Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගෙවුණු 2022 වසරේ ලෝකය සැකෙවින්…!

2022 වසරේ අවසානයට ඇත්තේ තව එක්දි දිනක් පමණ යි. ඊට පෙර ලෝකයේ සිදු වූ වැදගත් සිදුවීම් දෙස නැවත හැරී බැලීමට ඔබත් කැමති ඇති. ඒ සිදුවීම් හැකිතාක් කෙටියෙන් පෙළ ගස්වා ඔබ හමුවට ගෙන ඒමට යි මේ උත්සාහය. අදාළ සිදුවීම් සම්බන්ධයෙන් වැඩිදුර කියවීම් සඳහා Roar සිංහල වෙබ් අඩවියේ අප පෙර පළ කළ ඇතැම් ලිපි වෙත ඔබට එහි සබැඳි හරහා යොමු වීමේ පහසුකම ද මෙම ලිපිය තුළ ම සලසා තිබෙනවා.

කසක්ස්ථානය කැලැඹුණු ජනවාරිය

2022 යනු ජනතා අරගලවලින් පිරුණු වර්ෂයක්. උද්ධමනය, දූෂිත රාජ්‍ය පරිපාලනය, මානව අයිතීන් සහ පුද්ගල නිදහස සීමා කිරීම් වැනි හේතු ඒ අරගල පිටුපස තිබුණා. කසක්ස්ථාන අරගලයට මූලිකව ම හේතු වූයේ ඉන්ධන මිල ඉහළ දැමීම යි. සෝවියට් රුසියාවෙන් වෙන් ව ගිය පසු නිදහස් කසක්ස්ථානයේ හටගත් විශාලත ම මහජන නැඟිටීමක් ලෙසත් එය ඉතිහාසගත වෙනවා.

ජනවාරි දෙවැනි දා සිට ඇරඹුණු මෙම විරෝධතා රැල්ල හේතුවෙන් එරට කැබිනට් මණ්ඩලය ඉල්ලා අස් වූ අතර, රට පුරා පැතිර ගිය නොසන්සුන්තා මැඩ පැවැත්වීම සඳහා රුසියාවෙන් ආධාර ඉල්ලීමට තරම් කසක්ස් ජනපතිවරයා අසරණ වුණා.

ගිනි දැල් නැඟෙන නගරාධිපති කාර්යාලය (ස්ථානය: කසක්ස්ථානයේ අල්මාටි නගරය) – cepa.org

ඉන්ධන මිල අරබයා ඇති වූ විරෝධතා රැල්ලක් වුවත්, වඩා පුළුල් මහජන අරමුණු කරා විහිදී ගිය අරගලයක් දක්වා එම මහජන නැඟිටීම වර්ධනය වුණා. දශක තුනකට ආසන්න කාලයක් කසක්ස්ථානයේ ජනපති ධූරරය හෙබ වූ නූර්සුල්තාන් නසර්බයෙව්ගේ දූෂණ වර්තමානයට පවා බලපා තිබීම ඊට හේතුව යි. බලය අත්හැර තිබුණත්, නූර්සුල්තාන් කසක්ස්ථානයේ දේශපාලනයට අත පෙවීම නතර කර තිබුණේ නැහැ.

අරගලය අතරතුර සිවිල් වැසියන් 160 ට වඩා මරු දුටුවා. අර්ධ වශයෙන් සාර්ථක වූ අරගලයක් ලෙස කසක්ස්ථානයේ මහජන අවදි වීම හැඳින්විය හැකි යි.

ටොංගාව සසල වෙයි!

පැසිෆික් දූපත් රාජ්‍යයක් වන ටොංගා ආසන්නයේ සිදු වූ යමහල් විදාරණයත් ජනවාරියේ දී (ප්‍රබලත ම පිපිරුම ජනවාරි 15 වැනිදා සිදු විය.) විශාල අවධානයක් දිනා ගත්තා. ටොංගා රාජ්‍යයට අයත් “හුන්ගා ටොංගා-හුන්ගා හාපායි” යමහල විදාරණය වීමෙන් පසු ටොංගාවට සුනාමියක් කඩා වැදුණු අතර, පැසිෆික් සාගර කලාපයට ම සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණා.

ව්‍යසයනය තවදුරටත් උග්‍ර කරමින් ටොංගා දූපත් අළු වලාවකින් සහ දූවිලිවලින් වැසී ගිය අතර, දින කිහිපයකට ටොංගා රාජ්‍යය අවශේෂ ලෝකයෙන් හුදෙකලා වුණා.

ටොංගා ආසන්නයේ සිදු වූ යමහල් විදාරණය – mothership.sg

යුක්‍රේනයට අඳුර ගෙනා පෙබරවාරිය

කොවිඩ්-19 හේතුවෙන් ඇති වූ ගෝලීය ආර්ථික අර්බුදය තවදුරටත් උග්‍ර වූ හේතුවක් ඇත්නම් ඒ යුක්‍රේන-රුසියානු යුද්ධය යි. තවමත් මේ ගැටුම ඉතා විනාශකාරී ලෙස කෙළවරක් නොදකින අන්තයකට ගමන් කරමින් තිබෙනවා.

Roar Explainers | යුක්‍රේන-රුසියානු අර්බුදයේ ඉතිහාසය – www.youtube.com/@RoarSinhala

රුසියාව සහ යුක්‍රේනය අතර විරසකය උග්‍ර වූ අවස්ථා ඉතිහාසයේ සටහන් ව තිබුණත්, 2022 පෙබරවාරි 24 වැනිදා යුක්‍රේනයට එරෙහි ව රුසියාව “පූර්ණ පරිමාණයේ ආක්‍රමණයක්” ආරම්භ කළා.

යුක්‍රේන-රුසියානු යුද උණුසුම 2023 වර්ෂයටත් විහිදෙනු ඇති -www.thetimes.co.uk

ආරම්භයේ දී ව්ලැදිමීර් පුටින් මෙම ආක්‍රමණය හැඳින්වූයේ “විශේෂ හමුදා මෙහෙයුමක්” ලෙසට යි. යුක්‍රේන භූමිය අත්පත් කර ගැනීමේ කිසිදු සැලසුමක් නොමැති බවත්, යුක්‍රේන ජනතාවගේ ස්වයං නිර්ණ අයිතියට සහය දැක්වීමක් ලෙස හමුදා මෙහෙයුම ආරම්භ කරන බවත්, ඔහු සඳහන් කර තිබුණා. අද එම ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාව මුළු ලෝකයට ම පැහැදිලි යි.

ජාත්‍යන්තර මාධ්‍යවල අදටත් බොහෝවිට ප්‍රධාන මාතෘකාව සහ වඩාත් යාවත්කාලීන වන පුවත වන්නේ යුක්‍රේන-රුසියානු යුද්ධය යි.

ජාත්‍යන්තර මාධ්‍යවල අදටත් වඩාත් යාවත්කාලීන වන පුවත වන්නේ යුක්‍රේන-රුසියානු යුද්ධය යි – creativeinsights.gettyimages.com

විල් ස්මිත්ට වැරදුණු මාර්තුව

යුක්‍රේන-රුසියානු යුද්ධයේ බිහිසුණු බව ලොවට තවදුරටත් පසක් කරමින් සැපොරීෂියා ප්‍රදේශයට ප්‍රහාර එල්ල කිරීම මාර්තු 04 වැනිදා සිදු වුණා. යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය සැපොරීෂියා පෙදෙසේ පිහිටා ඇති බැවින්, එය චර්නොබිල් මට්ටමේ ව්‍යසනයක භීතිය මතු කළා.

තවදුරටත් රුසියාවේ ස්වභාවික වායු සහ බොරතෙල් මත යැපෙනවා ද යන්න සංවාදයට ලක් වූ කාල සීමාවක් ලෙසත් මාර්තු මාසය හැඳින්විය හැකි යි. 

යුක්‍රේනයේ නගරවලට රික්තක බෝම්බවලින් පහර දීමේ සූදානම ගැන වඩාත් කතා බහට ලක් වුණේ සමාජ මාධ්‍ය හරහා සිදු වූ පළ කිරීම් කිහිපයකට පසුව යි -www.youtube.com/@RoarSinhala

ඇකඩමි සම්මාන උලෙළ

94 වැනි ඇකඩමි සම්මාන උලෙළ පසුගිය මාර්තු 27 වැනිදා පැවැත්වුණා. උලෙළෙහි වැඩ කටයුතු සියල්ල හොඳින් සිදු වෙමින් පවතින මොහොතක හොඳ ම නළුවාට හිමි ඇකඩමි සම්මානය ලබා ගත් විල් ස්මිත්, ඒ සියල්ල වෙනස් කළා. නිවේදන කටයුතු සිදු කරමින් සිටි ක්‍රිස් රොක්ට, විල් ස්මිත් කම්මුල් පහරක් එල්ල කිරීම ඊට හේතුව යි.

තම බිරිය ඈඳා ගනිමින් ක්‍රිස් රොක් සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් විල් ස්මිත් එලෙස හැසිරුණත්, අවස්ථානෝචිතව ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් විල් ස්මිත්ට චෝදනා එල්ල වුණා. එය ඔහු ගේ වෘත්තීය ජීවිතයට පවා අයහපත් අන්දමින් බලපෑ බවයි පැවසෙන්නේ.

ඇකඩමි සම්මාන උලෙළක සිදු වූ ආන්දෝලනාත්මකම සිදුවීමක් ලෙස විල් ස්මිත් ගේ කම්මුල් පහර හැඳින්විය හැකි යි – www.vox.com

අප්‍රියෙල්: ඉම්රාන් ඛාන්ට විශ්වාසය අහිමි වෙයි!

පාකිස්තානයේ අගමැති ධූරය ඉතිහාසය පුරා ම ඉතා අස්ථාවර තනතුරක් ලෙස පැවතුණා. එය පාකිස්තාන දේශපාලනයේ ඇති දූෂිතභාවයේ තරම විදහා පාන්නක්. ජනප්‍රිය දේශපාලකයෙක් වශයෙන් පැමිණි ඉම්රාන් ඛාන්ටත් ඉන් ගැලවෙන්න හැකි වුණේ නැහැ.

පාකිස්තානයේ විපක්ෂ දේශපාලන පක්ෂ එකට එකතු වී ඉම්රාන් ඛාන්ට එරෙහි ව විශ්වාසභංගයක් ඉදිරිපත් කළ අතර, ඉම්රාන් ඛාන්ගේ ප්‍රධාන හවුල්කාර පාර්ශවයක් වූ “මුටාහිඩා ක්වාමි ව්‍යාපාරය (MQM)” විපක්ෂයට සහය ලබා දීමත් සමඟ පාකිස්තානයේ දේශපාලන අර්බුදයක් නිර්මාණය වුණා.

ඉම්රාන් ඛාන් – www.outlookindia.com

මාර්තු මාසය පුරා ක්‍රමයෙන් වර්ධනය වූ පාකිස්තානයේ දේශපාලන අර්බුදය නිමාවක් දුටුවේ අප්‍රියෙල් 11 වැනිදා යි. විශ්වාසභංගයෙන් ඉම්රාන් ඛාන් පරාජයට පත් වූ අතර, අගමැති ධූරයෙන් ඉවත් වීමටත් ඔහුට සිදු වුණා. පාකිස්තානයේ නව අගමැති ලෙස ශබාස් ෂරීෆ් තේරී පත්වුණා.

Monkeypox” පැතිරුණු මැයි මාසය

කොවිඩ් වසංගතයට පසු මේ වසරේ වැඩි ම අවධානයක් දිනා ගත් සෞඛ්‍ය අවදානම ලෙස “Monkeypox” හැඳින්විය හැකි යි. මෙහි රෝගකාරක වෛරසය, “Poxviridae” පවුලේ “Orthopoxvirus” නම් ගණයට අයත් වන අතර, “Orthopoxvirus” ගණයට මාරාන්තික වසූරිය ඇති කරන වෛරසයත් ඇතුළත් වෙනවා.

කෙසේ නමුත්, වසූරිය තරම් “Monkeypox” දරුණු නොවන බව විද්වතුන් පැහැදිලි කර තිබුණා. එය තවෙකකුට ආසාදනය වීමේ සම්භාවිතාවත් කොවිඩ් රෝගයට සාපේක්ෂව අවම යි. කොවිඩ්-19 මෙන් අලුත් රෝගයක් නොවුණත්, මෙවර “Monkeypox” හි පැතිරීම විශාල භූ ගෝලීය වපසරියක සිදු වුණා.    

Monkeypox රෝගයේ ප්‍රතිපල – www.bbc.com/news

මැයි 12: තාරකා විද්‍යාවට සුවිශේෂී මොහොතක් උදා කරමින් “Event Horizon” දුරේක්ෂය මඟින් ලබාගත් “Sagittarius A*” නම් කළු කුහරයේ ඡායාරූපයක් ප්‍රසිද්ධ කළේ මෙදින යි. ක්ෂීරපථයේ මධ්‍යයට වන්නට මෙම කළුකුහරය පිහිටා තිබෙනවා.

ජුනියේ ලොව ම බලා සිටි නඩුවක අවසානය

ජුනි 01: ලෝකයේ ඉහළ රසික ආකර්ෂණයක් සහ ආදරයක් දිනා ගත් ජොනී ඩෙප් සහ ඇම්බ(ර්) හර්ඩ් අතර පැවති නඩු විභාගය විසඳුමකට පැමිණියේ මෙදින යි. බොහෝ දෙනෙක් ප්‍රාර්ථනා කළ පරිදි නඩු තීන්දුව ජොනී ඩෙප්ට හිතකර අන්දමින් තීරණය වුණා. මෙම කාල වකවානුවේ දී ජාත්‍යන්තර මාධ්‍ය සියල්ලට ම පාහේ ප්‍රධාන ප්‍රවෘත්තිය බවට පත් වූයේ ඩෙප්-හර්ඩ් නඩු විභාගය යි.

ජොනී ඩෙප් සහ ඇම්බ(ර්) හර්ඩ් – edition.cnn.com

ජුනි 22: ජර්මනියේ සත්කාරකත්වයෙන් G7 සමුළුව ඇරඹුණේ මෙදින යි. එය ජුනි 28 දක්වා පැවැත්වුණා. යුක්‍රේනයේ යුද තත්ත්වය කෙරෙහි වැඩි අවධානයක් මෙවර සමුළුවේ දී යොමුකර තිබුණා.

ජුනි 27: එක්සත් ජනපද‍ය සහ මෙක්සිකෝ දේශසීමාව ආශ්‍රිත කලාපය අනවසර සංක්‍රමණය සම්බන්ධයෙන් කූප්‍රකට වූ ප්‍රදේශයක්. ජුනි 27 වැනිදා එලෙස සංක්‍රමණය වීමට ප්‍රයත්න දැරූ 46 දෙනකු ගේ මළ සිරුරු ට්‍රක් රථයකින් සොයා ගැනුණා.

ජපානය සසල කළ ජූලි මාසය

ජූලි 08: නූතන ජපානයේ දීර්ඝත ම කාලයක් අගමැති ධූරය දැරූ ෂින්සෝ අබේ අනපේක්ෂිත ලෙස ඝාතනය කළ දිනය ලෙස මෙදින ඉතිහාසගත වුණා. මැතිවරණයට දින දෙකක් තිබිය දී ෂින්සෝ අබේ ප්‍රචාරක රැළියකට සහභාගී වූ අතර, රැලිය ආසන්නයට පැමිණි වෙඩික්කරුවෙක් ඝාතනය සිදුකර තිබුණා. ගෞරවණීය දේශපාලකයකු ලෙස නමක් දිනා සිටි ෂින්සෝ ගේ මරණය සාමකාමී ජපන් ජනයාට විශාල කම්පනයක් බවට පත් වුණා.

ෂින්සෝ අබේ ඝාතන තැත – nehandaradio.com

ජූලි 12: ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයේ පළමු ක්‍රියාකාරී රූපය ලෙස “SMACS 0723” මන්දාකිණි පොකුර මහජනතාව වෙත මුදා හළ දිනය යි.

ජූලි 25: ඉන්දියාවේ 15 වැනි ජනාධිපති ලෙස ද්‍රෞපදි මුර්මු සිය ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කළ දිනය යි. ආදිවාසී ප්‍රජාවකින් දේශපාලනයට පිවිස රටේ ඉහළ ම තනතුරට පත් ප්‍රථම පුද්ගලයා ද්‍රෞපදි මුර්මු වීම විශේෂත්වයක්.

ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයේ පළමු ක්‍රියාකාරී රූපය “SMACS 0723” මන්දාකිණි පොකුර – NASA, ESA, CSA, and STScI via Getty Images

තායිවානයටත් යුද බිය ගෙනා අගෝස්තුව

චීන-තායිවාන විරසකය උත්සන්න කරමින් එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායක නැන්සි පෙලෝසි ගේ තායිවාන සංචාරය යෙදුණේ අගෝස්තු මාසයේ දී යි. ඉන් උරණ වූ චීනය, තායිවාන මුහුදු කලාපයේ විශාල යුද අභ්‍යාසයක් පවත්වමින් බැලස්ටික් මිසයිල සංදර්ශනයක් පෙන්වීමට ක්‍රියා කළා.

චීනයේ අනතුරු ඇඟවීම් නොතකා නැන්සි පෙලෝසි තායිවානයට පැමිණියා – www.pennlive.com

මීට පෙර තායිවාන ගුවන් ආරක්ෂක කලාපයට යුද යානා එවමින් චීනය තර්ජනාත්මක ලෙස හැසිරී තිබුණත්, තායිවාන අර්බුදය තීරණාත්මක සන්ධිස්ථානයක් කරා ගෙන යෑමට ක්‍රියා කළේ නැහැ. පෙලෝසි ගේ සංචාරය නිසා යුක්‍රේනයට අත් වූ ඉරණම තායිවානයටත් ළඟා වීමේ අවදානමක් පැන නැඟුණා. කෙසේ නමුත්,  තායිවාන-චීන අර්බුදය කාලයත් සමඟ යම් දුරකට පැරණි උණුසුම කරා ළඟා වෙමින් තිබෙනවා.

අගෝස්තු 27: ආසියානු ක්‍රිකට් කුසලානයේ සමාරම්භය සනිටුහන් වූ දිනය යි. ශ්‍රී ලංකාව මෙවර ආසියානු ක්‍රිකට් කුසලාන ශූරතාව දිනා ගැනීමට සමත් වුණා.

ශ්‍රී ලංකාව මෙවර ආසියානු ක්‍රිකට් කුසලාන ශූරතාව දිනා ගැනීමට සමත් වුණා – Christopher Pike/Reuters

එක්සත් රාජධානිය මාතෘකාවක් වූ සැප්තැම්බරය

සැප්තැම්බර් 06: ආන්දෝලනාත්මක චරිතයක් වූ බෝරිස් ජොන්සන්, අගමැති තනතුරෙන් ඉවත් වූ පසු එක්සත් රාජධානියේ නව අගමැතිනිය ලෙස ලිස් ට්‍රස් තේරී පත් වුණා. ක්‍රිස් පින්චර් සම්බන්ධය, පාර්ටිගේට් සිදුවීම, ඕවන් පැටර්සන් ආන්දෝලනය වැනි මතභේදාත්මක සිදුවීම් මත බෝරිස් ගේ ජනප්‍රියත්වය වේගයෙන් පහත වැටුණු අතර, සිය පක්ෂයේ සහයෝගය පවා අවසානයේ දී ඔහුට අහිමි වුණා.

ගෝලීය ආර්ථික අර්බුද හමුවේ එක්සත් රාජධානිය ආරක්ෂා කරගත හැකි ආකාරය ගැනත් බෝරිස් ජොන්සන්ට හරියාකාර දැක්මක් තිබුණේ නැහැ. එහි ප්‍රතිපලයක් ලෙස තවමත් බලය හිමි කොන්සර්වේටිව් පක්ෂයේ සාමාජිකයන් ලිස් ට්‍රස්ට සහාය ලබා දීමට තීරණය කළා.

සැප්තැම්බර් මාසය එක්සත් රාජධානියටම වෙන්වූ මාසයක් මෙන් පෙනෙන්න තිබුණා – www.skysports.com

සැප්තැම්බර් 08: වසර 70 ක පාලන කාලය අවසාන කරමින් දෙවැනි එලිසබෙත් මහ රැජන සැප්තැම්බර් 08 වැනිදා අවසන් හුස්ම හෙළුවා. මිය යන විට ඇය 96 හැවිරිදි වියේ පසු වුණා. ඉන්පසු රාජ්‍යත්වයට පත් වුණේ තෙවැනි චාල්ස් රජු යි.

සැප්තැම්බර් 16: හිජාබය නිසි ලෙස නොපැළදීම මත ඉරානයේ ““සදාචාරය සුරකින පොලිස් ඒකකය” අත් අඩංගුවට ගත් මාහ්සා අමීනි නම් තරුණිය මිය ගියේ මෙදින යි. ඇය ගේ මරණය සැක සාංකා රැසක් මතු කළ බැවින්, ඉරානය පුරා කාන්තාවන් සිය අයිතිය සහ නිදහස පතා විරෝධතා රැල්ලක් ආරම්භ කළා. දැඩි පාලන තන්ත්‍රයක් ඇති රටක් වුවත්, ඉරාන පරිපාලකයන්ට මේ ජන නැඟිටීම පාලනය කිරීමට හැකි වුණේ නැහැ.

දකුණු කොරියව කම්පා කළ ඔක්තෝබරය

ඔක්තෝබර් 16-23: ඉදිරි වසර පහ සඳහා චීනයේ නායකත්වය තීරණය කරන චීන කොමියුනිස්ට් පක්ෂ සම්මේලනය පැවත්වූ කාල පරාසය යි. එහිදී චීනයේ නායකයා ලෙස ෂී ජින්පිං නැවතත් තේරී පත්වුණා.

මෙවර T20 ශූරතාව දිනා ගැනීමට එංගලන්තය සමත් වුණා – twitter.com

ඔක්තෝබර් 16: ඕස්ට්‍රේලියාවේ සත්කාරකත්වයෙන් T20 ලෝක කුසලානයේ සමාරම්භය සනිටුහන් වූ දිනය යි. මෙවර ශූරතාව දිනා ගැනීමට එංගලන්තය සමත් වුණා

ඔක්තෝබර් 20: එක්සත් රාජධානියේ දේශපාලන අර්බුදය තවදුරටත් උග්‍ර කරමින් ලිස් ට්‍රස් අගමැති ධූරයෙන් ඉවත් වන බව දැනුම් දුන්නා. ඉල්ලා අස්වීම දැනුම් දීමෙන් පසු ලිස් ට්‍රස් එක්සත් රාජධානියේ කෙටිම කලක් අගමැති ධූරය හෙබ වූ තැනැත්තිය ලෙස ඉතිහාසයට එක් වුණා.

ඔක්තෝබර් 25: ලිස් ට්‍රස් ඉල්ලා අස් වූ පසු රිෂී සුනක් එක්සත් රාජධානියේ අගමැති ලෙස මෙදින තේරී පත්වුණා. ඔහු එරට දේශපාලන ඉතිහාසයට එක් වන්නේ ආසියානු සම්භවයක් ඇති ප්‍රථම අග්‍රාමාත්‍යවරයා ලෙසට යි.

ඉටෙවොන් ප්‍රදේශයේ සිදු වූ මාරාන්තික මිනිස් තෙරපුම – www.dw.com

ඔක්තෝබර් 29: දකුණු කොරියාවේ සෝල් නුවරට අයත් ඉටෙවොන් ප්‍රදේශයේ අධික මිනිස් තෙරපුමකින් 150 ට අධික සංඛ්‍යාවක් මිය ගියා. මෑත කාලයේ දකුණු කොරියාව මුහුණ දුන් විශාලත ම ඛේදවාචකයක් ලෙස “සෝල් නුවර මිනිස් තෙරපුම” හැඳින්විය හැකි යි.

බිලියන 8 කඩඉම දක්වන ලෝක ජනගහන ඔරලෝසුව -Moritz Frankenberg/picture alliance via Getty Images

පාපන්දු වසන්තය ඇරඹුණු නොවැම්බර්

නොවැම්බර් 15: මානව සංහතියේ සංධිස්ථානයක් සනිටුහන් කරමින් ලෝක ජනගහනය බිලියන 8 කඩඉමට ළඟා වුණා.

නොවැම්බර් 20: කටාර් රාජ්‍යයේ සත්කාරකත්වයෙන් පාපන්දු ලෝක කුසලානයේ සමාරම්භය සනිටුහන් වුණා. මෙවර පාපන්දු ලෝක ශූරයන් ලෙස කිරුළු පැළඳුවේ ආජන්ටිනාව යි.

මෙවර පාපන්දු ලෝක ශූරයන් ලෙස කිරුළු පැළඳුවේ ආජන්ටිනාව යි – Richard Sellers/Getty Images

දෙසැම්බර්: නැවත අවදි වූ කොවිඩ්

දැඩි පාලනයක් පවතින මහජන චීනය තුළ බලාපොරොත්තු නොවූ විපර්යාසයක් නොවැම්බර් අවසානය වනවිට ඉස්මතු වෙමින් තිබුණා. ප්‍රධාන නගර කිහිපයක හිස් කඩදාසි අතැතිව චීන ජාතිකයන් විරෝධතා ව්‍යාපාරයක් සිදු කිරීම ඊට හේතුව යි.

චීනය යනු විරෝධතාවලට හිතකර රටක් නොවෙ යි. කලාතුරකින් විරෝධතා ඇති වුවත්, ඒවා ඉක්මනින් යටපත් වී යනවා. කෙසේ නමුත්, “හිස් කඩදාසි” විරෝධතා ව්‍යාපාරය පෙර සිදුවීම් මෙන් පහසුවෙන් මැඬලීමට හැකි වුණේ නැහැ.

චීන ජාතිකයන් ගේ “හිස් කඩදාසි” විරෝධතා ව්‍යාපාරය – www.japantimes.co.jp

විරෝධතා ව්‍යාපාරයේ මූල හේතුව චීනයේ “ශූන්‍ය කොවිඩ් ප්‍රතිපත්තිය” වුවත්, ප්‍රජාතන්ත්‍රවාදය, භාෂණයේ නිදහස වැනි පුළුල් කාරණා වෙත එහි පදනම සංක්‍රමණය වුණා. චීන ජාතිකයන් විරෝධය දැක්වීම සඳහා හිස් කඩදාසියක් ‍යොදා ගත්තේ ඒ සියලු කාරණා නිරූපණය වන රූපකයක් ලෙසට යි.

විරෝධතා ව්‍යාපාරයේ ප්‍රතිපලයක් ලෙස චීන බලධාරීන් සිය ශූන්‍ය කොවිඩ් ප්‍රතිපත්තියේ රෙගුලාසි ලිහිල් කිරීමට පියවර ගත්තා. ඉන් ටික දිනකට පසු කොවිඩ් වසංගතය චීන ජන සමාජය තුළ අසාමන්‍ය අන්දමින් පැතිරීම නැවතත් ඇරඹුණා. චීනය තුළ කොවිඩ් වසංගතය අලුත් පණක් ලැබුවේ වෛරසයේ වෙනසක් නිසා ද? නැතිනම් ප්‍රතිපත්තිමය ගැටලුවක් නිසා ද?

සුපිරි පාපන්දු පුරාවතක සමු ගැනීම

ලොව බිහි වූ විශිෂ්ටත ම පාපන්දු ක්‍රීඩකයා ලෙස අවිවාදයෙන් පිළි ගැනෙන සුපිරි බ්‍රසීල පාපන්දු පුරාවෘත්තය, පේලේ අද (දෙසැම්බර් 30) අලුයම මෙලොවින් සමු ගත්තා.
මිය යන විට 82වැනි වියේ පසු වූ ඔහු වසර කිහිපයක් වකුගඩු සහ උදරය ආශ්‍රිත රෝගවලින් පීඩා විඳිමින් සිටියා. පේලේ, පසුගිය වසරේ දී ශල්‍යකර්මයකට ද ඒ නිසා ම ලක් කෙරුණා.

පාපන්දු පිටියේ අණසක පැතිරවූ පේලේ – Christopher Furlong/Getty Images

රෝග තත්ත්වය උත්සන්න වීම නිසා ඔහු නැවත වරක් රෝහල්ගත කෙරුණේ, මේ වසරේ නොවැම්බර් මාසයේ අවසන් භාගයේදී යි.

පාපන්දු පිටියේ අණසක පැතිරවූ පේලේ බ්‍රසීලය වෙනුවෙන් ලෝක කුසලාන 3 ක් දිනා දීමට සිය දායකත්වය ලබා දුන්නා. එය ඉක්මවා යන්නට ලොව වෙනත් කිසිදු ක්‍රීඩකයෙක් තව ම සමත් ව නෑ.

පාපන්දු පිටියේ වාර්තා රැසක් පිහිටුවමින්, ලොව පුරා ක්‍රීඩාලෝලීන් අමන්දානන්දයට පත් කළ ඔහු තරග බිමෙන් සමු ගැනීමෙන් අනතුරුව ද අවස්ථා රැසක දී ඇගයීමට ලක් වූවා.

කවරයේ ඡායාරූපය: නව වසරට සුබ පැතීමට මත්තෙන් පැරණි වසර දෙස යළි හැරී බලමු - www.vecteezy.com
මූලාශ්‍ර:
www.hindustantimes.com
www.aljazeera.com
www.outlookindia.com
www.space.com
www.washingtonpost.com
www.reuters.com
Asiasociety.org
www.un.org

Related Articles