Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අනාචාරය තුළ සතුට සොයා ගිය අධිරාජිනිය මෙසලිනා වැලරියා

එවකට සමාජයේ කිසියම් කාන්තාවක් මෙසලිනා වැලරියා කෙනකු ලෙස සමච්චලයෙන් හැඳින්වූයේ නම් ඒ ඉතාම සදාචාර විරෝධී, වංචනික, ලිංගික අතෘප්තියෙන් පෙළුණු ජුගුප්සාජනක කාන්තාවක් බවට ඇඟවීමට යි. මෙසලිනා වැලරියා යනු රෝම ඉතිහාසයේ බිහි වූ අපූර්ව චරිතයක් හිමි ප්‍රභූ කාන්තාවකි. ඇය සම්බන්ධ ව ජනසමාජය තුළ එවකට පැතිර පැවතියේ ඉතාම නින්දාසහගත කථා පුවත් ය.

ඇයගේ අපූර්වත්වය වන්නේ අතෘප්තකර අධික ලිංගික ආශාව සමඟ මිශ්‍ර වූ රෝම අධිරාජ්‍යයේ ආධිපත්‍යය දැරීමට දැක්වූ අධික ලොල්කම බව මූලාශ්‍ර සඳහන් කරයි. අනිසි බලය, ලිංගික ආශාව සහ අනාචාරය උදෙසා ස්වකීය අතෘප්තකරභාවය සමඟ කටයුතු කළ ඇය ඒ නිසා ම ඇගේ අවසානය ළඟා කරගත්තියක වූවා ය.

මෙසලිනා – www.ancient-origins.net

 

මෙසලිනා වැලරියා 

ඇයගේ උපත ක්‍රිස්තු වර්ෂ 17 හෝ 20 අතර කාලයක දී සිදු වූ බවට නිගමනය කෙරෙන අතර ඇගේ මරණය ක්‍රිස්තුවර්ෂ 48දී හෝ ඊට ආසන්න කලකදී සිදුවූ බව ද පිළිගැනේ. ඇගේ පියා මාකස් වැලරියස් මෙසල්ලා බාබටස් බවට සඳහන් වන අතර ඇගේ මව ඩොමිටියා ලෙපිඩා යනුවෙන් සඳහන් වේ. මෙසලිනා වැලරියා ගේ මරණය සිදු වී ඇත්තේ ඇයට වයස අවුරුදු 28ත් 31ත් අතර කාලයේ දී රෝමයේ ලුකුලස් උද්‍යානයේදී බවට තොරතුරු සඳහන් කරයි.

ඇයට දරුවන් දෙදෙනකු සිටි අතර පිරිමි දරුවා බ්‍රිටනිකස් වූ අතර ගැහැනු දරුවා ක්ලෝඩියා ඔක්ටේවියා විය. මෙසලිනා වැලරියාගේ සමානකාලිනයන් හැටියට කලිගුලා අධිරාජයා, නීරෝ අධිරාජයා, ක්ලෝඩියස්, ටයිබීරියස් වැනි කූප්‍රකට චරිත නාම සඳහන් වේ. මෙසලිනා උපතින් ම බලවත් වංශාධිපති පවුලක උරුමය ලද කාන්තාවකි. ඥාතිත්වයෙන් ඔගස්ටස් සීසර් අධිරාජයා ඇගේ මුත්තනුවකු වූ අතර, ලෝක ප්‍රකට නීරෝ අධිරාජයා සහ කලිගියුලා අධිරාජයා පරම්පරා ලේ උරුමයෙන් ම ඇගේ ඥාතී සොයුරෝ වූහ.

මෙසලිනා වැලරියාගේ සැමියා ක්ලෝඩියස් සීසර් – www.history.com

 

මෙසලිනා වැලරියාගේ විවාහ ජීවිතය

ඇය විවාහ ජීවිතයට ඇතුළත් වන්නේ ක්‍රිස්තු වර්ෂ 38 දී පමණ යැයි මූලාශ්‍ර සඳහන් කරයි. විවාහ දිවියට පෙරාතු ව ඇගේ චර්යාව හෝ සමාජ ජීවිතය ගැන එතරම් විස්තරාත්මක සඳහනක් නොමැත. ඇය විවාහ වන්නේ ඇගේ ම පළමු ඥාති සොයුරා වන ක්ලෝඩියස් සමඟ ය. එවිට ඔහුගේ වයස අවුරුදු 47කි.

ක්ලෝඩියා ඔක්ටේවියා නම් වූ ඇගේ දියණිය පසුව නීරෝ අධිරාජයාගේ පළමු බිරිය බවට පත්වන අතර, ක්‍රිස්තු වර්ෂ 41දී කලිගියුලා අධිරාජයාගේ ඝාතනයෙන් පසුව සෙනට් සභාව ඇගේ ස්වාමිපුරුෂයා වූ ක්ලෝඩියස් සීසර් රෝම අධිරාජයා ලෙස පත්කරනු ලැබීමෙන් මෙසලිනා වැලරියා නව අධිරාජිනිය ලෙස පත් වූවා ය.

 මෙසලිනා ස්වකීය පුත්‍රයා බ්‍රිටනිකස් සමඟ – juliaherdman.com 

 

මෙසලිනා වැලරියා අධිරාජිනියගේ ස්වභාවය

ක්ලෝඩියස් සීසර් රෝම අධිරාජයා ලෙස පත්කරනු ලැබීමෙන් පසුව, සිහසුනේ අධිරාජිනිය වූ ඇය තමන්ට අවශ්‍ය දේ බලහත්කාරයෙන් හෝ පැහැරගන්නා, අනුකම්පා විරහිත, අසීමිත ලිංගික පිපාසයෙන් පෙළුණු කෲර ගැහැනියක් ලෙස ඉතිහාස වංශ කථාවට එක්වූවා ය. කෙතරම් දේශපාලන බලයක් සහිතව සිටියත් තම සැමියා වූ අධිරාජයා ඇය ඉතාම පහසුවෙන් ඇයට අවශ්‍ය පරිදි මෙහෙයවන්නට තරම් සූක්ෂම වූවා ය. එය කෙතරම් සූක්ෂම වූවා ද යත් ඇගේ අතෘප්තකර අනාචාර ලිංගික ජීවිතය පවා ඔහු නොදුටුවා නොදන්නා සේ නිහඬ ව තැබීමට තරම් එය බලවත් විය. ඇය ඉතාම රළු අනුකම්පා විරහිත ගති ලක්ෂණවලින් ද යුක්ත වූවායැයි රෝමානු ඉතිහාස ලේඛකයන් සඳහන් කර ඇත.

විශේෂයෙන්ම ඇය තමාගේ වැඩකටයුතුවලට හරස් වන අයට සහ තමා නොරුස්සන අයට කිසිදු අනුකම්පාවක් නොදැක්වූවා ය. ඔවුන් පාගා දැමීමට හෝ නිහඬ කරවීමට ඇය කිසිදු විටෙක පසුබට නොවුවා ය. ස්වකීය සැමියා වූ ක්ලෝඩියස් අධිරාජයාගේ පාර්ශවයේ කාන්තාවන් කෙරෙහි වි‍ශේෂයෙන් ම ඇගේ කිසිදු සතුටක් නොතිබිණි. මෙසලිනාගේ ඥාති සොයුරා වූ කලිගුලා අධිරාජයාගේ ඝාතනයෙන් පසු ව ක්ලෝඩියස් ගේ ලේලියක වූ ජුලියා ලී විලා පිටුවහල් කිරීමට ඇය උත්සුක වූයේ සෙනෙකා ද යන්ගර් නමැත්තා සමඟ අනාචාරයේ හැසිරුණායි යන චෝදනාව නඟමිනි.

එමෙන්ම ඇගේ මවගේ දෙවන සැමියා වූ හිස්පානියා ප්‍රාන්තයේ පාලකයකු ව සිටි ගයිස් අපියුස් ජූනියස් සිලනස් ඇය ඝාතනය කර වූ  අතර එයට හේතුව ලෙස සමහරුන් පවසා තිබෙන්නේ ඇගේ සුළු පියා ඇයට ආදරය කිරීමට අකමැති වීම බව යි. ඇය මාකස් විනිසියස් නමැත්තාට වස දී ඝාතනය කරවූයේ ද ඇය සමඟ අනියම් ඇසුරක් පැවැත්වීම ඔහු ප්‍රතික්ෂේප කිරීම නිසා බව සඳහන් වේ.

මෙසලිනා ග්ලැඩියේටර් පුරුෂයකු සමඟ – https://steemkr.com

 

මෙසලිනාගේ අනාචාර ජීවිතය

රෝමානු ඉතිහාස ලේඛකයන් නිරන්තරයෙන් ම ඇය හැඳින්වූයේ, ඇගේ කාලයේ සිටි කාන්තාවන් අතර ඇය වඩාත් ම සිත් ඇදගන්නා මනලෝලී සුරූපී සුන්දර කාන්තාවක් ලෙසට ය. තමාට වඩා බොහෝ වයස්ගත සැමියෙක් ඇයට සිටි නමුත් ඔහුට සිය බිරියට වඩා මහත් විශාල අධිරාජයක් පිළිබඳ ව සොයා බලන්නට සිදුවූයේ ඔහු එහි අධිරාජයා නිසාවෙනි. ආරංචි මාර්ග සඳහන් කර තිබෙන්නේ මෙසලිනාට පෙම්වතුන් සියයත් දෙසීයත් අතර ප්‍රමාණයක් සිටි බව යි. ඇගේ ප්‍රියත ම විනෝදාස්වාදන කටයුතුවලින් ප්‍රමුඛ කටයුත්ත වී තිබුණේ තම සැමියා වූ රෝම අධිරාජයා වන ක්ලෝඩියස් රාත්‍රී නින්දට වන් සැණින් කාටත් හොරා වෙස් වලාගෙන අධිරාජ මාලිගයෙන් පිට ව යාම ය.

ඇය යන්නේ ගණිකාවන් සේවයේ යෙදී සිටි ගණිකා නිවාසයක් වෙත ය. එසේත් නැතිනම් බොහෝ පිරිමින් සමඟ පසුදා පහන්වන තුරු යහන්ගත වියහැකි ස්ථාන වෙත ය. බහු පුරුෂ ඇසුර දිගු රාත්‍රියක් පුරා විඳ ගන්නා ඇය පසුදා පහන්වන හෝරාවට නැවත අධිරාජ මාලිගයට පැමිනෙන්නී ය. වරෙක ඇය සුප්‍රසිද්ධ රෝම ගණිකාවක් සමග තරගයකට පවා සහභාගි වූ බව වාර්තාවල සඳහන් ය. තරගය වූවේ පැය විසිහතරක් තුළ ඔවුන් දෙදෙනා අතරින්, වැඩි ම පිරිමින් ප්‍රමාණයක් සමඟ යහන්ගත වන්නේ කවුදැයි යන ඔට්ටුව යි. මෙසලිනා එයින් ජය ලබන්නේ පැය විසිහතරක් තුළ පිරිමින් විසිපස් දෙනකු සමඟ එක්වීමෙනි. ඇය ඒ තරමට කාමාශාක්ත එමෙන් ම ශක්තිමත් ගැහැනියක් වූවා ය.

මෙසලිනාගේ මව ඩොමිටියා ලෙපිඩා – en.wikipedia.org

 

මෙසලිනාගේ රහස් විවාහය

ක්ලෝඩියස් අධිරාජයා නව වරායක් ඉදිකිරීමේ කටයුත්තක් පිළිබඳ ව නිරීක්ෂණ චාරිකාවක් සඳහා රෝමයෙන් බැහැර ව පිටත් ව ගොස් සිටියදී මෙසලිනා ඇගේ ළාබාල කඩවසම් පෙම්වතා වූ ගයිස් සිලියස් සමඟ හදිසියේ ම විවාහ වූවා ය. ගයිස් සිලියස් එවකට රෝම අධිරාජයේ සෙනෙට් සභිකයෙක් විය. ඔහු මෙසලිනා අනුරාගයෙන් සහ ආශාවන්ගෙන් වඩාත් මුසපත් කළ පෙම්වතා වීමේ හේතුවෙන් ඇය ඔහුට බල කලේ ඔහුගේ බිරිය වූ ජූනියා සිලානා ගෙන් දික්කසාද වන ලෙසට ය. එමෙන්ම ගයිස් සිලියස්ට ඔහුගේ විවාහයෙන් දරුවන් නොසිටි බැවින් ඇගේ පුත්‍රයා වූ බ්‍රිටැනිකස් දරුකමට ඔහුට පැවරීමටත් ඇය අපේක්ෂා කළා ය.

ක්ලෝඩියස් අධිරාජයා රෝමයෙන් බැහැර වූ අවස්ථාව බලා වහා ක්‍රියාත්මක වූ මෙසලිනා සහ ගයිස් සිලියස් මිල අධික මහත් උජාරු විවාහ උත්සවයක් සංවිධානය කොට විවාපත් වූයේ ගයිස් සිලියස්ගේ භාර්යාව ද දික්කසාදයට ඇද දමමිනි. එළිපිට නූනත් මෙසලිනාට බොහෝ සතුරෝ සිටියහ. ඔවුන් මේ අවස්ථාව තම වාසියට යොදා ගැනීම සඳහා ඔවුන් දෙදෙනාගේ විවාහය පිළිබඳ සියලු තතු ක්ලෝඩියස් වෙත හෙළිකිරීමට කටයුතු කරන්නට වූහ. රෝම ඉතිහාස රචකයන්ගේ සටහන් අනුව ඇය ගයිස් සිලියස් සමඟ විවාහ වන්නේ ඇගේ වියපත් සැමියා වූ ක්ලෝඩියස් අධිරාජයා ඝාතනය කොට රෝම අධිරාජයේ සිහසුන ගයිස් සිලියස්ට ලබා දීමේ කුමන්ත්‍රණයද අතැතිව ය. ඒ බව ද, ඇගේ සතුරන් ක්ලෝඩියස් අධිරාජයායා වෙත දැනුම්දී මට කටයුතු කර තිබිණී.

මෙසලිනාගේ මරණය – commons.wikimedia.org 

 

මෙසලිනාගේ ජීවිත අවසානය

ඇය ස්වකීය සැමියා වූ ක්ලෝඩියස් සීසර් අධිරාජයා බලයෙන් පහකොට ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය මෙන් ම ඇගේ හදිසි එහෙත් උජාරු විවාහය පිළිබඳ සියලු තතු ක්ලෝඩියස් වෙත හෙළි කළේ නාර්කිසස් නම් වූ අයකුගේ මූලිකත්වයෙනි. තම සැලසුම් සියල්ල ව්‍යවර්ථ වී ඇති බවත්, තම ජීවිතය අවදානමක ඇති බවත් වටහා ගන්නා මෙසලිනා සුපුරුදු පරිදි තම සැමියා තමාට අවැසි පරිදි මෙහෙයවමින්, තවදුරටත් රෝම අධිරාජයාගේ නාමික බිරිය වී අධිරාජිනිය ලෙස සිටින්නට ඇති බලවත් කෑදරකම මත, ඔහුගෙන් සමාව අයැද සිටින්නට තීරණය කළා ය. සියලු කාරණා නාර්කිසස් ඇතුළු පිරිසගෙන් හෙළි වී තිබියදීත් රෝමයට නැවත පැමිණෙන ක්ලෝඩියස් තුළ ඇයට දඬුවම් දීමට තරම් දැඩි බවක් නොතිබුණු අතර ඒ පිළිබඳ ව ඔහු තුළ තිබුණේ ව්‍යාකූල බව මුසු උදාසීන බවක් බවට සඳහන්ව ඇත. 

නාර්කිසස් ඇතුළු පාර්ශවය ඇගේ වැරදි බරපතල ආකාරයට හුවා දක්වමින් ඇයට දඬුවම් දිය යුතු තැනට මතයක් ගොඩනඟන අතර නාර්කිසස් පෙනී සිටියේ ඔහු ක්ලෝඩියස් සීසර් අධිරාජයාගේ උපදෙස් මත ක්‍රියාකරන්නකු ලෙසට ය. ඒ මවා පෑම තුළ ඔහු ආරක්ෂක හමුදාවේ සෙබළකුට ඇය ඝාතනය කිරීමේ නියෝගය දුන්නේ ය. මෙසලිනා තම මවගේ පිළිසරණ සොයා ලුකුලස් උද්‍යානයට ගොස් ඇති අතර ආරක්ෂක නිලධාරින් පැමිණ ඇයට සිය දිවි නසාගන්නා ලෙස බල කර ඇත. එහෙත් සියතින් ම ගෙල කපා ගැනීමට තරම් ධෛර්යයක් එවෙලේ ඇයට නොතිබී ඇති අතර එක් ආරක්ෂකයකු ගේ අසිපතකින් ඒ කාර්යය සිදුවීමෙන් අනතුරුව ඇගේ මරණය සිදු වී ඇතැයි මූලාශ්‍ර සඳහන් කරයි. මෙම විස්තරය ඇසූ ක්ලෝඩියස් සුපුරුදු උදාසීන ව්‍යාකූලභාවයේ ගිලී සිටිමින් ම තවත් වයින් බඳුනක් ඉල්ලා සිටි බැව් සඳහන් වේ.

කවරයේ ඡායාරූපය - අධිරාජිනිය-මෙසලිනා - www.ancient-origins.net

මූලාශ්‍ර:

 historyofyesterday.com

 juliaherdman.com

 www.ancientworldmagazine.com

 medium.com

 www.encyclopedia.com

 www.worldhistory.org

Related Articles