සමාජවාදී දේශපාලන ඉතිහාසයේ රුසියානු විප්ලවවාදී අරගලයේ නායකත්වය සැපයු අයවලුන් බොහෝ සිටියත් ඒ අතරින් ලෙනින් යන නාමය ප්‍රචලිතයි. කොමියුනිට්ස් දර්ශනය එසේ නැතිනම් මාක්ස්වාදය පොතපතට සීමාවූවත් එය ප්‍රායෝගිකව භාවිතා කල හැකිබව සනාථ කිරිමේදී රුසියානු දේශපාලන ඉතිහාසය උදාහරණයක් ලෙස ගන්නට පුළුවන්. ඒ වගේම එලෙස සමාජවාදී විප්ලව සිදුවී වසර 100 පිරීමද 2017 වර්ෂයට යෙදී තිබෙනවා. මේ ලිපිය හරහා ඔබට ගෙනෙන්නේ රුසියානු විප්ලවයේ නායකත්වය ගෙන කටයුතු කල වි. අයි. ලෙනින්ගේ ජීවන තොරතුරුයි.
ලෙනින්ගේ කුඩා අවධිය
ව්ලැඩිමීර් ඉලීච් උල්යානොව් (Vladimir llyich Ulyanov) යන නමින් 1870 වර්ෂයේ අප්‍රේල් මස 22 වනදා රුසියාවේ වොල්ගා නදිය අසල පිහිටි සිම්බර්ස්ක් (simbrisk, අද එය උල්යානොව්ස්ක් නමින් ලෙනින්ට ගෞරව පිණිස නම්කර ඇත) නම් ග්‍රාමයේ ලෙනින් උපත ලබනවා (ඔහු ජීවත්වූ වීදිය හා ඔහුගේ නිවස අද කෞතුකාගාරයක් ලෙස පවතිනවා).
උල්යානොව් ඔහුගේ පවුලේ නාමය වන අතර සහෝදරයින් දෙදෙනෙකු හා සහෝදරියන් තුන් දෙනෙකු ලෙනින්ගේ පවුලේ අනෙක් සාමාජිකයින් වුණා. ඔහු පවුලේ තුන්වන දරුවා වූ අතර මධ්‍යම පාන්තික සමාජයක ජීවත්වූ ඔහුගේ පියා ඉල්යා නිකොලයෙවිච් උල්යානොව් (llya Nikolayevich Ulyanov) වෘත්තියෙන් ගුරුවරයෙකුද, මව මාරියා ඇලෙක්සැන්ඩ්‍රොව්නා උල්යානෝවා (Maria Alexandrovna Ulyanova) ගෘහනියක්ද විය. කුඩා කාලයේ පටන්ම දෙමාපියන් ලෙනින් ඇතුළු පවුලේ සියලු දරුවන්ට අධ්‍යාපනය හිමිකරදීමටද කටයුතු කළේය. පාසල් කාලයේ ලෙනින් චෙස් ක්‍රීඩාව මෙන්ම ලතින් හා ග්‍රීක් භාෂාවන් පිලිබදවත් උනන්දුවක් දක්වා තිබෙනවා.
ලෙනින් තරුණයෙකු ලෙස
වයස අවුරුදු 17 වන තෙක්ම ලෙනින්ගේ නිවහන වුයේ සිම්බර්ස්ක් නගරයයි. කුඩා කාලයේ ලෙනින් වෙතින් කිසිදු දේශපාලනික කාර්යකට සම්බන්ධවීමක් සිදූ නොවූ අතර ඔහු අධ්‍යාපනය වෙනුවෙන් විශාල කැපවීමක් කල ශිෂ්‍යයෙකු විය. ඉතිහාසය හා භාෂාව ඔහුගේ ප්‍රියතම විෂයන් වු අතර අධ්‍යාපනයේ සාර්ථකත්වය වෙනුවෙන් පාසලෙන් ඔහු රන් සම්මානයක්ද හිමිකරගෙන තිබෙනවා. ලෙනින් තරුණ වියේදී ලත් අද්දැකීම් ඔහුගේ දේශපාලන දැක්ම ඇතිකිරීමට පිටුවහලක්වී තිබෙනවා.
ඔහුගේ පියාට අධ්‍යාපන ආයතනයේ රැකියාවෙන් ඉවත්වන ලෙස බලකිරීමක් රජය හරහා සිදුවූ අතර ඒ හරහා ලෙනින් දේශපාලන ක්‍රමය පිළිබද යම් විරෝධතාවක් සිත තුළ ඇතිකරගන්නවා. ඒ වගේම ලෙනින්ට වයස 16 වනවිට ඔහුගේ පියා හෘදයාභාදයක් නිසා ජිවිතයෙන් සමුගන්නවා. ඒ නිසාම ලෙනින් දෙවියන් කෙරෙහි අප්‍රසාදය පලකල බවත් යලි දෙවියන් යැදීමෙන් වළකින්නේ යැයිද පැවසු බවත් සඳහන් වනවා..
අනෙක් කරුණ නම් ඔහුගේ වැඩිමහල් සහෝදරයාගේ මරණයයි. ශාන්ත පීටර්බර්ග් විශ්වවිද්‍යාලයේ පරිසර විද්‍යාව හදාරමින් සිටි ඔහුගේ සොහොයුරා 1887 වර්ෂයේදී එවක රුසියාවේ සාර් හෙවත් අධිරාජයා වූ III වන ඇලෙක්සැන්ඩර් ඝාතනය කිරීමේ ප්‍රයත්නයක් සම්බන්ධයෙන් මරණ දඬුවමට ලක් කෙරෙනවා.. ඔහුගේ සහෝදරයාගේ මරණයද ලෙනින්ගේ දේශපාලන දැක්ම සංවර්ධනය වීමට ලොකු බලපෑමක් සිදුකර තිබෙනවා.
ඔහුගේ සහෝදරයාගේ මරණය සිදුවූ වර්ෂයේම ලෙනින් විශ්වවිද්‍යාල අධ්‍යාපනය වෙනුවෙන් කසාන් (kazan) විශ්වවිද්‍යාලයට ඇතුලත් වනවා. නමුත් ඔහුව විශ්වවිද්‍යාලයෙන් නෙරපන අතර ඉන් පසු ඔහු බාහිර අපේක්ෂකයෙකු ලෙස 1891 වර්ෂයේදී ශාන්ත පිටර්බර්ග් විශ්වවිද්‍යාලයේදී නීතීඤවරයෙකු ලෙස උපාධිය ලබාගන්නවා.
ලෙනින් දේශපාලනයට සම්බන්ධවීම
දේශපාලන කටයුතු වෙනුවෙන් සම්බන්ධ කසාන් විශ්වවිද්‍යාලයේදී සිදුවූ අතර එහිදී ඔහු මාක්ස්වාදය හැදෑරීම සිදුකරනවා. එලෙසම මෙහි ඔහු ලෙනින් යන අනවර්ථ නාමය දේශපාලන කටයුතු වලට යොදාගැනීම අරඹනවා. මේ කාලය වනවිට රුසියානු ආර්ථිකය කාර්මීකරණයට ලක්වී තිබු අතර ඒ හේතුවෙන්ම එකල විශ්වවිද්‍යාල තුළටත් එහි පීඩනය දැනෙන්නට වූ අතර කසාන් විශ්වවිද්‍යාලයේදී සිසුන්ගේ රහස් කණ්ඩායමකට බැදෙන ලෙනින් ඒ හරහා ආණ්ඩුවට එරෙහි සටන් මුලින්ම ආරම්භ කරනවා. නමුත් වැඩි කාලයක් එලෙස සිදුකිරීමේ අවස්තාව නොලැබෙන අතර දේශපාලන කටයුතු නිසා ඔහුව විශ්වවිද්‍යාලයෙන් නෙරපනු ලබනවා.
ඉන් පසුව ශාන්ත පිටර්බර්ග් පැමිණෙන ලෙනින් එහිදී ඔහුගේ දේශපාලන කටයුතු සංවර්ධනය කරගන්නවා. එහිදී ඔහු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට බැදෙනවා. 1894 වර්ෂයේ ඔහු එහි කණ්ඩායම් සාමාජිකයක් ලෙස පත්වන අතර ඒ කාලයේ ඔහුගේ පළමු දේශපාලන ග්‍රන්ථය රචනා කරනවා (‘What the Friends of the People Are and How They Fight the Social-Democrats’). මෙහි පිටපත් 200 පමණ විකිනෙනවා.
1897 වර්ෂයේ දේශපාලන කටයුතු නිසා අත්තඩංගුවට පත්වන ලෙනින් මාස කීපයක් ශාන්ත පීටර්බර්ග්හි රඳවනු ලැබ පසුව අවුරුදු තුනකට සයිබීරියාවට පිටුවහල් කරනවා. සයිබීරියාවෙදී ඔහු ඔහුගේ අනාගත ජීවන සහකාරිය නඩේස්ඩා කොන්ස්තන්තිනෝවා කෘප්ස්කායා (Nadezhda Konstantinovna Krupskaya) හමුවෙන අතර 1898 වර්ෂයේ ඔහු ඇය හා විවාහ වෙනවා. ඒ අතරතුර කාලයේ ලෙනින් රුසියානු ආර්ථිකය මෙන්ම රුසියානු ධනපති ක්‍රමයේ වර්ධනය පිලිබදවත් අධ්‍යනයක නිරතවනවා.
1900 වර්ෂයේ නිදහස ලබන ලෙනින් සයිබීරියාවේ සිට යුරෝපයට ගමන් කරනවා. ඔහු රට රටවල සංචාරය කරන අතර නිදහසෙන් පසුව අවුරුදු 17ක් මෙලෙස යුරෝපය පුරා සැරිසරනවා. ඔහුගේ මුලික අරමුණ ලෙස විප්ලවය වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීමේ පුවත් පතක් සැකසීම (Iskra ‘The Spark’) මේ අතරතුර ඔහු රහසේ සිදුකරනවා. ඒ වගේම දේශපාලන කටයුතු වලට අවශ්‍ය මුදල් සොයාගැනීමද ඔහු මේ කාලය තුල සිදු කරනවා.
1904 වර්ෂයේ රුසියාව, ජපානය අතර යුද්ධය ආරම්භ කරන අතර ඒ කාලයේ රුසියානු ජනතාව බලහත්කාරයෙන් සටන් සදහා යොදාගැනෙනවා. මේ හේතුවෙන් ඇතිවූ ජනතා විරෝධයට නායකත්වය ලබාදීමට ලෙනින් නැවත 1905 රුසියාවට පැමිණෙනවා.
රුසියාවේ ඒ කාලය වනවිට සමාජවාදී දර්ශනය සමාජගතවී පැවති අතර ඒ කාලයේ බෝල්ෂෙවික් හා මෙන්ෂෙවික් දර්ශනය ලෙසද මේ කණ්ඩායම බෙදී පැවතුනා. මේ අර්බුද හමුවේ රුසියාව තුල සමාජවාදී අරගලයට මුලික අඩිතාලම දැමීමට හැකිවීම නිසා 1917 ලෙනින් සහයෝගය දුන් බෝල්ෂෙවික් පක්ෂයේත්, මෙන්ෂෙවික් පක්ෂයේත්, ඒ වනවිට සිටි ධනපති පන්තියේත් මුලිකත්වයෙන් පාලනයට එරෙහි අරගලය සාර් ආණ්ඩුවට එරෙහිව 1917 පෙබරවාරි ආරම්භ කරනවා. 1917 ලෙනින් රහසින් දුම්රියකින් රුසියාවට පැමිණෙන අතර එය ලෝකයේ බොහෝදෙනා අතර ප්‍රසිද්ධ කතාවක්.
මේ වනවිට බොහෝ රුසියානු කම්කරුවන්ගේ සහය අරගලයට ලැබෙන අතර ආණ්ඩුවෙන් ඊට දැවැන්ත විරෝධයක් එල්ලවනවා. ‘ජනතාවට පාන්, ගොවියන්ට ඉඩම් හා රණවිරුවන්ට සාමය’ යන සටන් පාඨය මුල් කරගත් සටන අතරතුර බොහෝ ජිවිත අහිමිවනවා. පසුව 1917 ඔක්තෝම්බර් සමාජවාදී අරගලය සිදුකොට රුසියාව සමාජවාදී රටක් ලෙස නම් කිරීමටත් ලෙනින් ඇතුළු කණ්ඩායම සමත්වනවා.
ලෙනින්ගේ උදාරත්වය
තමාගේ දේශපාලන දැනුම හරහා මාක්ස්වාදී අධ්‍යාපනය රුසියානු ජනතාව අතට පත්කිරීම වෙනුවෙන් ලෙනින් කැපවී කටයුතු කරනවා. ඒ වගේම මාක්ස්වාදී දර්ශනය එකල පැවති සමාජයට ගැලපෙන ලෙස සැකසීමද, දේශන හරහා ජනතාව දැනුවත් කිරීමද ලෙනින් සිදුකරනවා. බොහෝ කාලයක් රටින් පිටුවහල් කර සිටියත් සෑමවිටම තම රටේ දුක්විදින ජනතාව නිදහස් කරගැනීමට සැලසුම් කරනවා. එලෙසම ඔහු විසින් රචනය කල ග්‍රන්ථයන් ලංකාවේ අපටත් සිංහල පරිවර්තන ලෙස කියවීමේ අවස්තාව පවතිනවා.
ලෙනින්ගේ ජීවිතයේ ජයග්‍රහණ ලෙස රුසියානු කොමියුනිට්ස් පක්ෂයේ ආරම්භකයා වීම, 1917 බෝල්ෂෙවික් අරගලයට නායකත්වය දීම, මාක්ස්වාදී ඇතුලත් කෘති බොහොමයක් ලිවීම, රුසියාව පැරණි පාලන ක්‍රමයෙන් මුදවා රට දැවැන්ත සංවර්ධනයකට යොමුකරන අඩිතාලම දැමීම දක්වන්න පුළුවන්.
ලෙනින්ගේ අවසානය
1918 අගෝස්තු 30 වනදා ලෙනින් වෙඩිපහරකට ලක්වනවා. නමුත් වාසනාවන්ත ලෙස ඔහුට එයින් බේරීමට හැකිවන නමුත් වයස අවුරුදු 53දී, 1924 ජනවාරි 21 වනදා, ජිවිතයෙන් සමුගත්තේ ආඝාත තත්වයෙන් පසුවීම හේතුවෙනුයි. ඔහුගේ අවසාන කටයුතු ජෝසප් ස්ටාර්ලින් විසින් සංවිධානය කර අතර දින හතරක් මොස්කව් නුවර ජනතා ගෞරවය පිණිස දේහය තැන්පත් කර තැබුවා.
එලෙසම අදත් රුසියාවේ මොස්කව් රතු චතුරශ්‍රයේ පිහිටි ලෙනින්ගේ සොහොන දැකගන්න පුළුවන්. ඒ වගේම රුසියානු ජනතාවගේ ඉල්ලීම නිසාම ඔහුගේ ශරීරය සංරක්ෂණය කර අදත් එහි ජනතා ගෞරව පිණිස තබා තිබෙනවා.
කවරයේ පින්තූරය : Sputnik