Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හයිටි දේශයට සදා වද දෙන හිතක් පපුවක් නැති භූමිකම්පා

ලෝකයට බලපාන ස්වභාවික විපත් අතරින් වැඩි ම හානියක් සිදුකරන ස්වභාවික විපත්වලට භූමිකම්පා ද අයත්. ශ්‍රී ලාංකිකයන් වන අපට භූමිකම්පා සම්බන්ධයෙන් වැඩි අත්දැකීමක් නැතත් සමහර රටවල්වල ජීවත් වන ජනතාව භූමිකම්පාවලට නිතර ම මුහුණ දෙනවා. ඒ වගේ භූමිකම්පාවලින් නිතර ම පීඩා විඳින රටවල් අතරට කැරිබියන් දූපත් ආශ්‍රිත ව පිහිටා තිබෙන හයිටි දේශය ද අයත්. 

මේ දිනවල ලෝකයේ රටවල් රැසක ජීවත් වන ජනතාව කොරෝනා වසංගතයෙන් බැට කද්දී හයිටි දේශයේ ජනතාවට දරුණු භූ කම්පනයකට මුහුණ දීමට සිදු වුණා. පසුගිය අගෝස්තු 14 වැනිදා ඇති වුණු එම ස්වභාවික ආපදාව නිසා සිදු වුණු විනාශය පිළිබඳ ව තවමත් තක්සේරු කිරීමට හැකි වී නැහැ. තවමත් සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු අඛණ්ඩ ව සිදු කර ගෙන යන බැවින් මිය ගිය ප්‍රමාණය ද තවමත් තහවුරු කර ගෙන නැහැ.

පෘථිවියේ ප්‍රධාන ස්ථර – ncaastronomy

භූමිකම්පාවක් ඇතිවන්නේ කොහොමද ?

බොහෝ දෙනකු භූමිකම්පාව යන වචනය හොඳින් ම අසා තිබුණත්, භූමිකම්පාවක් ඇති වන ආකාරය පිළිබඳ ව වැඩි දෙනකුට ලොකු අවබෝධයක් නැහැ. ඒ නිසා ම භූමිකම්පාවක් ඇතිවන ආකාරය පිළිබඳවත් පහතින් දක්වනවා. 

පෘථිවිය ප්‍රධාන වශයෙන් ස්ථර හතරකට බෙදා වෙන්කෙරෙනවා. ඒවා කබොල, ප්‍රාවරණය, පිටත හරය, සහ අභ්‍යන්තර හරය යන නම්වලින් හඳුන්වනවා. කබොල යනුවෙන් හැඳින්වෙන පෘථිවිය මතුපිට ස්ථරය සහ ඉහළ ප්‍රාවරණය, “භූ තැටි” නමින් හැඳින්වෙන වෙන් වෙන් කොටස්වලින් සමන්විත යි. මෙම භූ තැටි, අර්ධ ඝණ මට්ටමේ පවතින පෘථිවි අභ්‍යන්තරය මත පාවෙමින් තිබෙනවා. භූ තැටි පාවෙමින් පවතින අතරතුර කුඩා ගැටුම් සිදු වනවා. සරලව ම, භූමිකම්පා යනුවෙන් හඳුන්වන්නේ භූ තැටි දෙකක් එකිනෙක ගැටීම නිසා හෝ ඇතිල්ලීම නිසා සිදු වන කම්පනය පෘථිවිය මතුපිට දැනීම යි. එහි දී භූ තැටි ගැටෙන හෝ ඇතිල්ලෙන ප්‍රබලතාව වැඩි වන විට භූමිකම්පාව මඟින් සිදුවන විනාශය වැඩි වනවා. එම විනාශය මනින්නේ රිච්ටර් පරිමාණ ඒකකවලින්.

භූමිකම්පාවක් ඇතිවුණු අවස්ථාවක් – getty images

 

2021 හයිටි භූ කම්පනය ප්‍රබල එකක් ද?

භූමිකම්පාවක ප්‍රබලත්වය මැනීම සඳහා කලින් ද කී පරිදි රිච්ටර් පරිමාණය භාවිත කරනවා. රිච්ටර් පරිමාණයෙන් භූකම්පන තරංගයේ විස්තාරය දැක්වෙනවා. එම පරිමාණය 10 පාදයට ලඝු ඝනකයෙන් සකසා තිබෙනවා. 1935 වසරේ දී සංකීර්ණ සූත්‍රයක් ඇසුරින් මෙම පරිමාණය නිර්මාණය කළේ චාර්ල්ස් රිච්ටර් නම් විද්‍යාඥයා යි. එදා චාල්ස් රිච්ටර් සොයා ගත් එම පරිමාණය නිසා අද වන විට භූ කම්පනයක ප්‍රබලත්වය පහසුවෙන් ම මැන ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. පහත දක්වා තිබෙන්නේ භූමිකම්පාවේ රිච්ටර් අගයට අනුව සිදුවන විපර්යාස පිළිබඳව යි.

  • 1) රිච්ටර් අගය 2ට අඩු – මිනිසාට නොදැනෙන තරම්. හානි කිසිවක් සිදු වන්නේ නැහැ 
  • 2) රිච්ටර් අගය 3 – නිවෙස් අභ්‍යන්තරයට දැනුණත් හානි සිදු වන්නේ නැහැ 
  • 3) රිච්ටර් අගය 4 – නිවෙස් අභ්‍යන්තරයට හොඳින් දැනුණත් හානි සිදු වන්නේ නැහැ 
  • 4) රිච්ටර් අගය 5 – ගොඩනැගිලි සෙලවෙයි. සුළු හානි සිදුවෙයි.
  • 5) රිච්ටර් අගය 6 – වීදුරු භාණ්ඩ බිඳී යයි. සමහර විට ගොඩනැගිලිවලට හානි සිදු වෙයි. 
  • 6) රිච්ටර් අගය 7 – ගෘහ භාණ්ඩවලට හානි සිදු වෙයි. ශක්තිමත් නැති ගොඩනැගිලි විනාශ වෙයි. 
  • 7) රිච්ටර් අගය 8 – මිනිසාට පොළොව මත සිට ගෙන සිටීමට අපහසුයි. ගොඩනැගිලිවලට දරුණු හානි සිදු වෙයි 
  • 8) රිච්ටර් අගය 9 – පොළොව මත තරංග ගමන් කරන බව දැක ගන්නට ලැබෙයි. 

හයිටි රාජ්‍යයට පසුගිය අගෝස්තු 14 වැනිදා බලපෑ භූමිකම්පාවේ රිච්ටර් පරිමාණ අගය 7.2ක් ලෙසින් සටහන් වුණා. එනිසා එය ප්‍රබල භූමිකම්පාවක් ලෙසින් සලකන්නට පුළුවන්. 

හයිටි රාජ්‍යයේ බටහිර ප්‍රදේශය ආශ්‍රිත ව රිච්ටර් පරිමාණ ඒකක 7.2ක් ප්‍රබල භූ කම්පනයක් – accuweather.com 

 

සිදු ව තිබෙන විනාශය 

හයිටි රාජ්‍යයේ බටහිර ප්‍රදේශය ආශ්‍රිත ව වාර්තා වුණු මෙම ප්‍රබල භූමිකම්පාව නිසා ගොඩනැගිලි සැලකිය යුතු ප්‍රමාණයක් කඩා ගෙන වැටුණා. ඒ අතරට විශාල ගොඩනැගිලි රැසක් අයත් ව තිබුණා. ඊට අමතර ව ලක්ෂයකට වැඩි නිවාස ප්‍රමාණයක් විනාශයට පත්ව තිබෙන බව වාර්තා වනවා. එලෙස විනාශ වුණු ගොඩනැගිලි සහ නිවාසවල සුන්බුන්වලට යට වී සිටින ජනතාව බේරාගැනීමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මෙම දරුණු භූමිකම්පාව නිසා අගෝස්තු 19 වැනිදා වන විට 12,000කට අධික පිරිසක් තුවාල ලබා තිබුණා. තුවාලකරුවන්ගෙන් වැඩි දෙනකු මේ වන විට රෝහල්ගත ව ප්‍රතිකාර ලබමින් සිටිනවා.මෙම විපත නිසා 60,000කට ආසන්න පිරිසක් අවතැන්ව සිටින බව ද සඳහන්. 

2021 හයිටි භූමිකාම්පාව නිසා සිදුව තිබෙන විනාශය – getty images

සුන්බුන් අතර සිර වී තිබෙන මළ සිරුරු සෙවීමේ කාර්යය තව දුරටත් සිදු කෙරෙනවා. ඒ සඳහා ආරක්ෂක අංශ, ආපදා කළමනාකරණ නිලධාරින් සහ ස්වේච්ඡා සේවකයන් වැනි උදවිය දායකත්වය ලබාදෙනවා. අගෝස්තු 18 වැනිදා වන විට භූමිකම්පාවෙන් මිය ගිය ප්‍රමාණය 2189ක් ලෙසින් වාර්තා වුණා. තවමත් සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු සිදුවෙමින් පවතින නිසා මරණ ප්‍රමාණය මීට වඩා වැඩිවිය හැකි බව හයිටි බලධාරීන් පවසනවා. කැරිබියන් දූපත් අවට ප්‍රදේශයේ මේ දිනවල ඇති ව තිබෙන ග්‍රේස් සුළි කුණාටුව හේතුවෙන් හයිටි රාජ්‍යයට අඛණ්ඩව වැසි ලැබෙමින් පවතින බව ද වාර්තා වනවා. එනිසා සුන්බුන් ඉවත්කිරීමේ කටයුතු සේ ම විපතට පත්වූවන්ට සහන සැලසීමේ කටයුතු ද අසීරුවෙන් කරගෙන යාමට සිදු ව තිබෙනවා. 

 

වසර 11කට පෙරත් හයිටියේ ප්‍රබල භූ කම්පනයක් සිදුවුණා 

21 වන සියවසේ දී වාර්තා වුණු විනාශකාරී ම භූමිකම්පාව ලෙසින් සැලකෙන්නේ 2010 ජනවාරි 12 වැනිදා හයිටි රාජ්‍යයේ අගනුවර වන පෝට්-අයු-ප්‍රින්ස් ආශ්‍රිත ව ඇතිවුණු භූ කම්පනය යි. රිච්ටර් පරිමාණ ඒකක 7ක් ලෙසින් සටහන් වුණු එම මහා භූමිකම්පාව හේතුවෙන් පෝට්-අයු-ප්‍රින්ස් නගරයේ ගොඩනැගිලි රැසක් බිමට සමතලා වුණා. සුන්බුන්වලට යටවීමෙන් 100,000-316,000 අතර පිරිසක් එදා මිය යන්නට ඇතැයි විශ්වාස කරනවා.  300,000ක පමණ පිරිසක් තුවාල ලැබූ බවත් වාර්තාවල සඳහන් ව තිබෙනවා. 

2010 හයිටි භූමිකම්පාවේ දසුන් – getty images

පෝට්-අයු-ප්‍රින්ස් අග නගරයෙන් කිලෝ මීටර් 18ක් පමණ දුරකින් කේන්ද්‍ර පිහිටා තිබුණු මෙම භූ කම්පනය විනාඩියක පමණ කාලයක් පැවතුණා. ඉන් පසුව ගොඩනැගිලි කඩාවැටීමෙන් නැගුණු දූලි වලාවෙන් විනාඩි 10කට වැඩි කාලයක් අග නගරය වසා ගෙන තිබුණු බව වාර්තා වුණා.

මෙම භූමිකම්පාවේ ප්‍රබලත්වය රිච්ටර් පරිමාණයේ ඒකක 7ක්  ලෙසින් සටහන් වුණත් එය කිලෝ මීටර් 10ක් තරම් නොගැඹුරු මට්ටමක දී හටගෙන තිබීම හේතුවෙන් බලාපොරොත්තු නොවුණු දැවැන්ත විනාශයක් සිදුවුණා. ඒ අනුව 2010 හයිටි භූ කම්පනය,  21 වන සියවසේ දී වාර්තා වුණු භූමිකම්පා අතුරින් වැඩි ම පිරිසක් මිය ගිය භූමිකම්පාව බවට පත්වුණා.

විපතට පත්වූවන්ට සහන සැලසීමේ කටයුතු – Unicef

නිතර ම දරුණු භූමිකම්පාවලට මුහුණ දෙන ප්‍රදේශයක් 

භූ තැටි දෙකක් එකිනෙක ගැටීම හෝ ඇතිල්ලීමෙන් භූමිකම්පා ඇතිවන බව මෙම ලිපියේ ඉහත සඳහන් කළා. භූ විද්‍යාඥයන්ගේ අර්ථ දැක්වීම්වලට අනුව ලෝකයේ ප්‍රධාන භූ තැටි 7ක් සහ අප්‍රධාන භූ තැටි 7ක් තිබෙනවා. ඒ භූ තැටි අතුරින් උතුරු අමෙරිකානු භූ තැටිය සහ කැරිබියානු භූ තැටිය හයිටි රාජ්‍යය ආශ්‍රිත ප්‍රදේශයේ දී එකිනෙක හමු වනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් හයිටි රාජ්‍යය ඈත අතීතයේ සිට ම දරුණු භූමිකම්පා රැසකට මුහුණ දුන්නා. පහත දක්වා තිබෙන්නේ ගෙවුණු වසර 500ක කාලය තුළ හයිටි රාජ්‍යය මුහුණ දුන් වඩාත් දරුණු භූ කම්පන තත්ත්වයන් පිළිබඳව යි. 

භූ තැටි පිහිටා තිබෙන ආකාරය – Earth How

1562 දෙසැම්බර් 12 වැනිදා රිච්ටර් පරිමාණ ඒකක 7.7ක භූ කම්පනයක් හයිටි රාජ්‍යය ආශ්‍රිත ව ඇති වුණා. එහි බලපෑම හයිටි රාජ්‍යයට පමණක් නොව ඩොමිනිකන් සමූහාණ්ඩු රාජ්‍යයට ද තදින් ම දැනුණා. භූ කම්පනය නිසා සිදුවුණු විනාශය පිළිබඳ ව දත්ත කිසිවක් වාර්තාවල පැහැදිලි ව සඳහන් ව නැහැ. 

1751 නොවැම්බර් 21 වැනිදා රිච්ටර් පරිමාණ 8.0ක ද, 1770 ජූනි 3 වැනිදා රිච්ටර් පරිමාණ ඒකක 7.5ක ද ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පන පෝට්-අයු-ප්‍රින්ස් නගරය ආශ්‍රිත ව ඇති වුණා. එම භූමිකම්පා අතුරින් 1770දී ඇති වුණු භූමිකම්පාව හේතුවෙන් සුළු සුනාමි තත්ත්වයක් ද වාර්තා වී තිබෙනවා. 

උන් හිටි තැන් අහිමිවූවන් – Unicef

 

1842 මැයි 7 වැනිදා රිච්ටර් පරිමාණ ඒකක 8.1ක් තරම් ප්‍රබල භූ කම්පනයක් හයිටි රාජ්‍යය ආශ්‍රිත ව ඇති ව තිබෙනවා. එම භූ කම්පනය හේතුවෙන් දැවැන්ත සුනාමියක් ඇති වුණු බව ද වාර්තාවල සඳහන්ව තිබෙනවා. එමඟින් 5300ක් පමණ පිරිසක් මරණයට පත් වුණු බව වාර්තා වී තිබුණත් සැබෑ මරණ ප්‍රමාණය ඊට වැඩි අගයක් ගන්නා බව සැලකෙනවා. එහි දී තහවුරු කරගත් මරණ ප්‍රමාණය අඩුවීමට හේතුවුණේ සුනාමිය නිසා බොහෝ පිරිසක් අතුරුදහන් වීමයි.

කවරයේ ඡායාරූපය- 2010 හයිටි භූ කම්පනයේ සංවේදි දසුනක් - getty images

මූලාශ්‍ර-

BBC News

Reuters

Digital Mantra  

Related Articles