Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

G7 සමුළුවේ මොකද වුණේ

45 වන G7 සමුළුව අගෝස්තු 26 දා ප්‍රංශයේ Biarritz නගරයේ දී නිමාවට පත්වෙනවා. සමුළුව අගෝස්තු 24 වන දින ආරම්භ වෙන අතර 26 වන දින දක්වා එය පැවැත්වෙනවා. මෙහිදී G7 සංවිධානයේ නායකයන් එකිනෙකා මුණගැසී සාකච්ජා පැවැත්වූ අතර එහිදී ප්‍රධාන කරුණු කිහිපයක් සඳහා මෙම නායකයන්ගේ අවධානය යොමු වෙනවා.

ලෝක වෙළඳාම, ඇමෙරිකාව හා චීනය අතර පවතින වෙළඳ යුද්ධය, බ්‍රිතාන්‍ය, යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ ක්‍රියාවලිය හෙවත් බ්‍රෙක්සිට්, ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙල හා මේ දිනවල සීග්‍රයෙන් පැතිරී යන බ්‍රසීලයේ ඇමසන් වැසි වනාන්තරයේ ගින්න ඉන් ප්‍රධාන කරුණු කිහිපයක් ලෙස ඉස්මතු වී පෙනෙනවා.

සාමාජික රටවල් හා ආරාධිත රටවල්

 

G7 රටවල් (bertelsmann-stiftung)

 

ලෝකයේ ප්‍රබල ආර්ථිකයන් හිමි රටවල් හතක් එකතු වී නිර්මාණය කර ගත් මූලිකවම වෙළඳාම අරමුණු කරගත් සංවිධානයක් ලෙස G7 හැදින්විය හැකියි. මෙම සංවිධානය විසින් වාර්ෂිකව රට රටවල නායකයන් සහභාගි වෙන සමුළුවක් පවත්වනු ලබනවා. එම සමුළුව සඳහා රටවල් හතේ නායකයන් හා යුරෝපා සංගමය සහභාගි වෙනවා. කැනඩාව, ප්‍රංශය, ඇමෙරිකා එක්සත් ජනපදය, ජර්මනිය, ජපානය, ඉතාලිය හා එක්සත් රාජධානිය එම රටවල් හත යි.

ඊට අමතරව ආරාධිත රටවල් හා ආරාධිත සංවිධාන රැසක් ද මේ සමුළුව සඳහා සහභාගී වෙනවා. ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, ස්පාඤ්ඤය, හා ඊජිප්තුව එවැනි රටවල් අතරින් කිහිපයක්. එක්සත් ජාතීන්ගේ සංවිධානය, අප්‍රිකානු හවුල හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ආරාධනා ලබන එවැනි සංවිධාන කිහිපයක්.

සමුළුව අවසානයේ දී සමුළුව සඳහා සත්කාරකත්වය දැරූ ප්‍රංශ ජනාධිපතිවරයා හා එකතුව ඇමෙරිකානු ජනාධිපතිවරයා මාධ්‍ය ඇමතූ අතර එහිදී ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මක්රෝන් ප්‍රකාශ කරන්නේ ඉදිරියට යාමට අවශ්‍යම තීරණ කිහිපයක් මෙම සාකච්ජා හරහා ලබා ගත් බවත් ලෝකයේ ඉදිරි අනාගතය සඳහා එම තීරණ බොහෝ සෙයින් වැදගත් බවත් ය.

ඇණහිටි චීන සාකච්ජා නැවත ආරම්භ කරන බව ට්‍රම්ප් කියයි

 

නායකයන් හත්දෙනා (theatlantic.com)

 

චීනයෙන් ඇමෙරිකානු භාණ්ඩ මත පටවන අධික තීරු බද්ද හා, චීන රජය විසින් ඇමෙරිකානු සමාගම් එරටින් පිටමන් කිරීමට උත්සාහ දැරීම් දිගින් දිගටම සිදුවෙන බවත්, දෙරට අතර පවතින වෙළඳ යුද්ධයට ස්ථිර විසදුමක් ගෙන ඒම සඳහා කටයුතු කිරීමට තමන් සූදානම් බව ඩොනල්ඩ් ට්‍රම්ප් මෙහිදී ප්‍රකාශ කරනවා. එම පාර්ශවය නියෝජනය කරමින් තමන් සමග සාකච්ජා කිරීමට චීන අගමැතිවරයා සූදානම් බව ඔහු වැඩිදුරටත් දන්වා සිටිනවා. තමන් දැනටමත් දුරකතනයෙන් සාකච්ජා වට දෙකක් පමණ පැවැත්වූ බව ඔහු සඳහන් කරනවා.

ජපාන අගමැති ෂින්ෂෝ අබේ ප්‍රකාශ කරන්නේ චීනය හා ඇමෙරිකා එක්සත් ජනපදයේ ස්ථාවර වෙළඳ සම්බන්ධතාවය ලෝක ආර්ථිකයේ ප්‍රගමනයට අතිශය වැදගත් වෙන බව යි. විචලනය නොවන ස්ථාවර සම්බන්ධතාවයක් ඔවුන් අනාගතයේ දී ගොඩ නගා ගනු ඇති බවට තමන් විශ්වාස කරන බව අගමැතිවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කරනවා.

ඉරාන අර්බුදය 

 

ඉරාන විදේශ ඇමතිවරයා හා ප්‍රංශ ජනාධිපතිවරයා (gdb.rferl.org)

 

ප්‍රංශ ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත ඉරාන විදේශ ඇමතිවරයා සමුළුව සඳහා සහභාගි වෙනවා. ඔහු ප්‍රංශ ජනාධිපතිවරයා හා සාකච්ජා වටයකට ද සහාභාගී වෙනවා.

ඉරානය සමඟ දැඩි මතභේදාත්මක තත්ත්වයක් පවතින පසුබිමක ඔහුගේ එම පැමිණීම අමෙරිකානු නියෝජිත පිරිස කිසිසෙත්ම බලාපොරොත්තු නොවූ සිදුවීමක් ලෙස සඳහන් කළ හැකියි. 2015 වසරේ දී ඇමෙරිකා – ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඇමෙරිකා එක්සත් ජනපදය ඉවත් වීමත් සමග දෙරට අතර දැඩි රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් නිර්මාණය වෙනවා. ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ඉරානයට ඉන් පසුව දැඩි සම්බාධක පනවන අතර ඒ හේතුවෙන් ඉරානය මේ වන විට ආර්ථිකමය වශයෙන් පීඩා විදිමින් සිටිනවා.

ඉරානය සූදානම් නම් තමන් ද මෙම අර්බුදය සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට සූදානම් බව ඇමෙරිකානු ජනාධිපතිවරයා පවසනවා. තමන්ගේ රටේ ජනතාවගේ ආර්ථික හා සාමාජීය සංවර්ධනය උදෙසා ඕනෑම පාර්ශවයක් සමග සාකච්ජා පැවැත්වීමට සූදානම් බව ඉරාන ජනාධිපති හසන් රවුහානි විසින් මීට පෙර ප්‍රකාශ කර තිබෙනවා. 

මේ ආකාරයට දෙරට අතර සාමකාමී තත්වයක් නිර්මාණය වීම දෙරටට මෙන්ම අනෙක් රටවලට ද වඩා යහපත් බව මෙහි අතරමැදිකරුවා ලෙස ක්‍රියාත්මක වෙන ප්‍රංශ ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා.

ඇමසන් ගින්න 

 

බ්‍රසීල ජනාධිපතිවරයාට එරට ජනතා විරෝධය (yimg.com)

 

සීග්‍රයෙන් පැතිරී යන බ්‍රසීලයේ ඇමසන් වනාන්තරයේ ගින්න මැඩ පැවැත්වීම සඳහා G7 රටවල් විසින් බ්‍රසීලයට ආධාර වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 22.2ක් ලබා දීමට තීරණය කරනවා. නමුත් බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සනාරෝ එම ආධාර මුදල ලබාගැනීම ප්‍රතික්ෂේප කරනවා. එයට හේතුව වන්නේ මෙම ආධාර මුදල G7 එකතුවෙන් ලබා දීමට මුල් වී කටයුතු කළ ප්‍රංශ ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය යි.

ප්‍රංශ ජනාධිපතිවරයා මෙම ගින්න පිළිබඳව දිගින් දිගටම බ්‍රසීල ජනාධිපතිවරයාට චෝදනා කරන අතර ඔහු එරට ආර්ථිකය ඉහළ නැංවීම පමණක් ගැන සිතමින් මහා පරිමාණයෙන් වනාන්තර විනාශ කිරීමට හා ගිනි තැබීමට අවසර ලබා දීම මේ ව්‍යවසනයට මූලිකම හේතුව බව ප්‍රංශ ජනාධිපතිවරයා පවසනවා.

ආධාර මුදල ගැනීම ප්‍රතික්ෂේප කරන බ්‍රසීල ජනාධිපතිවරයා ප්‍රංශ ජනාධිපතිවරයා තමන්ගෙන් සමාව ගත යුතු බව පවසනවා. නමුත් අගෝස්තු 28 වන දින වන විටත් ගින්න අධිකව පැතිරී යාම හේතුවෙන් එම ආධාර මුදල ලබා ගැනීමට ඔහු තීරණය කරනවා. ඒ ගින්න නිවීමේ ක්‍රියාවලිය සඳහා G7 නායකයන්ගේ මැදිහත් වීම අනවශ්‍යයැ යි යන කොන්දේසිය මත යි.

බ්රෙක්සිට් හෙවත් බ්‍රිතාන්‍ය, යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ කටයුත්ත සර්ව සුභවාදිව ඔක්තෝම්බර් 31 දා වන විට ස්ථිර කර ගැනීමට තමන් අපේක්ෂා කරන බව බොරිස් ජොන්සන් ප්‍රකාශ කරනවා. යුරෝපා සංගමය සමග එකඟතාවයක් ඇති කරගැනීමට නොහැකි වුවත් එය ස්ථිරවම සිදුවෙන බව ඔහු ප්‍රකාශ කරනවා. නමුත් ජොන්සන්ගේ මෙම ක්‍රියාකලාපය මේ වන විට බ්‍රිතාන්‍යයේ විපක්ෂයේම මෙන්ම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ද විවේචනයට ලක් වී තිබෙනවා.

මේ ආකාරයට 45 වන G7 සමුළුව නිමාවට පත් වූ අතර 46 වන G7 සමුළුව ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වීමට නියමිත යි. මෙතෙක් ආරාධනා නොලබා සිටි රුසියාවට ද 2020 ඇමෙරිකානු G7 සමුළුවට පැමිණෙන ලෙස ට්‍රම්ප් විසින් ආරාධනා කර තිබෙනවා.

කවරයේ පින්තූරය - reuters.com

මූලාශ්‍රයයන් - 

dw.com

bbc.com

Related Articles