Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ටෙනිස් පිත්තෙන් සම අයිතිය උදෙසා සටන් කළ – බිලී ජීන් කිං

දැනට වසර 45කට පෙර ඓතිහාසික ටෙනිස් තරගයක්  පවත්වනු ලැබීය. ඒ හිටපු ප්‍රවීණතම ටෙනිස් ශූරයන් දෙපළක් වන බිලී ජීන් කිං සහ බොබී රිග්ස් අතර යි. මෙය හුදෙක් ම තවත් එක් ටෙනිස් තරගයක් නොවී සුවිශේෂී අවස්ථාවක් වූයේ කාන්තාවක් සහ පිරිමියෙකු අතර  වූ තරගයක් නිසා ම පමණක් නොවේ. ඒ වන විටත් එක්සත් ජනපදය තුළ තිබූ ස්ත්‍රී පුරුෂ අසමාන සැලකීමට එරෙහිව සිදුකළ අරගලයක් වීම නිසා ය.

South Bend Tribune

බිලී ජීන් උපත ලැබුවේ 1943 නොවැම්බර් 22 වන දා කැලිෆෝනියාවේ ලෝංග්බීච් හි දී ය. අවුරුදු 11 දී පමණ සිට ටෙනිස් ක්‍රීඩාව ඇරඹූ බිලී ජීන් 1955 දී මුලින්ම ලොස් ඇන්ජලීස් ටෙනිස් සංගමයේ සාමාජිකත්වය ලබාගන්නා ලදී. 1958 සිට කැපී පෙනෙන දක්ෂතා දැක්වූ බිලී ජීන්, දකුණු කැලිෆෝනියා ශූරතාවලියේ දී තම වයස් කණ්ඩායමේ ජයග්‍රහණය ලබාගැනීමට සමත් විය. 1959 සිට වෘත්තීය ටෙනිස් ක්‍රීඩිකාවක් ලෙස කටයුතු ඇරඹූ බිලී ජීන්ගේ පුහුණුකාරිණිය වූයේ ප්‍රවීණ ටෙනිස් ක්‍රීඩිකාවක් වූ ඇලිස් මාබල් ය.

කුඩා බිලී ජීන් (දකුණු පස කෙළවර) (KPBS)

1961 සිට 1964 දක්වා ලොස් ඇන්ජලීස් හි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරන අතරතුර ක්‍රීඩා කටයුතු සිදුකළ අතර, ජීවිකාව ලෙස ටෙනිස් පුහුණුකාරිණියක් ලෙස ද කටයුතු කරන ලදී. 1961 දී ඇය අන්තර්ජාතික පිළිගැනීම හිමිකරගනු ලැබූයේ කැරන් සුස්මාන් සමග විම්බ්ලීඩන් ශූරතාවලියේ කාන්තා යුගල තරගය ජයග්‍රහණය කළ ළාබාලතම තරගකාරිය බවට පත්වෙමිනි. පසු ව සම්පූර්ණ වෙහෙස යොදා පුහුණුවීම් සඳහා කාලය වෙන්කළ ඇය 1966 දී පළමුවරට විම්බ්ලීඩන් ශූරතාවලියේ දී කේවල තරගයක් ජයගන්නා ලදී. 1967 සහ 1968 වසර දෙකෙහි දී ම එම ශූරතාව නැවතත් දිනාගැනීමට ඇය සමත් විය. කේවල තරගයට අමතර ව 1967 දී රොසී කැසල්ස් සමගින් කාන්තා යුගල ශූරතාවය ද, ඕවන් ඩේවිඩ්සන් සමගින් මිශ්‍ර ශූරතාවය ද දිනා ගන්නා ලදී. එසේ ම 1968 වසරේ දී ද කාන්තා යුගල ශූරතාව රොසී කැසල්ස් සමගින් දිනාගන්නා ලදී. 1969 සහ 1970 වසර දෙකෙහි විම්බ්ලීඩන් කාන්තා අනුශූරතාව දිනාගත් අතර 1970 දී රොසී කැසල්ස් සමග නැවත කාන්තා යුගල ශූරතාව දිනාගන්නා ලදී. 1971 දී රොසී කැසල්ස් සමග කාන්තා යුගල ශූරතාවය ද ඕවන් ඩේවිඩ්සන් සමග මිශ්‍ර ශූරතාවය ද දිනාගන්නා ලදී. නැවත 1972 සහ 1973 වසරවල දී කාන්තා කේවල ශූරතාව සහ කාන්තා යුගල ශූරතාවය ද දිනාගන්නා ලද අතර, 1973 දී මිශ්‍ර ශූරතාවය ද දිනා ගන්නා ලදී. 1974 වසරේ නැවතත් මිශ්‍ර ශූරතාව දිනාගන්නා ලද්දේ ද ඕවන් ඩේවිඩ්සන් සමගිනි. ඇය අංක එකේ ටෙනිස් ශූරිය ලෙස එක්සත් ජනපදය තුළ ශ්‍රේණිගත වූයේ 1967 දී ය.

medium

කාන්තා සම අයිතිය වෙනුවෙන් සටන් කළ ආරම්භක ක්‍රීඩිකාව වුයේ ද බිලී ජීන් ය. 1965 දී ලැරී කිං සමග විවාහ දිවියට පත්වුවත් පසුකාලීන ව ඇය තමන් සමලිංගික බව හදුනාගනියි. සමලිංගික බව පිළිගත් පළමු ක්‍රීඩිකාව ලෙස ඉතිහාසයට එක්වන්නේ ද බිලී ජීන් ය. ඒ වන විට සමලිංගික අයිතිවාසිකම් නීතියෙන් තහවුරු නොවූ කාලයක පවා ඇය බොහෝ දෙනාගේ ඉල්ලීම වූ එය සඟවා තබන ලෙස කළ ඉල්ලීම ඉවත දමා තම අනන්‍යතාව නොබිය ව ප්‍රකාශ කරන ලදී. කාන්තා මලල ක්‍රීඩිකාවක් ලෙස ඉතිහාසයේ පළමුවරට එක් තරගාවලියක දී ඩොලර් 100,000කට වඩා වැඩි මුදලක් (117,000) ඉපයූ තැනැත්තිය ද ඇය යි.

ලැරී සමග (TheUnion.com)

නමුත් දිගින් දිගටම අසාධාරණ ලෙසින් ක්‍රීඩිකාවන්ට ක්‍රීඩකයන්ට වඩා අඩු ගෙවීමක් සිදුකරමින් තිබුණි. ඇගේ තර්කය වූයේ කාන්තා සහ පිරිමි තරග නැරඹීම සඳහා එකම මිල සහිත ටිකට් ප්‍රමාණයක් අලෙවි කරයි නම් ගෙවීම් කටයුතුවල දී ද එය සමාන ව සිදුවිය යුතු බව යි. නමුත් ටෙනිස් සංගම් ප්‍රධානීන් එම ඉල්ලීම ඉවත දමනු ලැබීය. මේ නිසා 1971 දී බිලී ජීන් සමග තවත් ක්‍රීඩිකාවන් 8 දෙනෙකු ටෙනිස් සංගමයෙන් ඉවත් ව ගොස් වෙන ම තරග කිරීමට තීරණය කරන ලදී. සුප්‍රකට ‘ඩොලරයේ කොන්ත්‍රාන්තුව’ සමග තමන්ගේ ම තරගාවලියක් සාර්ථක ව පැවැත්වීමට ද ඔවුන් සමත් විය.

කණ්ඩායමේ ඩොලරයේ පින්තූරය (thehindu)

මෙම කටයුතු පිටුපස ඔවුන්ට මඟ පෙන්වූයේ හිටපු ප්‍රවීණ ටෙනිස් ක්‍රීඩිකාවක් වූ ද World Tennis Magazine සඟරාවේ නිර්මාතෘ, සංස්කාරක සහ ප්‍රකාශක වූ ද ග්ලැඩිස් හෙල්ඩ්මාන් ය. ඇය කාන්තා ටෙනිස් ක්‍රීඩාව වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළ ක්‍රියාකාරිනියකි. බිලී ජීන් ඇතුළු පිරිස ටෙනිස් සංගමයෙන් ඉවත් ව පැමිණ නව තරගාවලි සංවිධානය කිරීමේ සිට සියලු කටයුතුවල දී ඇය දැක්වූ දායකත්වය පිළිබඳ ව බිලී ජීන් පසු කලෙක සඳහන් කළේ ඇය නොමැති වූවා නම් එම කටයුතු කිසිවක් සිදුකර ගත නොහැකි වී යනු ඇති බව යි.

ග්ලැඩිස් හෙල්ඩ්මාන් (gettyimage)

ක්‍රීඩිකාවන්ට වෙනස් කොට සැලකීමට විරුද්ධ ව ආරම්භ වූ ගමනේ තීරණාත්මක සිදුවීම 1973 දී සිදුවිය. ඔවුන් මෙලෙස තමන්ට සම අයිතිය ඉල්ලා සිටින විට ඊට එරෙහිව පෙරමුණක් ද ගොඩනැගී තිබුණි. කුස්සිය උරුම වූවන් ටෙනිස් ක්‍රීඩාවට පැමිණ සිටීම ගැන හිටපු ප්‍රවීණතම ටෙනිස් ක්‍රීඩකයෙකුගෙන් දිගින් දිගටම උපහාසය එල්ල කරමින් පැවතුණි. ඔහු නමින් බොබී රිග්ස් ය. 1930 සහ 1940 දශකයේ අංක එකේ ටෙනිස් ක්‍රීඩකයෙකු වූ ඔහු මේ වන විට 55 වැනි වියේ පසු විය. දැනට 55 වැනි වියේ පසු වන තමන්ව පරාජය කරන මෙන් ටෙනිස් ශූරියන්ට අභියෝගයක් ඉදිරිපත් කළේ ය.

බොබී රිග්ස් (SFGate)
කාන්තාවන් උපහාසයට ලක් කළ අයුරු (PBS)

පළමුවෙන් එම අභියෝගයට මුහුණ දුන්නේ 1970 විම්බ්ලීඩන් ශූරිය වෙමින් බිලී ජීන් ද පරාජය කළ මාගරට් කෝට් විසිනි. මෙම අභියෝගතා තරගය එදා මාධ්‍ය විසින් හඳුන්වා දුන්නේ ‘ස්ත්‍රී-පුරුෂ සටන’ (Battle of the Sexes) ලෙස යි. 1973 වසරේ පළමු Battle of the Sexes තරගය බොබී රිග්ස් සහ මාගරට් කෝට් අතර කැලිෆෝනියාවේ රමෝනා හි දී පැවැත්විණි. 6-2 ලෙස මාගරට් අන්ත පරාජයකට පත්කරමින් බොබී රිග්ස් කාන්තාව සුදුසු වන්නේ මුළුතැන්ගෙයට බව ස්ථිර කොට ප්‍රකාශ කර ජය පැන් පානය කරන ලදී. පළමුව බොබීගේ අභියෝගය ප්‍රතික්ෂේප කළ බිලී ජීන්ට තවදුරටත් එය ප්‍රතික්ෂේප කළ හැකි තත්ත්වයක් නොවීය. දැන් මෙය කාන්තා ටෙනිස් ක්‍රීඩාවේ පමණක් නොව සියලු කාන්තාවන්ට බලපාන ගැටලුවක් බවට පත් ව ඇත. මාගරට් අන්ත පරාජයක් ලැබූ එම දිනය හැඳින්වූයේ ද “Mother’s Day massacre” ලෙස ය.

මාගරට් සහ බොබී අතර තරගය (mholloway63)

අවසානයේ බිලී ජීන්, බොබී රිග්ස්ගේ අභියෝගය භාරගන්නා ලදී. එයට රටපුරා පමණක් නොව ලොව පුරා ම ඉතා විශාල ප්‍රචාරයක් හිමිවිය. ඩොලර් 100,000ක මුදලක් දෙපාර්ශවයෙන් ම ඔට්ටුවට තැබීමට එකඟ විය. බොබී රිග්ස් තම පූර්ව ප්‍රචාරක කටයුතුවල දී සුපුරුදු ලෙස ම කාන්තාව මුළුතැන්ගෙයි සිටිය යුතු බවත්, ටෙනිස් යනු පුරුෂයන්ගේ ක්‍රීඩාවක් බවත් නැවත නැවතත් පවසන්නට විය. බිලී ජීන්ගේ ඉදිරියේ වූ අභියෝගය හුදෙක් තරගයක් ජයගැනීමක් නොව, බොබී රිග්ස් විසින් සහ ඇමරිකාවේ ජනප්‍රිය තලයේ කාන්තාව පිළිබඳ ව වූ මෙම අදහස් සමග කරන සටනක් විය. තමන්ගේ පරාජය හුදු තරග පරාජයක් වෙනුවට මෙම අයුක්ති සහගත මතවාදයන්හි නිල ජයග්‍රහණයක් බවට පත්වීමට නියමිත බව ඇය වටහාගෙන තිබුණි.

තරගය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව (HoustonChronicle)

දිනය උදා විය. ඒ 1973 සැප්තැම්බර් මස 20 වන දා යි. ටෙක්සාස් ප්‍රාන්තයේ හොස්ටන් නගරයේ ඇස්ට්‍රොඩොම් ක්‍රීඩාංගණය 30,000කට අධික ක්‍රීඩා ලෝලීන්ගෙන් උතුරා ගියේ ය. රූපවාහිනී ඔස්සේ මිලියන 90ක් දෑස් දල්වා සජීවී ව Battle of the Sexes දෙස අවධානයෙන් පසු විය. ඉතාමත් සංදර්ශනාත්මක ලෙස පිටියට පිවිසුණු බිලී ජීන් සහ බොබී රිග්ස් තරගයට පිවිසුණි. ඉතාමත් ම තියුණු තරගයක් අවසානයේ 6-4, 6-3, 6-3 ලෙස බොබී පරාජය කිරීමට බිලී සමත් විය. බොබී පරාජය බාරගනිමින් තරගය අවසන් වූ වහා ම බිලී ජීන්ට සුභ පැතීය. තමන් ඇගේ දක්ෂතාව සම්බන්ධයෙන් සිදුකරනු ලැබුවේ අඩු තක්සේරුවක් බව ද ඔහු පිළිගන්නා ලදී.

බිලී තරග බිමට පැමිණි අයුරු (Timeline)
බොබී පැමිණි අයුරු (twitter)
තරගය අවසන් වූ මෙහොත (NYDailyNews)

1971 දී විරෝධය දක්වමින් ටෙනිස් සංගමයෙන් ඉවත් ව වෙන ම ක්‍රීඩා කිරීම ඇරඹීමෙන් පසු ව ඇයට සමීප ව සිටි මැරිලින් බාර්නට් නම් ඇගේ කණ්ඩායමේ කොන්ඩා සකසන්නිය සමග ආදර සම්බන්ධතාවක් පැවැත්වූ ඇය, ඒ වන විටත් ලැරී සමග විවාහක ව සිටියා ය. මැරිලින් සමග තිබූ ආදර සම්බන්ධය පසු ව අවසන් වූ අතර බිලී ජීන් 1987 දී ලැරීගෙන් දික්කසාද වී තම සහකාරිය ලෙස ප්‍රවීණ ටෙනිස් ක්‍රීඩිකාවක වූ ඉලානා ක්ලොස් සමග එක් විය.

තරගයට පෙරදින- බිලී අසලින් ම සිටින්නේ මැරිලින් ය (timeline)

1983 වසරේ ක්‍රීඩිකාවක ලෙස තම වැඩ කටයුතු අවසන් කළ ඇය සමාජ ක්‍රියාකාරිනියක කටයුතු අරඹන්නී ය. 2008 දී යුනෙස්කෝ සංවිධානයේ ලිංගික සමානාත්මතාව පිළිබඳ ගෝලීය උපදේශකවරියක් ලෙස ද ඇය පත්වීම් ලබන්නේ සිවිල් ක්‍රියාකාරිනියක ලෙස LGBTQ අයිතිවාසිකම් වෙනුවෙන් කරනු ලබන මැදිහත්වීම් මත යි. 2009 අගෝස්තු 12 වන දින එක්සත් ජනපදයේ සිවිල් වැසියෙකුට ලැබිය හැකි ඉහළම සම්මානය වන නිදහස උදෙසා ජනාධිපති සම්මානයෙන් ද ඇය පිදුම් ලැබීය.

සම්මානය පළඳවමින් (JustJared)

75 වියැති බිලී ජීන් මේ මොහොතේ දී ද විවිධ සමාජ ක්‍රියාකාරී කටයුතුවල යෙදෙමින් ඉලානා සමග දිවි ගෙවයි.

ඉලානා සමග බිලී ජීන් (zimbio)

බිලී ජීන් සහ බොබී රිග්ස් අතර තරගය තේමා කරගනිමින් ජොනතන් ඩේටන් සහ වැලරී ෆාරිස් විසින් අධ්‍යක්ෂණය කළ Battle of the Sex සිනමා නිර්මාණය මෙම කතා පුවත ඉතා මනරම් ලෙස ඉදිරිපත් කරයි. මෙම චිත්‍රපටය 1973 ටෙනිස් තරගයට වසර 44ක් සපිරෙන 2017 වසරේ දී තිරගත විය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන බිලී ජීන් තමන්ගේ චරිතයට පණ පොවන එමා ස්ටෝන් සහ මැරිලින්ට පණ පොවන ඇන්ඩ්‍රියා රයිස්බර් විශේෂ ඇගයීමකට ලක් කරන ලදී.

imdb
imdb
imdb
තරගය අවසන් ව (People Magazine)
Battle of the Sexes කුසලානය සමගින් (biography)
timeline

කවරයේ පින්තූරය: billiejeanking.com

මූලාශ්‍රයයන්:

biography.com

billiejeanking.com

nytimes.com

nbcnews.com

Related Articles