Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රොක් සංගීතය රකින්න සටන්වැදි මොස්කව් තරුණ අත්

1991 සැප්තැම්බර් මස 28 වන දින රුසියාවේ මොස්කව් නගරයට සතර දෙසින් ජන ගංගාවක් පැමිණෙන්නට විය. එය රුසියානුවන්ට විශේෂ දිනයකි. වසර ගණනක් පුරා පැවති කොමියුනිස්ට් පාලනය අවසන් වී සෝවියට සමූහාණ්ඩුව බිඳ වැටීම ආරම්භ වීමත් සමඟ රුසියාවේ දැවැන්ත වෙනසක් සිදු විය. කොමියුනිස්ට් පාලනය අවසන් වීම තරුණ රුසියානුවන් සැලකුවේ තම පරම්පරාව ලැබූ විජයග්‍රහණයක් ලෙසයි. ඔවුන් වසර ගණනක් කූඩුවක සිර කර සිට නිදහස ලැබූ කුරුල්ලන් ලෙසින් ඉතා උද්‍යෝගී ව මොස්කව් නගරය පුරා ඇවිදිමින් තැනින් තැන විවිධ පුවරු රැගෙන සිටිනු දක්නට ලැබිණි. මෙය එවකට සිටි රුසියානු රජයට එරෙහි ව සංවිධානය කළ කැරැල්ලක් හෝ උද්ඝෝශණයක් නොවේ.

මොවුන් සිටින්නේ එදින මොස්කව් නගරයේ සූදානම් කර තිබූ දැවැන්ත රොක් සංගීත ප්‍රසංගයකට සහභාගී වීමට පැමිණෙන  ලෝක ප්‍රසිද්ධ අමෙරිකානු Heavy Metal රොක් සංගීත කණ්ඩායම් කිහිපයක් පිළිගැනීමටයි. ඒ Metallica, Pantera, The Black Crowes හා ඕස්ට්‍රේලියානු රොක් සංගීත කණ්ඩායමක් වන AC/DC යන සංගීත කණ්ඩායම් ය. Monsters of Rock නමින් 80 දශකයේ පටන් වාර්ෂික ව අමෙරිකා එක්සත් ජනපදය කැනඩාව හා බටහිර යුරෝපයේ සංගීත ප්‍රසංග මාලාවක් පැවැත්විණි.

රොක් සංගීත කණ්ඩායම් සමඟ සජීවී ව

 1991 දී මෙය Monsters in Moscow නමින් රුසියාවේ පැවැත්වීමට තීරණය විය. රොක් සංගීතයට දැඩි ඇල්මක් දක්වන රුසියානුවන්ට මෙය ඉතා විරළ අත්දැකීමක් විය. මීට පෙර රූපවාහිනියෙන් හෝ ගුවන් විදුලියෙන් අසන්නට ලැබුණු ගීත, මෙලෙස විවෘත භූමියක, තමන් ආදරය කරන රොක් සංගීත කණ්ඩායම් සමඟ සජීවී ව අත්දැකීමට තරුණ හා මැදි වියේ පසුවන රොක් සංගීතයට ආදරය කරන බොහෝ  රුසියානුවෝ ඉතා වුවමනාවෙන් වසර ගණනක් පුරා බලා සිටියහ.

මොස්කව් නුවරට පැමිණි මිලියන 1.6කට අධික ප්‍රේක්ෂකයන් –  reddit.com 

 

හමුදාව සහ ප්‍රේක්ෂකයන් අතර ගැටුම්

 මොස්කව් නගරය පුරා පොලිස් හා හමුදා භට කණ්ඩායම් යොදවා තිබිණි. මොවුහු ප්‍රසංගය ආරම්භයේ සිට ම ප්‍රසංගය අවසන් වන තුරු ම මොස්කව් නගරය පුරා රැඳී සිටියහ. ප්‍රසංගය ආරම්භ වීමට ආසන්න වීමත් සමඟ ඇතැම් ප්‍රේක්ෂක පිරිස් හා ආරක්ෂක නිලධාරීන් අතර ගැටුම්කාරී තත්ත්වයක් හට ගැනිණි. වේදිකාව ආසන්නයට ම පැමිණීමට සැරසෙන පුද්ගලයන්ට හමුදා භටයන් බැටන් පොලුවලින් පහර දෙන්නට විය. කෝපයට පත් ප්‍රේක්ෂකයන් ද හමුදා භටයන්ට ප්‍රතිප්‍රහාර පහර දීමට පටන් ගැනීමත් සමඟ තත්ත්වය තවත් දරුණු වන්නට විය.

ගැටුම්වලට මැදි ව ලේ පෙරාගෙන පැමිණෙන හමුදා භටයන්ට මෙන් ම ප්‍රේක්ෂකයන්ට ද ප්‍රතිකාර කිරීමට එම ස්ථානයේ ගිලන් රථ පවා සූදානම් කර තිබිණී. ආරක්ෂක අංශ මේ වෙනුවෙන් පෙර සිට ම සූදානම් වී සිටි බවක් දක්නට ලැබිණි. ප්‍රසංගය ආරම්භ කරනු ලැබුවේ  රුසියානු රොක් සංගීත කණ්ඩායමක් වන E.S.T. විසිනි.

එම අවස්ථාවේදී ගැටුම් උග්‍ර වී තිබිණී. පසුව E.S.T. සංගීත කණ්ඩායම තම ඉදිරිපත් කිරීම අවසන් කරනවාත් සමඟ ම ප්‍රසංග  සංවිධායකයෝ ප්‍රේක්ෂකයන්ගෙන් මෙසේ ඉල්ලා සිටියහ.

“තත්ත්වය පාලනය කිරීමට අපහසු අන්දමින් දරුණු වී ඇත. දිගින් දිගට ම මෙසේ සිදුවුවහොත් අපට ප්‍රසංගය මෙතනින් නතර කිරීමට සිදුවේවි. පැමිණී අනෙකුත් සංගීත කණ්ඩායම්වල ඉදිරිපත් කිරීම් දැක ගැනීමට අවශ්‍යනම් ප්‍රචණ්ඩකාරී ක්‍රියා නතර කර සන්සුන් වන්න. මතක තියාගන්න අපි අද මෙතන ඉන්නේ අප ලැබූ විජයග්‍රහණය සැමරීමටයි. සැතපුම් දහස් ගණනක් දුර ගෙවා මෙම සංගීත කණ්ඩායම් මෙතනට පැමිණියේ මෙම විජයග්‍රහණය වෙනුවෙනුයි. අමතක කරන්න එපා අපි අද මෙතන ඉන්නෙ ඇයි කියල. කලබල නොකර සන්සුන් වන්න. එසේ නොමැතිනම් අපට අපේ මුළු ජීවිතකාලෙට ම නීල් ඩයමන්ඩ් ගෙ සින්දු ම විතරක් අහන්න වෙයි”

යනුවෙන් ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලීමක් සිදු කළහ. කෙසේ හෝ ප්‍රසංගය ආරම්භයේ සිට අවසන් වනතුරු ම තැනින් තැන ගැටුම් සිදු විය. හෙලිකොප්ටර් යානා පවා තත්ත්වය නිරීක්ෂණය කිරීමට අවසන යොදවා තිබිණි.

ආරක්ෂක අංශ සහ ප්‍රේක්ෂකයන් අතර ගැටුම් – jjplanetcaravan.blogspot.com 

 

කොමියුනිස්ට්වාදයේ බිඳ වැටීම

මෙය එතෙක් මෙතෙක් ලෝක ඉතිහාසයේ පැවත්වුණු දැවැන්ත ම සංගීත ප්‍රසංගයක් කීවාට වැරදි නැත. රුසියාවේ මෙන් ම ලොව පුරා සිටින රොක් සංගීත ලෝලීන් මිලියන 1.6 කට අධික පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ. ගැටුම් නිසා පුද්ගලයන් 54 දෙනකුට තම ජීවිත පවා අහිමි විය. ඇතැම් පිරිස් දින ගණනාවකට පෙර සිට ම මෙම ප්‍රසංග අවස්ථාව වෙනුවෙන් ම මොස්කව් නගරයට පැමිණ තිබිණි. මෙම ප්‍රසංගය එතෙක් අමෙරිකා එක්සත් ජනපදය හා සෝවියට් දේශය අතර පැවති සීතල යුද්ධයේ අවසානය සංකේතවත් කිරීමක් ලෙස ද දැක්විය හැක. ඊට හේතුව වන්නේ අමෙරිකානු රොක් සංගීත කණ්ඩායම්වලට සෝවියට් දේශය තුළ ප්‍රසංග පැවැත්වීමට අවස්ථාව උදා වීමයි. එහි සිටි ප්‍රේක්ෂකයන් අමෙරිකානු හා රුසියානු ධජ අතැතිව සිටිනු දක්නට ලැබිණි.

ප්‍රසංගය සඳහා මොස්කව් නුවරට රැස් වූ ප්‍රේක්ෂකයන් තවත් කෝණයකින් – reddit.com 

 

දේශපාලන මති මතාන්තර කුමක් වුවත් භාෂාව කුමක් වුවත් සංගීතයට එය බාධාවක් නොවන බව මෙම අවස්ථාව විස්තර කරමින් රටවල් දෙකෙහි ම ප්‍රේක්ෂකයන් පසු ව පවසා තිබිණි. අමෙරිකානුවන්ට මෙවැනි ප්‍රසංග සුලබ වුවත් කොමියුනිස්ට්වාදයෙන් හෙම්බත් ව සිටි රුසියානුවන්ට මෙය ඉතා විශේෂ අවස්ථාවක් විය. මෙයට සහභාගී වූ එක් තරුණ රුසියානුවකු පැවසුවේ “කොමියුනිස්ට්වාදය තව දුරටත් පවතින්නේ නැත, කොමියුනිස්ට්වාදය යනු අතීතය පමණයි” යනුවෙනි.

රුසියානු තරුණියක් පවසන්නේ “අප වසර ගණනක් මෙවැනි අවස්ථාවක් වෙනුවෙන් බලා සිටියා. අවසානයේදී අපට ඒක ලැබුණා.” යන්නයි. “මුලින්ම රොක් සංගීතය රුසියාවට එනකොට ඒක උදවු වුණා අපිට ශක්තිමත් වෙන්න. අපිට දැන් පුළුවන් උඩ පනිමින් කෑ ගසමින් විවෘතව අපේ හැඟීම් ප්‍රකාශ කරන්න. අපිට ඕනම දෙයක් කරන්න අපිට දැන් පුළුවන්.” මෙය තවත් රුසියානුවකුගේ අදහස විය.

ප්‍රසංගය අතරතුර ප්‍රේක්ෂකයන් පිරිසක් –  yaplakal.com 

 

රුසියානු හමුදාවේ අසාර්ථක උත්සහය

හමුදා කුමන්ත්‍රණයකින් සෝවියට් දේශයේ බලය අල්ලා ගැනීමට රුසියානු හමුදාව ගත් උත්සහය ව්‍යර්ථ වීමෙන් දින කිහිපයකට පසු මෙම සංගීත ප්‍රසංගය පැවැත්විණි. මෙම ප්‍රසංගය කල් දැමීමට රුසියානු හමුදාව දැඩි උත්සහයක් ගත්ත ද එය සාර්ථක නොවීම නිසා ඇතැම් හමුදා භටයන්ගේ ප්‍රචණ්ඩකාරී හැසිරීම් ද මෙහිදී දක්නට ලැබිණි. රුසියානු තරුණයෝ හමුදාව සමඟ ගැටෙමින් කෙසේ හෝ මෙම අවස්ථාව රැක ගැනීමට සටන් කළහ. Metallica සංගීත කණ්ඩායමේ ලීඩ් ගිටාර් වාදක Kirk Hammett පැවසුවේ මෙම තරුණයන් රසිකයන් පමණක්ම නොවේ, ඔවුන් සොල්දාදුවන් හෝ යම් ආකාරයක සටන්කාමීන් පිරිසක් ලෙසයි.

පැන්තෙරා සංගීත කණ්ඩායම හා රුසියානු හමුදාව ඡායාරූපයකට පෙනී සිටි අයුරු – assets.roar.media 

ඊට හේතුව වන්නේ ඔවුන් දැඩි අරගලයකින් පසු මේ දුර්ලභ අවස්ථාව ලබාගැනීමයි. අදටත් මෙම අවස්ථාවට සහභාගී වීමට අවස්ථාව ලැබුණු රුසියානුවන් මෙන් ම අනෙක් රටවල් වලින් පැමිණි ප්‍රේක්ෂකයන් ද පවසන්නේ මෙය ඔවුන්ට ලැබුණු කිසි දිනෙක අමතක නොවන මතකයක් ලෙසිනි. ඇතැමුන් පවසන්නේ යළි කිසි දිනෙක ලෝකවැසියන්ට මෙවැනි අත්දැකීමක් නොලැබෙන බවයි. වැඩි ම ප්‍රේක්ෂක පිරිසක් සහභාගී වූ සංගීත ප්‍රසංගයක් ලෙස මෙම ප්‍රසංගය වාර්තා පොත් අතරට ද එක් විය.

කවරයේ පින්තූරය:  Monsters in Moscow  රොක් සංගීත ප්‍රසංගය වර්ණවත් කළ Metallica - rockcelebrities.net 

මූලාශ්‍ර:

bestpaper.lk 

 themonstersofrock.com 

 youtu.be.com

 ozy.com

Related Articles