Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

චීනය විසින් ඉදිකළ ලොව දිග ම මුහුදු පාලම​

චීන ජනාධිපති ෂී ජින්පිං අතින් ඔක්තෝබර් 23 වන දා විවෘත වූ හොං කොං – චුහායි – මකාඕ පාලම කි. මී. 55ක දිගින් යුක්ත වෙනවා. මේ අනුව එය ලෝකයේ දිග ම මුහුදු පාලම ලෙස යි සැලකෙන්නේ. මෙමඟින් හොං කොං සහ මකාඕ යන විශේෂ පාලන ප්‍රදේශ චීන ප්‍රධාන භූමිය වෙත සම්බන්ධ කෙරෙන අතර, විශේෂයෙන් ම හොං කොං සිට පර්ල් නදී ඩෙල්ටාව හරහා ගමන් කිරීමට ගතවන කාලය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වෙනවා.

මෙම පාලම වසර 9ක කාලයක් තිස්සේ ඉදි කෙරුණා. පාලම ඉදිකිරීම 2016 දී අවසන් විය යුතු වූ නමුත් එය ප්‍රමාද වුණා. සම්පූර්ණ වියදම ඩොලර් බිලියන 20ක් වූ බව යි සඳහන් වන්නේ. එහි ඉදිකිරීම් කටයුතුවල නිරතවූවන්ගේ ආරක්ෂාව පිළිබඳ ද ප්‍රශ්න මතු වූ අතර, ව්‍යාපෘතිය අතරතුර දී කම්කරුවන් 18 දෙනෙකු මියගොස් ඇතැ යි වාර්තා වෙනවා.

පාලම විවෘත කළ අවස්ථාවට පැමිණි ෂී (Xinhua)

මේ අතර පරිසර සංවිධාන ද මෙම ව්‍යාපෘතිය පිළිබඳ සිය විරෝධතාව දක්වා සිටිනවා. ප්‍රදේශයේ සමුද්‍ර ජීවීන්ට එයින් අනිටු ප්‍රතිඵල අත්වන බව පෙන්වා දෙන ඔවුන් කියා සිටින්නේ විශේෂයෙන් ම චීන සුදු ඩොල්ෆින් සතුන්ට එල්ල වන බලපෑම අයහපත් බව යි. ලෝක වනජීවී අරමුදලෙහි හොං කොං ශාඛාව පෙන්වා දෙනුයේ පසුගිය වසර දහය තුළ හොං කොං අවට මෙම සතුන් ගහනය 148 සිට 47 තෙක් අඩු වූ බව යි.

විශේෂතා

මෙම පාලම ඉදිකර තිබෙන්නේ භූ කම්පන සහ කුණාටු තත්ත්වයන්ට ඔරොත්තු දීමට හැකිවන පරිදි යි. එය​ ඉදිකිරීමට​ වානේ ටොන් 400,000ක් යොදාගනු ලැබුණ බව සඳහන් වෙනවා. හොං කොං සිට පර්ල් නදී ඩෙල්ටාවේ අනෙක් පසෙහි පිහිටි චුහායි වෙතත්, එතැනින් මකාඕ වෙතත් දිවෙන පාලමෙහි එක් පසෙක මං තීරු තුනක් වෙනවා. පාලමේ කි. මී. 30ක් පමණ මෙසේ පර්ල් නදී ඩෙල්ටාව හරහා වැටී තිබෙනවා. ගංගාව දෙසට නැව් ගමනාගමනය කරන බැවින් පාලමේ කි. මී. 6.7ක් වන දුරක් මුහුද යට උමඟක් ලෙස නිර්මාණය කර තිබෙනවා. මෙම උමඟ ඇරඹෙන ස්ථාන දෙකෙහි කෘත්‍රිම දූපත් දෙකක් නිර්මාණය කර තිබෙනු දක්නට පිළිවන්.

පාලමේ මාර්ගය (Vox)

පාලමේ ආරක්ෂාව සඳහා විශේෂ පියවර ගැනීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා. මේ අනුව ත්‍රස්ත ප්‍රහාරයන්ගෙන් ආරක්ෂාව සැලසීම සඳහා පාලම නිරීක්ෂණය කිරීමට ඉහළ තත්ත්වයේ කැමරා 48ක් සවි කර ඇතැ යි වාර්තා වෙනවා.

මීට අමතර ව රියැදුරන්ගේ තත්ත්වය පරීක්ෂාවට ද විශේෂ කැමරා සවි කර ඇතැ යි වාර්තා වුණා. චීන මාධ්‍ය උපුටා දක්වන බීබීසී ය කියා සිටියේ රියැදුරෙකු තෙවරක් ඈනුම් හරිනු නිරීක්ෂණය කළහොත්, ඒ බව බලධාරීන්ට දැන්වීම සඳහා ක්‍රමවේදයක් සකසා ඇති බව යි. නින්ද යාමෙන් වන අනතුරු වැළැක්වීම මෙහි අරමුණ බව ප්‍රකාශ වනවා.

මෙම පාලම සෑම වාහනයක් සඳහා ම විවෘත වන්නේ නැහැ. ඒ සඳහා විශේෂ අවසරපතක් මිලට ගත යුතු යි. ඊට අමතර ව පාලම හරහා ගමන් කරන පෞද්ගලික බස් සේවයක් ද ක්‍රියාත්මක වෙනවා.

නැගෙනහිර කෘත්‍රිම දූපත​ (AFP/Getty Images)

හොං කොං සහ මකාඕ හි වාහන ගමන් කරන්නේ මාර්ගයේ වමෙනි. නමුත් චීනයේ වාහන දකුණු පසින් ගමන් කරනු ලබනවා. මෙම පාලම චීන සීමාව තුළ පිහිටි බැවින් වාහන දකුණු පසින් ගමන් කළ යුතු වෙනවා. මේ සඳහා මං තීරු වෙනස් වීම සිදුකිරීමට හොං කොං සහ මකාඕ අසල ස්ථාන දෙකක් සකසා තිබෙනවා.

පාලම ලාභදායක ද​?

මෙම පාලම ලාභදායක වේ ද, එසේ නොමැති ව සුදු අලියෙකු බවට පත් වේ ද යන්න පිළිබඳ විශාල විවාදයක් පවතිනවා. රජය සඳහන් කරන්නේ මෙම පාලම විසින් ජනිත කරන ආර්ථික ප්‍රතිලාභය වසරකට යුවාන් ට්‍රිලියන දහයක් (ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.44) වනු ඇති බව යි. නමුත් විවේචකයින් එම අදහසට එකඟ වන්නේ නැහැ.

චීන රජය බලාපොරොත්තු වන්නේ දිනකට වාහන 9200ක් පමණ පාලම භාවිතා කරනු ඇති බව යි. නමුත් එම වාහන ප්‍රමාණය විසින් පාලම සඳහා විශාල ආදායමක් උපයා දෙනු ඇති ද යන්න ගැටලුවක්.

බීබීසී චීන සේවය විසින් කරන ලද අනුමානයකට අනුව මෙම පාලම විසින් වසරකට ඩොලර් මිලියන 86ක් උපයනු ඇති. නමුත් එයින් කොටසක් නඩත්තු කටයුතු සඳහා යෙදවෙනු ඇති හෙයින් විශේෂ ලාභයක් එතුළින් නොලැබෙනු ඇති බව යි ඔවුන් අනුමාන කරන්නේ. නමුත් චීන රජය මෙම අදහස් ප්‍රතික්ෂේප කරනවා. මෙය ඵලදායී විය හැකි බව යි ඔවුන් ප්‍රකාශ කරන්නේ.

පාලමේ දර්ශනයක් (AFP/Getty Images)

මෙහි දී එක් වැදගත් කරුණක් වන්නේ පර්ල් නදී ඩෙල්ටා ව ආශ්‍රිත විශාල ආර්ථික කලාපය තුළ ගමනාගමන පහසුව පිළිබඳ මෙම පාලම විසින් ගෙනෙනු ලබන පහසුව යි. සාමාන්‍යයෙන් හොං කොං සිට චුහායි වෙත ගමන පැය හතරක් පමණ කල් ගතවන්නක් වන නමුත් මෙම පාලම විසින් එය පැය භාගයකට අඩු කර තිබෙනවා. එය ඉතා වැදගත් වෙනසක් බව සඳහන් කළ හැකියි.

පර්ල් නදී ඩෙල්ටාව ආශ්‍රිත කලාපයේ මේ වන විට මිලියන 68ක පමණ ජනතාවක් වාසය කරනවා. එම සමස්ථ ප්‍රදේශය ම එක් දැවැන්ත ආර්ථික කලාපයක් ලෙස දියුණු කිරීම චීන රජයේ බලාපොරොත්තුවක් වෙනවා.

මේ අතර, මෙම පාලම මඟින් හොං කොං සහ මකාඕ වඩාත් තදින් ප්‍රධාන චීනයට බැඳ තබා ගැනීමට චීන බලධාරීන් උත්සාහ කරන බව විවේචකයින් පවසා සිටිනවා.

 

Related Articles