ලන්ඩනයේ ස්කොට්ලන්ඩ්්යාර්ඩ් පොලිසියට පවා විසඳීමට නොහැකි ගැටලු සූක්ෂම ලෙසින් විසඳා දුන් උපදේශක රහස් පරීක්ෂකයා ගේ උපන්දිනය පසුගිය ජනවාරි 06 වැනිදාට යෙදී තිබුණා. ඒ වෙනුවෙන් අපි සූදානම් ඔබ 221B බේකර් වීදිය වෙත චාරිකාවක් එක්ක යන්න.
හඩ්සන් මහත්මියගේ අතින් හැදුණු උණුසුම් කෝපි කෝපයක රස විඳින ගමන් සර් ආතර් කොනන්ඩොයිල් අතින් මැවුණු අති දක්ෂ රහස්පරීක්ෂක ෂර්ලොක් හෝම්ස් ගැනයි මේ ලිපියේ කතා බහ කෙරෙන්නේ.
අති දක්ෂ යක්ෂයා හෝම්ස්
නිරීක්ෂණය කිරීම් මඟින් නිගමනවලට එළැඹීමේ හැකියාව ඉතා දියුණු ලෙස ප්‍රගුණ කළ පුද්ගලයකු ලෙසයි ෂර්ලොක් හෝම්ස් චරිතය ගොඩ නැගෙන්නෙ. පොත්වල මේ දක්ෂ රහස් පරීක්ෂකයාගේ දේහ ලක්ෂණ විග්රහ වෙනවා. ඒ ඔස්සේ මේ අපුර්ව චරිතය මනසේ මවාගන්නට පාඨකයාට හැකියාව ලැබෙනවා. ඔහු උසින් අඩි 6 කට මඳක් වැඩි සිහින් පුද්ගලයෙක්.
පළල් නළල, රාජාලි හොට වැනි නාසය, තරමක් රළු කටහඬ, අළු පැහැයට හුරු තියුණු ඇස් ඇති අයෙක් ලෙසයි ඔහු හැඳින් වෙන්නෙ. කොහොම වුණත් 1880 දි මොන්ටේගු වීදියේ නේවාසික ව තනිව වාසය කළ හෝම්ස් එතනින් ඉවත්වෙලා හඩ්සන් මහත්මිය ගේ “221B බේකර් වීදියේ” නිවසට පැමිනෙන්නේ රහස්පරීක්ෂක කර්තව්‍යය වෘත්තීය මට්ටමෙන් සිදුකිරීම වෙනුවෙන්. 221B නිවාසයේ කුලිය බෙදාගන්න ඔහුට හමුවෙන අපුර්ව මිතුරා තමයි වොට්සන්.
බේකර් වීදියට එන්නට කාලයකට කලින් ඉඳන් ම (අවුරුදු 26 දී පමණ) සරසවියේ උගත් මිතුරන්ගේ ගැටලු විසඳන්න වගේම ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසියේ “ලෙස්ට්රේඩ්” “ග්රෙගසන්” හා “හොප්කින්ස්” වගේ ඉහළ නිලධාරීන්ට පවා රහස්පරීක්ෂක උපදෙස් ලබාදෙන්න හැකියාව තිබුණු කෙනෙක් ලෙසයි ඔහු ගොඩ නැගෙන්නෙ.
” කොයි තරම් රජයේ, පෞද්ගලික අංශයේ රහස්පරීක්ෂකවරු හිටිය ද, ඔවුන් ප්‍රශ්න විසඳාගන්න ගිහින් අමාරුවෙ වැටුණා ම අන්තිමට එන්නෙ මං ළඟට.. අපරාධ ඉතිහාස ගැන මට තියන දැනුමෙන් මට පුළුවන් ඔවුන්ට උදව් කරන්න. අපරාධවල බෝහෝ විට තිබෙනවා මූලික සමානතා.. ඔබ අපරාධ දහසක් ගැන සියලු ම විස්තර දන්නවානම්, එක්දහස් එක් වෙනි අපරාධය විසඳීම ඔබට සුළු දෙයක්…” – (හෝම්ස්)
මෙවැනි පාඨ ෂර්ලොක් කතා බොහෝමයක ඇතුළත් වෙනවා. ඒ ඔස්සේ ෂර්ලොක් ගේ හැකියා ගැන ඉතා ඉහළින් කතා කෙරෙනවා.
1854 ජනවාරි මාසයේ 06 වෙනිදා තමයි Sherlock Holmes උපත ලබන්නෙ. මව සහ පියා පිළිබඳව මූලාශ්‍ර තුළ හරි සඳහනක් නැහැ. පසු කාලීනව Sherlock Holmes චරිතය අළලා බිහි වූ චිත්‍රපට සහ කතා මාලාවල ඔහුගේ පියා Siger Holmes සහ මව Violet Sherrinford ලෙස සටහන් වෙනවා. කොහොම වුණත් Holmes ගේ සහෝදරයා Mycroft Holmes ගැන ඔබ අනිවාර්යයෙන් ම අසා ඇති. ඔහු පිළිබඳ මුලින් ම සඳහන් වෙන්නෙ “The Adventure of the Greek Interpreter,” කතාවේදී යි.
සුපිරි රහස්පරීක්ෂකයා
මේ සුපිරි රහස්පරීක්ෂකයා පාසල් හෝ අධ්‍යාපනය ලැබූ ස්ථාන ගැන නිසි සඳහනක් නම් පොත් තුළ දැකගන්න ලැබෙන්නෙ නැහැ. කොහොම වුණත් ඔහු යම් අධ්‍යාපන අදියරක දී Professor Moriarty ගෙන් ගණිතය ඉගන ගත් බව සඳහන් වෙනවා. පසු කලෙක දී ෂර්ලොක්ගේ ප්‍රධානත ම සහ භයානක ම එදිරිවාදියා බවට පත් වෙන්නෙත් ලන්ඩනයේ පාතාලයේ මහ මොළකරු ලෙස හැඳින්වෙන මහාචාර්ය මොරියාටි ම තම යි.
මොරියාටිට එරෙහි ව වගේ ම අපරාධ මැඬලන්නට ෂර්ලොක්ගෙ සහායට ඉන්නෙ Doctor John H. Watson. ෂර්ලොක්ගෙ අතිජාත මිතුරා වගේ ම ඔවුන් යෙදෙන පරීක්ෂණ පිළිබඳ ව කතන්දර ලියන්නෙත් මේ වොට්සන් තම යි. මේ වොට්සන් චරිතය තුළින් සර් කොනන්ඩොයිල් කතාන්දරය තුළ තමන් ම ගොඩ නඟපු බව තමයි සඳහන් කරන්නෙ. අපි කියවන හැම කතාවක් ම ලියැවෙන්නෙ වොට්සන් ගේ දෘෂ්ටියෙන්.
අපරාධ ස්ථානයක වු සිදුවීම් හඳුනා ගැනීමට අඩි සටහන්, පාවහන්වල පතුලේ පෙනුම, අඩි දෙකක් අතර පරතරය මගින් ගමන් කළ කෙනාගෙ උස ඇතුළු බොහෝ දේ නිගමනය කිරීම, අපරාධකරුවන් එම ස්ථානවල දී භාවිත කළ දුම්කොළ, සිගරට් අළු ඇසුරෙන් ඔවුන් කළ කී දැ නිගමනය, අත් අකුරු සහ නොයෙක් රහස් කේතන ක්‍රම හඳුනා ගැනීම වැනි දේ රැසක් ඔහුගේ රහස්පරීක්ෂණ ක්‍රියාවලියේ අඩංගු වෙනවා.
පර්යේෂණ මීයාගේ කාර්යය
කලකට පසුව ආසා හිතෙන මට්ටමේ ගැටලුවක් හෝ අපරාධයක් ගැන ඉව වැටුණු වහා ම උන් හිටි තැන් අහිමි ව බිම වැතිරෙමින්, බඩගාමින්,නොයෙක් ශබ්ද නංවමින් හෝඩුවා සොයන ශර්ලොක් හෝම්ස් ගේ ක්‍රියාකාරකම් ගැනත්, ගැටලුවේ අසීරුතාව මත 221B නිවහනේ බිත්තියට ඇතුළු වන මූනිස්සම් ගණන වැඩි වෙන බවත්, නෝක්කාඩු නගමින් මේ සියල්ල දරා ඉන්න හඩ්සන් මහත්මිය ගැනත් වොට්සන් ඔහුගේ සටහන් තුළින් පාඨකයාට විටින් විට කියනවා. ඒවගේම විවිධ පරීක්ෂණ සඳහා පර්යේෂණ මීයාගේ කාර්යය වොට්සන් වෙත පැවරෙන එකත් සුලබ සිදුවීමක්.
වෛද්‍ය සිසුවකු නොවුණත්, සාම්ප්‍රදායික වෛද්‍ය ශිෂ්‍යයකුට වඩා පරතෙරට ගිය දැනුමක් හෝම්ස් සතු ව තිබුණ බවත් ඕනෑම විෂය පථයක් ක්ෂණික අධ්‍යයනයකින් මොළේට කාවද්දා ගත හැකි හැකියාවක් සහිත කෙනකු ලෙසත් මේ චරිතය ගොඩ නැගෙනවා. තමන්ගේ මොළය කුඩා ගබඩාවක් ලෙස සලකන ඔහු එදිනෙදා සහ පරීක්ෂණවලට සෘජුව සම්බන්ධ නොවෙන දේ ගබඩා නොකර ගන්නට වගබලා ගන්නවා.
අපරාකරුවන් හඹා යන්නට ඇති හැකියාව
වයලීන් වාදනයට වගේම කඩු සරඹයටත්, බොක්සිංවලටත් එක ලෙස දක්ෂයකු ලෙස හෝම්ස් ගැන සඳහන් වෙනවා. ඊට අමතර ව රසායන විද්‍යාව ගැනත් ඉතා හොඳ දැනුමක් ඔහු සතු යි. දේශපාලනය, දර්ශනය වැනි දේ ගැනත් අක්‍රමවත් දැනුමක් ඔහු තුළ ඇති බව වොට්සන්ගේ සටහන්වල සඳන් වෙනවා. විසඳීමට අපහසු ගැටලුවක් ලැබු විට කෝපි, සුරුට්ටු වගේම කොකේන්, මෝර්ෆීන් වැනි දේ පවා ඔහු විටින් විට භාවිත කළ බවත් ඒවායේ සඳන් වෙනවා.
මේ හැකියාවන්ට අමතර ව වෙස් වලාගෙන අපරාකරුවන් හඹායන්නට ඇති හැකියාව විශිෂ්ට බවත් විටක ඔහුටත් තම මිතුරා හඳුනාගත නොහැකි බවත් වොට්සන් සඳහන් කරනවා.
ෂර්ලොක් සහ වොට්සන් චරිත දෙක ප්‍රබන්ධ කිරීමේ දී මුලින් ම යොදා තිබෙන්නෙ මේ නම් දෙක නම් නෙමෙයි. මුලින් ම ප්‍රධාන චරිතය නම් කෙරුණේ ෂෙරිංෆඩ්” (Sherrinford) ලෙසයි. එය කතාන්දරය සහ චරිතය සමඟ එතරම් නොගැළපෙන බව කොනන්ඩොයිල් තීරණය කරනවා. ක්‍රිකට් වෙත ඉතා දැඩි ඇල්මක් දැක්වූ ඩොයිල්, නොටිංහෑම් ක්‍රිකට් සමාජයේ ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනකුගේ නම් යොදා “ෂර්ලොක් හෝම්ස්” යන නම ලබා දෙන්නට පසුව තීරණය කර තිබෙනවා. වොට්සන් චරිතයේ මුල් නම ” Ormand Stacker” ලෙසයි යොදා තිබෙන්නෙ. පසුව එයත් වෙනස් කර තිබෙනවා.
හෝම්ස් මැවුම්කරු සර් ආතර් කොනන්ඩොයිල්
1859 මැයි මස 22 ස්කොට්ලන්තයේ එඩිංබරෝ නගරයේ උපත ලබන කොනන්ඩොයිල්ගේ පියා ‘චාල්ස් ඩොයිලි’ වන අතර මව ‘මේරි ඩොයිලි’ වෙනවා. මවගේ ඒකායන අධිෂ්ඨානය වෙන්නෙ කොනන්ඩොයිල් වෛද්‍යවරයකු කරන එක. ඇයගේ උත්සහය නිසාම අවුරුදු 18 දි (1877 දි පමණ්) “එඩිංබරෝ” විශ්ව විද්‍යාලයට ඇතුළු වන්නට කොනන්ඩොයිල්ට හැකියාව ලැබෙනවා. එයයි කොනන්ඩොයිල්ගෙ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය බවට පත් වෙන්නෙ. මේ විශ්වවිද්‍යාලයේදි තමයි “ෂර්ලොක් හෝම්ස්” චරිතය නිර්මාණය වෙන්න ප්‍රධාන ම හේතුව වන වෛද්‍ය “ජෝෂප් බෙල්” ඔහුට මුණගැහෙන්නෙ.
1881 දි වෛද්‍ය උපාධිය හදාරා අවසන් කර සරසවියෙන් පිටත් වන ඩොයිල්, 1885 දි “මේරි ලුයීසා හෝකින්ස්” මෙනවිය හා විවාහ වෙනවා. (මේරි ගේ හදිසි අභාවයෙන් පසු සර් ඩොයිල් දෙවන වරට ‘ජීන් එලිසබත්’ සමඟ විවාහ වූවා). තමන් ළඟට වැඩි පුර රෝගීන් නොපැමිණිම නිසා ම මොහු ඒ ශ්‍රේෂ්ඨ පුරාවෘත්තය වන “ෂර්ලොක් හෝම්ස්” චරිතයට පණ දෙන්න ඒ කාලය භාවිත කරනවා.
1886 දී “The Study in Scarlet” (ලෝහිත පරීක්ෂණය) නම් ප්‍රථම රහස් පරීක්ෂණ කතාව එළිදකින්නෙ ඒ විදිහට යි.
1886 දී ම වගේ “Ward lock” නම් සඟරාවට තමන්ගෙ කතාව කොනන්ඩොයිල් ලබා දුන්නත් ඔවුන් එයට එතරම් ප්රමුඛත්වයක් ලබා දෙන්නෙ නැහැ. 1887 දී “The study in scarlet” කතාංගය ඔවුන්ගේ සඟරාවේ පළ කර 1888 දී එය පොතක් විදිහට ඔවුන් එළි දැක්වුවත් කොනන් ඩොයිල්ට එයින් කිසිම මුදලක් නම් හිමි වෙන්නෙ නැහැ. මේ නිසා බොහෝ කලකිරීමට පත්ව සිටි කොනන්ඩොයිල්ට 1890 දී “The Strand” නමැති සඟරාව කතා ලියන්නට ආරාධනා නොකළා නම් ඒ ඩොයිල් ගේ අවසාන කතාව ද වන්නට ඉඩ තිබුණා.
විශිෂ්ටත්වය කරා
ඒත් කොනන්ඩොයිල් ගෙ දෛවය ලියැවී තිබුණේ විශිෂ්ටත්වය කරා යන්නට යි. The Strand සඟරාවේ පළවුණු ෂර්ලොක් හෝම්ස් කතා යුරෝපයේ අතිශයින් ම ජනාදරයට පත් වෙන්නෙ නොසිතූ වේගයකින්. මුල් කාලයේ තම විවේකී වෙලාවේ ලේඛනයේ යෙදුණු කොනන්ඩොයිල්ට මේ ලැබුණු මහත් ජනාදරය නිසාම වෛද්‍ය වෘත්තිය අතහැර දමා සම්පූර්ණ ලේඛකයෙක් වෙන්නට ඔහුට සිදු වුණා.
1886 පළමු කතාවේ සිට 1927 රචනා කළ අවසන් කතාව දක්වා ශර්ලොක් හෝම්ස් කතාන්දර 60ක් ආතර් කොනන්ඩොයිල් රචනා කළා.
The Adventures of Sherlock Holmes
The Case books of Sherlock Holmes
The Returns of Sherlock Holmes
The Memories of Sherlock Holmes
His Last Bow යන අනු ග්රන්ථ ඇතුළත කෙටි කතා 56ක් ද, A Study in Scarlet, The Hound of the Baskervilles, The Sign of Four, The Valley of Fear ලෙසින් දීර්ඝ කතා 4ක් ද ඒවාට ඇතුළත් වුණා.
ඔහුට “නයිට් පදවියක්” පිරිනැමීම
ෂර්ලොක් හෝම්ස් කතාන්දරවලට අමතර ව White company, The lost world, Rodney company, Mikah clarke, Sir nigel වැනි පොත් සහ ඓතිහාසික දැනුම රැගත් කෘති කොනන්ඩොයිල් අතින් රචනා වුණා. එවකට එංගලන්තයේ සිටි ධනවත් ම ලේඛකයා බවට කොනන්ඩොයිල් පත් වෙන්නෙ නිරායාසයෙන්ම යි. 1899-1902 අතර කාලයේ “දෙවන බෝයර් යුද්ධය” සමයේ දී “Bloemfontein”වල Langman Field රෝහලේ බ්‍රිතාන්‍යය වෙනුවෙන් ස්වෙච්ඡා සේවා වෛද්‍යවරයකු විදිහට කටයුතු කරමින් කොනන්ඩොයිල් සිදු කළ විශිෂ්ට සේවය නිසාවෙන් බ්‍රිතාන්‍යයේ ” හත් වන එඩ්වඩ් රජු” ඔහුට “නයිට් පදවියක්” පිරිනැමීම සිදුවුණා. ඉන් අනතුරුවයි “සර් ආතර් කොනන් ඩොයිල්” බවට ඔහු පත් වෙන්නෙ.
දිගින් දිගට ම ෂර්ලොක් හෝම්ස් කතාන්දර ලිවීමෙන් කාලයක දී කොනන්ඩොයිල් වෙහෙසට පත් වෙනවා. දිනක් සර් ඩොයිල් තම බිරිය සමඟ ස්විට්සර්ලන්තයට ගිය අතරතුර රයිකන්බාක් (Reichenbach) දිය ඇල්ල අසල දී ඔහුගේ ශ්රේඨත ම චරිත නිර්මාණය මරා දමන්නට කොනන්ඩොයිල් තීරණය කරනවා. 1893 නොවැම්බර් නිකුත් කළ “The Final Problem” කතාවට අනුව වයස අවුරුදු 37ක් වූ මේ අසාහය රහස්පරීක්ෂකයා ඔහුගේ දරුණු ම ප්‍රතිවාදියා සමඟ සටන් කරමින් රයිකන්බාක් දිය ඇල්ලෙන් පහළට වැටී මරණය වැලඳ ගන්නවා. කොනන්ඩොයිල් මේ ලෙස ෂර්ලොක් හෝම්ස් කතාවන්ට නිමාවක් දෙන්නෙ ඔහුගේ ආසාවක් ව පැවති ඓතිහාසික කතා ලිවීම නිසා අතර මඟ කඩාකප්පල් වූ වෛද්‍ය වෘත්තීය නැවත ඇරඹීමේ අරමුණින්.
හෝම්ස් රසිකයන් කම්පාවටත් කෝපයටත් පත්වෙයි
මේ ශ්රේඨත ම රහස්පරීක්ෂකයාගේ මරණය මුළු ලෝකයේ ම ෂර්ලොක් හෝම්ස් රසිකයන් කම්පාවටත් කෝපයටත් පත් කරන්නට හේතු වෙනවා. කොනන්ඩොයිල්ට මරණ තර්ජන පවා රසිකයන් ගෙන් එල්ල වෙන්නට පටන් ගන්නවා. ඔහුට විරුද්ධ ව නිවස ඉදිරිපිට විරෝධතා පැවත්වෙනවා. මේ නිසා ම ලෝකයේ එකම උපදේශක රහස්පරීක්ෂකයා මරණයෙන් උට්ඨානය කරන්නට කොනන්ඩොයිල්ට අකමැත්තෙන් වුණත් සිදු වෙනවා. මරණයට අභියෝග කළ හෝම්ස් නැවත එන්නෙ වොට්සන් පවා වික්ෂිප්ත කරවමින්. ඒ මහලු පොත් වෙළෙන්දකු ලෙස වෙස් වලාගෙන යි (The Adventures of the Empty House).
1927 අවසාන වරට නිකුත් කළ “ෂොස්කොම්බ් මන්දිරයේ අබිරහස” කතාවෙන් පවා හෝම්ස් ගේ මරණය ගැන සඳහනක් සිදුවන්නේ නෑ. “His last Bow” කතාවේ සඳහන් ආකාරයට අපරාධ පරික්ෂණ වෘත්තීයට විශ්‍රාම දෙන හෝම්ස්, “සසෙක්ස්” ප්‍රාන්තයේ මී මැස්සන් ඇති කරමින් නිදහසේ කල් ගත කරනවා. එයට ප්‍රධාන හේතුව වයස් ගතවීම සමඟ ඇතිවෙන Dementia තත්වය නිසා මතකය දුර්වල වීම යි.
රචක සටහන
ෂර්ලොක් හෝම්ස් කතාන්දර එලෙසින් නිමාවුවත් ලෝකයේ අදටත් හෙටටත් මේ මේ අපුර්ව චරිතයට ආදරය කරන බොහෝදෙනෙක් සිටින බව විශ්වාස යි. ෂර්ලොක් ගැන කොනන්ඩොයිල් අතින් වෙනත් යමක් නොලියවුණත් වෙනත් රචකයන් ඒ ආභාසයෙන් කතාන්දර ගොඩ නැගුවා, චිත්‍රපට සහ කතාමාලා නිර්මාණය වුණා. ඒ පිළිබඳ වගේම ෂර්ලොක් හෝම්ස් අනුප්රාප්තිකයන් ගැනත් කතාකරන්නට අපි බලාපොරොත්තු වෙනවා.