2009 වර්ෂයේ ජූලි මාසය වනවිට පොප් සංගීතයේ රජු ලෙස කිරුළු පැළඳූ මයිකල් ජැක්සන්, ලෝකය පුරා විහිදුණු ඔහුගේ මිලියන ගණනක රසිකයන් නැවතත් අමන්දානන්දයට පත් කිරීමේ සූදානමින් සිටියා. ඔහුගේ “This Is It” ප්‍රසංග මාලාව ලන්ඩනයේ දී 2009 ජූලි මස 13 වැනිදා ඇරඹීමට නියමිතව තිබූ අතර, ප්‍රවේශ පත්‍ර සියල්ල ම පාහේ විකිණී අවසන් ව තිබුණා. ප්‍රසංග මාලාවේ පළමු අදියර ඇරඹීමට සති තුනකටත් අවම කාලයක් තිබිය දී ඔහුගේ රසිකයන්ට අසන්නට ලැබුණේ හද කම්පා කරවන පුවතක්. 2009 ජුනි 25 වැනිදා මයිකල් ජැක්සන් ඔහුගේ රසිකයන් සදහට ම මතක තුළ අතරමං කොට අවසන් හුස්ම හෙළා තිබුණා.
මයිකල් ජැක්සන් යනු ප්‍රසිද්ධිය තරමට ම ජනප්‍රිය වූ බොහෝ දුර්ලභ ගණයේ ගායකයෙක්. වයස් භේදයකින්, ජාතීන්ගේ භේදයකින් තොර ව ඔහුගේ නාමය ලෝකය පුරා පැතිරී තිබුණා. සෑම පුද්ගලයෙක්ම ඔහුගේ රසිකයන් නොවන්නට ඇති. නමුත්, ඕනෑම පුද්ගලයකු අඩුම තරමේ “මයිකල් ජැක්සන්” යන නාමය හෝ අසා තිබේයැ යි සඳහන් කිරීම අතිශයෝක්තියක් නොවෙ යි. ඔහු නිර්මාණය කරගත් ප්‍රසිද්ධිය සම කිරීමට සමත් වූ වෙනත් ජාත්‍යන්තර මට්ටමේ ගායකයෙක් තවම බිහි වී නැහැ.
මයිකල් ජැක්සන්ගේ මුළු ජීවිතය ම ආන්දෝලනාත්මක සිද්ධීන්වලින් ගහණ වූ එකක්. ඔහුගේ මරණය සම්බන්ධයෙන් පවා විවිධ ආන්දෝලනාත්මක පුවත් බොහෝ කාලයක් යනතුරු නිර්මාණය වුණා. මේ ලිපිය වෙන් වන්නේ එවැනි ආන්දෝලනාත්මක සිදුවීම් වෙනුවෙන් නම් නොවෙයි. පොදුවේ විමසා බැලුවොත්, ඔහුත් අපි වගේ ම මනුෂ්‍යයෙක්. පුද්ගලයකු ලෙස ඔහු ඉතා විශිෂ්ට අන්දමින් සිය ජීවිතය සාර්ථක කර ගත් බව පෙනෙන්නට තිබුණත්, සැබැවින් ම ඔහුට අවශ්‍ය කළ ජීවිතය එය ම ද? නැතිනම් ආදරණීය පොප් රජුට කෙසේ හෝ එය භාර ගැනීමට සිදු වුණා ද?
පීටර් පෑන්ට පෙම් බැඳි මයිකල්
උසස් විදුහලට ඇතුළු වීමේ වයසට එළඹීමටත් පෙර ගායකයකු ලෙස සාර්ථක වෘත්තීය ජීවිතයක් ගත කළ “කුඩා දරුවකු” වශයෙන් මයිකල් ජැක්සන්ගේ ළමා කාලය හැඳින්විය හැකි යි. 1970 දශකයේ මුල් භාගය වනවිට කුඩා මයිකල් (උපන් වර්ෂය 1958) “The Jackson 5” හරහා සිය දක්ෂතා ප්‍රදර්ශනය කළ අතර, “I Want You Back”, “I’ll Be There” යන ගීත හරහා කණ්ඩායමක් ලෙස ලැබූ සාර්ථකත්වයේ පහස මයිකල් ජැක්සන්ටත් විඳීමට හැකි වුණා. බොහෝ දරුවන්ට නොලැබෙන ඉතා දුර්ලභ ගණයේ හැකියාවක් සහ වාසනා ගුණයක් කුඩා මයිකල් වටා ගොඩ නැඟී තිබුණා. නමුත්, ඒ ජනප්‍රියත්වය ඔහුට දරා ගත හැකි මට්ටමින් පැවතුණේ නැහැ.
“මට කවදාවත් ළමයින් නිරත වෙන විනෝදාත්මක දේවල් කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ නිසා නෙවර්ලෑන්ඩ් හි පීටර් පෑන් ලෙස මා හඳුන්වා ගැනීමට කැමති යි.”
සිය ළමා කාලය මයිකල් ජැක්සන් වරෙක් විස්තර කොට තිබුණේ ඒ අයුරින්. පීටර් පෑන් යනු ජේ.එම්. බැරී යන නිර්මාණකරුවා ගොඩනැඟූ ප්‍රබන්ධ චරිතයක්. පියාසර කළ හැකි, කිසිදා වැඩිහිටියකු නොවන, දඟකාර සහ කඩවසම් පිරිමි ළමයකු ලෙස පීටර් පෑන් චරිතය විස්තර වෙනවා. පීටර් පෑන් සිය අවසානයක් නොමැති ළමා කාලය ගත කරන්නේ “නෙවර්ලෑන්ඩ්” යන කල්පිත ස්ථානයේ යි. මයිකල් ජැක්සන් මෙම කල්පිත චරිතයට කොතරම් ඇළුම් කළා ද කිවහොත්, ඔහුගේ නිවස්නය සහ පෞද්ගලික විනෝද උද්‍යානය “නෙවර්ලෑන්ඩ්” යනුවෙන් නම් කිරීමටත් උනන්දු වුණා.
පීටර් පෑන් සින්ඩ්‍රෝමය
පීටර් පෑන් චරිතයට දක්වන දැඩි ඇල්ම සහ තාරුණ්‍යය හා සබැඳි දේවල්වලට දක්වන ආකර්ෂණය හේතුවෙන් මයිකල්ට “පීටර් පෑන් සින්ඩ්‍රෝමය” ඇති බව පුවත්පත් වාර්තාකරුවන් ප්‍රචාරයක් ගෙන ගියා. පීටර් පෑන් සින්ඩ්‍රෝමය යනු කිසිදු වෛද්‍ය විද්‍යා සඟරාවක ලැයිස්තුගත කර ඇති සින්ඩ්‍රෝමයක් නොවෙ යි. එය ඔහුගේ සිතුවිලි තේරුම් ගැනීම වෙනුවෙන් භාවිත කළ විධිගත නොකළ මානසික තත්ත්වයක්.
වැඩිහිටි වියට පත් වූ පුරුෂයකු ලෙස බාහිර ලෝකයත් සමඟ ගනුදෙනු කිරීමට අකමැති, එහෙත්, අහිංසක ළමයකු මෙන් සැහැල්ලු, දූෂිත සිතුවිලිවලින් තොර සහ තරගකාරී ලෝකයෙන් පීඩාවට පත් වීමට අකමැති පුද්ගලයකු ලෙස මයිකල් ජැක්සන්ගේ මානසිකත්වය තේරුම් ගැනීමට පුවත්පත් වාර්තාකරුවන් උත්සහ කර තිබුණා. සරලව ම “පීටර් පෑන් සින්ඩ්‍රෝමය” හරහා මයිකල් ජැක්සන් යනු කිසිදා වැඩිවියට පත් වීමට අකමැති, දිගින් දිගට ම ළමයකු මෙන් ජීවත් වීමට කැමති පුද්ගලයකු ලෙස මාධ්‍ය මඟින් අර්ථ දක්වා තිබුණා
“මයිකල් තමාගේ ගීත නිර්මාණ වෙනුවෙන් චිත්‍රාගාර තුළ වෙහෙසෙන අතරතුරේ දී අසල වීදියක කුඩා දරුවන් සෙල්ලම් කරනවා දුටුවහොත්, නිරත වන කාර්යයට වඩා ඒ දරුවන් සමඟ කාලය ගත කිරීමට ආසා කළ පුද්ගලයෙක්. ඒ ආසාව මුළු ජීවිත කාලය පුරා ම ඔහු පීඩාවට සහ සිත් කරදරයට පත් කළා. “
“MJ: The Genius of Michael Jackson” නමැති ග්‍රන්ථයේ කතුවරයා වූ ස්ටීව් නොපර් පවසනවා.
චිත්‍රගාරයට වී අලුත් නිර්මාණ කටයුත්තකට දායක වීම තරම් සුබ ආරංචියක් ඔහුගේ රසිකයන්ට තවත් නොතිබෙන්නට ඇති. එහෙත්, මයිකල්ගේ ඇතුළාන්තයේ සිටි “පීටර් පෑන්” සෑම විට ම සොයමින් සිටියේ ඕනෑම කෙනකු මවිතයට පත් වන අන්දමේ “අති සරල” දේවල් පමණ යි. “මාත් ඔබ වගේම මනුෂ්‍යයෙක්” යන සාමාන්‍යකරණය මයිකල්ගේ රසිකයන් ගෙන් ඔහුට කවදාවත් ලැබුණේ නැහැ. එය වෙනත් කිසිම ගායකයකුට නොලැබෙන අන්දමේ අසාමාන්‍ය සහ ෆැන්ටසිමය රසික පදනමක්.
බිග් නෝස් සහ ස්මෙලි
මයිකල් ජැක්සන්ගේ ළමා විය ඒකාකාරී වීම කෙරෙහි ඔහුගේ පියාණන් වූ ජෝ ජැක්සන්ගේ හැසිරීම් ද අහිතකර ලෙස බලපෑවා. සිය දරුවන්ගේ දක්ෂතා මැනවින් හඳුනා ගත් පියකු වුවත්, ඔහු ඒවා ඔප් නැංවීමට භාවිත කළ ක්‍රමවේද ඉතා කටුක ස්වභාවයක් ගෙන තිබුණා. සෑම දිනක ම පැය දෙකක් හෝ තුනක් මයිකල් ඇතුළු ඔහුගේ සහෝදරයන් නොනවත්වා සංගීත පුහුණුවේ යෙදිය යුතු වූ අතර, අනෙකුත් ළමයින් එම කාලය විනෝදයෙන් ගත කරන අයුරු දුටු ඔවුන්ට සිය ජීවිතය ගැන යම් කලකිරීමක් ඇති වූ බව පැවසෙනවා. ජෝ ජැක්සන් කිසි විටෙක සිය දරුවන් සුරතල් කිරීම හෝ ආදර වදනක් පැවසීමට තරම් කාරුණික නොවූ බව ජ’මේන් ජැක්සන් (ජැක්සන් 5 සාමාජිකයෙක්) පවා සඳහන් කොට තිබෙනවා.
“අපි සියලු දෙනා ශිල්ප දැක්වූයේ ඔහු වෙනුවෙන්. ඒ වගේම ඔහු අප විවේචනය කළා. කවුරුන් හෝ ඔහුත් සමඟ වාදයට පැටළුණොත්, බඳ පටියකින් හෝ කෝටුවකින් පහර කෑමටත් සිදු වුණා.”
“Moonwalk” නමින් 1988 දී එළි දැක්වූ ස්වයං චරිතාපදානයේ දී සිය පියාගෙන් එල්ල වන ශාරීරික වද හිංසා ගැන මයිකල් ජැක්සන් සඳහන් කොට තිබුණා. මයිකල් බොහෝ අවස්ථාවල මානසික වශයෙනුත් ජෝ ඉදිරියේ පීඩාවට ලක් වුණා. උදාහරණයක් ලෙස කුඩා මයිකල් තරමක් විශාල ව වැඩුණු ඔහුගේ නාසය ගැන වද වන බව දුටු ජෝ ජැක්සන්, තමාගේ ම පුත්‍රයාට “බිග් නෝස්” යන අපහාසාත්මක වදන භාවිත කළා. මයිකල් ජැක්සන්ගේ මනසට එය විශාල වශයෙන් බලපෑ අතර, වැඩිහිටි වියේ දී පවා සිය වම් අතෙන් නාසය නිරතුරුව ම ස්පර්ශ කිරීම සහ අතින් නාසය ආවරණය කිරීම වැනි පුරුද්දක් ඔහු අනුගමනය කළා. වරෙක මේ අමුතු ඉරියව්ව ග්‍රහණය කරගත් එක්තරා නිෂ්පාදයෙක් මයිකල්ට “ස්මෙලි” යන අන්වර්ථ නාමය ලබා දුන්නා. ඉන් ටික කලකට පසු ඔහු බැරෑරුම් ශල්‍යකර්ම මාලාවකට මුහුණ දුන් අතර, එහි ප්‍රතිඵල වසන් කිරීම සඳහා කෘත්‍රිම ආවරණයක් නාසයට පැළඳූ බව සඳහන්.
වැකෝ ජැකෝ
මයිකල් තම පියා ගෙන් ඈත් වීමට අවසානයේ දී විශාල උත්සාහයක් ගත්තා. “Thriller” ඇල්බමයේ සාර්ථකත්වයෙන් පසු ඔහු තම සහෝදරයන් සමඟ නිර්මාණ කටයුතු වෙනුවෙන් නැවත දායක වුණේ එතරම් කැමැත්තකින් නොවෙයි. අනපේක්ෂිත ලෙස 1984 දී “The Jackson 5” කණ්ඩායම වෙනුවෙන් ප්‍රසංග මාලාවක් සංවිධානය වුණේ මයිකල් ජැක්සන් මෙවැනි මානසික අරගලයක නිරත වෙමින් සිටින අතරතුර යි. ප්‍රසංග මාලාවේ සංවිධාන කටයුතු ජැක්සන් පවුලේ අභ්‍යන්තර ගැටුම් මධ්‍යයේ සිදු වූ අතර, එය යුරෝපයට ගෙන යෑමේ සැලසුම් අසාර්ථක වීමෙන් පසු මයිකල් කෙමෙන් කෙමෙන් තම පවුල මඟ හැරීමට කටයුතු කළා. කෙසේ නමුත්, සිය පියාගේ සෙවණැල්ලෙන් ගැලවීමට ඔහුට හැකි වුණේ නැහැ.
හතළිස් හැවිරිදි වැඩිහිටියකු ව සිටි අවදියේ පවා ජෝ ජැක්සන් ගැන මයිකල් මාධ්‍ය ඉදිරියේ අදහස් දැක්වූයේ දැඩි අප්‍රසාදයකින්. පියා අහිමි කළ ළමා කාලය නැවත ලබා ගැනීමට කළ මංමුළා සහගත උත්සාහයන් හේතුවෙන් මයිකල්ගේ ජීවිතය තුළ යම් යම් අසාමාන්‍ය හැසිරීම් දක්නට ලැබුණා. කැපී පෙනෙන අන්දමින් සිදු කළ ශාරීරික පරිවර්තනයේ දී පවා මයිකල් ජැක්සන් “පීටර් පෑන්” ගේ ස්වරූපය අනුකරණය කළ බවට වූ රාවය පැතිරුණේ ඒ නිසා යි.
යථාර්තයෙන් වඩාත් ඈත් ව ගත කළ ජීවිත රටාව, හැසිරීම් සහ ළමයින්ගේ විනෝදාස්වාදය වෙනුවෙන් කැප වූ පුද්ගලයකු ලෙස ප්‍රචලිත වූ නිසා “වැකෝ ජැකෝ” යන අන්වර්ථ නාමයෙන් මයිකල් ජැක්සන් හැඳින්වීමට මාධ්‍ය ආයතන පෙලැඹුණා.
ළමා අපචාර චෝදනා
දරුවන්ගේ සුබසාධන කටයුතු කෙරෙහි ඉමහත් කැපවීමෙන් ක්‍රියා කළ තරුවක් ලෙස ගෞරවයට පාත්‍ර වූවත්, 1993 දී එල්ල වූ ළමා අපචාර චෝදනාවත් සමඟ මයිකල් ජැක්සන් කෙරෙහි තිබූ මහජන ආකර්ෂණයේ විශාල පළුඳු වීමක් සිදු වුණා. මයිකල් ජැක්සන් මේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කළා. තමා සියලු ජාතීන් සහ
වයස් කාණ්ඩවලට අයත් දරුවන්ට ආදරය කරන බවත්, දරුවන් සමඟ කාලය ගත කිරීම හරහා මඟ හැරුණු ළමා කාලය නැවත විඳීමට හැකි වූ බවත්, මයිකල්
ජැක්සන් ප්‍රකාශ කර තිබුණා. කෙසේ හෝ අදාළ චෝදනාව අධිකරණයෙන් පිටත සමථයට පත් වුණා.
ළමා අපචාර චෝදනාවෙන් ඔහුගේ වෘත්තීය ජීවිතයට ඇති විය හැකි බලපෑම ගැන බොහෝ දෙනා අවධානය යොමු කළත්, එයින් ඔහුගේ මානසික සෞඛ්‍යයට ඇති වූ බලපෑමට හිමි වුණේ අවම අවධානයක් හෝ වටිනාකමක්.
“ඒ සිදුවීමෙන් පසු ඔහු සියල්ලන්ගෙන් ම ඈත් ව සිටීමේ ක්‍රියාපිළිවෙතක් අනුගමනය කළා. ප්‍රසිද්ධියේ මිනිසුන් අතර හැසිරෙමින් විහිළු තහළු කරන, සුරතලයට ඇති කරන චිම්පන්සියා සමඟින් හාස්‍යජනක දේවල් කරන මයිකල් ජැක්සන් නැවත දකින්න ලැබුණේ නැහැ. තවදුරටත් මාධ්‍ය සහ මහජනතාව සමඟ හැසිරීමට ඔහු කැමැත්තක් දැක්වූයේ නැහැ. මාධ්‍ය සහ ඔහු අතර තිබූ සබඳතාව කෙමෙන් කෙමෙන් ඉතා සැක සහිත, ගැටුම් වලින් ගහණ, අවිශ්වාසයෙන් පිරී ගිය ස්වභාවයකට හැරුණා.”
අපචාර චෝදනාවෙන් පසු මයිකල්ගේ මනෝභාවයේ සිදු වූ පරිවර්තනය ගැන පසු නොපර් ඉඟියක් ලබා දුන්නේ එලෙසින්.
ඉන්පසු තමාගේ ජීවන රටාව ගැන අවට ලෝකයාට අනුමාන කිරීමට ඉඩ දී සිය පෞද්ගලික ජීවිතය ගැන ප්‍රසිද්ධියේ කතා කිරීම මයිකල් හැකිතාක් අවම කළා. අනුමාන හේතුවෙන් ඔහු වටා ගෙතුණු කටකතා ගණනත් අධික යි. ඒ අතරින් මයිකල්ගේ බාහිර ස්වරූපය සහ සමේ වර්ණය සම්බන්ධයෙන් ඇති වූ කටකතා ප්‍රමුඛස්ථනයක් ගන්නවා.
සැනසීම සෙවීමේ අරගලය
2003 දී මයිකල් ජැක්සන්ට ළමා අපචාර චෝදනා නැවතත් එල්ල වුණා. එම වසරේ ම බ්‍රිතාන්‍ය මාධ්‍යවේදී මා(ර්)ටින් බෂීර් සමඟ සිදු කළ සම්මුඛ සාකච්ඡාවේ දී බෂීර් හැකිතාක් මයිකල්ගේ පැත්තෙන් ගැටලුව දකින ආකාරය ප්‍රේක්ෂකයා හමුවට ගෙන ඒමට උත්සහ කළා. මයිකල්ගේ පිළිතුරු හමුවේ ප්‍රේක්ෂකයා තව දුරටත් ව්‍යාකූල වුණා. දශකයට පෙර මෙවැනිම චෝදනාවක් එල්ල වී තිබියදීත් ඔහු තවමත් ළමයින්ට සිය නිදන කාමරය වෙත ආරාධනා කරන බව පවසා සිටියා.
“එය ලිංගිකත්වය හා සබැඳුණු දෙයක් නොවෙයි. මං ඔවුන්ට හුඟක් කන්න දෙනවා. උණුසුම් කිරි පානයක් සමඟ විස්කෝතු ඔවුන්ට මා ලබා දෙනවා. ඒක හරිම මිහිරි සහ ආකර්ෂණීය දෙයක්.”
මයිකල් ජැක්සන්ගේ පිළිතුරු නිසා ඔහුගේ අතීත ගැටලුවක් නැවත අලුත් වී කරළියට පැමිණීමේ දැඩි අවදානමක් තිබුණා. ඇතැම් විට ඔහු තම නිර්දෝෂීභාවය යළි යළිත් තහවුරු කිරීමට උත්සහ කළා විය හැකි යි. අපචාර චෝදනා සියල්ල අසත්‍ය බව ඔහුගේ හෘදය සාක්ෂිය දන්නේ නම්, ළමයින් සමඟ කාලය ගත කිරීමේ විනෝදාංශය දිගට ම පවත්වා ගෙන යාමේ වරදක් ඔහු නොදකින්නට ඇති.
කිසි දිනෙක වැඩිහිටියකු වීමේ අවශ්‍යතාවයක් නොතිබූ මයිකල් ජැක්සන් නමැති පීටර් පෑන්, මුළු ජීවිත කාලය පුරා ම තමා වටා ගොඩ නැඟුණු තරු ගුණයෙන් හට ගත් පීඩනය අතරින් සැනසීම සෙවීමේ අරගලයක නිරත වුණා. වෙනස් වීමට අවශ්‍ය වුණත්, කුඩා කල පටන් ම සංගීත ලෝකයේ සන්නාමයක් බවට පත් වූ නිසා
අකමැත්තෙන් හෝ ඒ මත රැඳී සිටින්නට ඔහුට සිදු වුණා.
“එදිනෙදා මිනිසුන් සමඟ සිටීමේ දී මට අමුතු හැඟීමක් දැනෙනවා. බලන්න, මගේ මුළු ජීවිතය ම ගත වෙන්නේ වේදිකාව මත. අත්පොළසන් දීම, ඔල්වරසන් දීම සහ මා පසුපස දිව යෑම හැරෙන්න මිනිසුන් ගෙන් මට හැඟීමක් දැනෙන්නේ නැහැ. සමූහයක් තුළ ඉන්න කොට මට බියක් දැනෙනවා. වේදිකාව මත දී මා ආරක්ෂිත යි.”
මයිකල් ජැක්සන් සිය ප්‍රේක්ෂක ප්‍රතිචාර සම්බන්ධයෙන් දරන්නේ එවන් අදහසක්.
සියලු අපචාර චෝදනාවලින් නිදහස් වුව ද, එම චෝදනාවලින් ඉතිරි වූ මානසික කඩා වැටීම මුළු ජීවිත කාලය පුරා මයිකල් ජැක්සන් සමඟ රැඳී පැවතුණා. ඔහුගේ
අවසන් වසර කිහිපය බෙහෙත් වට්ටෝරු මත ගෙවී ගිය අතර, 2009 දී “This is it” ප්‍රසංග මාලාව නිවේදනය කරන තුරු බාහිර ලෝකයෙන් ඈත් ව සිටීමටත් ඔහු ක්‍රියා කළා. එලෙස අතුරුදහන් වී සිටි කාලය ඔහු ගෙවා දැමූ අන්දම මරණයෙන් පසුවත් අබිරහසක් ලෙස පැවතුණා. නඅවසාන කාලයේ දී මයිකල් ජැක්සන්ට සේවය කළ පුද්ගලික ආරක්ෂකයන් ඒ ගැන යම් යම් තොරතුරු පසුකාලීන ව අනාවරණය කළා. ඒ තොරතුරු අපි ඉදිරියේ දී කියවමු.