ජගත් ප්‍රජාව අතර ඇෆ්ගනිස්තානය නැවතත් උණුසුම් මාතෘකාවක් බවට පත් ව තිබෙනවා. ඒ, තලිබාන් නම් දැඩි මතධාරී ඉස්ලාමීය ව්‍යාපාරය වසර විස්සකට පසු ඇෆ්ගනිස්තානයේ බලය නැවත අත්පත් කර ගැනීමත් සමඟ යි. ඇෆ්ගනිස්තානයේ හදවත බඳු කාබුල් නුවර බලය තහවුරු කරගැනීමට තලිබාන්වරුන් පසුගිය අගෝස්තු 15 වැනිදා සමත් වුණා. ඒ සමඟ ම එතෙක් ඇෆ්ගනිස්තානයේ ජනාධිපති ධූරය දැරූ අශ්රෆ් ඝානී සිය ධූරයෙන් ඉවත් වූ අතර, ඔහු ඇෆ්ගනිස්තානයෙන් පිට වීමට පවා යුහුසුළු වුණා. හිටපු ජනපති අශ්රෆ් ඝානී ඇෆ්ගනිස්තානයෙන් නික් ම ගොස් පැය කිහිපයකට පසුව තලිබාන් සංවිධානය ජනාධිපති මන්දිරයේ සිට රූපවාහිනී සම්මුඛ සාකච්ඡා පවත්වන අයුරුත් දැක ගන්නට ලැබුණා.
ඇෆ්ගනිස්තානයේ අවිනිශ්චිත අනාගතය
මේ වනවිටත් ඇෆ්ගනිස්තානයේ අමෙරිකානු තානාපති කාර්යාලය අතහැර දමා ඇති අතර, අමෙරිකානු ධජය පහත හෙළීමෙන් පසු එක්සත් ජනපද භටයන් ඉවත් කර ගැනීමට සහාය වීම පිණිස පෙන්ටගනයෙන් අතිරේක භට කණ්ඩායම් පැමිණෙමින් තිබෙනවා.
ඇෆ්ගනිස්තානයේ අනාගතය අද ඇත්තේ ඉතා ම අවිනිශ්චිත තත්ත්වයක යි. අමෙරිකානු භට කණ්ඩායම් සක්‍රීය ව සිටි කාලයේ දී ඇෆ්ගනිස්තානයේ සාමය සහ නිදහස යම් දුරකට රැකී තිබුණත්, දැඩි මතධාරී තලිබාන් පාලනය යටතේ ඇෆ්ගන් ජනයාගේ අනාගතය කොතරම් දුරකට සුරක්ෂිත වේදැයි කිව නොහැකි යි. කාබුල් නුවර තලිබාන්වරුන් අත්පත් කර ගැනීමත් සමඟ භීතියට පත් සාමාන්‍ය ජනතාව හිස් ලූලූ අත දුවන දර්ශන ඒ සඳහා පැහැදිලි සාක්ෂි සපයනවා.
තලේබාන් සංවිධාන උප නායකයකු වන අබ්දුල් ගානි බරදාර් (Abdul Ghani Baradar) ‘සම්පූර්ණයෙන්ම ඉස්ලාමීය නායකත්වයක් පදනම් කර ගත් ආණ්ඩුක්‍රම ව්‍යූහයක් ඇෆ්ගනිස්තානය තුළ තිබිය යුතු යි’’ යන්න පවසා සිටියා.
තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානය පුරා “පොදු සමාවක්” ප්‍රකාශයට පත් කර ඇති අතර, සිය රජයට සම්බන්ධ වන ලෙස කාන්තාවන්ට බල කර සිටින බව ද වාර්තා වනවා.
අමෙරිකා එක්සත් ජනපදයේ වත්මන් ජනපති ජෝ බයිඩන්, අමෙරිකාව ඇරඹූ දීර්ඝත ම යුද්ධය අවසන් කිරීමට කාලය පැමිණ ඇති බව ප්‍රකාශ කිරීමත් සමඟ ම මේ සියලු සිදුවීම්වල මූලාරම්භය සනිටුහන් වුණා.
ඇෆ්ගනිස්තානයේ අමෙරිකානු මැදිහත්වීම
ඇෆ්ගනිස්තානයේ දුර්දාන්ත සමය ඇරඹුණේ අද ඊයෙක නොවේ. දශක කිහිපයක් මුළුල්ලේ මුහුණ දුන් යුද්ධ නිසා ලෝකයේ ඉතා අසරණ මිනිසුන් සිටින රටක් ලෙස ඇෆ්ගනිස්තානය හැඳින්විය හැකි යි. ඇෆ්ගනිස්තානයේ අභ්‍යන්තර කටයුතුවලට අමෙරිකාව මැදිහත් වීමට පටන් ගත්තේ අමෙරිකාවට එල්ල වූ “සැප්තැම්බර් 11” ප්‍රහාරයෙන් පසුව යි. එයට ප්‍රතිචාරයක් ලෙස 2001 ඔක්තෝබර් මාසයේදී අමෙරිකාවේ මූලිකත්වයෙන් ඇෆ්ගනිස්තානයට බෝම්බ හෙළීම ඇරඹුණා. එතැන් පටන් අන්තවාදී ඉස්ලාමීය සංවිධාන සමඟ ඇෆ්ගනිස්තාන රාජ්‍ය හමුදාව සහ අමෙරිකාව ඇතුළු විදේශීය හමුදා කණ්ඩ වරින් වර සටන් වැදුණා.
2009 වර්ෂයේ පෙබරවාරි වනවිට අමතර සෙබළුන් 17,000ක් ඇෆ්ගනිස්තානයට යැවීමට අමෙරිකාව තීරණය කළා. සෙබළුන් වැඩි කිරීම මෙන් ම, ඇෆ්ගනිස්තානය තුළ ක්‍රියාත්මක අනෙකුත් කටයුතු සඳහාත් සහාය දෙන බව නේටෝ සාමාජික රටවල් එම කාල වකවානුව තුළ ප්‍රකාශ කළා. එම වර්ෂයේ ම දෙසැම්බර් මාසයේ දී ඇෆ්ඝනිස්තානය තුළ අමෙරිකානු හමුදා තවත් 30,000කින් වැඩි කිරීමට එකල අමෙරිකා ජනාධිපති බැරක් ඔබාමා තීරණය කළා. එහි ප්‍රතිඵලයක් ලෙස ඇෆ්ගනිස්තානය තුළ අමෙරිකානු හමුදා කණ්ඩයේ සංඛ්‍යාව ලක්ෂය දක්වා ඉහළ ගියා. කෙසේ නමුත්, 2011 වසර වනවිට ඇෆ්ගනිස්තානයෙන් සිය හමුදාව ඉවත් කර ගැනීම පිළිබඳ ව සලකා බලන බව බැරක් ඔබාමා ප්‍රකාශ කර සිටියා.
භට කණ්ඩායම් ඉවත් කිරීම පමා කෙරේ
2015 මාර්තු මාසයේ දී අෂ්රෆ් ඝානි කළ ඉල්ලීමකට අනුව සිය හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කර ගැනීම පමා කරන බව ජනපති බැරක් ඔබාමා පැවසුවා. දස දහසකට ආසන්න අමෙරිකානු භට පිරිසක් ඒ අනුව 2016 වසර අග වනතෙක් ඇෆ්ගනිස්තානයේ රැඳී සිටියා. අස්ථිර ආරක්ෂක තත්ත්වය මත 2017 වසරේදීත් ඇමරිකානු භට කණ්ඩායම් තවදුරටත් රඳවා තැබීමට බැරක් ඔබාමා ක්‍රියා කළා.
ඒ අතර බැරක් ඔබාමා සාමාජිකත්වය දැරූ ඩිමොක්රටික් පක්ෂයේ බලය බිඳ වැටී රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත අමෙරිකාවේ ජනපති ධූරය හිමි වුණා. ඔහුගේ පාලන කාලය තුළ ඇෆ්ගනිස්තානයේ නැවතත් තලිබාන් ක්‍රියාකාරකම් හිස ඔසවමින් තිබූ අතර, තලිබාන්වරුන්ට එරෙහි ව තවත් හමුදා එහි යවන බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණා. 2019 සැප්තැම්බර් මාසයේදී තලිබාන් සංවිධානය සහ අමෙරිකාව අතර සාම සාකච්ඡා බිඳ වැටුණා.
අර්බුද රැසක් මැද්දේ කෙසේ හෝ 2020 පෙබරවාරි වන විට මාස ගණනක් පුරා පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් හමුදා ඉවත් කර ගැනීමේ ගිවිසුමකට අමෙරිකාව සහ තලිබාන් සංවිධානය කටාර් රාජ්‍යයේ දී අත්සන් තැබුවා. එතැන් සිට අද දක්වා ඇෆ්ගනිස්තානය තුළ සිදු වූ ක්‍රියාකාරකම් ගැන සැකෙවින් කරන සටහනක් පහත දැක්වෙනවා.
2021 අප්‍රියෙල් 14
අමෙරිකාවේ දිර්ඝත ම යුද්ධය අවසන් කරමින් ඇෆ්ගනිස්තානයෙන් එක්සත් ජනපද හමුදාව මැයි 1 දා සිට සැප්තැම්බර් 11 අතර කාලය තුළ ඉවත් කර ගන්නා බව ජනාධිපති ජෝ බයිඩන් නිවේදනය කළා.
මැයි- ජුනි අතර කාලයේ විශේෂ සිදුවීම්
සිය භට කණ්ඩායම් නිල වශයෙන් ඉවත් කර ගන්නා බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පැවසීමත් සමඟ ම තලිබාන් සංවිධානයේ යළි හිස එසවීම බොහොම වේගයෙන් ඇෆ්ගනිස්තානය පුරා පැතිරුණා. ඒ අනුව 2021 මැයි මස 4 වැනිදා දකුණු දිග හෙල්මන්ඩ් ප්‍රාන්තයේ ඇෆ්ගනිස්ථාන හමුදාවන්ට එරෙහි ව විශාල ප්‍රහාරයක් තලිබාන් සටන්කාමීන් සිදු කළා. ඔවුන් එදින අඩුම තරමේ තවත් පළාත් හයකට පමණ ප්‍රහාර සිදු කරන්නට ඇතැයි විශ්වාස කරනවා. මැයි 11 වැනිදා වන විට රට පුරා ප්රචණ්ඩත්වය උත්සන්න වූ අතර, කාබුල් නුවරට නුදුරු නේර්ක් දිස්ත්‍රික්කයේ බලය තහවුරු කරගැනීමට තලිබාන්වරුන් සමත් වුණා.
ජුනි 7 වැනිදා: ගැටුම් උත්සන්න වීම හේතුවෙන් ඇෆ්ගන් සෙබළුන් 150 කට වැඩි පිරිසක් පැය 24 තුළ දී මිය ගිය බව රජයේ ඉහළ නිලධාරීන් ස්ථිර කළ අතර, රටේ පළාත් 34 න් 26 ක ම සටන් ඇවිළ පැවති බව වාර්තා වුණා.
ජුනි 22 වැනිදා: තලිබාන් සටන්කාමීන් දකුණේ පිහිටි තමන්ගේ සාම්ප්‍රදායික බළකොටුවලින් වඩාත් ඈත් ව, උතුරට වන්නට ප්‍රහාර මාලාවක් සිදු කළා. ඇෆ්ගනිස්තානයේ එක්සත් ජාතීන්ගේ නියෝජිතයාට අනුව දිස්ත්‍රික්ක 370 න් 50 කට වැඩි ප්‍රමාණයක බලය තහවුරු කිරීමට තලිබාන්වරුන් එවර සමත් වුණා.
රටෙන් භාගයක් ම තලිබාන්වරුන්ට!
ජූලි දෙවැනිදා: ඇෆ්ගනිස්තානයේ පිහිටි ප්‍රධාන අමෙරිකානු හමුදා කඳවුර වූ බග්රාම් ගුවන් කඳවුරින් අමෙරිකානු භටයන් නිහඬව ම ඉවත් වීම ආරම්භ කළා. තවදුරටත් ඇෆ්ගනිස්තාන යුද්ධයට එක්සත් ජනපදයේ මැදිහත්වීමක් නොමැති බවට වූ ප්‍රධාන ම සාක්ෂිය බවට එය පත් වුණා.
අගෝස්තු මාසයේ දී ඇෆ්ගන් රජයට ලිඛිත සාම යෝජනාවක් ඉදිරිපත් කිරීමේ හැකියාව පිළිබඳවත් තලිබාන් සංවිධානය මෙහි දී අදහස් ප්‍රකාශ කළා. එක්සත් ජනපදයේ ජෙනරාල්වරයාට අනුව ජූලි 21 වනවිට තලිබාන් කැරලිකරුවන් රටේ දිස්ත්‍රික්කවලින් භාගයක් පමණ සියතට ගෙන තිබුණේ ඔවුන්ගේ අසාමාන්‍ය නැඟී සිටීමේ තරම පෙන්වමින්.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව උත්සන්න වූ ප්රචණ්ඩත්වය හමුවේ සිවිල් වැසියන් 2400 කට ආසන්න සංඛ්‍යාවක් මැයි සහ ජුනි මාසවලදී මි යගොස් හෝ තුවාල ලැබූ බව වාර්තා වුණා. 2009 වකවානුවේ ඇතිවූ කලබලවලින් පසු සිදු වූ වැඩි ම හානිය මෙය යි.
වසර ගණනාවකට පසු රටේ දකුණු දිග ප්‍රදේශයේ පිහිටා ඇති පළාත් අගනුවරක් වූ සාරාන්ජ්, අගෝස්තු 6 වැනිදා තලිබාන්වරුන් ඉදිරියේ දණ නැමුවා. ඉන්පසු ප්‍රධාන පළාත් නගර හතරක අණසක පැතිරවීමට තලිබාන්වරුන් සමත් වුණා. ඒ අතර ඇෆ්ගනිස්තානයේ දෙවැනි ප්‍රධාන ම නගරය වූ කන්දහාර් නගරයත් තිබුණා.
තලිබාන්වරුන් කන්දහාර් නගරය තම ආධ්‍යාත්මික නිවස වශයෙන් සලකන නිසා කන්දහාර්වල බලය තහවුරු කර ගැනීම ඔවුන්ට ඉතා වැදගත් වුණා. මෙලෙස දවසින් දවස නගර එකින් එක අත්පත් කරගනිමින් පැමිණි ගමනේ උච්චත ම අවස්ථාව සනිටුහන් කරමින් තලිබාන්වරුන් කාබුල් අගනුවරට අගෝස්තු 15 වැනිදා ඇතුළු වුණා.
අනාගතය කෙබඳු වේවි ද?
තලිබාන්වරුන් කාබුල් නගරයට ඇතුළු වුණේ විසි වසරක ඇෆ්ගනිස්තානු යුද්ධය නිල වශයෙන් හමාර වූ බව ප්‍රකාශ කරමින්. ගත වූ දශක දෙකක කාලය තුළ තලිබාන් සංවිධානය මර්දනය කිරීම සඳහා එක්සත් ජනපදය ඩොලර් ට්‍රිලියන ගණනක ධනස්කන්ධයක් වැය කළා. එහෙත්, අවුරුදු විස්සකට පසු තලිබාන්වරුන් කිසිදු අපහසුවකින් තොරව ඇෆ්ගනිස්තානයේ බලය තහවුරු කර ගැනීම එක අතකින් විමතියට කරුණක්.
මේ පිටුපස ඇති ආර්ථික සහ දේශපාලනික උපයෝගීතා සියුම්ව විග්රහ කොට බැලිය යුතු හෙයින් අපි එවැනි කාරණා පසුවට එන ලිපියකදී සලකා බලමු. ඇෆ්ගනිස්තාන බල පෙරැළියෙන් අපගේ කලාපයට වන බලපෑමත් වෙන ම විමසා බැලිය යුතු වෙනවා.
සාමකාමී බල හුවමාරුවක්?
මේ වනවිට තලිබාන් සංවිධානය ඇෆ්ගනිස්තානය තුළ රජයක් පිහිටුවීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමේ අපේක්ෂාවෙන් පසු වෙනවා. දේශීය හා ජාත්‍යන්තර වශයෙන් සාමකාමී ලෙස බල හුවමාරුවක් සඳහා කටයුතු කරන බවත්, රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඉතා හොඳින් පවත්වා ගෙන යෑම තම අරමුණ බවත්, තලිබාන් සංවිධානය ප්‍රකාශ කර සිටිනවා.
පවතින ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා ඔවුන් සියලු රටවල් සහ ආයතනවලින් උදවු අපේක්ෂා කරන බවත් මෙහිදී කියා තිබෙනවා. බැලූ බැල්මට ම ඔවුන් සාමකාමී මුහුණුවරකින් ඇෆ්ගනිස්තානයේ පාලන තන්ත්රය ගෙන යෑමට බලාපොරොත්තු වන බවට ඉඟි පළ කළත්, සාමාන්‍ය වැසියන් තවමත් සිටින්නේ ඉමහත් භීතියෙන්.
දහස් ගණනක් වූ ඇෆ්ගන් වැසියන් කාබුල් ගුවන්තොටුපළ තුළ රැස් කමින් ගුවන් යානාවල එල්ලී රටින් පලා යන්නට දරන සංවේදී දර්ශන රැසක් දෙස් විදෙස් මාධ්‍ය හරහා පසුගිය දින කිහිපයේ දී වාර්තා කළා. අමෙරිකානු හමුදා ඉවත් වීමත් සමඟ ම පුද්ගල නිදහසත් උඩු සුළඟේ ගසා ගෙන යෑම තවදුරටත් ඇෆ්ගන් ජනයාට ඉවසුම් දුන්නේ නැහැ. ඔවුන්ගේ ඒකායන අරමුණ තම මවුබිම හැර යාමයි.
දශක ගණනාවක් මුළුල්ලේ තලිබාන් සංවිධානය රටේ පැතිර වූ භීෂණය සහ පුද්ගල නිදහසට බාධා කිරීම් හමුවේ ඇෆ්ගනිස්තානයේ බල සංක්‍රමණය ගැන එරට ජනයා කොහෙත් ම විශ්වාසය තබන්නේ නැහැ. ඔවුන් කැමති වුණත්, අකමැති වුණත්, තලිබාන් සංවිධානය නුදුරේදී ම ඇෆ්ගනිස්තානය තුළ නව ඉස්ලාමීය එමිරේට්ස් රාජ්‍යයක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ඇති. එහෙත්, තවමත් ඇෆ්ගනිස්තානයේ අනාගතය පැහැදිලි නැහැ.