Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ස්ටීවන් බ්‍රයන් පෙනල්: මාර්ග අංක 40 හි ඝාතකයා

අමෙරිකා එක්සත් ජනපදයෙහි ඩෙලවෙයා හි ජීවත් වූ ස්ටීවන් බ්‍රයන් පෙනල් හැඳින්වෙන්නේ එම පෙදෙසේ ක්‍රියාත්මක වූ දරුණුත ම දාම ඝාතකයෙක් ලෙස යි. ‘මාර්ග අංක 40 හි ඝාතකයා’ ලෙස හැඳින්වුණු ඔහු, 1987-88 අතර කාලයේ දී අවම වශයෙන් කාන්තාවන් තිදෙනකු ඝාතනය කර තිබෙනවා.

ඩෙලවෙයා හි ඝාතකයා

ස්ටීවන් බ්‍රයන් පෙනල් හඳුන්වා දිය හැක්කේ ඉතාමත් සුවිශේෂී දාම ඝාතකයෙක් ලෙස යි. වෙනත් බොහෝ දාම ඝාතකයන් මෙන් නොව, මොහු සාමාන්‍ය විවාහ ජීවිතයක් ගත කළ, විදුලි කාර්මිකයෙක් වශයෙන් සාමාන්‍ය වෘත්තියක නිරත වූ අයෙක් ද වුණා. කෙසේ නමුත් ඔහු රාත්‍රියේ දී ඩෙලවෙයා හි අංක 40 දරන මහා මාර්ගයේ සිය මෝටර් රථය ධාවනය කරමින්, එහි ගමන් ගත් කාන්තාවන් කිහිපදෙනකුට අඩන්තේට්ටම් සිදු කොට, ඔවුන් ඝාතනය කළ බව කිසිවෙකුත් දැන හුන්නේ නැහැ. සමාන්‍යයෙන් සාමකාමී පෙදෙසක් වූ ඩෙලවෙයා හි සිදු වූ මෙම ඝාතනත් සමඟ මෙම පෙදෙසෙහි ජනතාව භීතියෙන් ඇළලී ගියා.

සමාන්‍යයෙන් සාමකාමී පෙදෙසක් වූ ඩෙලවෙයා හි පිවිසුම – www.delawareonline.com

ඩෙලවෙයා පොලිසිය, ඉහත ඝාතන පිළිබඳ ව සෙවීමට යුහුසුළු ව ක්‍රියා කළ අතර, මේවා එක් පුද්ගලයකුගේ ක්‍රියාකාරකම් බැව් ඔවුනට වැටහී තිබුණා. මෙම ඝාතකයා සොයා ගැනීමට ඔවුන් එෆ්.බී.අයි ආයතනයේ සහාය පැතූ අතර, ඊට හේතු වූයේ මරණයට ලක් වූ කාන්තාවන් ඉතා අමානුෂික අයුරින් වධ බන්ධනවලට ලක් ව තිබීම යි. පෙනල් මෙම අඩන්තේට්ටම් සහ ඝාතන සිදුකිරීමට සිය නිල් පැහැති වෑන් රථයේ ජංගම කුටියක් සූදානම් කර තිබූ අතර, එහි ඒ සඳහාම සුවිශේෂී වූ විවිධ ආම්පන්න තිබුණු බව පසු ව සොයා ගැනුණා.

බ්‍රයන් පෙනල් ගේ දිවියෙහි මුල් කාලය

ස්ටීවන් බ්‍රයන් පෙනල් උපත ලැබුවේ 1957 වසරේ නොවැම්බර් මස 22 වැනි දා, අමෙරිකා එක්සත් ජනපදයේ, ඩෙලවෙයා ප්‍රාන්තයේ විල්මින්ටන් හී දී යි. කුඩා කාලයේ දී ඔහු යහපත් නමුත් ලැජ්ජාශීලී, නිහඬ සහ බියසුලු ගති ලක්ෂණ ප්‍රකට කළ දරුවෙක් වුණා. ඔහු නිතරම අසල්වැසියන්ට උදව් කළ අතර, පොලිස් පර්යේෂණ වැනි දේ සම්බන්ධයෙන් මහත් උනන්දුවක් දැක්වූවා.

විශේෂයෙන් ඔහු සිය අසල්වැසි පොලිස් නිලධරයකුගෙන්, ඔහුගේ රාජකාරි පිළිබඳ ව නිතර විමසූ අතර, බොහෝ දෙනා සිතා සිටියේ ඔහු හැදී වැඩුණු පසු පොලිස් සේවයට බැඳේවිය යන්න යි.

පෙනල් වැඩිවිය එළඹීමත් සමඟ ඉතා උස් ව වැඩුණා. උසින් අඩි හයහමාරක් පමණ වූ ඔහු, පාංශු දේහධාරී අයෙක් වුණා. 1976 වසරේ දී සිය ද්විතියික අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු ව උසස් විද්‍යාලයකට ඇතුළු වූ ඔහු එහි සමාසික දෙකක් අපරාධ විද්‍යාව හැදෑරුවා. අනතුරු ව තම සිහිනය වූ පොලිස් නිලධරයෙක් වීම උදෙසා ඔහු විල්මින්ටන් පොලිසිය වෙත අයැදුම්පත් භාර දුන් නමුත්, ප්‍රායෝගික පරීක්ෂණය අසමත් වීම නිසා එම අවස්ථාව මඟහැරුණා.

අපරාධවලට යොදාගත් වෑන් රථය- Delaware Department of Justice

වෙනස් වූ වෘත්තීය ජීවිතය

පොලිස් සිහිනය බොඳ වීමෙන් පසු පෙනල් විදුලි කාර්මික ශිල්පය වෙත යොමු වූ අතර, 1987 වසරේදී ඔහු සුදුසුකම් ලත් විදුලි කාර්මික ශිල්පියෙක් බවට පත් වුණා. ඔහු පෙර විවාහයෙන් පුතුන් දෙදෙනකු හා දියණියක සිටි කාන්තාවක හා විවාහ වූ අතර, ඔවුන් ජීවත් වූයේ අංක 40 දරන මහා මාර්ගය අසල ස්ථානයක යි. ඉතා හොඳ සුළු පියෙක් වූ ඔහු සිය බිරියගේ දරුවන් සමඟ නිතර ම ක්‍රීඩා කළ අතර, ඔවුන් පාසලට ද ඇරලවීම සිදු කළා. ඔහු නිවාඩු දිනවල නත්තල් සීයාට ඇඳ ඔවුන් සතුටු කිරීම ද සිදු කළා.

සිය විදුලි කාර්මික ශිල්පී රැකියාවට අමතරව, අතිරේක රැකියාවක් ලෙස ඔහු සමාජ ශාලා වල ආරක්ෂක නිලධරයෙකු ලෙස කටයුතු කළා. අඩි හය හමාරක පමණ උස මෙන් ම රාත්තල් 300 ක පමණ බරකින් යුතු සිරුරක් සහිත වූ ඔහු මෙම එම වෘත්තියට හොඳින් ගැළපුණා. කෙසේ නමුත් මෙම රාජකාරියේ දී ඔහු මිනිසුන්ට ගරුසරුවක් නොදක්වන බවට චෝදනා ද එල්ල වුණා.

විවාහ ජීවිතයේ හැලහැප්පීම්

විදුලි කාර්මික රැකියාවෙන් පෙනල්ට ප්‍රමාණවත් ආදායමක් ලැබුණේ නැහැ. මේ නිසා බැංකු ණයපත්, විදුලි හා ජල බිල් ගෙවීම ඔහුට අපහසු වුණා. එය ඔහුගේ විවාහ ජීවිතයේ හැලහැප්පීම් හට ගන්නටත් හේතු වුණා. ඔහු ඉතා දරුණු ලෙස සිය බිරියට පහර දෙන්නට වූ අතර, එක් වරෙක දී ඔහු ඇයගේ අතක් ද බිඳ දැමුවා. කෙසේ නමුත් ඇය මේ පිළිබඳ ව පොලිසියට පැමිණිල්ලක් කළේ නැහැ.

පෙනල් ගේ වාහනයේ කාපට්වල තිබූ නිල් පැහැති කෙඳිති- Delaware Department Of Justice

අංක 40 මහා මාර්ගයේ දඩයම්

1987 වසරේ නොවැම්බර් මස 29 වන දා, යුවළක් ඩෙලවෙයා හි නෙවෝක් කර්මාන්ත පෙදෙස පසුකරමින් සිය මෝටර් රථය පදවමින් සිටියා. ඔවුන් දුටුවේ මහාමාර්ගය පසෙක කිසිවක් වැටී තිබෙන බව යි. බැලූ බැල්මට රෙදිපිළි වෙළෙඳසල්වල තබා ඇති මිනිස් අනුරූපකයක් සේ පෙනුණු එය වැඩිදුර පරීක්ෂා කිරීමට ඔවුන් තීරණය කළේ, ඇති වූ යම් සැකයක් නිසා යි.

එම සැකය නිවැරදි බැව් ඔප්පු කරමින් එම ද්‍රව්‍යය වෙනත් කිසිවක් නොව, දැඩි ලෙස අඩන්තේට්ටම් සිදු කර මරා දැමූ කාන්තාවකගේ සිරුරක් බැව් ඔවුනට පෙනී ගියා. වහාම ඔවුන් ඒ පිළිබඳ ව පොලිසිය දැනුම්වත් කළ අතර එය ෂර්ලි ඒ. එලිස් නම් කාන්තාවගේ විකෘති කළ මළසිරුර බැව් පරීක්ෂණවලින් පසු ව හෙළි වුණා. අඩ නිරුවත් ව තිබූ ඇගේ දේහයේ ටේප් පටි කොටස් ද තිබූ අතර, මරණ පරීක්ෂණයෙන් හෙළි වූයේ, මරණයට පත් කළ මොහොත වන විට ඇගේ අත් පා ටේප් පටිවලින් බැඳ, විවිධ ආම්පන්නවලින් ඇගේ සිරුරට වදහිංසා පමුණවා තිබුණු බව යි.

එලිස් ඝාතනය කර තිබුණේ ඇගේ ගෙල සිර කිරීමෙනු යි. එමෙන් ම ඇගේ හිසට මිටි පහරවල් කිහිපයක් ද එල්ල කොට තිබුණා. කෙසේ නමුත් ඇය ලිංගික අඩන්තේට්ටම්වලට ලක් කොට තිබුණේ නැහැ. එලිස් ලිංගික ශ්‍රමිකයෙක් ලෙස කටයුතු කර තිබූ අතර, ඇගේ සිරුර හමුවීමට පැය කිහිපයකට පෙර අංක 40 මහාමාර්ගයේ ඇය රැඳී සිට තිබුණා. ඇය ඒ මොහොතේ රෝගියකු වෙත යම් පාර්සලයක් ගෙන යමින් සිට තිබෙනවා.

නින්ද නොයාමේ රෝගය

1988 වසරේ ජූනි මාසයේ පටන් බ්‍රයන් පෙනෙල් නින්ද නොයාමේ රෝගයකින් පීඩා විඳ තිබූ අතර, නිතර ම සිය බිරිය සමඟ වාද කිරීමටත් පටන් ගෙන තිබුණා. සමහර වාද සමථයකට පත් කර ගත නොහැකි වූ තැන, ඔහු සිය නිල් පැහැති ෆෝර්ඩ් වෑන් රථය රැගෙන අංක 40 හා 13 දරන මහා මාර්ග ඔස්සේ ගමන් කොට නැවත ආපසු පැමිණෙන්නට පුරුදු වී සිටියා. සමහර විටෙක පාන්දර වන තුරු ඔබ මොබ ගමන් කර පැමිණෙන ඔහු සාලයේ වූ පුටු සැටිය මත ම නිදා ගෙන, එළි වෙන යාමයේ නැවතත් ඔබ මොබ ගමන් කිරීමට ද කටයුතු කර තිබුණා.

1988 වසරේ ජුනි මස 28 වන දින රාත්‍රී 11.30 ට පමණ, ලිංගික ශ්‍රමිකයෙක් වූ කැතරීන් ඩිමෝරෝ, මාර්ග අංක 40 දී නිල් පැහැ වෑන් රථකයක නැඟූණා. පසු දින උදයේ ඇගේ සිරුර හමු වූයේ ඉදිකිරීම් ස්ථානයක තිබියදී යි. ඇයගේ සිරුරට ද එලිස් ගේ සිරුරට මෙන් ම දැඩි අඩන්තේට්ටම් සිදුකර තිබුණා. නැවත වාරයක් මෙම සිරුරේ ද ලිංගික අඩන්තේට්ටමක ලක්ෂණ තිබුණේ නැහැ. ඉදිකිරීම්වලදී යොදාගන්නා උපකරණ භාවිතයෙන් ඇගේ හිස ඇතුළු සිරුරේ සෙසු කොටස්වලට දැඩි අලාබහානි සිදු කර තිබූ අතර, රැහැනක් භාවිතයෙන් ගෙල සිර කර තිබුණා. ඩිමෝරෝ ගේ සිරුර නිල් පැහැ කාපට් කෙඳිවලින් හිසේ සිට පාදාන්තය තෙක් වෙලා තිබුණා.

ස්ටීවන් බ්‍රයන් පෙනල් – Allthatsinteresting.com

කැතරීන් ඩිමෝරෝගේ මරණය

කැතරීන් ඩිමෝරෝගේ මරණය සිදු වන කාලය විටත් එලිස් ගේ ඝාතකයන් පිළිබඳ ව ප්‍රදේශයේ පොලිසියට තොරතුරු සොයාගැනීමට හැකි ව තිබුණේ නැහැ. මෙම ඝාතනයේ සහ එලිස්ගේ ඝාතනයේ සමානකම් අධ්‍යයනය කළ බල්ධාරීන් මේ දෙක ම එක ම අයකු සිදුකරන්නට ඇති බවට අනුමාන කළා. ඒ අනුව ඔවුන් මෙම සිද්ධිය විසඳීම සඳහා එෆ්. බී. අයි සහාය ලබා ගත්තා. එෆ්.බී. අයි ආයතනයේ චර්යාත්මක විද්‍යා ඒකකයේ නිලධාරී ජෝන් ඊ. ඩග්ලස්, එතෙක් ලැබී ඇති සාධකවලට අනුව ඝාතකයා පිළිබඳ ව ලිපිගොනුවක් නිර්මාණය කරන්නට පටන් ගත්තා.

ඒ අතරතුර එම වසරේ ම අගෝස්තු 22 වනදා හදිසියේ ම, මාර්ග අංක 13 දී මාග්‍රට් ලින් ෆිනර් නම් තවත් ලිංගික ශ්‍රමික තැනැත්තියක් අතුරුදහන් වූ බවට තොරතුරු ලැබෙනවා. ඇය අතුරුදහන් බැව් ඇගේ සුළු පියා පොලිසියට දන්වා තිබූ අතර, සිදුවීම සම්බන්ධ සාක්ෂි සොයා යාමේ දී ඇය ද අවසන් වරට, නිල් පැහැති ෆෝර්ඩ් වෑන් රියකට නැඟී ගිය බවට ඔවුනට දැනගන්නට ලැබුණා.

බලධාරීහු ඝාතකයා දඩයම් කිරීම අරඹති

මේ වන විට මෙම ඝාතන සහ අතුරුදහන්වීම් ත්‍රිත්වයට ම ඉතා කුරිරු දාම ඝාතකයෙක් සම්බන්ධ ව ඇති බැව් පොලිසිය වටහාගෙන තිබුණා. එම පුද්ගලයා නිල් පැහැති ෆෝර්ඩ් වෑන් රථයකින් පැමිණෙන බවට ද ඔවුන් තහවුරු කරගෙන තිබුණා. කෙසේ නමුත් ඒ ඔස්සේ පමණක් පර්යේෂණ මෙහෙයවීම උගහට බැව් ඔවුන් ඉක්මනින් ම වටහා ගත්තා. ඒ අනුව, ඝාතකයා අල්ලා ගන්නට ‘ඇමක්’ භාවිත කළ යුතු බවට ඔවුන් තීරණය කළා.

ඩෙලවෙයාර් බලධාරීන් මාර්ග අංක 40 ඝාතකයා සොයා ‘ඇම’ දැමීම ඇරඹුවේ 1988 ජූලි මස සිට යි. ඒ වන විට ෆිනර් ගේ අතුරුදහන් වීම සිදු ව තිබුණේ ද නැහැ. ලිංගික ශ්‍රමිකයන් ලෙස වෙස් වලා ගත් කාන්තා පොලිස් නිලධාරීන් ඉහත මාර්ගය ඔස්සේ තැබීමට බලධාරීන් කටයුතු කර තිබූ අතර, ගුවන්විදුලි සහ පටිගත කිරීමේ උපාංගවගින් ද සන්නද්ධ වූ ඔවුනට ලැබී තිබුණු සුවිශේෂී උපදෙස වූයේ කිසි ලෙසකින් තමන් අසල නවත්වන වාහනවලට නොනඟින ලෙස යි.

අත් හැර දැමුණු පෙනල්ගේ නිවෙස – Allthatsinteresting.com

සැප්තැම්බර් මස 10 වන දින, කැතලින් මේයර් නම් සැබෑ ලිංගික ශ්‍රමික කාන්තාවක් ද මාර්ග අංක 40 දරන මහාමාර්ගයේ ඔබ මොබ සැරිසරමින් සිටියා. රාත්‍රී 9.30ට පමණ ඇය වෙත නිල් පැහැති ෆෝර්ඩ් වර්ගයේ වෑන් රථයක් පැමිණෙනු ප්‍රදේශයේ මුර සංචාරයේ නිරත වී සිටි පොලිස් භටයෙක් දුටුවා. ඔහු මෙම රහස් මෙහෙයුම ගැන දැන සිටියේ නැහැ. කෙසේ නමුත්, ඇති වූ සැකයක් මත ඔහු මෙම වාහනයේ අංකය ලියා ගැනීමට කටයුතු කළා. ඔහු එය පිළිබඳ ව ඒ මොහොතේ සිය මූලස්ථානය දැනුම්වත් කළේ නැහැ. මේයර් එම වාහනයට නැඟි අතර, ඇගේ සිරුර කිසි දිනෙක නැවත හමු වූයේ නැහැ.

වෙස් වලා ගත් පොලිස් නිලධාරිණිය

මෙම සිදුවීමෙන් දින හතරකට පසුව රෙනී ලානෝ නම් වෙස් වලා ගත් පොලිස් නිලධාරිණිය තම මූලස්ථානය අමතා ප්‍රකාශ කළේ, නිල් පැහැති ෆෝර්ඩ් වර්ගයේ වෑන් රථයක් හත් වරක් තමන් පසු කර ගිය බව යි. අවසානයේ එය ඇය අසල නතර කළ අතර, රියැදුරා ඇයට වාහනයට නඟින ලෙස අතින් සන් කළා, ඊට ප්‍රතිචාර දක්වමින් ඇය වාහනයේ ඇතුළත විදුළි පහන් දල්වන ලෙස පවසා සිටි අතර, රියැදුරු එසේ කළා. ඇය දුටුවේ වාහනයේ ඇතුළත නිල් පැහැ කාපට් අතුරා තිබෙන බව යි.

රියැදුරු ඇය වෙනුවෙන් දොර හැර දුන් අතර, සිය පාවහන් සකසන මුවාවෙන් එම කාපට්වලින් කැබැල්ලක් කඩා ගැනීමට ඇ‍ය කටයුතු කළා. අනතුරු ව තමන් පැමිණීමට කමැති බැව් ඇය ප්‍රකාශ කළ අතර, යම් වාද කිරීමක් අවසානයේ රියැදුරා වෑන් රථය පදවා ගෙන පසෙක ගොස් තිබුණා. මෙම පුද්ගලයා, එම මාර්ගයේ ඇය හා එතෙක් හමු වූ පුද්ගලයන්ට වඩා වෙනස් චර්යා පෙන්නුම් කළ බැව් පොලිස් නිලධාරිණිය වටහා ගෙන තිබුණා. වාහනය පිටත් වන විට එහි අංකය ඇය ලියා ගත් අතර, ඒ අනුව පර්යේෂණ පැවැත්වූ බලධාරීන්ට, එම වාහනය ස්ටීවන් බ්‍රයන් පෙනල්ට අයිති බැව් සොයාගැණුනා.

පෙනල් ඝාතනය කළ බවට තහවුරු වූ සහ සැක කෙරෙන කාන්තාවන්- delawaretoday.com

පොලිස් නිලධාරිණිය පෙනල් ගේ වෑන් රථයෙන් ගලවා ගත් කාපට් කෙඳි ඩිමෝරෝ ගේ සිරුරෙන් හමු වූ නිල් පැහැ කෙඳි සමඟ සැසඳීම සඳහා යැවුණා. මෙහි ප්‍රතිඵල ලැබෙන තුරු පෙනල් ලුහුබඳින්නට පොලිසිය තීරණය කළා. සැප්තැම්බර් 18 වන දින ඔහු මාර්ග අංක 40 හා 13 සිය වාහනයෙන් සැරිසැරූ අතර, අවසානයේ ඔහු සිය නිවසට ගොස් එහි විදුලි පහන් නිවා දැමුවා. ඔහු නින්දට යන්නට ඇති බවට විශ්වාස කළ පොලිස් නිලධාරීන් ඉවත ගියා. කෙසේ නමුත් එදින රාත්‍රියේ ඔහු නැවත සංචාරයක් ගිය අතර, ඒ අවස්ථාවේදී මිචෙල් ගෝඩන් නම් කාන්තාවක් සිය වාහනයට නංවාගන්නට ඔහු සමත් වුණා. සැප්තැම්බර 20 වන දින, විකෘති කර තිබූ ඇගේ සිරුර, තදාසන්න ඇළ මාර්ගයක තිබී හමු වුණා.

ස්ටීවන් බ්‍රයන් පෙනල් හසු වෙයි

සැප්තැම්බර් 24 වන දින විද්‍යාගාර පර්යේෂණ මඟින් ඩිමෝරෝ ගේ සිරුරෙන් හමු වූ කෙඳිති සහ පෙනල් ගේ වාහනයේ කාපට්වල වූ කෙඳිති සැසඳුණා. පොලිසිය වහා ම ක්‍රියාත්මක වන පරිදි, විශාල පිරිසක් යොදා ගනිමින්, පැය 24 පුරාම පෙනල් ලුහුබඳින්නට පටන් ගත්තා. මේ අනුව ඔහු සෑම දිනක ම පාහේ මාර්ග අංක 40 සහ 13 ඔස්සේ සිය වෑන් රථයෙන් ගමන් කරන බැව් සොයාගැනුණා.

පෙනල් පොලිස් භාරයට ගැනුණා – Allthatsinteresting.com

සැප්තැම්බර් 30 වැනි දා, පොලිසිය පෙනල් නවතා ලූයේ සමාන්‍ය රථ වාහන වරදක් කිරීම නිසා යි. සිය දඩය ගෙවීමට ඔහු සහ වාහනය උසාවියට ගෙන යන අතරතුර, පොලිස් නිලධාරීන් ඔහුගේ වාහනය ඇතුළත මයික්‍රොෆෝනයක් සවි කළ අතර, එහි ඇතුළත හා පිටත් ඡායාරූප ද ඔවුන් ලබා ගත්තා. එහි කාපට්වල කෙඳිති ද ලබා ගත්තා. ඔවුන් ඒ තුළ තිබී කසයක්, මාංචු, ඉඳිකටු, පිහි සහ, විවිධ පටි කිහිපයක් ද සොයා ගත්තා.

මෙම සිදුවීමෙන් අනතුරු ව, නිවෙස බලා ගිය පෙනල්ට යම් සැකයක් ඇති වීම නිසා, ඔහු සිය වෑන් රථය සම්පූර්ණයෙන් ශුද්ධ කර තිබුණා. මේ අතර තුර අධිකරණ වරෙන්තුවක් ලබා ගත් ඩෙලවෙයා පොලිසිය ඔහුගේ නිවෙස සහ වාහනය පිරික්සීම සඳහා පැමිණියා. ඒ පිරික්සුමේ දී සැක කටයුතු කිසිවක් හමු වූයේ නැහැ. නොවැම්බර් 12 වැනි දා, මිචෙල් ගෝර්ඩන් ගේ සිරුර හමු වූ ඇළ මාර්ගය තදාසන්න ව තිබී තවත් පුද්ගල සිරුරු කොටස් කිහිපයක් හමු වූ අතර, ඒවා අගෝස්තු මස අතුරුදන් වූ මාග්‍රට් ෆිනර් ගේ බවට තහවුරු වුණා. මේ සාක්ෂි අනුව 1988 වසරේ නොවැම්බර් මස 29 වැනි දා පෙනල් පොලිස් භාරයට ගැනුණා.

1992 වසරේ මාර්තු 14 වනදා විෂ සහිත එන්නත් භාවිතයෙන් ඔහු මරණයට පත් කෙරුණා – Allthatsinteresting.com

මරණ දඬුවම දෙන්නැයි ලෙස පෙනල් ඉල්ලයි

නඩු විභාගයකින් අනතුරු ව පෙනල් මින්මැරුම් දෙකකට වරදකරු වුණා. තෙවැනි මරණය තහවුරු කරන්නට ප්‍රමාණවත් සාක්ෂි ගොනු කරන්නට පොලිසියට හැකි වූයේ නැහැ. ඒ අනුව ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් දෙකක් ලැබුණා. 1991 වසරේ දී තමන්ට මරණ දඬුවම දෙන ලෙස පෙනල් ඉල්ලා සිටි අතර, පර්යේෂණ නැවත සිදු කර ඔහුට මරණ දඬුවම ලබා දීමට බලධාරීන් තීරණය කළා. ඒ අනුව 1992 වසරේ මාර්තු 14 වනදා විෂ සහිත එන්නත් භාවිතයෙන් ඔහු මරණයට පත් කෙරුණා.

කවරයේ ඡායාරූපය - www.gettyimages.com

මූලාශ්‍ර:
Allthatsinteresting.com
Murderpedia.org
Delawaretoday.com
allthatsinteresting.com

Related Articles