ඕනෑම මාර්ගයකට වේග සීමා පනවා තියෙනවා. මාර්ගයේ ගුණාත්මකභාවය, වංගු ප්‍රමාණය, වාහන තදබදයේ ප්‍රමාණය සහ මාර්ගය දෙපස නාගරික තත්ත්වය හෝ පරිසර පද්ධතිය ආදී කරුණු සලකා බැලීමෙනුයි වේග සීමා පනවන්නේ. ඒවා පැනවීමෙන් පසු රථ වාහන පොලීසිය වේග සීමා උල්ලංඝණය කරන්නන් හඳුනාගෙන දඩ නියම කරනවා. වඩා ආරක්‍ෂිත මාර්ග පද්ධතියක් නිර්මාණය කිරීම වෙනුවෙන් මෙවැනි පියවර අත්‍යවශ්‍යයි. සමහර රටවල වේග සීමා නොමැති මාර්ග ද දැකිය හැකියි. ජර්මනියේ ඔටෝබාන් (Autobahn යනු Motorway අර්ථයයි) අධිවේගී මාර්ග පද්ධතිය වේග සීමා නැති ලොව ජනප්‍රිය ම මාර්ග පද්ධතිය ලෙසයි හැඳින්වෙන්නේ.
අධිවේගී මාර්ග ඉදිකිරීමේ හිට්ලර්ගේ සැලැස්ම
අධිවේගී මාර්ගයක තිබෙන ප්‍රධානත ම ලක්ෂණය වන්නේ සීමා සහිත මංසන්ධි ප්‍රමාණයක් පැවතීමයි. නිව්යෝක් නුවර 1911 දී ඉදිවූ අධිවේගී මාර්ගය එවැනි සීමා කිරීමකට යටත් ව ඉදිකෙරුණු ලොව මුල් ම මාර්ග පද්ධතියයි. 1913 දී ජර්මනියත් එවැනි මාර්ගයක් ඉදිකිරීමේ අවශ්‍යතාවයෙන් පෙළුණත් පළමුවන ලෝක යුද්ධය අවසාන වන තුරු එය සාක්ෂාත් කරගැනීමට ඔවුනට නොහැකි වුණා. බර්ලින් නගරයට යාබද ව 1921 දී ඉදිකෙරුණු ජර්මනියේ මුල් ම අධිවේගී මාර්ගය, මාර්ගයක් ලෙසත් තරග සඳහා පුහුණුවීමේ පථයක් ලෙසත් භාවිතයට ගැනුණා.
එක් අධිවේගී මාර්ගයක් නිර්මාණය කර නොනැවතුණු ජර්මනිය එවැනි මාර්ග පද්ධතියකින් ජර්මනිය ම ආවරණය වන පරිදි නිර්මාණය කිරීමට සැලසුම් කරනවා. එහි පළමු පියවර වශයෙන් Cologne සහ Bonn අතර 1932 දී අධිවේගී මාර්ගයක් ඉදිකෙරෙන අතර 1933 දී හිට්ලර් බලයට පත්වීමත් සමඟ “Inspector General of German Road Construction” නම් තනතුරක් සකස් කර Fritz Todtට එය පවරනවා. නාසි වැඩපිළිවෙළ යටතේ රැකියා නිර්මාණය කිරීමේ කටයුත්තේ ද ප්‍රධාන තනතුර හෙබවූයේ Fritz Todt නැමැත්තායි.
හිට්ලර්ගේ සැලැස්ම වූයේ අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීමෙන් දේශපාලන වාසි ලබාගැනීමයි. හිට්ලර් තම කතා පැවැත්වීම්වලදී කියා සිටියේ තමන් බලයේ සිටින සෑම වසරකදී ම කිලෝමීටර 1000ක් මෙම අධිවේගී මාර්ග පද්ධතියට එකතු කිරීමට බලාපොරොත්තු වන බවත් එය කිලෝමීටර 20,000ක් බවට පත්කරන බවත්. ඒ සඳහා පුද්ගලයන් 600,000ක් සේවයට යොදාගැනීමට තමන් කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් පැවසුවා. ඒ වන විට විරැකියාවෙන් පෙළෙමින් සිටි ජර්මානුවන්ට මෙය උද්වේගකර පණිවිඩයක් වූ බවට සැකයක් නැහැ.
සැලැස්ම ක්‍රියාත්මක කිරීමේදී මිනිසුන් 120,000කට පමණක් රැකියා හිමි වූ අතර ඔවුන් ද අවම පහසුකම් හෝ ඇතැම්විට වේතනයක් ද නොලැබ මාර්ග ඉදිකිරීමේ කාර්යයේ බලහත්කාරයෙන් යෙද වූ බව සඳහන්. විශේෂයෙන් 1939 දී ජර්මනිය යුද්ධයට සුදානම් වීමත් සමඟ මාර්ග තැනීම සඳහා කම්කරු හිඟයක් ද ඇතිවුණා. මේ නිසා ඉතිරිවූ පිරිසගෙන් දරුණු ලෙස සේවය ලබා ගෙන තිබෙනවා. කෙසේවෙතත් 1942 දී දෙවන ලෝක යුද්ධයේ පරාජය ජර්මනිය වෙත හැරෙමින් තිබිය දී සැලසුම් කළ අධිවේගී මාර්ග පද්ධතියේ ඉදිකර තිබූ මුළු දුර වන්නේ කිලෝමීටර 3800ක් පමණයි.
යුද්ධයෙන් පසු ඔටෝබාන් ඉදිවෙයි
යුද සමයේදී ඉදිකර තිබූ මාර්ග කොටස ජර්මානු හමුදාවලට වඩා ප්‍රයෝජනවත් වූයේ මිත්‍ර පාක්ෂික හමුදවන්ට වීම විශේෂත්වයක් වනවා. යුද්ධයෙන් පසු බොහොමයක් මාර්ග බෝම්බ ප්‍රහර නිසා විනාශ වී පැවති අතර තවත් බොහෝමයක් සම්පුර්ණ කරද නොතිබුණු නිසා භාවිතයට ගත හැකි තත්වයක පැවතුණේ නැහැ. 1953 දී බටහිර ජර්මනිය අධිවේගී මාර්ග පද්ධතිය ප්‍රතිසංස්කරණය සහ පුළුල් කිරීම ආරම්භ කළා. සීතල යුද සමයේ දී සෝවියට් ප්‍රහාරයකට මුහුණ දීම සඳහා අධිවේගී මාර්ගයේ සමහර කොටස් ගුවන්තොටුපළවල් ලෙස ද භාවිත කර තිබුණා.
1984 වන විට කිලෝමීටර 8000 ක් දක්වා පුළුල් වුණු ජර්මානු අධිවේගී මාර්ග පද්ධතිය 1990 දී කිලෝමීටර 11,000ද ඉක්මවා පැවති නමුත් නැගෙනහිර ජර්මනිය කොටසේ මාර්ග වැඩි දියුණු කිරීම සාපේක්ෂ ව අඩු වේගයකිනුයි සිදු වුණේ. 1990 දී නැගෙනහිර සහ බටහිර ජර්මනිය එක් වීමෙන් පසු ජර්මානු අධිවේගී මාර්ග පද්ධතිය හෙවත් German Autobahn ලෙසින් සමස්ත ජර්මනිය ම යා කෙරෙන අධිවේගී මාර්ග පද්ධතිය ද තනි පද්ධතියක් බවට පත්වනවා. අදටත් ඔබ බටහිර ජර්මනිය ලෙස අතීතයේ හැඳිනු කොටසේ සිට නැගෙනහිරට ඔටෝබාන් ඔස්සේ ගමන් කළහොත් සුමට මාර්ගයක සිට වඩා රළු මාර්ගයකට පිවිසියාක් මෙන් දැනේවි.
අද වන විට ජර්මන් ඔටෝබාන් පද්ධතිය කිලෝමීටර 13,183 ක් දිගින් යුක්තයි. ලොව දිගින් වැඩි ම අධිවේගී මාර්ග පද්ධති අතර ලොව තෙවන ස්ථානයට පත් ව සිටින ජර්මන් ඔටෝබාන් පද්ධතිය දෙවැනි වන්නේ එකසත් ජනපදයේ සහ චීනයේ අධිවේගී මාර්ග පද්ධතියට පමණයි. ජර්මනියේ විශාලත්වය හා සැසඳීමේදී කිලෝමීටර 13,000 ක අධිවේගී මාර්ග පද්ධතියක් පැවතීම පුදුම එළවනසුලුයි. වේග සීමා නොමැති ලොව දිගින් වැඩි ම මාර්ග පද්ධතිය වන්නේ ද ජර්මන් ඔටෝබාන් පද්ධතියයි.
ජර්මනියේ රථවාහන වේග සීමා නීතිය
නාසි රජය 1934 දී සම්මත කරගත් රථවාහන පනතේ උපරිම වේග සීමාව ලෙස දක්වා තිබුණේ පැයට කිලෝමීටර 60ක්. මෙම සීමාව අදාළ වන්නේ සාමාන්‍ය නාගරික ප්‍රදේශවලට පමණක් වන අතර ග්‍රාමීය හෝ අධිවේගී මාර්ගයේ රථවාහන ගමන් කළ හැකි වේග සීමාවක් පනවා තිබුණේ නැහැ. මේ නිසා 1934 සිට ජර්මානු අධිවේගී මාර්ගවල වේග සීමා ක්‍රියාත්මක වූයේ නැහැ. 1939 දී ජර්මනියේ ඇතිවූ තෙල් හිඟය හේතුවෙන් නාගරික ප්‍රදේශවල රථ වාහන වේගය පැයට කිලෝමීටර 40 කටත් සෙසු සියලු මාර්ගවලදී එය පැයට කිලෝමීටර 80 දක්වාත් සීමා කරන්නට නාසි රජය කටයුතු කළා.
1952 දී බටහිර ජර්මානු රජය සියලු වේග සීමා මුළුමනින් ම ඉවත් කිරීමට කටයුතු කළ අතර වේග සීමා පැනවීමේ බලය ප්‍රාදේශීය පරිපාලනයට පැවරුවා. මේ නිසා ජර්මනියේ රිය අනතුරු ඉහළ යාම සිදු වුණා. 1972 දී උපරිම වේග සීමාව පැයට කිලෝමීටර 100ක් බවට නැවත පත් කෙරුණත් එය ඔටෝබාන් හැර සෙසු නාගරික හෝ ග්‍රාමීය මාර්ග සඳහා පමණක් ක්‍රියාත්මක වුණා. 1973 දී තෙල් අර්බුදයක් නැවත පැන නැගීම නිසා පැයට කිලෝමීටර 100 වේග සීමාව ඔටෝබාන් සඳහා ද බල පැවැත්වෙන බව රජය ප්‍රකාශ කළා.
1978 දී එම තීරණය නැවත ඉවත් කෙරුණු අතර ඔටෝබාන් සඳහා රජයේ නිර්දේශිත වේග සීමාවක් පමණක් පැනවීමට තීරණය වනවා. එය පැයට කිලෝමීටර 130 ක් වන අතර මෙහි අදහස වන්නේ එම සීමාව ඉක්මවා යාම නීතිවිරෝධී නොවන බවයි. පැයට කිලෝමීටර 130 ට වඩා වැඩි වේගයෙන් ගමන් කිරීම රජය නිර්දේශ කරන්නේ නැහැ. මෙම නීතිය අදටත් ජර්මානු අධිවේගයේ ක්‍රියත්මක නීතිය වනවා. ජර්මානු අධිවේගයේ පැයට කිලෝමීටර 80 ට වඩා අඩු වේගයෙන් ධාවනය ද තහනම්. ඔබ වාහන පැදවීමට ඉගෙනගන්නා අයෙක් වුවත් එම නීතියට අවනත විය යුතුයි.
ඔටෝබාන් හි සමස්ත කිලෝමීටර 13,000 පුරාවට වේග සීමා නොමැති බව පැවසීම අසත්‍යයක් වනවා. මාර්ගයේ මුළු දුරෙන් 30% ක පමණ දුරක වේග සීමාව පැයට කිලෝමීටර 80ත් 130 ත් අතරේයි පවතින්නේ. එම කලාපවලදී ඇතැම් විට නියත වේග සීමා හෝ ගතික වේග සීමා තිබිය හැකියි. ගතික වේග සීමා යනු එම ප්‍රදේශයේ කාලගුණ තත්වය හෝ වාහන තදබදයේ ප්‍රමාණය අනුව වෙනස් වන වේග සීමායි. මේ බව මාර්ගයේ සවිකර ඇති ඩිජිටල් තිර මගින් රියදුරන්ට පෙන්නුම් කරනවා. පවත්වාගත යුතු අවම වේගය ද සමහර කලාපවලදී පැයට කිලෝමීටර 60ක් හෝ 110ක් පමණ විය හැකියි.
2017 දී ජර්මනියේ Federal Road Research Institution නිකුත් කළ වාර්තාවකට අනුව ඔටෝබාන්හි මුළු දුර ප්‍රමාණයෙන් 70.4% ක උපරිම වේග සීමාවලින් තොර ව පවතින අතර 6.2% ක් තාවකාලික වේග සීමාවලින් සමන්විත වී තිබෙනවා. ඉතිරි 23.4% ක ප්‍රමාණයේ ස්ථිර වේග සීමා පනවා තිබූ බවයි වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වන්නේ. වේග සීමා පනවන දුර ප්‍රමාණය ඉතා සුළු වශයෙන් හෝ ඉහළ යමින් ඇති බව එම වාර්තාව පෙන්වා දෙනවා. කිසිදු වේග සීමාවක් රහිතව ඔටෝබාන් හි ගමන් කළ හැකි වැඩිම දුර වන්නේ කිලෝමීටර 150ක දුරක් පමණයි. ඒ බර්ලින් සහ හැම්බර්ග් නගර අතර ඇති A 24 කොටසේදීයි.
ඔටෝබාන්හි රිය පැදවීම ආරක්ෂිතද ?
ඔටෝබාන්හි ගමන් කරන වාහන බොහෝවිට පැයට කිලෝමීටර 150 – 200 ක පමණ වේගයකින් ගමන් කරනවා. ඒ අතර පැයට කිලෝමීටර 300 ත් ඉක්මවා යන Porsche, BMW M හෝ Benz AMG රථයක් මුණගැසීම පුදුමයට කාරණයක් නොවේ. මේ නිසා ඔබ පැයට කිලෝමීටර 130 ක වේගයෙන් ආරක්ෂිත ව තම රථය පැදවූවත් ඔබ නිශ්චල ව සිටින්නාක් මෙන් දැනෙන වේගයකින් අසුරු සැණින් ඔබ පසුකර ඕනෑම මොහොතක තවත් රථයක් ගමන් කළ හැකියි. මේ නිසා ඔටෝබාන්හි රිය පැදවීම යම් ආකාරයකට අනාරක්ෂිත බවක් ගෙන එනවා.
2019 දී ජර්මනියේ ප්‍රවාහන අමාත්‍ය Andreas Scheuer පවසා තිබුණේ ජර්මනියේ අධිවේගී මාර්ග පද්ධතිය ලොව ආරක්ෂිත ම මාර්ග පද්ධතිය බවයි. 1978 සිට මේ දක්වා ජර්මනියේ රිය අනතුරු නිසා වාර්ෂිකව මිය යන සංඛ්‍යාව අඩු වෙමින් පවතිනවා. යුරෝපයේ වාර්ෂික ව කිලෝමීටර 1000 ක දුරක් ගමන් කිරීමේදී මිය යන පුද්ගලයන් සංඛ්‍යාවේ සාමන්‍යය 26.4ක අගයකයි පවතින්නේ. ජර්මනියේ මෙම අගය 30.2 ක් වනවා. මෙහිදී සඳහන් කළ යුතු විශේෂ ම කාරණය වන්නේ බල්ගේරියාවේ අධිවේගී මාර්ගවල උපරිම වේග සීමාව පැයට කිලෝමීටර 130 ක් ලෙස සඳහන් කර තිබුණත් එරටේ වාර්ෂිකව ගමන් කරන කිලෝමීටර 1000ක දුරක් සඳහා සිදුවන මරණ ප්‍රමාණය 83.1 ක් වීමයි. වේග සීමා පැනවීමෙන් පමණක් අනතුරු අවම කරගත නොහැකි බව ඉන් පැහැදිලි වනවා.
ඔටෝබාන් හි වේග සීමා සහිත ප්‍රදේශවල පමණක් පුද්ගලයන් ගමන් කරන කිලෝමීටර බිලියනයකට මරණීය අනතුරු සිදුවන්නේ 0.95 ක් පමණයි. වේග සීමා නොමැති ප්‍රදේශ සඳහා මෙම අගය 1.67 ක් වනවා. වේග සීමා නොමැති ප්‍රදේශයක අනතුරුවලින් මිය යාම 75% කින් සාපේක්ෂ ව වැඩි අගයක් ගන්නා බව පැහැදිලියි.
ඔටෝබාන් මාර්ග පද්ධතිය සහ නඩත්තුව
සියලුම ඔටෝබාන් මාර්ග හඳුන්වන්නේ A අකුරෙන් වන අතර ප්‍රධාන මාර්ග කිහිපය A අකුර සමඟ තනි ඉලක්කමකින් හඳුන්වනවා. මංසන්ධි දෙකක් අතර කෙටි දුරකට විහිදෙන මාර්ග හඳුන්වන්නේ ඉලක්කම් දෙකේ සංඛ්‍යාවලින්. නැගෙනහිර සිට බටහිරට ගමන් ගන්නා මාර්ග ඉරට්ටේ සංඛ්‍යාවලින් ද උතුරේ සිට දකුණට ගමන් ගන්නා මාර්ග ඔත්තේ සංඛ්‍යාවලින් ද නම් කර තිබෙනවා. ඔටෝබාන් මාර්ග සාමාන්‍යයෙන් විශාල නගර මගහැර යන ලෙසයි සකස් කර ඇත්තේ.
ඔටෝබාන් සඳහා ගාස්තු ගෙවීමක් හඳුන්වා දීමට ජර්මානු රජය උත්සාහ කළා. මෙයින් ඔවුන් අදහස් කළේ විදේශිකයන් පමණක් ගාස්තු ගෙවීමක් බැවින් එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට පෙර අවලංගු කර දැමුණා. වාහනයේ බර ටොන් 7.5 ක් හෝ ඊට වැඩි නම්, යම් ගාස්තුවක් ගෙවීමට සිදුවනවා. එය ඔටෝබාන් සඳහා පමණක් නොව ජර්මනිය තුළ ගමනාගමනය කිරීම වෙනුවෙන් ක්‍රියත්මක නීතියක් බව කිව යුතුයි.
ජර්මානු ඔටෝබාන් නිර්මාණය කර ඇත්තේ අධිවේගී රිය පැදවීම සඳහායි. ජර්මනියේ දේශගුණය අනුව උෂ්ණත්වය සෘණ සහ ධන අගයන් ගැනීම නිසා විශේෂ ලෙස සැකසූ කොන්ක්‍රීට් හෝ තාර, මාර්ග තැනීමට යොදාගැනෙනවා. මෙම Freeze-Resistive කොන්ක්‍රීට් හෝ තාර තට්ටුව, හොඳින් තෙරපා සැකසූ පොළොව මත අතුරන අතර එම තට්ටුවේ ඝනකම අඟල් 30 ක් පමණ වනවා. වංගු ඉතා සුමට වන ලෙසත් කුඩා ආනතියක් සිටින ලෙසත් සකස් කර ඇති අතර බෑවුම සියයට 4 කට සීමා කර තිබෙනවා. ද්විත්ව ආරක්ෂක වැටවල් හෝ කොන්ක්‍රීට් බාධකවලින් සමන්විත මෙම මාර්ගවල මංතීරු 2 සිට 8 දක්වා ප්‍රමාණයක් ද ඒ සමඟ හදිසි අවස්ථාවක දී භාවිත කළ හැකි මංතීරු යුගළයකින් ද සමන්විතයි.
අධික වේගයෙන් ගමන් කිරීමේදී කුඩා කඩතොළු ආදිය මාරාන්තික බාධක බවට පත්විය හැකි බැවින් ජර්මනියේ ඔටෝබාන් මාර්ගවල නිරන්තර හා සවිස්තරාත්මක පරීක්ෂාවන් සිදුකරනවා. අලුත්වැඩියා කිරීමකදී සාමාන්‍ය ලෙස කොටස් ඇලවීම (Patching) වෙනුවට සම්පුර්ණ ආදේශ කිරීමක් සිදු වීම මෙහිදී විශේෂයි. මේ නිසා මාර්ගයේ ගුණාත්මක බව හොඳින් ආරක්ෂා වීම දැකිය හැකියි. එක් කිලෝමීටරයක් නඩත්තු කිරීම සඳහා වසරකට ජර්මානු රජයට වැය වන මුදල යුරෝ මිලියන 0.5 කට අධික බවයි පැවසෙන්නේ.