Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානය අත්හැර දමලාද?

මෙරට ටෙලි නාට්‍ය සහ සිනමා ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා මීට දශකයකට පෙර විවෘත වූ රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානයේ ඇතැම් ගොඩනැඟිලි නිසි පරිදි නඩත්තු නොකිරීම නිසා විනාශ වෙමින් පවතින බව හැඟවෙන ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දිනවල හුවමාරු විය.

ඒත් සමඟ රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානය පිළිබඳ ව කතාබහක් නැවැතත් ඇති වී ඇති අතර, මෙම ලිපිය එහි ආරම්භය, වර්තමාන තත්ත්වය සහ ඉදිරි සැලසුම් පිළිබඳ ව ලියවෙන්නකි.

ටෙලි සිනමා ගම්මානයේ පිවිසුම – www.tripadvisor.com

රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානය

තිස්සමහාරාම නගරයේ සිට කතරගම දක්වා යන මාර්ගයේ කිලෝමීටර් හතක පමණ දුරක් යන විට හමු වන රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානය, මෙරට ඉදි කළ ප්‍රථම දෘශ්‍ය කලා දර්ශන තල ජනපදය ලෙස වේ. රුපියල් මිලියන 630ක වියදමින් ඉදි කර, 2010 වසරේදී විවෘත කළ මෙම ටෙලි සිනමා ගම්මානය දේශීය මෙන් ම විදේශීය ටෙලි නාට්‍ය සහ චිත්‍රපට නිර්මාණකරුවන්ට අවශ්‍ය චිත්‍රාගාර සහ දර්ශන තල පහසුකම්වලින් සමන්විත වේ.

අක්කර 235ක පමණ භූමි ප්‍රමාණයක පිහිටා ඇති ටෙලි සිනමා ගම්මානයේ අක්කර 135ක චිත්‍රාගාර සහ දර්ශන පසුතල පිහිටා තිබෙන අතර, ඉතිරි අක්කර 100 ස්වාභාවික වනාන්තරයකි. ටෙලි සිනමා ගම්මානය ස්ථාපිත කිරීමට පෙර පටන් එම ප්‍රදේශයේ පැවැති වැවක් ද මේ වන විට ප්‍රතිසංස්කරණය කර ඇත.

ටෙලි සිනමා ගම්මානයට අයත් වැව – www.tripadvisor.com

පහසුකම්

ටෙලි නාට්‍ය සහ චිත්‍රපට නිෂ්පාදනයට අවශ්‍ය සියලු පසුතල පහසුකම් මෙහි සපයා තිබේ. ඒ අතර නවීන තාක්ෂණික උපාංගයන්ගෙන් සමන්විත චිත්‍රාගාරයක්, වෙල් යායක්, පැරැණි කඩමණ්ඩියක්, ගම්මානයක්, කොළඹ නගරයේ පිහිටි නිපෝන් හෝටලය සහ කාගිල්ස් ගොඩනැඟිල්ල වැනි පැරැණි ගොඩනැඟිලිවල ආකෘති, සහ අවශ්‍ය පරිදි ඕනෑම ප්‍රසිද්ධ ස්ථානයක ආකෘතියක් නිර්මාණය කර ගැනීමට පහසුකම් ද එහි වේ. ඊට අමතර ව ටෙලි සිනමා ගම්මානයේ රූගත කිරීම් සඳහා පැමිණෙන කලාකරුවන් ඇතුළු පිරිස් සඳහා නවාතැන් සහ සනීපාරක්ෂක පහසුකම් ද ටෙලි සිනමා ගම්මානය තුළ ස්ථාපිත කර තිබේ. නවාතැන් ගන්නා ස්ථානවල ආහාරපාන සකස් කර ගැනීමේ සඳහා අවශ්‍ය මුළුතැන්ගෙයක්, සහ ආහාරපාන මිල දී ගත හැකි, ශ්‍රී ලංකා නාවික හමුදාව පවත්වාගෙන යන ආපනශාලාවක් ද තිබේ. ටෙලි සිනමා ගම්මානයට පැමිණෙන අයගේ වාහන නවතා තැබීම සඳහා රථගාල් කිහිපයක් ද මෙහි ඇත.

කැපී පෙනෙන රූගත කිරීම්

විවෘත කළ දා පටන් දේශීය සහ විදේශීය ටෙලි නාට්‍ය සහ චිත්‍රපට, වෙළෙඳ දැන්වීම්, සහ ගීත නිර්මාණ ගණනාවක් මෙම පරිශ්‍රය තුළ රූගත කර ඇත. ඒවායෙන් සමහරක රූගත කිරීම් සඳහා ටෙලි සිනමා ගම්මානය තුළ තිබෙන පසුතල පමණක් භාවිත කර ඇති අතර, සමහර ඒවා රූගත කිරීම සඳහා තාවකාලික පසුතල ඉදි කර තිබේ. ඒ අතරින් සමහර ටෙලි නාට්‍ය සහ චිත්‍රපට රූගත කිරීම සඳහා ඉදි කළ විවිධ ආකෘති වර්තමානයේ දී පවා ටෙලි සිනමා ගම්මානය ඇතුළත දැකිය හැකි ය.

නිපොන් හෝටලයේ ආකෘතිය – www.inspirock.com

මෙහි රූගත කළ නිර්මාණ අතර කුස පබා, පත්තිනි, ශකී, ඇවිලෙන සුළුයි, ගින්නෙන් උපන් සීතල (ජනතා විමුක්ති පෙරමුණු නිර්මාතෘ රෝහණ විජේවීර චරිතය පදනම් කර ගත්), නිදහසේ පියා (මහාමාන්‍ය ඩි. එස්. සේනානායක චරිතය පදනම් කර ගත්), ගෞතම ශ්‍රී සිද්ධාර්ථ, යශෝධරා, කදිර දිව්‍යරාජ, මිස්ටීරියස් ගර්ල්, අල් බොරාදා, ස්ටාර් ශ්‍රී ලංකා, ද වීඩියෝ ටීම්, සහ සින්ඩරෙල්ලා වැනි දේශීය චිත්‍රපටත්, ඇන්ඩම් මෙන් (ජර්මනිය), බොම්බේ වෙල්වට් (ඉන්දියාව) සහ සෝලර් එක්ලිප්ස් (පකිස්තානය) වැනි විදේශීය චිත්‍රපටත්, ස්වයංජාත, අටම්පහුර, කෝරළේ මහත්තයා, දෙරණ ගමන, මුතුකැට සිහින, සෙවණැලි මායාව, රණා, කීටයා, සිහින අරන් එන්න, වෙඩි ගහ සහ අමුතු මිනිස්සු වැනි ටෙලි නාට්‍යයත්, ලහිරු පෙරේරා ගයනා කරන රතු රටකජු ගීතය, උමාරියා සිංහවංශ ගායනා කරන දිනූ දේශය රැකගනිමු-රැඟුමේ ගීතය සහ යොහානි ද සිල්වා ගායනා කරන රැව්වත් දෑසින් වැනි ගීත නිර්මාණත් වේ.

සමාජ මාධ්‍ය කැලඹු ඡායාරූප

පසුගිය දින කිහිපය තුළ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ඡායාරූප කිහිපයක් නිසා රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානය පිළිබඳ ව විශාල කතාබහක් යළි ඇති විය. විවිධ රූගත කිරීම් සඳහා තාවකාලික ව ඉදි කළ, මේ වන විට විනාශ වෙමින් පවතින ගොඩනැඟිලි කිහිපයක ඡායාරූප ඒ අයුරින් ප්‍රචාරය විය. එම ඡායාරූප හුවමාරු කළ බොහෝ දෙනෙක් චෝදනා කර තිබුණේ ඉතා විශාල මුදලක් වැය කර ඉදි කළ ටෙලි සිනමා ගම්මානය මේ වන විට විනාශ වෙමින් පවතින බව යි. ටෙලි සිනමා ගම්මානයත් අපේක්ෂිත අරමුණු ළඟා කරගත නොහැකි තවත් එක් ව්‍යාපෘතියක් බවටත් බොහෝ දෙනෙක් චෝදනා කර තිබිණි.

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ඡායාරූපවලින් එකක් – www.facebook.com- දකුණු රට

බලධාරීන්ගේ ප්‍රතිචාර

කෙසේ වෙතත් පසුව අනාවරණය වූයේ අදාළ ඡායාරූප, රූගත කිරීම් සඳහා ඉදි කළ තාවකාලික ගොඩනැඟිලි කිහිපයක ඒවා බව යි. ටෙලි සිනමා ගම්මානයේ සමහර ඉදිකිරීම් ස්ථිර ඒවා වන අතර, තවත් සමහර ඒවා ටෙලි නාට්‍ය සහ චිත්‍රපට රූගත කිරීමේ කටයුතු අතරතුර මතු වන අවශ්‍යතා අනුව තාවකාලික ව ඉදි කර තිබේ. එවැනි ගොඩනැඟිලි දීර්ඝකාලීනව නඩත්තු කිරීමක් සිදු නොවන බවත්, ඒවා ටිකෙන් ටික කඩා ඉවත් කරන බවත් ටෙලි සිනමා ගම්මානයේ පරිපාලන කටයුතුවලට සම්බන්ධ නිලධාරියෙක් මාධ්‍ය වෙත සඳහන් කර තිබිණි.

සවර්ධන කටයුතු සහ ඉදිරි සැලසුම්

2010 වසරේ සිට වරින් වර අමාත්‍යංශ කිහිපයක් යටතේ පැවති රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානය වර්තමානය වන විට බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ජාතික උරුම අංශය යටතේ පාලනය වේ. 2020 වසරේ ඇති වූ කොවිඩ්-19 වසංගත තත්ත්වය සමඟ එය නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස ද යොදා ගැනිණි. කෙසේ වෙතත් මේ වන විට එහි රූගත කිරීම් නැවත ආරම්භ කර ඇත.

ටෙලි සිනමා ගම්මානයේ පිහිටා ඇති පැලක් – www.travelwithuma.com

 බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය මහා භාණ්ඩාගාරයෙන් සිදු කළ ඉල්ලීමකට අනුව 2021 වසරේ දී රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානය සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 300ක ප්‍රතිපාදන වෙන් කර තිබේ. ඉන් රුපියල් මිලියන 100ක් පමණ මේ වන විටත් ලැබී ඇති අතර එම මුදල් භාවිත කර ගම්මානයේ පිහිටි ග්‍රාමීය සහ නාගරික පසුතල සහ වැව ප්‍රතිසංස්කරණ කර තිබේ. ඊට අමතර ව රූගත කිරීම් සඳහා පැමිණෙන පුද්ගලයන් 100කට ආසන්න ප්‍රමාණයකට නවාතැන් ගත හැකි පරිදි නවාතැන් සහ සනීපාරක්ෂක පහසුකම් ද සංවර්ධනය කර තිබේ.

 අමාත්‍යංශයක අධීක්ෂණය යටතේ පවතින මෙම ටෙලි සිනමා ගම්මානය ව්‍යාපාරික වශයෙන් ලාභ ඉපයීමේ ආයතනයක් බවට පත් කිරීමේ අරමුණින් සංස්ථාපිත ආයතනයක් බවට පත් කිරීම පිළිබඳ ව ද මේ වන විට අවධානය යොමු වී ඇත. එහි එක් පියවරක් ලෙස ඊට පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීම සඳහා අවශ්‍ය පනත් කෙටුම්පතක් සකස් කර එය මේ වන විට නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමු කර ඇතැයි අමාත්‍යංශ ආරංචි මාර්ග තහවුරු කරයි. සංස්ථාපිත ආයතනයක් බවට පත් කිරීමෙන් අනතුරු ව මෙහි කටයුතු සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් ප්‍රතිපාදන ලබා ගැනීමට අවශ්‍ය නොවනු ඇති බව අමාත්‍යංශයේ මතය වේ.

කඩමණ්ඩිය – www.travelwithuma.com

ආදායම් තත්ත්වය

ආර්ථික අර්බුදය හමුවේ ටෙලි නාට්‍ය සහ සිනමා ක්ශේත්‍රය තරමක් පසුබෑමකට ලක් වී ඇති වර්තමාන තත්ත්වය හමුවේ පවා රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානය සැලකිය යුතු ආදායමක් උපයයි. මේ වසරේ ජනවාරි සිට ජූලි දක්වා වූ කාලය ඇතුළත එය උපයා ඇති ආදායම රුපියල් මිලියන 9 කි. මෙහි සංවර්ධන කටයුතු නිම කිරීමෙන් අනතුරු ව දේශීය සහ විදේශීය ටෙලි නාට්‍ය සහ චිත්‍රපට රූගත කිරීම් හරහා විශාල ආදායමක් උපයා ගැනීමේ විභවයක් ඇති බව ද එහි නිලධාරියෙක් සඳහන් කළේ ය.

මෑතකාලීන රූගත කිරීම්

රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානය තුළ වසරකට චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රූගත කිරීම් 15කට ආසන්න සංඛ්‍යාවක් සිදු වේ. ආරම්භයේ පටන් මේ දක්වා චිත්‍රපට සහ ටෙලිනාට්‍ය 50කට වැඩි සංඛ්‍යාවක් මෙහි රූගත කර ඇති අතර, ආසන්නත ම චිත්‍රපට රූගත කිරීම ‘භ්‍රමණය’ නම් චිත්‍රපටයේ රූගත කිරීම යි. මංගල ඡායාරූපකරණය වැනි කටයුතු සඳහා ද එහි පහසුකම් සලසා තිබේ.

ටෙලි සිනමා ගම්මානය තුළ මේ දිනවල ශ්‍රී ලංකාවේ පැරැණි ජනකතා පදනම් කර ගත් ටෙලි නාට්‍ය මාලාවක් ද රූගත කරමින් තිබේ. පසුගිය වසරේ ඉන්දියානු චිත්‍රපටයක් රූ ගත කිරීම සඳහා රන්මිණිතැන්න තෝරා ගෙන තිබුණත් කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් එහි රූගත කිරීම් වෙනත් රටක සිදු කිරීමට එහි නිෂ්පාදකයන් තීරණය කර තිබිණි. තවත් විදේශීය නිර්මාණ කිහිපයක් ඉදිරි කාලයේ දී මෙහි රූගත කිරීමට නියමිත බව ද වාර්තා විය.

කවරයේ ඡායාරූපය- පසුගිය දින කිහිපය තුළ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ඡායාරූප කිහිපයක් නිසා රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානය පිළිබඳව විශාල කතාබහක් ඇති විය - www.facebook.com- Ranminithenna Tele-Cinema Village 

මූලාශ්‍ර:

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය

www.themorning.lk

www.tripadvisor.com

www.dailynews.lk

Related Articles