Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දහසක් කවි මැද අනාගතය සැඟවූ නොස්ට්‍රඩාමස්

අනාගතයේ සිදුවිය හැකි සිදුවීම් පිළිබඳව නිශ්චිත වශයෙන්ම අනාවැකි පැවසීම සෑම දෙනෙක්ටම කළ හැකි කාර්යයක් නොවෙයි. නමුත් වර්තමානයේ පමණක් නොව අතීතයේ ද අනාගත සිදුවීම් ගැන නිශ්චිතවම අනාවැකි පළ කළ ප්‍රකට අනාගත වක්තෘවරුන් වාසය කර ඇති බවට සාක්ෂි තිබෙනවා. එවැනි අනාගත වක්තෘවරුන් විසින් ඉදිරිපත් කරන ලද අනාගත වාක්‍ය පසුකාලීනව සැබෑ වී ඇත්තේ ඔවුන්ගේ ජනප්‍රියත්වය වඩාත් ඉහළ නංවමින් බව පැවසීම වැරදි නැහැ.

මෑත ඉතිහාසයේ දී අනාගතය ගැන නිවැරදිව අනාවැකි පළ කරමින් එවැනි ජනප්‍රියත්වයක් අත්කර ගත් තැනැත්තෙක් ලෙස ප්‍රංශ ජාතික වෛද්‍යවරයෙක් සහ ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍රඥයෙකු වන නොස්ට්‍රඩාමස් හැඳින්විය හැකි යි. ඔහු විසින් 1789 වර්ෂයේ දී සිදු වූ ප්‍රංශ විප්ලවය, 1945 වර්ෂයේ දී හිරෝෂිමාවට බෝම්බ දැමීම, 1969 වර්ෂයේ දී ඇපලෝ 11 යානය සඳ මතට ගොඩ බැසීම, 1986 වර්ෂයේ දී ‘චැලෙන්ජර්’ අභ්‍යවකාශ ෂටලය අනතුරට ලක්වීම, 1997 වර්ෂයේ දී සිදු වූ ඩයනා කුමරියගේ මරණය, සහ ලෝක සංග්‍රාමයන් ද්විත්වය යන කරුණු පිළිබඳව නිවැරදි ව අනාවැකි පළ කර තිබෙනවා.

© Wikimedia Commons

පුනරුද සමයේ උපන් මිෂෙල්

පසු කාලීනව නොස්ට්‍රඩාමස් යන නාමයෙන් ලෝක ප්‍රකට වූ අනාගත වක්තෘවරු වර්ෂ 1503 දෙසැම්බර් 14 හෝ 21 වැනි දින දකුණු දිග ප්‍රංශයේ ශාන්ත රෙමී ද ප්‍රොවොන්ස් නම් ගම්මානයේ දී උපත ලබන්නේ මිෂෙල් ද නොස්ට්‍රඩෑම් ලෙස යි. ධාන්‍ය ව්‍යාපාරිකයෙක් සහ නොතාරිස්වරයෙක් ලෙස කටයුතු කළ ඔහුගේ පියා යුදෙව් සම්භවයක් සහිත පුද්ගලයෙක් බව සඳහන් වනවා. දක්ෂ ශිෂ්‍යයෙකු වූ මිෂෙල් කුඩා කාලයේ පටන්ම ලතින්, ග්‍රීක්, හීබෘෘ, සහ ගණිතය යන විෂයයන් කෙරෙහි දක්ෂතා පෙන්නුම් කර ඇති අතර පෞරාණික යුදෙව් සාම්ප්‍රදායන් සහ ජ්‍යෝතිෂ්ශාස්ත්‍රය හැදැරීම සඳහා ඔහුව යොමු කර ඇත්තේ ඔහුගේ මුත්තණුවන් විසින්.

(©Alex & Brigitte Journey) නොස්ට්‍රඩාමස් උපන් නිවස වර්තමානයේ දී

වයස අවුරුදු 14ක්ව තිබිය දී වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා ඇවින්යොන් සරසවියට ඇතුළත් වන මිෂෙල්ට අධ්‍යාපන කටයුතුවල නියැලීමට සිදුවන්නේ වසරක කාලයක් පමණ යි. යුරෝපය පුරා පැතිරී ගිය වසංගතයක් හේතුවෙන් අධ්‍යාපන කටයුතු තාවකාලිකව නතර කරන ඔහු, ඖෂධ පැළෑටි සොයමින් සංචාරයේ නිතර වූ බව සඳහන්. නැවතත් වර්ෂ 1522 දී මොන්පෙලියේ සරසවියේ ශිෂ්‍යභාවය ලබා ගන්නා තරුණ මිෂෙල් එයින් පිටවන්නේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිධාරියෙකු ලෙස යි. ඔහු මේ කාල සීමාවේ දී “නොස්ට්‍රඩෑම්” වෙනුවට එහි ලතින් ස්වරූපය වූ නොස්ට්‍රඩාමස් යන නාමය භාවිතා කිරීම ආරම්භ කර තිබෙනවා.

සැඟවී ඇති දැනුම සොයා ගිය නොස්ට්‍රඩාමස්

වෛද්‍යවරයෙකු ලෙස සුදුසුකම් ලද නොස්ට්‍රඩාමස් ඔහුගේ තරුණ විය ගත කර ඇත්තේ වසංගත රෝග හේතුවෙන් පීඩා විඳින රෝගීන් සුව කිරීම සඳහා යි. නමුත් වර්ෂ 1534 දී පමණ වසංගතය හේතුවෙන් ඔහුගේ බිරිඳ සහ දරුවන් මිය ගොස් ඇති අතර කලකිරීමට පත් වූ නොස්ට්‍රඩාමස් ඉදිරියට එළැඹුණු වසර කිහිපය ඉතාලිය, ග්‍රීසය සහ තුර්කිය යන රාජ්‍යයන් හි සංචාරය කිරීම සඳහා ගත කර තිබෙනවා. ගුප්ත විද්‍යාවන් හැදෑරීම සඳහා ඔහු යොමු වී ඇත්තේ මේ කාල සීමාවේ දී බව යි සඳහන් වන්නේ. දශකයට පමණ පසුව යළිත් වරක් ප්‍රංශය බලා පැමිණි ඔහු වෛද්‍ය විද්‍යාවෙන් ඈත්ව පංචාංග ලිත් සකස් කිරීම සඳහා ඔහුගේ කාලය යොදවා තිබෙනවා.

(© Zereshk / Wikimedia Commons) ‘Les Propheties’ හි ඉංග්‍රීසි පරිවර්තනයක්

වර්ෂ 1555 දී එළැඹෙන සහස්‍ර ද්විත්වය තුළ සිදුවිය හැකි සිදුවීම් සඳහන් කරමින් ‘Les Propheties’ නමින් ග්‍රන්ථයක් එළි දැක්වීමට නොස්ට්‍රඩාමස් කටයුතු කරනවා. කතෝලික පල්ලිය විසින් ඔහුව මිථ්‍යා දෘෂ්ටිකයෙකු ලෙස හංවඩු ගැසීමේ අවදානමක් පැවති බැවින් ඔහුගේ අනාවැකි සියල්ල ඉදිරිපත් කර ඇත්තේ ග්‍රීක, ලතින්, ඉතාලි, සහ ප්‍රංශ භාෂා එකට මුසු කර ගොතන ලද සිව්පද කවි ලෙස යි. ඔහුගේ ‘Les Propheties’ ග්‍රන්ථය, සිව්පද කවි 100 බැවින් අන්තර්ගත වන ‘Centuries’ ලෙස හඳුන්වනු ලබන වෙළුම් 10කින් යුතු වෙනවා.

ලෝකය කලඹවමින් සැබෑ වූ නොස්ට්‍රඩාමස්ගේ අනාවැකි

(1) ප්‍රංශ විප්ලවය

© National Library of France

සිරකරුවන් ජය ඝෝෂා නගන බව, පාලකයන්ට ඔවුන්ගේ සිර ගෙවල්වල සිර ගත වීමට සිදුවන බව, සහ හිස නොමැති මළ සිරුරු තැන තැන දැක ගැනීමට ලැබෙන බව නොස්ට්‍රඩාමස් ඔහුගේ ග්‍රන්ථයේ දක්වා තිබෙනවා. ඔහු සඳහන් කළ ආකාරයෙන්ම වර්ෂ 1789 දී බැස්ටීල් සිර ගෙදර කඩා දමන ලද අතර ප්‍රංශ රාජාණ්ඩුව බිඳ වැටී අලුත් ජනරජයක් පිහිටුවීම සිදු වුණා. එසේම ගිලටීනය යොදා ගනිමින් හිස ගසා දමන ලද වංශවතුන්ගේ සහ සාමාන්‍ය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 17,000 ඉක්මවන බව යි සංඛ්‍යා දත්ත පෙන්වා දෙන්නේ.

(2) ඇඩොල්ෆ් හිට්ලර්

© Heinrich Hoffmann / Getty Images

බටහිර යුරෝපයේ දුප්පත් පවුලක උපදින පුද්ගලයෙක් ඔහුගේ වදන් යොදා ගනිමින් මිනිසුන් විශාල සංඛ්‍යාවක් නපුර කරා යොමු කරන බවට, සහ ඔහුගේ නාමය ලෝකය පුරා ජනප්‍රිය වන බවට නොස්ට්‍රඩාමස් අනාවැකි පළ කර තිබෙනවා. වර්ෂ 1889 අප්‍රේල් 20 වැනි දින මධ්‍යම පාන්තක පවුලක සාමාජිකයෙක් ලෙස ඇඩොල්ෆ් හිට්ලර් උපත ලබන්නේ බටහිර යුරෝපීය රාජ්‍යයක් වන ඔස්ට්‍රියාවේ දී යි. ඔහු පිරිසිදු ජාතියක් තැනීම වෙනුවෙන් යුදෙව්වන් සමූල ඝාතනය කළ යුතු බව ප්‍රසිද්ධ වේදිකාවන්හි දී පවා ප්‍රකාශ කර සිටි බව ලොවට රහසක් නොවෙයි.

(3) හිරෝෂිමා සහ නාගසාකි නගරයන්ට බෝම්බ දැමීම

© Wikimedia Commons

නොස්ට්‍රඩාමස්ගේ තවත් අනාවැකියක් වන්නේ පෘථිවියේ ඇතුළුවීමේ දොරටුව ආසන්නයේ පිහිටා ඇති නගර ද්විත්වයකට මින් පෙර සිදු නොවූ ආකාරයේ මහත් පීඩාවකට ලක් වීමට සිදුවන බව සහ ඒ හේතුවෙන් මිනිසුන්ට වසංගත රෝගී තත්ත්වයකට ලක් වීමට සිදු වන බව යි. ඔහු සඳහන් කළ අයුරින්ම 1945 අගෝස්තු මාසයේ දී ඇමෙරිකා එක්සත් ජනපදය, ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි නගරයන්ට පරමාණු බෝම්බ ද්විත්වයක් හෙලන ලද අතර එයින් බොහෝ පිරිසක් මරණයට පත් වුණා.

(4) සැප්තැම්බර් 11 ප්‍රහාරය

© Robert / Flickr

අල්-කයීඩා ත්‍රස්ත සංවිධානය විසින් නිව්යෝක් නුවර ලෝක වෙළඳ මධ්‍යස්ථානයට ගුවන් ප්‍රහාරයක් එල්ල කරන ලද්දේ 2001 සැප්තැම්බර් 11 වැනි දින යි. ඒ පිළිබඳ ව අනාවැකියක් පළ කරමින් නව නගරයේ දැවැන්ත පර්වත ද්විත්වයක් කඩා වැටීම දිගු කාලයක් තිස්සේ පවතින යුද්ධයකට පදනම සපයන බවට නොස්ට්‍රඩාමස් ප්‍රකාශ කර තිබෙනවා.  

කෙසේ නමුත්, මේවා අනාවැකි සත්‍ය බවට පත්වීම අහම්බයන් ද වීමට විශාල ඉඩක් ඇති බවත් අවසන් වශයෙන් කිව යුතු යි.

කවරයේ පින්තූරය : © Pinterest

Related Articles