Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෝකයේ වැඩිපුරම හිනාවෙන ෆින්ලන්තයේ මිනිස්සු

හැම අවුරුද්දකම ජාත්‍යන්තර සතුටු දිනය වෙනුවෙන් ලෝකේ සතුටුම මිනිස්සු ඉන්න රට තෝරනවා. 2021 දී මේ දර්ශකයෙන් අංක එකට ආවේ ෆින්ලන්තය යි. ඒ රට තමයි පිට පිටම අවුරුදු හතරක් මේ තැන රැකගෙන ඉන්නේ.

ජාත්‍යන්තර සතුටු දිනයක්  

සතුටෙන් ඉන්න ෆින්ලන්ත පවුලක්-  www.goodnewsfinland.com

සමහරුන්ට හිතෙන්න පුළුවන් වැඩිපුරම දුක්වෙන ලෝකයේ සතුටු දිනයක් මොකට ද කියලා. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය 2012 ජුනි 28 වන දින ඉදිරිපත් කරන ලද යෝජනා අනුමැතියෙන්, සෑම වසරකම මාර්තු 20 වැනිදා ජාත්‍යන්තර සතුටු දිනය (The International Day of Happiness) සැමරීමට තීරණය වුණා. ඒ අනුව 2013 අවුරුද්දෙ ඉඳන් මේ දිනය ලොව පුරා සමනවා. හැබැයි අපි නම් එහෙම එකක් සමරනවා ද කියලාවත් දන්නැති තරම් සතුටේ හිමිකාරයෝ වෙලා. ඒ විතරක් නොවෙයි, ලෝක සතුටු වාර්තාවකුත් හැම අවුරුද්දකම නිකුත් කරනවා. ලියොඩ් රෙජිස්ටර් පදනම තමයි මේක ප්‍රකාශයට පත් කරන්නේ. බ්‍රිටිෂ් කොලොම්බියා සරසවියේ මහාචාර්ය ජෝන් එෆ්. හෙලිවෙල් එම වාර්තාවේ සංස්කාරක ලෙස කටයුතු කරනවා. මෙවර වාර්තාව සකස් කිරීමට ලෝකයේ රටවල් 149ක ජනතාව සමග සාකච්ඡා කර ලත් තොරතුරු පාදක කරගෙන තිබෙනවා.

රටක සතුට තීරණය කරන්නෙ කොහොම ද?

හෙල්සින්කි අගනුවර – theculturetrip.com

ජනතාවගේ සතුට තීරණය කරන්නේ කොන්ක්‍රීට් වනාන්තරවත්, අධිවේගී මහාමාර්ගවත්, හැමවෙලේම අතේ තියාගන ඉන්න ස්මාට් දුරකථනයවත් නොවන බව තමයි මේ සතුටු වාර්තාවේ ප්‍රතිඵල දිහා බලන විට පේන්නේ.  ප්‍රීතිමත් බව මනිනු ලබන්නේ “රටවැසියන්ගේ සාපේක්ෂ සමෘද්ධිමත්බව” සලකා බැලීමෙන්. රටවැසියන්ට සතුට දැනෙන ආකාරය සහ එම සතුටට හේතු වන කරුණු මෙම වාර්තාව සැකසීමේ දී සැලකිල්ලට ගෙන තිබෙනවා.

මෙවර වාර්තාව සැකසීමේ දී රටවල් ගණනාවක මුහුණට මුහුණ සම්මුඛ සාකච්ඡා සම්පූර්ණ කිරීමට පර්යේෂකයන්ට නොහැකිවූවා පමණක් නොව, යහපැවැත්ම සහ කොවිඩ්-19 අතර සම්බන්ධතාවය කෙරෙහි අවධානය වැඩිවශයෙන් යොමුකිරීමට ද සිදුව තිබෙනවා. ලෝක සතුටු වාර්තාව මෙවර ඉදිරිපත් කෙරුණේ 9 වැනි වරට යි.

මෙම ශ්‍රේණිගත කිරීමට ඒක පුද්ගල ආදායම, සමාජීය සහයෝගිතාවය, සෞඛ්‍ය සම්පන්න ආයු අපේක්ෂාව, සමාජීය නිදහස, ත්‍යාගශීලිබව, සහ දූෂණයෙන් තොරවීම වැනි කරුණු පිළිබඳ අවධානය යොමුකර තිබෙනවා.

හැමදාමත් වැඩිපුරම හිනාවෙන්නෙ ෆින්ලන්ත මිනිසුන්

ෆින්ලන්තයේ නාගරික සුන්දරත්වය- bbc.com

ලෝකයේ සතුටින්ම සිටින රාජ්‍යයන් හඳුනාගැනීමේ වාර්තාව මඟින්, 2021 වසරේ ලොව සතුටින්ම සිටින මිනිසුන් වෙසෙන රාජ්‍යය බවට සිව්වැනි වරටත් නම්කර ඇත්තේ ෆින්ලන්තය යි. ෆින්ලන්තය යුරෝපයේ ඉහළින්ම පිහිටි ස්කැන්ඩිනේවියානු රටක්. වසංගතය හමුවේ පවා එම රට හිමිකරගෙන සිටින තත්ත්වය වෙනස් නොවීම විශේෂත්වයක් බව යි විචාරකයන් පවසන්නේ. එම වාර්තාවේ ප්‍රතිඵල අනුව සතුටින්ම සිටින මිනිසුන් අනෙක් ස්කැන්ඩිනේවියානු රටවලත් බහුල යි. ඒ අනුව දෙවැනි ස්ථානය හිමිව තිබෙන්නේ ඩෙන්මාර්කයට යි. තෙවැනි ස්ථානය ස්විට්සර්ලන්තයටත්, සිව්වැනි ස්ථානය අයිස්ලන්තයටත්, පස්වැනි ස්ථානය නෙදර්ලන්තයටත්  හිමිවී තිබෙනවා. ෆින්ලන්තය සමස්ත ලකුණු 10න් ලකුණු 7.842ක් ලබාගෙන ඇති අතර, ඩෙන්මාර්කය කරට කර සටනක් දෙමින් ලකුණු 7.620ක් හිමිකරගෙන සිටිනවා. ස්විට්සර්ලන්තය 7.571ක් ද, අයිස්ලන්තය 7.554ක් ද, නෙදර්ලන්තය 7.464ක් ද හිමිකරගෙන පළමු ස්ථාන පහේ වැජඹී තිබුණා.

කර්මාන්ත ශාලාවක්- wikipedia.org

ප්‍රීතිමත්ම මිනිසුන් ජීවත්වන රටවල් තීරණය කිරීමේ දී එකී රටවල වෙසෙන සංක්‍රමිකයන්ගේ දත්ත සහ අදහස් සැලකිල්ලට ගැනීමට මෙම වසරේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය කටයුතුකර තිබෙනවා. වඩාත් සතුටින් සිටින සංක්‍රමිකයන් වෙසෙන්නේ ද ෆින්ලන්තයේ වීම විශේෂත්වයක්. එරට විදේශිකයන් ලක්ෂ තුනක් පමණ වාසය කරනවා.

ලංකාව අසතුටින් ඉන්න රටක්

අසතුටුම මිනිස්සු ඉන්න රට ඇෆ්ඝනිස්ථානයේ බෝම්බ පිපිරුමක් -npr.org

මේක නම් කියන්න දේකුත් නෙවෙයි. ලංකාවෙ ප්‍රවෘත්ති බැලුවොත් මිනිසුන්ගේ සතුට කොතැන ද කියල තේරෙනවා. ලංකාව සිටින්නේ අසතුටින්ම සිටින රටවල් අතරින්, එනම් මේ දර්ශකයේ අග සිට 20 වැනි තැන යි. එනම් රටවල් 149 අතරින් 129 වන තැන අපේ රටට හිමිවෙලා. ඉන්දියාව 139 වන ස්ථානයේ පසුවෙනවා. නේපාලය සහ මාලදිවයින බංග්ලාදේශයට වඩා ඉදිරියෙන් සිටිනවා. නේපාලය ඉන්නේ 87 වන ස්ථානයේ.  මාලදිවයිනට 89 වන ස්ථානය හිමිවී තිබෙනවා. ඉන්දියාව ද ශ්‍රී ලංකාව මෙන් මෙවර එක් අගයකින් ඉදිරියට පැමිණීමට සමත්වී සිටිනවා. ශ්‍රී ලංකාව හිමිකරගෙන ඇති ලකුණු ප්‍රමාණය 4.325ක්. ඉන්දියාව හිමිකරගත් ලකුණු ප්‍රමාණය 3.819ක් වන අතර, චීනය 94 වැනි ස්ථානයේ සිට 84 වන ස්ථානයට පත්ව සිටිනවා. ඔවුන් හිමිකරගත් ලකුණු ප්‍රමාණය 5.339ක්. මෙම දර්ශකයේ අවසන් ස්ථානය හිමිකරගෙන ඇත්තේ ඇෆ්ගනිස්තානය යි. ඒ රටට ආසන්නව අවසන් ස්ථානවල සිටින්නේ ලෙසතෝ, බොට්ස්වානා, රුවන්ඩා, සහ සිම්බාබ්වේ යන නිතර ගැටුම් පිරි අප්‍රිකානු රටවල්.

වාසනාවන්ත ෆින්ලන්තය

විල් පිරුණු රටේ සුන්දර දසුන් – travelara.com

ෆින්ලන්තයේ ජනගහනය මිලියන 5.5 ක්. එරට අගනුවර හෙල්සින්කි නගරය යි. ස්වීඩනය, නෝර්වේ, සහ රුසියාවට ෆින්ලන්තය මායිම් වෙනවා. බෝල්ටික් මුහුද රටේ එක් පසෙකින් තිබෙනවා. රටේ විශාලත්වය වර්ග කි. මී. 338455ක්. එරට භාෂාව ෆිනිෂ්. එරට හැඳින්වෙන අන්වර්ථ නාමය ‘විල් දහසේ රට‘ යි. එහි වනාන්තර ද බොහෝ තිබෙන අතර, ඕනෑම යුරෝපා රටකට වඩා එහි වන වැස්ම ඉහළ යි. ෆින්ලන්ත භූමියෙන් 70%කට වඩා වැසී තිබෙන්නේ වනාන්තරවලින් කිව්වොත් ඔබ පුදුම වේවි.

විල් මැදිකරගත් වනාන්තර – scen.acs.org

ෆින්ලන්තය සිය පරිසරය ගැන කොතරම් උනන්දුදැ යි කියන්නේ නම්, එරට ඇති විල් ගණන 188,000ක් ලෙස ගණන් බලා ඇති අතර, ඒවා සියල්ලම මැනවින් සංරක්ෂණය කර තිබෙනවා. භූමියට සාපේක්ෂව වැඩිම ජල වපසරියක් ඇති රට වන්නේ ද ෆින්ලන්තය යි.

හොරකම් නැති රට

පුරාණ බලකොටුවක්-  Wikipedia.org

රට තුළ වංචා, දූෂණ සහ අපරාධ ආදිය ඉතාමත් අඩු බව යි වාර්තා වන්නේ. මහ පාරේ හිරිහැර අවම රටක් වන ෆින්ලන්තයේ, ධනවතුන් පවා කිසිදු බියක් සැකයකින් තොරව පොදු ප්‍රවාහන සේවා ගමනාගමනය සඳහා යොදා ගන්නවා. ඔවුන් පැහැරගෙන යන්නට හෝ කොල්ලකන්නට ඒ රටේ කවුරුවත් නැහැ. ජනතාවට මානසික නිදහස උපරිමව අත්විඳින්නට අවස්ථාව ලැබිලා. ෆින්ලන්තයේ පොලිස් සේවයත් ඉතා ඉහළ මට්ටමක පවතිනවා. ගුණාත්මක අතින් ඉහළ සෞඛ්‍ය පහසුකම් තිබෙන හන්දා, එහි ජනතාවට වැඩි ආයු කාලයක් භුක්ති විඳින්නට හැකි වී තිබෙනවා. එරට වැසියකුගේ ආයු අපේක්ෂාව අවුරුදු 80.53ක් පමණ වෙනවා.

ඒ වගේම එය ධනවතුන් වැඩි රටක්. එහි ජනතාව ඉහළ ඒක පුද්ගල ආදායමක් ලබනවා. ලොව හොඳම අධ්‍යාපනයක් තිබෙන්නේ ද ෆින්ලන්තයේ බව පැවසෙනවා. ඕනෑම පුද්ගලයකුට නිදහසේ ජීවත්වීමට හැකි පරිසරයක් පින්ලන්තයේ තිබෙනවා. ඒ නිසා, කැමැති ආගමක් අදහමින් ජීවත්වීමට පුළුවන්. ඒ වගේම තමන් කැමති දෙයක් ප්‍රකාශ කිරීමටත් නිදහස තිබෙනවා.

ෆින්ලන්තයේ ඇන්ග්‍රිබර්ඩ් 

හෙල්සින්කිවල ඇන්ග්‍රිබර්ඩ් -angrybirdsnest.com

ෆින්ලන්ත වැසියන් උණුසුම් ජල වාෂ්ප ස්නානය සඳහා දැඩි කැමැත්තක් දක්වනවා. රට පුරා ජල වාෂ්ප ස්නානය කළ හැකි කුටීර මිලියන 3.3ක් පිහිටා තිබෙන බව යි වාර්තා පවසන්නේ. යකඩවලින් තැනූ වාද්‍ය භාණ්ඩ භාවිත කරන ලෝකයේ වැඩිම සංගීත කණ්ඩායම් ප්‍රමාණයක් සිටින්නෙත් ෆින්ලන්තයේ යි.

පිනි මුවන් සහිත හිමෙන් පිරි සුන්දර වටපිටාවක් මෙහි දැකගත හැකියි. උත්තරාලෝකය දිස් වන රටවල් අතරින් ෆින්ලන්තයට ප්‍රමුඛ ස්ථානයක් හිමි වෙනවා.

වනයේ සැරිසරන  පිනිමුවන් – Takepart.com 

ලෝක ප්‍රසිද්ධ ‘මූමින්ස්’ (Moomins) කාටුන් චරිතය සහ ‘ඇන්ග්‍රි බර්ඩ්ස්’ (Angry Birds) වීඩියෝ ක්‍රීඩා ඇප් එකෙහි හිමිකරුවන් වන්නේ ෆින්ලන්තය යි.

ආහාර සංස්කෘතිය

අවන්හල් දිනය සමරන ෆිලන්ලන්ත වැසියෝ – globuzzer.mn.co

ෆින්ලන්ත ජනතාව ආහාරපාන සතුටින් භුක්ති විඳින ජාතියක් ලෙසත් ප්‍රසිද්ධ යි. ‘අවන්හල් දිනය’ යනුවෙන් ජාතික දිනයක් ද එරට සමරනවා. එදිනට, තමන් කැමති ඕනෑම තැනක අවන්හලක් විවෘත කිරීමේ අයිතිය ජනතාවට හිමිවෙනවා. යුරෝපයේ වඩාත්ම දිදුලන ආහාර සංස්කෘතිය දැකගත හැකි වන්නේ ද ෆින්ලන්තයේ හෙල්සින්කි අගනුවර යි. මේ රට නිතරම පවතින්නේ හිමෙන් වැසිලා. නත්තල් සීයා ජීවත් වන බවට ජනප්‍රවාදයේ කියැවෙන ලැප්ලන්තය ද ෆින්ලන්තයේම කොටසක්. ලැප්ලන්තය යුරෝපයේ පිරිසිදුම වාතාස්‍රය හුස්ම ගැනීමට හැකි ප්‍රදේශයක් ලෙස ප්‍රකට යි. එහි ජලයත් පිරිසිදුකමින් ඉහළ යි.

ෆින්ලන්තය ගැන තවත් තොරතුරු අප පෙර පළකළ මේ ලිපියෙන්: සුරපුරක් වන් විල් දහස් රට – ෆින්ලන්තය

ආශ්‍රිත මූලාශ්‍රයයන්:

Bbc

worldhappiness.report

කවරය- සතුට සමරන ෆින්ලන්ත තරුණ පෙළ -weforum.org

Related Articles