Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ආදරය වෙනුවෙන් ස්වීඩනයට පාපැදියකින් ගිය මහානන්දියා

 “ආදරයට සීමා මායිම් නොමැත” යන වදන අපට කලා නිර්මාණ වලින් බහුලව ම  දකින්නට ලැබෙන දෙයක් හෝ නිරන්තරයෙන් හඟවන්නට උත්සහ කරන දෙයක්. සැබෑ ලෝකයේදීත් එම වදනෙහි සත්‍යතාව තහවුරු කරන අන්දමේ අපූරු කතා අපට හමු වෙනවා.  පුද්ගලයකු තම ජීවිතයේ පෞද්ගලික තොරතුරු සියල්ල ම ලෝකයට හෙළිදරව් නො කරන නිසා එවැනි ආදර්ශවත් ජිවීත කතා අපටත් නොදැනී ම කාලය සමඟ වැළලෙන්නටත් පුළුවන්. වාසනාවට ප්‍රද්‍යුම්න කුමාර් මහානන්දියාගේ ජීවිත කතාවේ වැදගත් ම කොටස ලෝකයට මඟ හැරුණේ නැහැ. තමා මුහුණ දුන් කටුක සිදුවීම්, බලාපොරොත්තු, වැටීම්, නැඟිටීම්, මේ හැම දෙයක් ම නොවලහා ප්‍රකාශ කිරීමට මහානන්දියා ත්‍යාගශීලි වුණා.

 ඉන්දියාවේ සිට ස්වීඩනයට ගොඩබිමින් කොපමණ දුරක් තිබෙනවාද කියා ඔබට අනුමාන කරන්න පුළුවන් ද? ඒ දුර පාපැදියකින් ගමන් කළ මිනිසෙක් මිහිමත සිටිනවා. වරදවා වටහා ගන්න එපා, මේක ගිනස් ලෝක වාර්තාවක් වෙනුවෙන් කළ දෙයක් නොවෙයි. ආදරය වෙනුවෙන් කළ දෙයක්!

මහානන්දියා, චාලට් ප්‍රථම වතාවට මුණ ගැහුණේ 1975දී යි – www.bbc.com

නක්ෂත්‍රවේදියාගේ අනාවැකිය

 ප්‍රද්‍යුම්න කුමාර් මහානන්දියා නොහොත් පී.කේ. මහානන්දියා, 1949 වර්ෂයේ ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයට අයත් කන්දපඩා නම් කුඩා කැලෑබද ගමක උපත ලබනවා. ඔහුගේ මව ඉන්දියාවේ කුල ක්‍රමයට ඇතුළත් නොවූ ගෝත්‍රයක උපන් නිසා කුල ධූරාවලියේ පහත් ම තැනක සිටියා. ඒ පහත් කුල උරුමය ඇයගේ දරුවන්ටත් උරුම වූ නිසා මහානන්දියාට පාසලේ දී ඉමහත් ගැහැට විඳින්න සිදු වුණා. අනෙකුත් සිසුන්ට මහානන්දියා සමඟ සෙල්ලම් කිරීම පමණක් නොව, මහානන්දියා ස්පර්ශ කිරීමටවත් අවසර ලැබුණේ නැහැ. උගන්වන අතරතුරේදී සියලු ළමයින් පංති කාමරය තුළ සිටියත්, මහානන්දියාට පංති කාමරයෙන් බැහැර ව සිට ගුරුවරයාට ඇහුම්කන් දෙන්න සිදු වුණා.

 ඉන්දියාවේ දුෂ්කර ගම්මානයක පහත් කුලයක ඉපදුණු කෙනකුට දුප්පත්කමෙන් සහ වෙනස් කොට සැලකීමෙන් ඇති වන පීඩාව සුළුපටු නැහැ. එවැනි වාතාවරණයක් මැද සිටි කුඩා මහානන්දියා සහ ඔහුගේ පවුලට අනාගතය ගැන කිසිදු සුබවාදී ආකල්පයක් නොතිබූ තරම්. එක්තරා දිනෙක ඇති වූ  සිදුවීමකින් කුඩා මහානන්දියාගේ සිත තුළ අනාගතය ගැන මහා බලාපොරොත්තුවක් ඉපදුණා.

දුප්පත්කම සහ වෙනස් කොට සැලකීම

මහානන්දියා පස්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන කාලය තුළදී ඔහුගේ ජන්ම පත්‍රය පරීක්ෂාවට ලක් කරන්නට මව්පියන් උනන්දු වුණා. නක්ෂත්‍රකරුවාගේ අනාවැකියට අනුව මහානන්දියාගේ විවාහය යෝජිත අන්දමින් සිදු නොවන බවත්, අනාගත බිරිය ඉන්දියාවෙන් බොහොම දුර බැහැර ඉපදුණු වෘෂභ ලග්න ලාභිනියක බවත් සඳහන් වුණා. මහානන්දියාගේ අනාගත බිරිය වනාන්තරයක හිමිකාරියක් මෙන් ම, ඇය සංගීතයට ඉමහත් ළැදියාවක් දක්වන තැනැත්තියක් බව එම අනාවැකියෙන් තව දුරටත් කියවුණා. මහානන්දියා අනාවැකිය තදින් ම විශ්වාස කළා. සමහර විට බලාපොරොත්තුවක් නොමැති ව ජීවත් වූ මහානන්දියාට අනපේක්ෂිත අනාවැකිය ධෛර්යය වඩන්නට හේතුවක් වෙන්න ඇති.

මහානන්දියා වීදි චිත්‍ර ශිල්පියකු ලෙස ගත කළ කාලය – medium.com/the-ascent 

 

සහජ හැකියාවක් ඇති කලාකරුවා

 දුෂ්කරතා මැද මහානන්දියා කෙලෙස හෝ අධ්‍යාපනයෙන් ඉදිරියට ගියා. ඔහුට උපතින් ම පිහිටි කලා හැකියාවක් ද තිබුණා. 1971 දී කලාවට සම්බන්ධ ශිෂ්‍යත්වයක් මහානන්දියාට හිමි වූ අතර, ශිෂ්‍යත්වය වෙනුවෙන් ඔහුට නව දිල්ලියට සංක්‍රමණය වෙන්නට සිදු වුණා. දුප්පත්කම තවමත් ඔහු වෙතින් පලා ගොස් තිබුණේ නැහැ. ශිෂ්‍යත්වයෙන් ඔහුගේ අධ්‍යාපන කටයුතු සඳහා දැරිය යුතු පිරිවැය ආවරණය වුණත්, අනෙකුත් මූලික අවශ්‍යතා හමුවේ මහානන්දියා විශාල ජීවන අරගලයක් සිදු කළා.

 අවසානයේදී ඔහු වීදි චිත්‍ර ශිල්පියකු ලෙස තම ජීවිකාව ගෙන ගියා. දුෂ්කර කාල පරිච්ඡේදයක් වුවත්, වීදි චිත්‍ර ශිල්පියකු ලෙස ගත කළ කාලය ආශිර්වාදයක් ලෙස මහානන්දියා අදත් සලකනවා.

” වීදියේ චිත්‍ර අඳිනවාට පොලීසිය අකමැති වුණ නිසා ඔවුන් මා පොලිස් ස්ථානයට රැගෙන ගියා. එහිදී කෑම සහ නිදාගන්න තැනක් ලැබුණ නිසා මං එහි ගියේ කැමැත්තෙන්. බලාපොරොත්තු සහ අහිමි වීම් අතර සිටි රස්තියාදුකාරයෙක් වගේ මං කාලය ගෙව්වා. නමුත්, මං ජීවිතයේ වැදගත් පාඩම් ඒ කාලය අතරතුර ඉගෙන ගත්තා. මිනිස්සු හමු වෙන තරමට මං ජීවිතය ගැන වෙනස් විදිහට හිතන්න පටන් ගත්තා.”

නැෂනල් ජියෝග්‍රැෆික් හමුවේ මහානන්දියා එලෙස පවසා තිබුණා.

වැල්න්ටිනා තෙරෙෂ්කෝවාගේ චිත්‍ර ඇඳීමෙන් පසු මහානන්දියාට වාසනාවන්ත කාලයක් උදා වුණා – www.bbc.com 

තෙරෂ්කෝවා ගෙනා වාසනාව

 එකල ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධූරය හෙබ වූ ඉන්දිරා ගාන්ධි, තවත් එවැනි ම ප්‍රබල කාන්තා චරිතයක් වූ වැලන්ටිනා තෙරෙෂ්කෝවාට සංචාරයක් උදෙසා ඉන්දියාවට ආරාධන කළා. තෙරෙෂ්කෝවා අභ්‍යවකාශයට ගිය ප්‍රථම කාන්තාව ලෙස ඒ වනවිටත් ඉතිහාසයට එක් ව තිබුණා. දවසක් මහානන්දියා මේ අපූරු කාන්තාව ආරක්ෂකයන් පිරිවරා ගෙන වීදියක සැරිසරමින් සිටිනවා දැක්කා. වහාම ක්‍රියාත්මක වූ මහානන්දියා, සෙනඟ අතුරින් ගොස් ඇයගේ පේනමානයට පැමිණෙන්නට සමත් වුණා.

 ඔහු ලද කුඩා කාල අවකාශයෙන් ඇයගේ ආලේඛ්‍ය චිත්‍රයක් ඇඳ ඇයගේ ආරක්ෂකයකුට භාර දුන්නා. චිත්‍රය දුටු වහා ම මහානන්දියා කෙරෙහි පැහැදුණු තෙරෙෂ්කෝවා, ඔහු මුණ ගැසීමට අවශ්‍ය බව ආරක්ෂකයන්ට දැනුම් දුන්නා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුට ඉන්දු-සෝවියට් සංගමයේ පාර්ලිමේන්තු සමාජයට ආරාධනාවක් ලැබුණු අතර, ඇයගේ රුව සහිත චිත්‍ර දහයක් සමඟ රූපවාහිනියට පෙනී සිටීමට පවා මහානන්දියාට අවස්ථාව ලැබුණා. එක රැයෙන් මහානන්දියා දිල්ලිය පුරා ම ප්‍රසිද්ධ වුණා.

 එම ප්‍රසිද්ධිය හේතුවෙන් ඉන්දිරා ගාන්ධිගේ රුව චිත්‍රයට නැඟීමට පවා මහානන්දියාට අවස්ථාව ලැබුණා. අගමැති ලේකම්ගේ අනුග්‍රහයෙන් ඔහුට කුඩා නවාතැනක් ලැබුණු අතර, ජිවිතය ටිකෙන් ටික ස්ථාවර වන බවක් මහානන්දියාට දැණුනා. තවමත් ඔහුගේ සිත තුළ නක්ෂත්‍රකරුගේ අනාවැකිය හොල්මන් කළා. තවමත් තම ජීවිතයේ වැදගත් ම අවස්ථාව නොඑළඹුණු බව මහානන්දියා විශ්වාස කළා.

1975 වර්ෂයේ දෙසැම්බර් 17 වැනිදා

 ” දිගු ලස්සන කෙස් සහ නිල් පැහැති දෑස් ඇති කාන්තාවක් එදා සන්ධ්‍යාවේදී මා වෙත පැමිණියා. ඇය මගේ චිත්‍ර අඳින කැන්වසය පිටුපසින් සිටින විට කිසිදු බරක් වැනි හැඟීමක් මට දැනුණා. ඒ හැඟීම විස්තර කරන්න තරම් නිවැරදි වචන මං දන්නේ නැහැ.”

 දෛවෝපගත හමුවීම සිදුවූ ඒ දිනය, එනම්, 1975 වර්ෂයේ දෙසැම්බර් 17 වැනිදා මතකය ඔහු වචනවලට පෙරළුවේ ඒ අයුරින්. චාලට් වොන් ෂෙඩ්වින් නම් වූ ඒ කාන්තාව, තමාගේ රුව චිත්‍රයට නඟන මෙන් මහානන්දියාට ඇරියුම් කළා. ඇය තුන්වතාවක් ඔහුගේ සේවය පතා පැමිණියා.   

චාලට් වොන් ෂෙඩ්වින් ඉන්දීය සංස්කෘතියට ඉමහත් ආදරයක් දැක්වූවා www.bbc.com 

 විදේශයකින් පැමිණි කතක් නිසා නක්ෂත්‍රකරු පළ කළ අනාවැකියෙන් කොටසක් නිරායාසයෙන් ම සත්‍ය වුණා. කෙටි කලකින් ඇති වූ සමීපත්වය නිසා අනාවැකියේ ඉතුරු කරුණුත් චාලට් සමඟ ගැළපෙන බව මහානන්දියා දැන ගත්තා. අනාවැකිය ගැන ඇයටත් පවසන්න මහානන්දියා එඩිතර වුණා. එහෙත්, මුලදී චාලට් මේ කිසිදු දෙයක් වටහා ගත්තේ නැහැ.

 සිදුවීම් දාමයකට පසු මහානන්දියා සහ චාලට් අතර ප්‍රේම සම්බන්ධයක් ගොඩ නැඟුණා. මහානන්දියාගේ උපන් ගමට ගොස් ඔහුගේ පවුලේ සාමාජිකයන් හමුවීමට පවා ඇය උනන්දු වුණා. ඇයට මහානන්දියාගේ උපන් ගම තමාගේ ම නිවස මෙන් දැනෙන්න පටන් ගත් බව පැවසෙනවා. ඉන්දියාවේ මීට කලින් ජීවත් වූ තරමට ම ඇයට ඉන්දියාවේ සංස්කෘතිය සමීප බව දැනී තිබෙනවා. චාලට් පුනර්භවය පවා විශ්වාස කරන තැනැත්තියක්.

 ඔවුන් සති දෙක තුනක් එකට කාලය ගත කළා. ඉන්පසු චාලට් නැවත සිය උපන් රට, ස්වීඩනය බලා පිටත් වුණා. අවුරුදු එකහමාරක පමණ කාලයකින් දෙදෙනා නැවත හමුවුණේ නැහැ. මුල් ම අවස්ථාවේ හමුවන විට ඇතිවූ හැඟීම් එලෙස ම දෙදෙනා තුළ පැවතුණා. ඔවුන් අතර ලියුම් ගනුදෙනු මඟින් මනා සන්නිවේදනයක් පැවතුණත්, ජීවිතයේ අමාරුම පියවර පැමිණ ඇති බව මහානන්දියාගේ සිත පවසන්න පටන් ගත්තා. ඒ අනුව, ලෝකයක් පුදුම කළ ඒ මහා සංචාරය වෙනුවෙන් මහානන්දියා පිඹුරුපත් සැකසුවා.

ඉන්දියාවේ සිට ස්වීඩනය කරා යාමට මහානන්දියා අනුගමනය කළ මාර්ගයේ දළ රූප සටහනක් –  www.dailymail.co.uk 

 

‘හිපි ට්‍රේල්’ හරහා පාපැදියෙන් ස්වීඩනයට

 ප්‍රමාණවත් ආර්ථික ස්ථාවරත්වයක් ඒ වනවිට මහානන්දියා වටා ගොඩ නැඟී තිබුණත්, ස්වීඩනයට ගුවන් යානයකින් යෑමට තරම් ඔහු සතු ව ප්‍රමාණවත් වත්කමක් තිබුණේ නැහැ. චිත්ත ධෛර්යය පමණක් අතැති ව මෙතරම් ගමනක් ආ මහානන්දියා, ඉතිරි දුරත් චිත්ත ධෛර්යය මත පමණක් විශ්වාසය තබා ගෙවා දැමීමට තීරණය කළා. ඒ අනුව ඔහු තමන් සතුව සියලු දේ විකුණා දමා ඩොලර් 80ක මුදලක් සොයා ගත්තා.

 එකල දකුණු ආසියාව සහ යුරෝපාකරය සම්බන්ධ කරමින් ගොඩනැඟුණු ප්‍රසිද්ධ ගොඩබිම් මාර්ගයක් තිබුණා. එම මාර්ගය වැඩි වශයෙන් ප්‍රචලිතව පැවතුණේ “හිපිවරුන්” නමැති මිනිසුන් කොට්ථාසය අතර යි. හිපිවරුන් පවතින සමාජ ක්‍රමයෙන් බැහැර ව සංචාරක ජීවන රටාවක් ගෙනයන මිනිසුන් වෙනවා. “හිපි ට්‍රේල්” යනුවෙන් හැඳින් වූ එම මාර්ගය හරහා පාපැදියකින් ස්වීඩනය කරා යෑමට මහානන්දියා තීරණය කළා.

පාපැදියෙන් දිනකට කිලෝමීටර් 70ක් 

 ඔහුගේ සංචාරය ඇරඹෙන්නේ 1977 වර්ෂයේ ජනවාරි 22 වැනිදා යි. දිනකට කිලෝමීටර් 70ක් පමණ ඔහු පාපැදියෙන් ගමන් කළා. එකල දේශසීමා ගැටලු, රට රටවල් අතර දේශපාලන අර්බුද වර්තමානයේ තරම් පැවතුණේ නැහැ. ඔහුගේ ගමනේ දී ඇෆ්ගනිස්තානය පසු කිරීමටත් සිදු වුණා. මහානන්දියාගේ අත්දැකීම් අනුව එකල ඇෆ්ගනිස්තානය බොහොම සුන්දර, සාමකාමී දේශයක් ලෙස පැවතුණා. ඇෆ්ගනිස්තානය වනතෙක් ඔහුට සන්නිවේදනය ගැටලුවක් වුණේ නැහැ. හින්දි බස තේරුම්ග ත හැකි සැලකිය යුතු පිරිසක් ඇෆ්ගනිස්තානයේ වාසය කළා. ඉරානයට පැමිණීමත් සමඟ සන්නිවේදනය මහානන්දියාට ගැටලුවක් වුණා. විශ්වීය භාෂාවක් ලෙස කලාව ඔහුගේ ගැලවීම පිණිස ඉදිරියට ආවා.

සැතපුම් හාරදහසකටත් අධික දුරක් ඔහු මූලික වශයෙන් ගෙවා දැමු පාපැදිය – www.boredpanda.com 

කරුණාව පිරුණු ලෝකය

 ස්වීඩනය දක්වා සැතපුම් හාරදහසකටත් වඩා වූ දුර මහානන්දියාට සම්පූර්ණයෙන් ම පාපැදියෙන් ගෙවා දමන්න සිදු වුණේ නැහැ. කාරුණික මිනිසුන් රැසක් මහානන්දියාට අතරමඟදී හමු වුණා. ඇතැම් විට ඔහුට ට්‍රක් රථ රියදුරන්ගෙන් ගමන් සහය ලැබුණා. එළිමහනේ භාවිත කරන විශේෂ නිදන මල්ලක් ඔහු සතු ව තිබුණු අතර, බොහෝ දිනවල තරු පිරි ආකාසය ඔහුගේ හිසට වහලය වුණා. සමහර කාරුණික මිනිසුන් ඔහුට නවාතැන් සහ කෑම ලබා දුන්නා. තම කලා හැකියාවෙන් යම් ප්‍රති උපකාරයක් එම කාරුණික මිනිසුන් වෙනුවෙන් සිදු කරන්න ඔහු අමතක කළේ නැහැ. තමන් සතු ව තිබූ එකම ධනය වූ ඩොලර් අසූවක මුදල ඔහුගේ බඳපටියේ සුරක්ෂිත ව රඳවා ගෙන සිටියා. කිසිදු අයුරකින් එය වියදම් නොකර සිටීමට ඔහු සෑම උත්සාහයක් ම ගත්තා.   

“අතරමඟදී හිපි ජීවන රටාව අනුගමනය කරන මිනිසුන් රැසක් සමඟ මිතුරු වෙන්න මට හැකි වුණා. ඒ අය මට මඟ පෙන්නුවා, උපදෙස් දුන්නා, කෑම දුන්නා. මං හිටියේ තනියෙන් නෙවෙයි. අකමැති කිසිම පුද්ගලයෙක් මට හමුවුණේ නැහැ. නිදහස, ආදරය, සාමය ඇති වෙනස් ම ලෝකයක් මම එනමඟ දුටුවා. මගේ සිතුවිලි සහ සැකය විශාල ම අභියෝගය වුණා. කන්දහාර්, කාබුල්, ඉස්තාන්බුල් වගේ නගරවලදී චාලට්ගෙන් මාව ධෛර්යමත් කරන ලිපි ලැබුණා.”

ඒ ප්‍රද්‍යුම්න කුමාර් මහානන්දියාගේ වචන යි.

චාලට් සහ මහානන්දියා නිල වශයෙන් ස්වීඩනයේදී විවාහ වුණා – www.facebook.com/pkmahanandia

 

ස්වීඩනයේ සම්භාවනීය ඉන්දියානුවා

 ගමන අතරතුර ඔහු පාකිස්තානය, ඇෆ්ගනිස්තානය, ඉරානය, තුර්කිය වැනි රටවල් පසු කළා. එම වර්ෂයේ ම මැයි 28 වැනිදා ඔහු ඔස්ට්‍රියාවේ වියානා නගරයට සේන්දු වුණා. ඉන්පසු දුම්රියකින් ස්වීඩනයේ ගොතෙන්බර්ග් නගරය කරා ගමන් කළා. අවසානයේදී ඔහු අභියෝගය ජය ගත්තා.

 සංස්කෘතික නොගැළපීම් සහ විවිධ අමාරුකම් මධ්‍යයේ චාලට් වොන් ෂෙඩ්වින්ගේ මව්පියන් මහානන්දියාගේ සහ චාලට්ගේ ප්‍රේම සම්බන්ධය පිළි ගත්තා. චාලට් වංශාධිපති පරපුරකින් පැවතගෙන එන නිසා සුදු ජාතිකයන් නොවන පුද්ගලයන් සමඟ එකට වාසය නොකිරීමේ රාජකීය සම්ප්‍රදාය පවා කඩ කිරීමට චාලට්ගේ මව්පියන් ක්‍රියා කළා. චාලට් සහ මහානන්දියා නිල වශයෙන් ස්වීඩනයේදී විවාහ වුණා. මේ වනවිට ඔවුන්ගේ ප්‍රීතිමත් විවාහ ජීවිතය දශක හතරක් තිස්සේ ගත කරනවා. ඔවුන්ට දරුවන් දෙදෙනකුත් උපත ලබා තිබෙනවා.

චාලට් වොන් ෂෙඩ්වින් සහ මහානන්දියා එදා සහ අද – www.facebook.com/pkmahanandia

 

චිත්‍ර කලාව සහ සංස්කෘතික උපදේශකවරයා

 අද ප්‍රද්‍යුම්න කුමාර් මහානන්දියා යනු ස්වීඩනයේ සම්භාවනීය පුද්ගලයෙක්. ස්වීඩන රජය යටතේ ඔහු චිත්‍ර කලාව සහ සංස්කෘතික උපදේශකවරයකු වශයෙන් කටයුතු කරනවා. ඔවුන් දෙදෙනාගේ ආදර කතාවට කරන ගෞරවයක් වශයෙන් ස්වීඩන රජය ඔවුන් දෙදෙනා අළලා විවිධ කලා නිර්මාණ සිදු කර තිබෙනවා. මහානන්දියාගේ සිතුවම් ලෝකය පුරා ප්‍රධාන නගරවල ප්‍රදර්ශනය කර තිබෙන අතර, යුනිසෙෆ් සංවිධානයේ වටිනා ඇරියුම් පත් නිර්මාණය කිරීමට පවා ඔහුට ආරාධනා කර තිබෙනවා. අද මහානන්දියා යනු පෞද්ගලික ජීවිතයෙන් මෙන් ම, වෘත්තිය ජීවිතයෙනුත් අතිශය සාර්ථක වූ පුද්ගලයෙක්.

ප්‍රද්‍යුම්න කුමාර් මහානන්දියාගේ ආදරණීය පවුල – www.astroulagam.com.my 

කවරයේ ඡායාරූපය: ප්‍රද්‍යුම්න කුමාර් මහානන්දියා ඔහුගේ බිරිඳ සමඟ - www.insbright.com 

මූලාශ්‍ර:

www.bbc.com

www.nationalgeographic.com/

medium.com 

Related Articles