ නම් ‘වහල් ජාවාරම’ යන මාතෘකාව නිර්මාණය නොවන්නට ඉඩ තිබ්ණි. කෙසේ නමුත්, ඔවුන්ගේ ම සහෝදර ජනතාව අල්ලා, සතුන් මෙන් කූඩු කර, මඟ දෙපස තබා ඔවුන් අලෙවි කරන්නට තරම් වියළි හදවතක් ඇත්තවුන් ලෝකයට නිර්මාණය කර දුන් ඉතා අවාසනාවන්ත මාතෘකාවකි, ‘වහල් සේවය සඳහා මිනිස් ජාවාරම’.
කාර්මික විප්ලවය සමඟ අමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ අනිකුත් යුරෝපා රටවල ඇති වූ ආර්ථික දියුණුව නිසා වගාබිම් සහ කර්මාන්තශාලා වැනි දේ විශාල වශයෙන් බිහි විය.
එනිසා ඒවායේ සේවය කිරීම සඳහා සේවකයන් බොහෝ සෙයින් අවශ්‍ය විය. ඒ සඳහා වුවමනා පිරිස් එකල රැගෙන ආවේ බොහෝ විට දකුණු අප්‍රිකානු රටවලිනි. ඒ රටවලින් පැහැර ගන්නා පුද්ගලයන් නැව් මගින් යුරෝපා රටවලට ප්‍රවාහනය කර වහල් සේවයේ යෙදවීම එකල සිදු විය.
වහල් ජාවාරමේ යෙදුණු ජාවාරම්කරුවන් කෙතරම් දරුණු හදවතක් ඇත්තවුන් ද යත් ඔවුන් කුඩා ළමයින් පවා අල්ලාගෙන වහල් සේවයේ යෙදවීම පිණිස මුදලට අලෙවි කර තිබේ. ඒ අතරින් වයස අවුරුදු 12 දී වහල් ජාවාරම්කරුවන්ට හසුව, ඔවුන්ගේ බලකිරීම නිසා කුඩා වියේදී ම විවාහ වීමට සිදු වූ රෙඩෝෂිට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි.
ඒ ඇය වහල් සේවය තහනම් කිරීමෙන් පසු දීර්ඝත ම කාලයක්, වසර 72ක්, ජිවත් වූ වහල් සේවයේ යෙදුණු අයගෙන් එක් අයකු වීම නිසා යි.
ළමාවිය සහ වහල් ජාවාරම්කරුවන්ට හසුවීම
1848 වසරේ උපත ලැබූ රෙඩෝෂි ජිවත් වූයේ බටහිර අප්‍රිකාවේ පිහිටි, වර්තමානයේ බෙනින් ජනරජය නමින් හඳුන්වන ප්‍රදේශයේ ය. ඇගේ පියා එවකට එහි ප්‍රාදේශීය නායකයකු ලෙස කටයුතු කර ඇත. 1860 දී ඇය ජීවත් වූ ප්‍රදේශයට කඩා වදින පිරිසක් රෙඩෝෂි ගේ පියා ඝාතනය කර ඇය ඔවුන්ගේ භාරයට ගෙන තිබේ. ඉන් අනතුරු ව ඔවුන් එවකට වහල් සේවය සඳහා අල්ලා ගන්නා පුද්ගලයන් ප්‍රවාහනය කළ ක්ලොටිල්ඩා (Clotilda) නම් නෞකාවට රෙඩෝෂි අලෙවි කර තිබේ.
එකල අමෙරිකා එක්සත් ජනපදයේ වහල් සේවය සඳහා අලෙවි කළ සියයකට වැඩි පිරිසක් සමඟ ඇය ක්ලොටිල්ඩා නෞකාවේ භාරයට පත් ව ඇත. දොළොස් හැවිරිදි වියේ පසු වූ ඇය එම නෞකාවේ ම සිටි බටහිර අප්‍රිකාවේ පුද්ගලයකුට බලහත්කාරයෙන් විවාහ කර දීමට ද ජාවාරම්කරුවන් කටයුතු කර තිබිණි. එම පුද්ගලයා ඒ වන විටත් විවාහක අයකු ව සිටි අතර පසුකාලීනව ඔහු ‘බිලී මාමා’ යන අන්වර්ථ නාමයෙන් හැඳින්විණි.
පසුකාලීනව සිවිල් ක්‍රියාකාරිනියක වූ අමිලියා බෝයින්ටන් රොබින්සන් සමඟ රෙඩෝෂි එම විවාහය පිළිබඳ ව අදහස් දක්වා තිබේ. එම සම්මුඛ සාකච්ඡාව අතරතුර ඇය සඳහන් කළේ:
“ඒ වනවිට මට වයස අවුරුදු 12යි. ඔහු අප්‍රිකාවේ දරුපවුලක් සිටි පුද්ගලයෙක්. ඔහු කතා කළ භාෂාව තේරුම් ගන්න මටවත්, මම කතා කළ භාෂාව තේරුම් ගන්න ඔහුටවත් හැකි වුනේ නැහැ. නමුත් නෞකාවේ සිටි ජාවාරම්කරුවන් අපිව එක කුටියක රඳවා තැබුවා,” කියා ය.
නෞකාව ඇලබාමා ප්‍රාන්තයට ළඟා වීම
රෙඩෝෂි ඇතුළු පිරිස රැගත් ක්ලොටිල්ඩා නෞකාව, අමෙරිකා එක්සත් ජනපදයේ අග්නිදිග ප්‍රදේශයට වන්නට පිහිටි ඇලබාමා ප්‍රාන්තයට ළඟා වූ පසු රෙඩෝෂි සහ ඇගේ සැමියා මිල දී ගත්තේ වොෂින්ටන් ස්මිත් නම් ව්‍යාපාරිකයා ය. ස්මිත්, ඇලබාමා ප්‍රාන්තයේ ජීවත් වූ ධනවත් ම ව්‍යාපාරිකයන් අතරින් එක් අයෙකි. ඔහුට අයත් ගොවිපොළ සහ නිවාස සංකීර්ණ කිහිපයක් එම ප්‍රදේශයේ පිහිටා තිබිණි. ස්මිත් රෙඩෝෂිට ‘සැලී ස්මිත්’ යනුවෙන් අන්වර්ථ නාමයක් යෙදූ අතර ඇයට සිදු වූයේ සිය හාම්පුතාට අයත් ගොවිපොළවල සහ නිවෙස්වල සේවය කිරීමට ය.
තවත් විශේෂ සිදුවීමක් වන්නේ රෙඩෝෂි අල්ලාගෙන ජාවාරම්කරුවන්ට අලෙවි කළ පුද්ගලයන් දෙදෙනා ද ඇය පැමිණි නෞකාවෙන් ම වහල් සේවය සඳහා අමෙරිකා එක්සත් ජනපදයට රැගෙන විත් තිබීම ය. ඔවුන් රෙඩෝෂි සේවය කළ ගොවිපොළවලට යාබද වගාබිම්වල සේවය කර ඇති නමුත් ඇය කිසිවිටෙක ඔවුන්ට සමාව නොදුන් බව කියැවේ.
වහල් සේවය තහනම් කිරීම
වසර පහකට ආසන්න කාලයක් ස්මිත්ට අයත් ගොවිපොළවල සහ නිවෙස්වල සේවය කළ රෙඩෝෂිට වයස අවුරුදු 17 සම්පුර්ණ වන විට, එනම්, 1865 වසරේ ජූනි මස දී, අමෙරිකා එක්සත් ජනපදයේ වහල් සේවයේ යෙදුණු සියලු දෙනාට නිදහස ලබා දීම සඳහා වන නීති ප්‍රතිසංස්කරණ සම්මත විය. කෙසේ වෙතත් බටහිර අප්‍රිකාවේ පිහිටි සිය ගම් ප්‍රදේශයට යාමට ක්‍රමයක් නොතිබූ බැවින් ඇය දිගට ම සිය සැමියා සහ දියණිය සමඟ ස්මිත්ගේ ගොවිපොළවල සේවය කළා ය.
ස්මිත් 1869 වසරේ දී මිය ගිය බැවින් එතැන් පටන් එම ගොවිපොළවල පාලනය ඔහුගේ බිරියට පැවරිණි. එකල එම ගොවිපොළවල සේවය කළ අයට ද ඒවායේ කොටස් හිමිකාරිත්වය තිබූ නමුත් වැවිලි සමාගම් හිමිකරුවන් වාර්ෂික ගිණුම් වාර්තා සකස් කළේ ඒවායේ ආදායම ඔවුන්ට පමණක් (සමාගම් හිමිකරුවන්) ලැබෙන පරිද්දෙනි.
ඒ අනුව රෙඩෝෂි වැනි සේවකයන්ට ඉඩම් හිමිකාරිත්වය තිබුණත් සැලකිය යුතු මූල්‍යමය වත්කමක් නොතිබීම හේතුවෙන් ඔවුන්ට දිළිඳු ජිවිතයක් ගත කරන්නට සිදු විය. 1910 සහ 1920 අතර කාලයේ දී රෙඩෝෂි ගේ සැමියා මිය ගිය බැවින් ඇය සිය දියණිය ද රැක බලා ගෙන එම ප්‍රදේශයේ ම ජිවත් වූවා ය.
අවසාන කාලය
රෙඩෝෂි සහ අනිකුත් වහල් සේවයේ යෙදුණු පිරිස් පසුකාලීන ව ඔවුන් සේවය කළ වගාබිම්වලින් අක්කර 6,000කට පමණ හිමිකම් කියා තිබේ. ඒ අනුව වහල් සේවයෙන් නිදහස ලබා වසර 72ක් වැනි දීර්ඝ කාලයක් තිස්සේ අමෙරිකා එක්සත් ජනපදයේ ජිවත් වූ රෙඩෝෂි 1937 වසරේ දී මිය ගියා ය. ඇගේ දියණිය ද විවාහ වී දරුවන් ලබා අමෙරිකා එක්සත් ජනපදයේ ම ජිවත් වූ බව කියැ වේ.
සිවිල් සංවිධාන සහ ජනමාධ්‍යවල අවධානයට ලක් වූ රෙඩෝෂි
එක්සත් රාජධානියේ නිව්කාසල් විශ්වවිද්‍යාලයේ ආචාර්යවරියක වූ හැනා ඩර්කින් වරක් රෙඩෝෂි ගේ ජිවිත කතාව අළලා වාර්තාවක් සකස් කර තිබේ. එහි දැක්වෙන්නේ ක්ලොටිල්ඩා නෞකාවෙන් වහල් සේවය සඳහා අමෙරිකා එක්සත් ජනපදයට ප්‍රවාහනය කළ පිරිස අතරින් අවසන් වරට වහල් සේවයෙන් මිදුණු පුද්ගලයා ඇය බව ය. ඇය හඳුනා ගැනීමට ප්‍රථම එම වාර්තාවට හිමිකම් කියා ඇත්තේ ක්ලොටිල්ඩා නෞකාවෙන් ම අමෙරිකා එක්සත් ජනපදයට ප්‍රවාහනය කළ කුඩ්ජෝ ලුවිස් නම් පුද්ගලයා ය.
රෙඩෝෂි පිළිබඳ ලියැවී ඇති සමහර වාර්තාවල දැක්වෙන්නේ ඇයට ජෙසී ස්මිත් නමින් පුතකු සිටි බව යි. කෙසේ නමුත් බොහෝ දෙනකු සඳහන් කරන්නේ ඇයට සිට ඇත්තේ දියණියක් පමණක් බව ය. තඇලබාමා ප්‍රාන්තයේ ජනප්‍රිය දිනපතා පුවත්පතක් වන ‘මොන්ට්ගොමරි ඇඩ්වටයිසර්’ පුවත්පතේ ඇය පිළිබඳ පළ වූ ලිපියක සඳහන් වන්නේ වහල් ජාවාරම්කරුවන් ඇය අල්ලාගන්නා විට රෙඩෝෂිට වයස අවුරුදු 25ක් බව යි.
1938 වසරේ පටිගත කළ අධ්‍යාපනික චිත්‍රපටයක ජවනිකාවක පෙනීසිටීමට ද රෙඩෝෂි ට අවස්ථාව ලැබිණි. ‘කළු ජාතිකන්ගේ ග්‍රාමීය ජිවිතය පිලිබඳ පිතෘ මුලික සටහනක්’ යන තේමාව යටතේ නිෂ්පදනය කළ එම චිත්‍රපටයේ ඉතා කෙටි ජවනිකාවක රෙඩෝෂි පෙනී සිටියේ චිත්‍රපටයකට පෙනී සිටීමට අවස්ථාව ලද එකම වහල් සේවයේ යෙදුණු කාන්තාව බවට පත් වෙමිනි. ඊට අමතර ව ඇය පිළිබඳව තවත් වාර්තා සහ පුවත්පත් ලිපි රාශියක් ලියැවී ඇත.