Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සිංහල සිනමාවේ පළමු සුපිරි තරුව: ප්‍රේම් ජයන්ත්

සිංහල සිනමාවේ  අතීතය දෙස බලන විට එක් එක් යුග වර්ණවත් කළ සුපිරි තරු රැසක් අපට හමුවෙනවා. ඒ අතරින් මුල්ම සුපිරි තරුව ලෙස සැලකෙන්නේ ප්‍රේම් ජයන්ත්. තිරයේ අහිංසක පෙම්වතාගේ චරිතය නිරූපණයෙන් ජනප්‍රියත්වයේ ඉහළම හිනි පෙත්තේ වැජඹුණු ප්‍රේම් ජයන්ත් 1950 දශකයේ රසිකයන් වැඩියෙන්ම ආකර්ශනය කළ නළුවා වුණා. ඔහුට එකල බහුලවම රඟපෑමට ලැබුණේ දකුණු ඉන්දියානු අධ්‍යක්ෂවරු තැනූ ඉන්දියානු කොපි චිත්‍රපටවල යි. ‘සුජාතා’ චිත්‍රපටයේ රංගනයෙන් මෙරට ප්‍රේක්ෂකයන් අතර එක් රැයකින්ම ජනප්‍රිය නළුවා වීමට වාසනාව ප්‍රේම් ජයන්ත්ට හිමි වුණා. ඔහුගේ රැලි කොණ්ඩය, සිනාව, ගමන් විලාසය ඇඳුම් පැළඳුම්වලට එදා ලංකාවේ තරුණ තරුණියන් වහ වැටිලා සිටි බව පැවසෙනවා.

පවුලේ තතු

රංගනයට එක්වූ මුල්ම කාලයේ – films.lk

උප්පැන්න සහතිකය් සඳහන් ඔහුගේ නම හෙට්ටිආරච්චිගේ එම්මානුවෙල් ඇලෝෂියස් රොඩ්රිගෝ. උපන්නේ 1931 දෙසැම්බර් 24 වෙනිදා කොළඹ ග්‍රෑන්ඩ්පාස් හි කොස්ගස් හන්දියේ යි. ඇලෝසියස් පාසල් අධ්‍යාපනය ලැබුවේ ග්‍රෑන්ඩ්පාස්හි ශාන්ත ජෝසප් විද්‍යාලයයෙන් සහ කොටහේනේ සාන්ත ලුසියා විද්‍යාලයයෙන්. පසුව සිනමා කර්මාන්තයට පැමිණි ධර්ම ශ්‍රී කල්දේරා, ධර්ම ශ්‍රී රණතුංග, ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා, ජෝසෆ් සෙනෙවිරත්න ආදීන් ඇලෝසියස්ගේ සමකාලින පාසල් මිතුරන් වුණා. 1942 වසරේ, සිය පියා වූ ඒ. ඩී. ඇඩ්මන් නිෂ්පාදනය කළ, ‘කානිවල්’ වේදිකා නාට්‍යයේ ළමා චරිතයක් රඟපෑමට ඔහුට අවස්ථාව ලැබුණා. ඒ ඇලෝසියස්ගේ පළමු රංගනය යි. පසුකාලීනව චිත්‍රපට රංගනයට ඔහු පිවිසෙන්නේ ‘ප්‍රේම් ජයන්ත්’ කියන නමින්.

ඔහුගේ පවුලත් කලා පරපුරකට සම්බන්ධකම් දක්වනවා. පියා වූ පිලිප් රුද්‍රිගෝ 40 දශකයේ ප්‍රකට චිත්‍ර ශිල්පියෙකු වුණා. ඔහු තොරණ ඇඳීමට මෙන්ම නාම පුවරු ඇඳීමටත් දක්ෂකම් දැක්වුවා. ඔහුගේ පුතු වූ ප්‍රේම් ද චිත්‍ර ශිල්පයට සමත්කම් දැක්වුවා.

සිනමාවට පිවිසෙයි

කඩවසම් පෙම්වතා – films.lk

1950 මුල් භාගයේ එවකට ප්‍රකට පාවහන් සමාගමක් වූ බාටා සමාගමේ වාණිජ චිත්‍ර ශිල්පියකු ලෙස තරුණ ඇලෝසියස් සේවයට බැඳෙනවා. නමුත් මේ කඩවසම් තරුණයාගේ සිතේ තිබුණේ චිත්‍රපටයක රඟපෑමේ ආසාව යි. මේ නිසා ඔහු රැකියාව අතරතුරම චිත්‍රපටවලට පිවිසීමට උනන්දු වෙනවා. ඔහු බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ ‘උමතු විශ්වාසය’ චිත්‍රපටයට නළු නිළියන් ඉල්ලා පුවත්පතක පළකර තිබූ දැන්වීමක් දැක එයට ඉල්ලුම්පතක් යවනවා. ප්‍රේම්ට එම චිත්‍රපටයේ සරත් නම් සුළු චරිතයක් රඟපෑමට ලැබුණේ ක්ලැරිස් ද සිල්වා සමග යි. එය මිනර්වා නාට්‍යයක් ඇසුරෙන් තැනූ චිත්‍රපටයක්. සුමිත් බිබිලේ, හර්බට් එම්. සෙනෙවිරත්න, ක්ලැරිස් ද සිල්වා යන නළු නිළියන් මුල් වරට රංගනයට එක්වන්නේ උමතු විශ්වාසයෙන්. එය 1952 දී තිරගත වෙනවා. ඉතා ජනප්‍රිය වූ මේ චිත්‍රපටය ‘කැලෑහඳට’ පෙර වැඩිම ආදායමක් ලැබූ සිංහල චිත්‍රපටය බවට පත් වෙනවා.

සුජාතා

සුජාතා චිත්‍රපටයේ රඟාපාමින් – divaina.com

ටී. ආර්. සුන්දරම් සිනමාස් සමාගම වෙනුවෙන් අධ්‍යක්ෂණය කළ සුජාතා චිත්‍රපටය මෙරට සිනමා වංශ කතාවේ කඩයිමක් සටහන් කළ නිර්මාණයක් වුණා. එය ‘බඩී බෙහෙන්’ නම් හින්දි චිත්‍රපටය ඇසුරින් කළ නිර්මාණයක් වුණා. තිරගත වුණේ 1953 දී යි. 

ප්‍රේම් ජයන්ත් සිංහල සිනමාවේ පළමු සුපිරි තරුව බවට පත්වන්නේ ‘සුජාතා’ චිත්‍රපටයෙන්. එහි දෙබස් රචනා කරන්නේ ආනන්ද සමරකෝන් සහ සිරිසේන විමලවීර යි. සුජාතාහි ‘දොස්තර නිහාල්’ නම් ධනවත්, සාධාරණ තරුණයාගේ චරිතයට ප්‍රේම් ජයන්ත් පණ පොවනවා. ප්‍රධාන නිළිය වූ ෆ්ලොරිඩා ජයලත් ප්‍රථම වරට රංගනයට එක්වන්නේ ද මේ චිත්‍රපටයෙන්. දක්ෂ චරිතාංග නළුවන් වූ ඩොමි ජයවර්ධන, ඩේවිඩ් ධර්මකීර්ති, ශාන්ති ලේඛා ආදීන් ද ප්‍රථම වරට සිනමාවට එක්වන්නේ සුජාතා සමග යි.

සුජාතා චිත්‍රපට ගීත පොත- Wikipedia.org

චිත්‍රපටය රූපගත කළේ දකුණු ඉන්දියාවේ දී යි. දොස්තර නිහාල්ගේ චරිතයට පිවිසීමට ඔහු මදුරාසියේ (චෙන්නායි) රෝහලකට ගොස් වෛද්‍යවරුන්ගේ හැසිරීම නිරීක්ෂණය කළ බවත් සඳහන් වෙනවා.  සුජාතා නැරඹීමට ගම්දනව් සිසාරා රසිකයන් වැලනොකැඩී පැමිණියා. ප්‍රේම් ජයන්ත්ගේ රංගනය ගැන කවුරුත් කතාබහ කරන්නට වුණා. මෙහි ගීත එදා සිට අදත් ජනප්‍රිය යි. ‘මනරංජන දර්ශනීය ලංකා’, ‘නාරිලතා පුෂ්පේ’, ‘ප්‍රේමාලෝකය නිවී ගියා’, ‘පෙම්රැල්ල නැගී’ ඒ ගීත අතරින් කිහිපයක් පමණ යි.

සුජාතා ගැන දැන්වීමක් -sarasaviya.lk

1956 දී දිනමිණ පුවත්පත 1952- 56 අතර කාලයේ චිත්‍රපට පිළිබඳව පැවැත්වූ ‘චිත්‍රපට රඟමඩල’ නම් පාඨක ඡන්ද තරගයෙන් දෙවන ජනප්‍රියම චිත්‍රපටය වුණේ සුජාතා යි. එහි ජනප්‍රියම නළුවා බවට තේරුණු ප්‍රේම් ජයන්ත් ජනප්‍රිය චිත්‍රපට නළුවා ලෙස තේරී ඇත්තේ පාඨක ඡන්ද 90,999ක් ලබාගනිමින්. ජනප්‍රිය නළුවා වූ ප්‍රේම් ජයන්ත්ට වෑල්ව් 9 මර්ෆි ගුවන් විදුලි යන්ත්‍රයක් ලැබී ඇති බව පැවසෙනවා. එහි ඔහුගේ පෙම්වතිය ලෙස රඟපෑ ප්ලොරිඩා ජයලත් ජනප්‍රියම නිළිය බවට පත්වුණා.

විවාහය

මංගල සේයාරුව- sarasaviya.lk

ප්‍රේම් ප්‍රධාන චරිතය රඟපෑ දෙවැනි චිත්‍රපටය වූයේ ‘පුදුම ලේලි’ යි. එයත් තිරගත වුණේ 1953 දී යි. මේ චිත්‍රපටයේ ඔහු ‘රාජතිලක’ ලෙස රඟපානවා. ප්‍රධාන කාන්තා චරිතය වූ ශ්‍යාමලී ලෙස රඟපෑවේ නන්දා ලීලනායක යි. ප්‍රේම්ගේ අනාගත බිරිය වූ ශ්‍යාමලී හමුවුණේ ද එම චිත්‍රපටයෙන්.

1954 ජනවාරි 24 වෙනිදා ප්‍රේම් හා ශ්‍යාමලී විවාහ වූයේ වැඩිහිටියන්ගේ අප්‍රසාදයත්, විරෝධයත් මධ්‍යයේ බව පැවසෙනවා. විවාහ වූ පසුව ශ්‍යාමලී රංගනයෙන් සමුගත් බව පැවසෙනවා. 1954 ප්‍රේම් ‘වරද කාගේ ද’ චිත්‍රපටයේ රීටා රත්නායක සමග රඟපෑවා.

සැඩ සුළං

සැඩ සුළං ජවනිකා කිහිපයක්- mawbima.lk

ජනප්‍රියත්වයෙන් වාර්තා පිහිටවූ ‘සුජාතා’ චිත්‍රපටයේ නිෂ්පාදන අධිකාරී ලෙස කටයුතු කළ ටී. සෝමසේකරන් අධ්‍යක්‍ෂණය කළ පළමු චිත්‍රපටය තමයි ‘සැඩ සුළං’. සෝමසේකරන් චිත්‍රපට අධයක්ෂණයට පිවිසි පළමු ලාංකීය දෙමළ ජාතිකයා යි. ඒ වෙන විට සෝමරසේකරන් චිත්‍රපටයක් නරඹන්නන් අතර ජනප්‍රිය වෙන රහස දැන සිටියා. ඔහු චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීමේ විවිධ උපක්‍රම හොඳින් භාවිතා කළා. සුජාතා චිත්‍රපටයෙන් ඇරඹෙන වට්ටෝරු කතා ලක්ෂණ තහවුරු කරන චිත්‍රපටය ලෙස විචාරකයන් සැඩසුළං හඳුන්වනවා. 

සුජාතා චිත්‍රපටයේ නිෂ්පාදක ​කේ. ගුණරත්නම් සමග අමනාප වී සිටි සෝමසේකරන් ‘සුජාතා’ට නොදෙවෙනි ජනප්‍රිය චිත්‍රපටයක් නිපදවීමට සියලු උත්සාහ ගත්බව පැවසෙනවා. සෝමසේකරන් සැඩ සුළං සඳහා සුජාතා චිත්‍රපටයෙන් ජනප්‍රිය වූ ප්‍රේම් ජයන්ත් හා ෆ්ලෝරිඩා ජයලත් රංගන යුවළ යොදාගන්නවා. ගීත 17ක් මේ චිත්‍රපටයට ඇතුළත් අතර එහි එක් ගීතයක් භාරතයේ ජනප්‍රියතම ගායන ශිල්පිනී ලතා මංගෙශ්කර් ලවා ගැයීමට ද සෝමසේකරන් සමත් වුණා. එහි සංගීතය අධ්‍යක්ෂණය කළේ සුජාතා චිත්‍රපටයට සංගීතය සැපයූ එස්. දක්ෂිණමූර්ති යි. සුජාතා ගීතවලටත් වඩා මෙහි ගීත එකල ජනප්‍රිය වුණා. මදුරාසියේ වාහිනි චිත්‍රාගාරයේ රූපගත වූ මේ චිත්‍රපටයට ලංකා​වේ දර්ශන කිහිපයක් ද ඇතුළත්කර තිබෙනවා. 

නළු නිළි යුවළගේ ජනප්‍රියත්වය ද තව දුරටත් තහවුරු කිරීමට සැඩසුළං චිත්‍රපටයට හැකි වුණා. එයට ඇතුළත් ‘පෙම් කැකුල පිපී’, ‘ජීවන මේ ගමන සංසාරේ’ වැනි ගීත අදටත් ජනප්‍රිය යි.

චිත්‍රපට නිප්ෂාදනයට එක්වෙයි

පුරුෂ රත්නය පෝස්ටරයක්- films.lk

ගාමිණී ෆොන්සේකා, ප්‍රේම් ජයන්ත්, බැප්ටිස් ප්‍රනාන්දු, ජේ. සෙල්වරත්නම් එක් වූ සෙවන් ආර්ට්ස් චිත්‍රපට සමාගම ආරම්භ කරමින් ප්‍රේම් ජයන්ත් චිත්‍රපට නිෂ්පාදනයට එක් වෙනවා. එහි පළමු  නිෂ්පාදනය වුණේ 1967 දී තිරගත වූ ‘සරණ’ යි. සරණ අධ්‍යක්ෂණය කළේ අශෝක ඩේවිඩ්. එය ප්‍රේම් ප්‍රධාන චරිතයක් නිරූපණය කළ අවසන් සිනමා නිර්මාණය යි. සරණ සාර්ථක චිත්‍රපටයක් වුණේ නැහැ. පසුව 1972 දී ‘සහනය’ චිත්‍රපටය කරමින් ප්‍රේම් යළිත් චිත්‍රපට නිෂ්පාදනයට එක් වෙනවා. ‘හොඳට හොඳයි’, ‘කවුද රජා’, ‘සබීතා’, ‘සැනසුම’, ‘මාල ගිරව්’ චිත්‍රපට නිෂ්පාදනය කිරීමට ඔහු ඉන්පසු දායක වුණා. ඔහු කලා අධ්‍යක්ෂවරයකු ලෙස දෙවියනි ඔබ කොහිද (1967) සහ වහල් දූපත (1968),චිත්‍රපටලට දායක වී තිබෙනවා.

රංගන චාරිකාව

සුබ සරණ සැප සිතේ – films.lk

1958 වසරේ ඔහු රඟපෑ ‘සල්ලි මල්ලි සල්ලි‘ චිත්‍රපටය තිරගත වුණා. එහි ඔහු නිරූපණය කළේ අධාර්මිකව මත්ද්‍රව්‍ය ජාවාරම් කරන ‘ජගත්’ නම් මැරවර චරිතයක්. අවිශ්වාසය, පුරුෂ රත්නය (1959), හෙට ප්‍රමාද වැඩියි (1964), සුබසරණ සැප සිතේ (1964), සිතක මහිම (1964), සරණ (1967) යන චිත්‍රපටවල ප්‍රධාන චරිත රඟපෑවා. සුබසරණ සැප සිතේ ලංකාවේ වැඩිහිටියන්ට සීමා වූ පළමු චිත්‍රපටය යි. එහි ඔහු රඟපාන්නේ දුප්පත් ගුරුවරයකු වන ‘සමන්ගේ’ චරිතය යි. ප්‍රේම් 

ජයන්ත් සිය රංගන චාරිකාව තුළ රීටා රත්නායක, ප්ලොරිඩා ජයලත්, ක්‌ලැරිස්‌ ද සිල්වා, ආශා පෙරේරා, සන්ධ්‍යා කුමාරි වැනි අතිශය සුන්දර නිළියන්ගේ රිදී තිරයේ පෙම්වතා වුණා.

සිනමා දැන්වීම් පුවරු

ප්‍රේම් ජයන්ත් යුවල පසුකාලයේ- sarasaviya.lk

දක්‍ෂ චිත්‍ර ශිල්පියෙකු වූ ඔහු පසුව සිනමා ප්‍රචාරක පුවරු ඇඳීමේ ව්‍යාපාරයක්‌ පවත්වාගෙන ගියා. 1970- 1980 දශකවල ප්‍රේම් ජයන්ත්ගේ දෑතින් හැඩවුණු දැවැන්ත චිත්‍රපට ප්‍රචාරක පුවරු කොළඹ නගරයේ සුලබ වුණා. ඒ අතරින් ද මරදාන එල්ෆින්ස්ටන් අසල එම පුවරු නිතරම දකින්න ලැබුණා.  අවසාන කාලයේ චිත්‍රපට ක්ෂේත්‍රයෙන් සම්පූර්ණයෙන්ම ඉවත්ව කල්ගත කළ ප්‍රේම් ජයන්ත් 1997 මාර්තු 17 වෙනිදා ජීවිත සිනමාවෙන් සමු ගත්තා. නමුත් ඔහුගේ රංගනය පැරණි චිත්‍රපටවලට කැමති රසිකයන්ගේ මතකයෙන් නම් ඈත් වන්නේ නැහැ.

ආශ්‍රිත මූලාශ්‍රයයන්:

දේශීය සිනමා වංශය- පළමු කාණ්ඩය- ගාමිණී වේරගම

Sarasaviya.lk

Divaina.com

කවරය- ප්‍රේම් ජයන්ත්, ෆ්ලොරිඩා ජයලත් සමග සැඩසුළං චිත්‍රපටයේ -lankadeepa.lk

Related Articles