කොළඹ නගරයට ඇතුළු වන ප්‍රධාන මාර්ග හැම එකකම පාහේ එකකට එකක් නොදෙවැනි තදබදයක් තිබෙනවා. මෙය මුළු රටම දැඩි ලෙස ආර්ථික, සමාජීය, හා පාරිසරික වශයෙන් බලපෑම් එල්ල කරන දෙයක්. ගියවර ලිපිය තුලින් ගාලු පාර සදහා යෝජිත මට්ටමේ තිබෙන BRT පද්ධතිය ගොඩනැගීම හා එහි වාසි අවාසි පිලිබඳව අප ඔබව දැනුවත් කලා. එම ලිපියට ඔබෙනුත් ප්‍රතිචාර බොහොමයක් ලැබී තිබුණා.
එහි දී ඔබ බොහොමයක් දෙනා යෝජනා කර තිබූ අදහස් නම්,
Mono Rail System, Light Rail Transit (LRT), Automated Guded Way Transit(AGT) සහ Mass Rapid Transit(MRT) යනාදියයි. ඉතින් මේ පද්ධති මොනවාද? මේවා කොළඹට ඇතුලත් විමේ ප්‍රධාන කලාප වලට යෝජනා කර තිබෙන ආකාරය කුමක්ද? ඒවායේ තිබෙන යෝග්‍යතාවය, හා ඉන් සිදුවෙන වාසි-අවාසි ඔබව දැනුවත්ද? තවමත් යෝජිත මට්ටමේ තිබෙන මේ සියල්ල ලංකාවට ගැලපෙයිද? කියවලාම බලන්න.
තදබදය අඩුකරන්න අලුත් පද්ධතියක් යෙදීමට පෙර බැලිය යුතු සාධක
කිසියම් ව්‍යාපෘතියක් අලුතින් ඇරඹීමට පෙර ඒ පිළිබඳව විධිමත් අධ්‍යයනයක් කළ යුතු වෙනවා. මාර්ග තදබදය අවම කිරීම සඳහා මෙම පද්ධතීන් යෝජනා කිරීමට පෙර, පහත දැක්වෙන කරුණු පිළිබඳව මූලිකවම අවධානය යොමු කළ යුතුයි.
1) ඉදි කිරීම තුලින් ආර්ථික වර්ධනයට සිදුවන බලපෑම
යෝජිත පද්ධතිය ඉදිකිරීමට හා නඩත්තුවට කොපමණ මුදලක් වැය වෙනවා ද? වාහන වල වේගය, වර්තමාන වේගයට වඩා කොපමණ ප්‍රමාණයකින් ඉහල අගයක් ගනීවිදැයි, යන්න විශ්ලේෂණය කල යුතු වෙනවා. තවද තදබදය සදහා වැය වන කාලය පෙර හා පසුව කොපමණද? ගමනට ගතවන සම්පුර්ණ කාලය, සම්පුර්ණ වියදම බැලියයුතු වෙනවා.එනම් ඉදි කිරීමෙන් පසුව එය රටේ ආර්ථිකයට කුමන ආකාරයෙන් බලපාවිද යන්න.
2) පාරිසරික බලපෑම
කොතරම් භුමි ප්‍රමාණයක් නව පද්ධතිය සදහා අවශ්‍ය වේද? මේ තුලින් කොපමණ කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයක් පරිසරයට එකතු වේද, යනාදී කරුණු.
3) මගීන් සදහා සධාරණත්වය
කොපමණ මගීන් ප්‍රමාණයකට මෙම සේවාව සදහා ළඟා විය හැකිද? ගාස්තුව දැරිය හැකි ප්‍රමාණයේද? ආදිය. .
4) ආරක්ෂාව
අනතුරු වලට මුහුණ දීමේ අවධානම සහ ඒ ආශ්‍රිතව වැයකිරීමට සිදුවන මුදල.
ඉතින් ඉහත දක්වූ කරුණු පිලිබදව විශ්ලේෂණය තුලින් වර්තමානය වන විට කොළඹට ඇතුළු වන මුලික මාර්ග 7 හි තදබදය අඩු කිරීමට ගැලපෙන නව පද්ධතීන් යෝජිත මට්ටමේ තියනවා. මොනවද මේ ඇතුළු වීමේ ප්‍රධාන මාර්ග හත, මේවා හදුන්වන්නේ කොරිඩෝ කියලයි.
- කැලණිය-ජා එල මාර්ගය. (මිගමුව කොරිඩෝව)
- කඩවත මාර්ගය. (නුවර කොරිඩෝව)
- කඩුවෙල මාර්ගය. ( Low Level කොරිඩෝව)
- බත්තරමුල්ල, මාලබේ මාර්ගය. (මාලබේ කොරිඩෝව)
- නුගේගොඩ, මහරගම මාර්ගය. ( High Level කොරිඩෝව)
- පිළියන්දල මාර්ගය. (හොරණ කොරිඩෝව)
- දෙහිවල මොරටුව මාර්ගය. (ගාලු කොරිඩෝව)
ඉතින් මේ මාර්ග හතෙන් කොළඹට ඇතුළු වෙද්දී ඇති වන තදබදය වළක්වන්න ඒ ඒ කොරිඩෝව සදහා නව පද්ධති යෝජනා කරලා තියනවා.
තනි පීල්ලේ ජපන් යකඩයා (Mono Rail)
පොළවට ඉහළින් කොන්ක්‍රීට් කණු මත තනි කොන්ක්‍රීට් පිල්ලක වේගයෙන් ගමන් කල හැකි දුම්රිය සේවාවක් මේ නමින් හදුන්වනවා. නාගරික තදබදය අවම කිරීමට දැනට ලෝකයේ තිබෙන හොදම ක්‍රම වලින් එකක් . ජපානය තමයි මේ පද්ධතිය ලොවට හදුන්වා දී තිබෙන්නේ. කොන්ක්‍රීට් පිල්ල මත එල්ලෙමින් ගමන් කරන හා පිල්ල මතින් ගමන් කරන ලෙස Mono Rail වර්ග දෙකක් තිබෙනවා.
මෙහි වේගය පැයට කිලෝමිටර් 30-40ක අගයක් ගන්නා අතර ධාරිතාවය ඉහලයි. මගීන් 30000ක් පමණ එක පැයකදී එක් ගමනාන්තයකට අරන් යන්න පුළුවන්. කොන්ක්‍රීට් කණු මත ඉදීවෙන නිසා විශාල භූමි ප්‍රදේශයක් අවශ්‍ය නෑ. නැවතුම් පොළවල් වලට පමණයි සැලකිය යුතු ඉඩක් වෙන් වෙන්නේ. මෙවැනි පද්ධතියක් නාගරික ප්‍රදේශයකට අලංකාරයක් එකතු කරනවා.
මෙහි සංකීර්ණ ව්‍යුහය ඉදිකිරීමට විශාල මුදලක් වැය වෙනවා. ඒ වගේම නඩත්තුව සදහා වැය වන මුදලත් සාපේක්ෂව ඉහළයි. ජපානය පවා 2003න් පසු නැවත Mono Rail ඉදිකරලා නෑ. ලොව Mono Rail වලින් අඩක් පමණයි නාගරික ප්‍රවාහන පද්ධතියට එක කර තිබෙන්නේ. අනෙක් ඒවා ගුවන් තොටුපොළවල් හා සුපිරි වෙළද සංකීර්ණ ඇතුලත පිහිටා තිබෙනවා. මෙම තාක්ෂණය පවතින්නේත් ලොව රටවල් කිහිපයකට පමණයි. ජාලයක් ලෙස භාවිතා කරන අවස්ථාවක් දකින්නට ලැබෙන්නේ කලාතුරකින්. අලුත් යටිතල ව්‍යුහ ගොඩනැගිය යුතු බැවින් නීතිමය ගැටලුත් ඇතිවෙනවා.
වේගවත් විදුලි බට්ටා
Light Rapid Transit (LRT) කියන්නේ විදුලියෙන් ක්‍රියාත්මක වන වර්ගයකට අයිති නියමිත පීලි වල ගමන් කරන මැදිරි කිහිපයකින් යුතු දුම්රියක්. වේගවත්, සුවපහසු, බහුලව භාවිතාකරන සේවාවක්. පොළව මතින් හෝ ඉහළට ඉදිකරන ලද කොන්ක්‍රීට් කණු මතින් ගමන් කරනවා. විදුලිය සැපයෙන්නේ කේබල් මගින්. සාර්ථක LRT පද්ධතියක් මැනිලා හා හිරෝෂිමා නගර වල ක්‍රියාත්මක වෙනවා.
LRTයනු ලෝකයේ සාර්ථකම නාගරික ප්‍රවාහන පද්ධතියයි. දැනට පද්ධති 200ක් පමණ ලොව වටා ඉදීවෙමින් පවතිනවා. මෙහි තාක්ෂණය බොහෝ රටවලට හිමියි. වැය වන වියදම Mono Rail වලට සාපේක්ෂව අඩු අගයක් ගන්නවා. අවශ්‍ය ස්ථාන වලදී පොළව මට්ටමිනුත් අවශ්‍ය විට කොන්ක්‍රීට් කණු මතිනුත් මාර්ගය ඉදි කිරීමට හැකියාව පවතිනවා. පොළව මත ගමන් කිරීමේ මාර්ගය ඉදිකිරීම තුලින් 50% වියදම අඩු වීමක් වෙනවා. බොහෝ රටවල මෙය ප්‍රවාහන ජාලයක් ලෙස ක්‍රියාත්මකයි.
ඉහළින් ඉදිකරන මාර්ග ව්‍යුහය සදහා විශාල මුදලක් වැය වෙනවා. ඉදිකරන මාර්ගයේ බැස්ම ඉතා කුඩා අගයක් ගත යුතු වෙනවා. නොමැතිනම් එය භයානක අනතුරු වලට අත වැනීමක්. පොළව මත ගමන් කිරීමේදී අනෙකුත් මාවත් හරස් වීම තුලින් තදබදයට මුහුණ දීමට සිදුවෙනවා. ඒ වගේම මෙයට ලගා වීමේ පහසුකම් හා නීති රෙගුලාසි රජය විසින් හදුන්වා දියයුතුයි.
පොලව යටින් දුවන යෝධයා
Mass Rapid Transit (MRT) යනු විශාල වශයෙන් මගීන් රැගෙන යා හැකි උමං මාර්ග ඔස්සේ හෝ ඉහළින් ඉදිකළ කොන්ක්‍රීට් මාර්ග ඔස්සේ ඉතා වේගයෙන් ගමන් කරන දුම්රිය විශේෂයකි. ටෝකියෝ, දිල්ලි, බැංකොක් වැනි නගරවල මෙම ක්‍රමය සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. ධාරිතාවය ඉතා විශාල අගයක් වන අතර එමගින් මගීන් 60000ක් පමණ පැයක් තුල එක ගමනාන්තයක් සදහා රැගෙන යා හැක. පොලව යටින් දිවෙන නිසා අනෙකුත් වාහන වලින් කිසිදු අවහිරයක් නොවේ.
මෙහිදි විශේෂයෙන් උමං මාර්ග ව්‍යුහය සදහා විශාල වියදමක් දැරීමට සිදුවන අතර අධික වර්ෂාව හා ගංවතුර හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වීමටත් පුළුවන්. පද්ධතිය ඉදි කිරීම සදහා අනෙක්වාට සාපේක්ෂව විශාල කාලයක් ගතවෙනවා. ඉදිකරන මාර්ගයේ බැස්ම ඉතා කුඩා අගයක් ගත යුතුයි. පොලව යට භාවිතයට ගැනෙන බැවින් එහිදී නීතිමය ගැටළු වුවත් ඇතිවන්නට ඉඩක් තිබෙනවා.
ට්‍රැෆික් නැති බස් පාර BRT
BRT පද්ධතිය පිළිබඳව ගියවර ලිපියෙන් දීර්ඝව අපි කතා කළා. විශේෂ වාසි වන්නේ අනෙක්වාට සාපේක්ෂව ගොඩනැගීමේ වියදම අඩු වීම හා කෙටි කාලයක් තුල ඉදිකිරීමට හැකිවීමයි. අලුතින් යටිතල ව්‍යුහ ගොඩනැගීමට නොමැති අතර වැඩි දියුණු කිරීම පමණයි කල යුත්තේ. අනෙක් පද්ධති වලට සාපේක්ෂව මූලික ගොඩනැගීමේ වියදම හා නඩත්තු වියදම අඩුම වන්නේ මෙම පද්ධතියේය.
නමුත් වෙනත් වාහන වලට පාරේ ඉඩ අහිමිවීම, අනෙකුත් ධාවන තීරු හරස්වීම තුලින් නැවතත් තදබදය ඇති වීම, අනෙක් පද්ධති වලට සාපේක්ෂව වේගය අඩු අගයක් ගැනීම තවද පෞද්ගලික බස් හිමියන් හා ලංගම සමග ගිවිසුම් වලට හා නීති රීති වලට එළඹිය යුතු වීම මෙහි ඇති ගැටලුයි.
ඉහත ආකාරයට පද්ධතීන් පිලිබඳව සොයා බලා වැඩිම ප්‍රතිලාභයක් ලැබෙන පරිදි සැලසුම් ක්‍රියාත්මක කිරීම රජය සතු වගකීමක් වෙනවා. එසේ වූවහොත් තදබදයෙන් තොර දියුණු අලංකාර නාගරික පද්ධතියක් නිරායාසයෙන් ගොඩනැගෙනු ඇති.
කවරයේ පින්තුරය: RideMetro.org