Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

චර්චිල් පිටුපස වූ සෙවනැල්ල

“සෑම සාර්ථක මිනිසෙක් පිටුපසම ගැහැණියක් සිටී” යනුවෙන් අප අතර කතාවක් පවතිනවා. ඇතැම් විටෙක එම කාන්තාව තම මව, බිරිඳ එසේත් නැත්නම් තම දියණිය වන්නටත් පුළුවන්. පුරුෂයෙකුට තම දිවියේ තීරණාත්මක මොහොතක් පැමිණි විටෙක තමා හා සිටින ඒ කාන්තාවගේ සහය අවශ්‍ය වන අවස්ථාවන්ද නැතුවා නොවේ. ඇතැම් විට එම කාන්තාව ගන්නා තීරණය එම පුරුෂයා විසින් ගනු ලබන තීරණයට වඩා යෝග්‍ය තීරණයක් වන්නටත් හැකියාව පවතිනවා. මානව ඉතිහාසයේ නොමැකෙන නමක් තැබූ පුරුෂයකු පිටුපස සෙවනැල්ලක් බඳුව සිට, ඔහුගේ දිවියේ තීරණාත්මක අවස්ථාවන්හිදී ඔහුට නොමද සහය දැක්වූ, ඔහුගේ ගමනට සෑම අතින්ම මං පෙත් විවර කර දුන් කාන්තාවක් පිළිබඳවයි මේ ලිපිය ලියැවෙන්නේ.

බ්‍රිතාන්‍යයේ රදළ පවුලක මව්පිය යුවළකට දාව, ලන්ඩන් නුවර මේෆෙයාර් නගරයේදී 1885 වසරේ අප්‍රේල් මස පළමු වනදා උපන් ක්ලෙමන්ටින් හෝසිය(ර්) නැමති දැරිය වයස අවුරුදු හයේ පටන් ඇති දැඩි වන්නේ සිය නැන්දනිය සමගයි. ඒ තම පියා තම මව හැරදා යාමත් සමග තම මව සූදු ක්‍රීඩාවෙහි නිරත වීමට ඇබ්බැහි වීම නිසාවෙන්.

ප්‍රථම හමුව

නැන්දනිය සමග බ්‍රිතාන්‍යයේ ධනවත් පැලැන්තිය ඇසුරු කරමින් තරුණ වියට පා තැබූ ක්ලෙමන්ටින් සිය දිවියේ දහනව වැනි වසර ගෙවුණු වසරේදී, එනම් 1904 වසරේ එක් දිනක රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගී වූවා. එහිදී එක් තරුණයෙකු ඇය දෙස එක එල්ලේ බලා සිටින්නට වූවා. මේ තරුණයා එවකට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්ව සිටි වින්ස්ටන් චර්චිල් බව ඈ දැන ගත්තේ ඉන් පසුවයි. දීප්තිමත් අනාගතයකට හිමිකම් කියන බව බැලූ බැල්මටම පෙනුණු මේ තරුණයා එදින තමාට නර්ථනයේ යෙදීමට හෝ ආරාධනා නොකර ඈ දෙස බලා සිටීමට පමණක් වූ නිසා ක්ලෙමන්ටින්ගේ සිතේ මේ තරුණයා පිළිබඳව පැහැදීමක් ඇති වූයේ නැහැ.

ලන්ඩන් නගරයේදී ලබාගත් ක්ලෙමෙන්ටින්ගේ සේයාරුවක් (www.history.com)

ඊට සිව් වසරකට පසුව, එනම් 1908 වසරේදී ඇයට නැවතත් රාත්‍රී භෝජන සංග්‍රහයකදී වින්ස්ටන් චර්චිල්ව මුණගැසෙනවා. නමුත් මේ අවස්ථාවේදී නම් දෙදෙනාගේම සිත්වල දෙදෙනා කෙරෙහි පැහැදීමක් ඇති වනවා. ඒ පැහැදීම කෙමෙන් ආදරයකට පෙරළී, 1908 වසරේ සැප්තැම්බර් මස 12වන දින ක්ලෙමන්ටින් හෝසිය(ර්) තමාට වඩා දස වසරකින් වැඩිමහල් වින්ස්ටන් චර්චිල්ගේ බිරිඳ බවට පත් වන්නේ මුළු ජීවිත කාලය පුරාවටම ඔහු සමග රැඳී සිටීමට ප්‍රතිඥා දෙමිනුයි. එදින පටන්, 1965 වසරේදී 90 වියැති වින්ස්ටන් චර්චිල් බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිවරයකු ලෙස නම් දරා සිට අභාවප්‍රාප්ත වන තෙක්ම ඔහු සමග රැඳෙමින් ඔහුගේ ජීවිතයට අවශ්‍ය සහය සපයන්නට ඇය සමත් වුණා.

චර්චිල්ගේ දිවි බේරූ  ක්ලෙමන්ටීන්

එවකට බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ වින්ස්ටන් චර්චිල් කාන්තාවන් හට ඡන්දය පාවිච්චි කිරීමේ අයිතිය ලබා දීමට විපක්ෂව ප්‍රකාශයන් නිකුත් කළ පුද්ගලයෙක් ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටියා. මේ පිළිබඳව ක්ලෙමන්ටින් පවා සතුටින් සිටියේ නැහැ. 1909 වසරේ දිනක තම බිරිඳ සමග පක්ෂ ප්‍රචාරණ කටයුත්තක නිරතව සිටි චර්චිල් වෙත එක් කාන්තාවක් හදිසියේම කඩා පැන ඔහුට පහර දෙන්නට පටන් ගත්තේ ඔහුගේ මෙම ප්‍රකාශයන්ට විරෝධතාවය ප්‍රකාශ කිරීම සඳහායි. තම සැමියා මෙම කාන්තාව සමග පොර බදනු බලා සිටිය නොහැකි තැන ක්ලෙමන්ටින් එම කාන්තාව වෙත අසල වූ කුණු බහාලුමක් විසි කොට චර්චිල්ගේ කබායෙන් ඇද ඔහුව තමා දෙසට ඇද ගත්තා. ක්ලෙමන්ටින් එසේ නොකළා නම් චර්චිල් ඒ අසල ධාවනය වෙමින් තිබූ කෝච්චියක් දෙසට ඇද වැටී සිය ජීවිතයෙන්ද සමුගෙන හමාරයි.

විවාහ ගිවිසගැනීමේ දිනයේදී ගත් ඡායාරූපයක්  (www.history.com)

ඒ ක්ලෙමන්ටීන් විසින් සිය සැමියා බේරා ගැනීමේ එක් සිදුවීමක් පමණයි. දේශපාලන වශයෙන් විශේෂ තීරණ ගැනීමේදී චර්චිල් නිතරම පාහේ ක්ලෙමන්ටින්ගේ සහය ලබාගත් බවත්, ක්ලෙමන්ටින් විසින් තමා සතු සහජ බුද්ධිය උපයෝගී කරගෙන චර්චිල් හට විසඳාගත නොහැකි දේශපාලනික ගැටළු රැසකට විසඳුම් සොයා දුන් බවත් පැවසෙනවා. තමා “ගවුම්” නොඇඳ “කලිසම්” අඳින්නෙකු ලෙස ඉපදුනා නම් අනිවාර්යයෙන්ම දේශපාලඥයකු වන්නට ඉඩ තිබුණා යැයි ක්ලෙමන්ටින් චර්චිල් සමග පවසා තිබෙනවා.

චර්චිල්ගේ රහස් ආයුධය

වින්ස්ටන් චර්චිල් පළමුවන ලෝක යුද සමයේ නාවික අණ දෙන නිලධාරීවරයකු වශයෙන් පත් කෙරිණි. තුර්කියේ ගැලිපොලි දූපතේ සටන මෙහෙයවා ඉන් ජය අත්පත් කරගත් පසුව සටන් දිගින් දිගටම සටන් කරගෙන යාම සඳහා පියවර ගද්දී ඒ සඳහා අවශ්‍ය දීර්ඝ කාලීන සැලසුම් සකස් කර ඇත්තේද ක්ලෙමන්ටින් විසිනුයි. කුමන පාර්ශවයන් සමග මිත්‍ර විය යුතුද, කුමන රාජ්‍යය සමග යුද වැදිය යුතුද යන්න පිළිබඳවත් සිය සැමියාට උපදෙස් දුන් ඇය, සිය සැමියා පීඩනයට පත්ව සිටින අවස්ථාවන්හිදී ඔහුගේ මානසික මට්ටම නංවාලීමටත් කටයුතු කොට තිබෙනවා. චර්චිල් පවුල පිළිබඳව දන්නා අය ඇයව හැඳින්වූයේ චර්චිල්ගේ “රහස් ආයුධය” ලෙසයි.

1940 වසරේ ඔහු බ්‍රිතාන්‍ය අගමැති ධුරයට පත්වීමත් සමග ඔහු සතු කාර්‍යභාරය තවත් වැඩි වූ නිසා, ඔහු නොමැති අවස්ථාවන්හිදී ඔහු වෙනුවට තීන්දු තීරණ ගැනීමත් ඇය විසින් සිදු කොට තිබෙනවා. එය අත්තනෝමතික ක්‍රියාවක් ලෙස පෙනුණත් සැබවින්ම වින්ස්ටන් චර්චිල් විසින් ගන්නා තීන්දු වලට වඩා ක්ලෙමන්ටීන්ගේ තීන්දු වඩාත් යෝග්‍ය ඒවා වූ බවයි පැවසෙන්නේ.

ක්ලෙමන්ටින් චර්චිල් සිය දියණියන් වන මේරි සහ සාරා සමගින් (www.history.com)

සිය දිවිය තුළ චර්චිල් යුවළ දරුවන් පස් දෙනෙකුට මාපියන් බවට පත්ව තිබෙනවා. ඔවුන් පවසන්නේ සිය දෙමාපියන් අතර විශාල නොගැලපීම් වූ බවයි. ක්ලෙමන්ටීන් සහ වින්ස්ටන්ගේ යුග දිවිය “සාමකාමී” එකක් නම් නොවූ බවයි ඔවුන් පවසන්නේ. නමුත් කෙසේ හෝ මේ දෙදෙනා එකිනෙකාගේ ජීවන ගමනට සහයෝගය දැක්වූ අතර, ඔවුන් දෙදෙනා සෑම් විටෙකම එකිනෙකා වෙනුවෙන් කැප වී කටයුතු කොට තිබෙනවා.

දෙවන ලෝක යුද සමයේ බ්‍රිතාන්‍ය හමුදා භට පිරිස් විශාල සංඛ්‍යාවක් බෙල්ජියමේ ඩන්කර්ක් දූපතේ සිරවී සිටියදී විශාල මෙහෙයුමක් දියත් කරනු ලදුව බේරාගනු ලැබුවා. ඉන් අනතුරුව එම යුද භටයින්ගේ සහ සමස්ත බ්‍රිතාන්‍ය ප්‍රජාවගේම ආත්ම විශ්වාසය ගොඩනැගීම පිණිස එවකට අගමැතිව සිට වින්ස්ටන් චර්චිල් සිදුකළ ප්‍රකාශ අදටත් ඉතා ජනප්‍රියයි. එසේ හිත් වලට කාවදින ප්‍රකාශයන් කරන්නට තරම් ඔහුගේ හිතටද ආත්ම විශ්වාසය දෙන්න ඇත්තේ ක්ලෙමන්ටින් බවයි පැවසෙන්නේ.

1943 වසරේ ටියුනීසියාවට ගොස් දෙවන ලෝක යුද්ධයේ යුද මෙහෙයුම් දියත් කරමින් සිටියදී හදිසියේ වින්ස්ටන් චර්චිල් අගමැතිවරයා හට නිවුමෝනියා රෝගය වැලඳෙනවා. ඒ සමගම හටගත් හෘදයාබාධයක් හේතුවෙන් ඔහු ඉතා දරුණු ලෙස ගිලන් වූ අවස්ථාවේදී ක්ලෙමන්ටින් වහාම ඔහු වෙත පැමිණ ඔහුගේ ශරීර සෞඛ්‍යය යහපත් අතට හැරෙන තුරු ඔහු හට සාත්තු සප්පායම් කොට තිබෙනවා. නිවස තුළදී කෙතරම් අඩ දබර කරගත්තත්, ඇතැම් අවස්ථාවන්හිදී ඈට සිය වෛවාහක නිවස හැරදමා දින ගණන් සිටින්නට තරම් ඔවුන් දෙදෙනා අතර නොමනාපකම් ඇතිවුවත්, ඔහු ගිලන් වූ අවස්ථාවේදී ඇය ඔහු වෙත පැමිණ තිබෙනවා.

වින්ස්ටන් චර්චිල් සිය බිරිඳ සමග මැතිවරණ ප්‍රචාරක කටයුතු වල යෙදෙමින් (www.history.com)

ආත්ම විශ්වාසය නැංවූ බිරිඳක් සහ ඇයට ගරු කළ සැමියෙක්

දේශපාලඥයකුගේ බිරිඳක් වීම පහසු කාර්යයක් නොවේ. විශේෂයෙන්ම ලෝක යුද්ධ දෙකක් සමගම සටන් වැදුණු අගමැතිවරයකු සමග සාමකාමී පවුල් ජීවිතයක් ගෙවීම කළ හැක්කක් නොවේ. චර්චිල් නිවසේ සිටියාට වඩා කල් ගත කළේ ඉන් පිටතයි. නමුත් ඔහුගේ අවශ්‍යතාවය මතු වූ අවස්ථාවන්හිදී ඔහු එහි නොසිටියා නම් ක්ලෙමන්ටින් සූක්ෂම ලෙස එම වගකීම්ද භාරගෙන කටයුතු කොට තිබෙනවා. “The Bulletproof Prime minister” හෙවත් “විනාශ කළ නොහැකි අගමැති” යනුවෙන් චර්චිල් විරුදාවලි ලැබුවේද ලෝක යුද සමයන් දෙකක් තරණය කරන්නට ඔහු සමග ක්ලෙමන්ටින් වූ නිසාවෙන් බව අවිවාදයෙන් පිළිගැනෙන්නක්. එමෙන්ම චර්චිල්ද තම බිරිඳ ආදරය සහ ගෞරවය දක්වා තිබීම විශේෂයි. තමා තම බිරිඳගෙන් කිසිවක් සඟවන්නේ නැති බව වරක් ඔහු ඇමරිකානු ජනාධිපති ෆ්‍රෑන්ක්ලින් ඩි රූස්වෙල් සමග පැවසීමේ සිදුවීමද අදටත් ඉතා ජනප්‍රියයි.

අඹු සැමියන් එකිනෙකාගේ සාර්ථකත්වයට සහයෝගය පළ කිරීම ගැන මනා ආදර්ශයන් ක්ලෙමන්ටින් චර්චිල්ගේ චරිතයෙන් පමණක් නොව, වින්ස්ටන් චර්චිල්ගේ චරිතයෙන්ද ගත හැකි වන්නේ ක්ලෙමන්ටින් විසින් සිය සැමියාගේ ජීවිතයට අවශ්‍ය සහය සැපයූ නිසා පමණක් නොව, වින්ස්ටන් චර්චිල් විසින්ද ඇගේ එම තීන්දු තීරණ වලට ගරු කොට ඒවා පිළිගත් නිසාවෙනුයි.

කවරයේ ඡායාරූපය – home.bt.com

තොරතුරු උපුටා ගැනීම – www.history.com  වෙබ් අඩවියේ “Meet the Woman behind Winston Churchill” ලිපිය ඇසුරින් සහ winstonchurchill.org වෙබ් අඩවියේ “New Biography of Clementine” ලිපිය ඇසුරිනි.

Related Articles