Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලංකාව ජාත්‍යන්තරයට ගෙන ගිය ආශා ඩි වොස් හා හසිනි ජයතිලක

2018 වසරේ ලෝකයට බලපෑමක් එල්ල කළ හැකි කාන්තාවන් 100 දෙනා (list of 100 inspiring and influential women from around the world for 2018) පසුගිය දා BBC සේවය විසින් නම් කරනු ලැබුවා. මේ අතරට ශ්‍රී ලංකාවේ සාගර විද්‍යාඥවරියක් වන ආශා ඩි වොස් ඇතුළත් ව සිටිනවා.

ඒ වගේ ම ෆෝබ්ස් සගරාව විසින් පසුගිය දා ලෝකයේ අනාගත සුබ සිද්ධිය උදෙසා විද්‍යාත්මක නව සොයාගැනීම් කළ, ලෝකයේ වයස අවුරුදු 30ට අඩු 30 දෙනා (30 Under 30 In Science) අතරට ඇතුළත් වීමට ශ්‍රී ලාංකික හෂිනි ජයතිලක සමත් වෙනවා.

ඉතින් අද ලිපිය මේ ශ්‍රී ලාංකික කාන්තාවන් දෙපළ පිළිබඳ ව යි.

නිල් තල්මසුන් පිළිබඳ ව අධ්‍යයනය කරන ආශා ඩි වොස්

ආශා ඩි වොස් (TED.com)

ලොවට බලපෑමක් කළ හැකි 2018 වසරේ කාන්තාවන්ගේ ලැයිස්තුව BBC සේවය විසින් පසුගිය දිනෙක මාධ්‍යයට මුදා හරිනවා. මේ ලැයිස්තුව සඳහා කාන්තාවන් 100 දෙනෙක්ගේ නම් ඇතුළත් කර තිබූ අතර, ඔවුන් අවුරුදු 15 සිට 94 දක්වා වයස් කාණ්ඩවලට අයිති වෙනවා. තව ද, මේ කාන්තාවන් 100 දෙනා රටවල් 60ක පමණ නියෝජනයක්.

මෙම ලැයිස්තුවේ 39 හැවිරිදි ශ්‍රී ලාංකික සාගර විද්‍යාඥවරියක් වන ආශා ඩි වොස්ට 23 වන ස්ථානය හිමි වී තිබෙනවා. ඇය ව මෙම ලැයිස්තුවට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් BBC සේවය සඳහන් කර තිබෙන්නේ, සාගර ජෛව විවිධත්වය සංරක්ෂණය හා වැඩි දියුණු කිරීම සඳහා ඇය කරනු ලබන සේවාව යි.

ප්‍රාථමික අධ්‍යාපනය කොළඹ කාන්තා විද්‍යාලයෙන් නිමකරන ඇය, උසස් අධ්‍යාපනය සඳහා සාගර පරිසර විද්‍යාව හැදෑරීම සඳහා ස්කොට්ලන්තයේ  ශාන්ත ඇන්ඩෘ විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් තම විද්‍යාපති උපාධිය සම්පූර්ණ කරන ඇය, තම ආචාර්ය උපාධිය ලබා ගන්නේ බටහිර ඕස්ට්‍රේලියා විශ්වවිද්‍යාලයෙන්. සාගර ක්ෂීරපායින්  පිළිබඳ ව ආචාර්ය උපාධියක් ලැබූ ප්‍රථම හා එක ම ශ්‍රී ලාංකිකයා වන්නේ ද ඇය යි.

ඇය වසර ගණනාවක සිට උතුරු ඉන්දීය සාගරයේ නිල් තල්මසුන් පිළිබඳව අධ්‍යයනය කරමින් සිටින අතර, නිල් තල්මසුන් රැකගැනීම සඳහා දැඩි උත්සාහයක යෙදෙන විද්‍යාඥවරියක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්.

ආශා ඩි වොස් (National Geographic Society)

ලොව ඉතා ම කාර්යබහුල නාවික මාර්ගයක් ශ්‍රී ලංකා මුහුදු ප්‍රදේශය හරහා වැටී තිබෙන බැවින් ඒ ඔස්සේ ගමන් කරන විශාල නෞකා නිල් තල්මසුන්ගේ ජීවිතවලට හානියක් බවත් ඇය විසින් පෙන්වා දෙනවා.

සාගර පරිසරය සමතුලිත ව පවත්වා ගැනීමට ඉතා මෙහෙයක් ඉටුකරන නිල් තල්මසා ආරක්ෂා කරගන්නේ කෙසේ ද යන්න ඇමෙරිකාවේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ මේ වන විට ඇය පර්යේෂණයක් සිදුකරමින් සිටිනවා.

අප රටට ඇති අතිදැවැන්ත සාගර සම්පත පිළිබඳ ව ශ්‍රී ලාංකිකයන් ව දැනුවත් කිරීම ඇයගේ අරමුණක් බව පවසන ආශා ඩි වොස්,  ඒ හරහා ලංකා සාගරයේ සම්පත් විධිමත් ලෙස ලෝකයට හඳුන්වා දිය යුතු බවත් ප්‍රකාශ කරනවා.

පිළිකා පිළිබඳ ව පර්යේෂණ පවත්වන හසිනි ජයතිලක  

හසිනි ජයතිලක (TED.com)

පසුගිය දා ෆෝබ්ස් සඟරාව විසින් ලෝකයේ වයස අවුරුදු 30ට අඩු ප්‍රබලතම පර්යේෂකයන් තිස් දෙනා ලෝකයට හඳුන්වා දෙනවා. ඒ අතරට ඇමෙරිකාවේ ජෝන්ස් හොප්කින්ස් සරසවියේ තම ආචාර්ය උපාධිය සඳහා පර්යේෂණ කටයුතු සිදුකරන වයස අවුරුදු 28ක් වූ ශ්‍රී ලාංකික තරුණියක ද ඇතුළත් වෙනවා. ඇය හසිනි ජයතිලක යි.

ශ්‍රී ලංකාවේ උපත ලබන හසිනි ජයතිලක, මූලික අධ්‍යාපනය හදාරන්නේ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයෙන්. පසු ව, ප්‍රථම උපාධිය ලබා ගැනීම සඳහා ඇමෙරිකාවේ ජෝන් හොප්කින්ස් සරසවියට ඇතුළත් වෙනවා.

අණුක ජීව විද්‍යාව පිළිබඳ ව තම පර්යේෂණ සිදුකරන ඇය මෙතෙක් ලොවට හෙළි නොවූ පිළිකා සෛලවල ක්‍රියාකාරිත්වය හෙළි කරනවා. ශරීරයේ යම්කිසි ස්ථානයක ඇති සෛල වෙනස් ආකාරයකට පිළියෙල වී, එම ස්ථානයේ සිට තවත් ස්ථාන දක්වා ගමන් කිරීම පිලිකාවක සාමාන්‍ය  ලක්ෂණය ලෙස හඳුන්වා දිය හැකි යි. මෙසේ එක ස්ථානයක සිට තවත් තැනකට පිළිකාව පැතිරීමේ ක්‍රියාවලිය අවුල් කළහොත් හෝ වැළක්වුවහොත් එය පිළිකාව මර්දනය කිරීමට ඉමහත් රුකුලක් බව හසිනි පෙන්වා දෙනවා.

එසේ ගමන් කරන පිළිකා සෛල නැවැත්විය හැකි වන්නේ කෙසේ ද යන්න මේ වන විටත් විවිධ දේ උපයෝගී කර ගනිමින් පර්යේෂණ සිදුකරන බව ඇය පවසනවා.

නුදුරු දිනෙක දී ම මෙම පර්යේෂණ ඔස්සේ පිළිකා සම්පූර්ණයෙන් සුව කිරීමට අවශ්‍ය ක්‍රමයක් ලැබෙනු ඇති බව යි හසිනි පවසන්නේ.

හසිනි ජයතිලක (Boston Herald)

ෆෝබ්ස් සගරාව විසින් ඇයට ජාත්‍යන්තර කීර්තියක් හිමිකර දීමෙන්, ඇගේ මෙම පර්යේෂණ පිළිබඳ ව දේශන පැවැත්වීමට මේ වන විට ලෝකය පුරා රටවලින් ආරාධනා ලැබෙන බව සඳහන් වෙනවා. තව ද, ඇය මේ වන විට පිළිකා සම්බන්ධයෙන් ඇමරිකාවේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ තම පර්යේෂණ සිදුකරමින් සිටිනවා.

තමන්ගේ පර්යේෂණවලින් කවදා හෝ තම මවු රටට සේවයක් කිරීමට අදහස් කරන බවත්, ඇය වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.

 

කවරයේ පින්තූරය: Roar Team

මූලාශ්‍රයයන්:

bbc.com

forbes.com

silumina.lk

twitter.com

Related Articles